උණුසුම හොයන සෙනෙහස
පෙරමග සිනහවකි පෑවේ උදයේ ම..
දකිනා තැනක ඔබෙ මුහුණයි පෙනුණේ ම
සිත ළඟ සුවඳ මල් පිපුණා රහසේ ම
අරමුණ දකින්නයි ඔය රුව හැමදා ම..
බැඳි හිස නැඟුණු කළුවන් ගන වලාව යි..
ඒ මැද දිලෙන නිල්තරු ඇස මනාව යි..
ඉඳහිට මුවඟ විදුලිය වැනි සිනාව යි..
මුහුණ ම පිරුණු පෝදා සඳ පරාද යි..
මහරෑ පැලේ කවි කියනා වෙලාව ට..
අඳුරට දැවෙන පහනේ එළි මදියි මට..
පාමුල ගිනිමැළය තිබුණත් ගහක් යට..
උණුසුම දැනේවි ද නුඹ ළඟ නැතොත් මට..
කණ්ඩියෙ වැවට හෙට උදයෙත් එනවා ද..
නැත්නම් ටවුමෙ පොළටත් නුඹ යනවා ද..
අම්මා තවම මා ගැන දොස් කියනව ද..
යන යන තැනට පොඩි මල්ලිත් එවනව ද..
- මධුෂිකා -
෴෴෴ ෴෴෴
නික්ම ගිය දිනට පසු
නුඹ නික්මගිය දිනට පසු දින.....
පාළු ඉස්තෝප්පුවේ
ඇඳි පුටුවේ ඉඳගෙන
බලා හිටියා උදේ වරුවම
ගේ තුලින් එන පියවරක්
නවතීවි යැයි මා ළඟ
හිතෙන් නෑ නැගිටින්න
හෝරා කටුත් දුවන්නේ පුරද්දට
මුදු මොලොක් සුසුමක බරක්
දැනුණා සෙමෙන් උරහිසට
ඊයේ ඇන්ද සුදු සාරියම
ඇඳගෙන වතුසුද්ද ගහ තවම
මිදුලේ පොල් අතු රටා නෑ
හැඩි වෙලා රෑ වැටුණු වැස්ට
වෙනදා නොතිබුණ අඳුරු පාළුව
කොහෙන් ආවද ගෙට
ඔබ නික්ම ගොස් දිනක් ගතවී
කල්පයක් එය මට
- ෂර්මිලා බංදුනී දංවත්ත -
ළෙන්ගතු සුවඳ
රට ගැන හිතලා අත්වැල් බැඳගෙන එක මඟ ගමන් කළා...
සොහොයුරු බැම්මක ළෙළෙතු සුවඳක් හදතුළ දෝර ගලා...
සසර පුරාවට මේ ලෙස එක්වී සිටි බව පසක් වෙලා...
ඈත අතීතයේ සොඳුරු නිමේෂක මතකය වතපොත පුරා සලා...
සුවඳ සමන් මලක් වගේ පිපී දිලෙන වනේ...
ඔය නාඹර ලැසි ගමනට හිත ඇදෙනවා අනේ...
හුදෙකලාවේ තනි මංකඩ ඇයිදෝ තනි වුණේ...
කළු කුමරා අහළ පහළ සරණවා හැමදිනේ ...
අහස ගුගුරා වැස්ස නැතිදා ගඟක් උතුරා ගලා යාවිද...
සුවඳ හමනා මලක් නැතිදා බඹරු ඒ වෙත ඇදිලා ඒවිද...
සවන පිනවන ගීත රාවෙට අවරගිර හිරු යළි නැගේවිද...
සතුට සැනසුම උරුම කරගෙන උපන් කිසිවෙකු ලොව සිටීවිද...
පොඩි කාලේ වන වදුලේ දුව පැන නැටු කාලේ...
සිඟිති සිනා මල් පිපිලා දිදුලපු වත කමලේ...
දින සති වී ගත වුණ අපේ මිහිරි බොළඳ බාලේ...
හිතා ගන්න බැහැ හැඩ රුව වෙනස් වෙච්චි තාලේ...
- ඇන්ජලා පැල්පොළ -
෴෴෴ ෴෴෴
සංදේශ කවි ඇසූ කන් ඇති කුරුල්ලෙක්...
අසාගෙන හැම දූත වර්ණන
සංදේශ ගෙන යන්නට
ලයේ ගිනි දලු නිවා විමසම්
පෙම්බරී කොතැනක අද
දරා තනිකම හිරේ නොවැටුණ
මග වැනුම් සිරි නොබලන
නෙතේ කඳුළැලි කෙසේ පිසලමි
පාළු මග තොට ඉකිලන
පොතේ පාඩම කෑ ගසා නුඹ
තාලයට මුමුණන හඬ
ඇසී නැවතී මංමුලා වුණ
දූතයෙක් වෙන දුටුවද
සැරද! සඳ වන්, සුනිල දිය වන්
කුමන වදනක කවියක
ලියා තැබුවොත් දිනෙක අහපන්
ලොවේ කොතැනද නැවතුම...
- නයෝමී අමරසිංහ -