මෙය ලෝක සාහිත්‍ය කෘති අතරට එක්විය යුතු නිර්මාණයක්
චම්මින්ද වෙලගෙදර ගේ ස්වප්නේශ්වර නිර්මාණ කෘතිය, නවකතාව අපූර්වත්වයෙන් පිරිපුන් ගෙත්තමකි. කදිම ගෙත්තමකි. රසාලිප්ත නිර්මාණයකි. කියවන්නට ලැබුණු කෘති අතරින් කියවා ඇති නවකතා නිර්මාණ අතරින්, මේ දක්වා පුදුමාකාර වින්දනයක් ලබන්නට හැකි වූ ගතක් සේ සඳහන් කිරීම වටී.
කතුවර චම්මින්ද මේ නිර්මාණය ගොතන්නට කරැති වෙහෙස මාන්සිය අපමණක් යැ යි කිවයුත්තේ ම ය.
එහි හැම පිටුවක් පුරා ම ඇත්තේ රසවෑහෙන පද පේළි ය. ඒ පදපේළි අතරින් ඔහු පාඨකයා කැන්දන් යන්නේ හෙළයන් ගේ හෙළ වෙදකමත්, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවත් ඔස්සේ නව මානයකින් හිතන්නට පාඨකයා පොලඹමිනි.
ස්වප්නේශ්වර පිටුවෙන් පිටුව අපට යමක් අලුතෙන් හිතන්නට ඉඩ හසර පාදයි. ඔහු පාදක කරගෙනැති වස්තු විෂය හෙළ දෙසෙහි, ආදියේ පටන් පැවත ආ අභිචාර විද්‍යාව හා හෙළ වෛද්‍ය විද්‍යාවත් එකට කෑටි කොට ගත්, අපෙන් ඉතා වේගයෙන් පල්ලමට තල්ලු කරන්නා වූ අපේ ම ඉතා වටිනා දේ ම ය.
එහිලා කතුවරයා පාදක කරගන්නා වූ වස්තු විෂය නවමු අයුරින් ඇමිණීම පාඨකයාට දනවන්නේ මහත් වූ අහ්ලාදයකි. ප්‍රස්තුතයට අදාළ කරුණු කාරණා පාඨකයාගේ සිත් ඇඳ බැඳ ගනිමින් මුල සිට අග දක්වා, හිතට නේකාකාර කරුණු හාරා අවුස්සා බලන්නට, අප හිත යොමු කරවන්නට කතුවරයා ගෙන ඇති උපාය, උපක්‍රම හෙවත් විධික්‍රම අපූර්වත්වයෙන් ම පිරුණකි.
ඔහු කතාව අරඹන්නේ පළමුවන අන්දරය යන හිසිනි. එවන් අන්දර විසි දෙකක් ඔස්සේ අප සිත් සතන් ඇද බැඳ ගෙන පිටු 368 ක් පුරා අප කැන්දන් යන්නේ අපේ පැරැන්නන් විසින් පෙර ඉසිවරයින්ගෙන් උකහා ගත් නොපෙනෙන බලවේග හෙවත් අස්පර්ශනීය දෑ ඔස්සේ ද, හෙළ ජන සමාජයේ මිනිස් වගට වැළඳෙන්නා වූ රෝගාබාධා සුව කරන්නට කැපව හුන්, වෙදැදුරකු හා කට්ටඬිරාල කෙනකු සේ ප්‍රචලිත චරිතයක් ඔස්සේ ය. ඒ ආශ්‍රිතව ගොඩනංවන කතාවක් එසේ මෙසේ සුළුවෙන් තැකිය හැකි සිල්ලර දෙයක් නොවේ..
''සුන්දරමානාගේ අඩි දික් විය. දිගු අඩි හෙමින් හෙමින් පින්න වැටුණු පඳුරු මත තැබූ පය එසවූ විට ඊට සමානව තැළී ගිය තණකොළ මත පාද සළකුණු එක පේළියට දිස් වෙමින් තිබුණි. එය හෙමින් සේ ගිය ඉක්මන් ගමනක් විය. පාද මාරු වුණේ වේගයෙනි. උරහිසකින් රූටා හැළුණු රෙදි පොට ඔහු ගසා දමා යළිත් උර මත රඳවා ගත්තේ ය. තමන් ඒළි බැස්සේ කළු කහ ඒළිය වැටෙන යාමයේ ය. තවමත් තමන් පසු කරන්නේ පෙරදා රැයේ සිහිනයෙන් කී මඟ විස්තරය යි. ඔහුට දියකඩ හමුවිය. ඉන් එතෙර වෙද්දී තෙමුණු සරමේ වාටිය වියළී ගොසිනි. තවත් දුරක් යද්දී පොල් ඉරටු පෙනෙන යාමයේ ළා හිරු රැස් රූස්ස ගස් අතරින් ඔහු කරා ආවේ ය. රූස්ස නැඟි ගස් අතරින් ඔහු අහස බැලී ය. හිරු ආලෝකයෙන් අලංකාර වෙමින් සිටී. දුර ඈතින් වැටෙන හිරු ඒළිය ගසක අතු අතර රැඳුණු පිනි බිඳුවලට දිලිසෙන හැටි කියා දෙමින් තිබුණේ ය. නැඩ දඬු ලේනෙක් අත්තකින් අත්තකට පැන්නේ පහළින් දිගු අඩි තබමින් යන සුන්දරමානයන්ට බියෙනි. අතු එකින් එක සුන්දරමානගේ හිස මතට වැටෙමින් තිබුණි. ඔහු හිස ගසා දැමුවේ ය. දිගු කෙස් වල්ල වටයක් කරකැවිණි. කැරකුණු කෙස් මත රැඳුණු පිනි ඔහුට පෙරින් විසි වී ගියේ ය. ඔහු එය දුටුවේ පිනි මත පතිත හිරු එළියෙන් දිලිසී යද්දී ය.
බලන්න පේළී දහඅට හමාරක් වූ චම්මින්ද ගේ ස්වප්නේශ්වර කෘතියේ ආරම්භක පරිච්ඡේදයේ ආරම්භක ඡේදයේ විසිර ඇති චිත්ත රූප! ඔබ හිතේ කෙසේ ඇඳෙන්නේ දැ යි කියා. සමස්ත නිර්මාණයෙහි ම පාඨක හිත් හතන් හි අපූර්ව, අපූර්ව වූ නේකවිධ රූපාකායන් මෙන් ම, පරිසරය ද ඔහු සිතුවම් කරන්නේ අති දක්ෂ සිත්තරකු, සිය තෙලිතුඩින් චිත්‍ර අඳිනා සේ, හේ සිය පන්හිඳෙන් ඒ කාර්යය අති ප්‍රබල ලෙස කරන්නේ ය.
චම්මින්ද වෙලගෙදර නම් කතාකරුවාගේ පරිකල්පන සවිය සමස්ත කෘතිය පුරා ම එක විදියට දිස්වන්නේ හේ නිර්මාණකරණයේ දී අදාළ අදාළ චරිතවලට විශ්මයජනක අයුරින් ආරූඪවී ඇති ආකාරය අපට පසක් කරමිනි.
තමා එකලස් කරගත්තා වූ අත්දැකීම්වලින් ඔහු සිතුවම් කරන්නේ කලාවත් ජනතාවත් අතර ඇති සබඳතාවය තව දුරටත් රැක්මේ අභිලාෂයෙනි. බොහෝ නිර්මාණකරුවන් හුදෙක් උත්සාහයක යෙදෙන්නේ පාඨකයා රසාස්වාදයෙන් හීන තැනක රඳවා ගන්නට යි. ඒත් චම්මින්ද නම් මේ කතාකරුවා අප කැන්දන්යන්නේ අලුත් මානයකින් හිතන්නට අපේ මුතුන්මිත්තන් සතුව පැවති දැනුම ඔස්සේ යහමඟට පිය නැඟිය යුතු බව කියන්නට යි.
මෙහි නව නළු රසය ම ගැබ්ව ඇතැ යි මට සිතේ. හැබැයි ඉතා ම සංවර අයුරින් හේ සිය පන්හිඳ හසුරුවන්නේ නිර්මාණකරණයේ දී සිය නිපුණතාව වඩාත් ඔප් නංවමිනි.
මෙහි භාවාර්ථය ඔබට මෙන් ම මට ද පහසුවෙන් වටහා ගත හැක්කේ ය. එහෙත් ඔහු විස්කම් ලෙස හසුරුවන බස් වහර පාතරට ගැමියන්ගේ වහරයි. ඔහු පාතරට මෙන් ම උඩරට ද, නැගෙනහිර මෙන් ම උතුරුකරේ ද සති ගණන් මාස ගණන් සැරිසරමින් සිය තොරතුරු මල්ලට දමා ගත්තා වූ ඒ වචනවල ඇති අපූර්වත්වයට චම්මින්ද ජීවය ලබා දෙන්නේ නිසි තැනට නිසි සේ ගලපනා වාග් මාලාවකිනි. පාතරට මිනිසුන් ගේ අද යම් යම් වෙනස්කම් කතා බහේ දී දැකගත හැකි නමුදු ඔහු අදින් හවුරුදු දෙසියකට, එකසිය පනහට වගේ පෙර සිද්ධියක් කියාපෑම ද රසයෙන් අනූන ය. කන්ද උඩ රට හා පාතරට බස්වහර ඇවැසි තැන දී ඇවැසි පරිදි උපයෝගි කර ගනිමින් සුන්දරමාන නම් යද්දෙස්සා ගේ, භූතාචාර්යවරයා ගේ, පත්තිනිරාල ගේ, පත්තිනිහාමිගේ නොඑසේ නම් වෙදරාල ගේ බහුබුද්ධිතාව මෙන්න මේ යැයි චම්මින්ද අපට හිතන්නට යමක් ඉතිරි කරයි. ඔහු ඒ වෙනුවෙන් බෝ වෙහෙස මාන්සි වී කරන ලද පර්යේෂණයකින් අනතුරුව මේ නිර්මාණය හෙළයේ මිනිසුන්ට දායාද කරැති බව ඉතා පැහැදිලිව දැකගත හැකි ය.
මාතර දිසාවේ බොහෝ යන්ත්‍ර මන්ත්‍ර, තොවිල්පවිල්, සෙත්සාන්ති කරන්නට මහත් හපන්කම් ඇති කට්ටඬිරාලලා ගැන රට පුරා ඇත්තේ මහත් ප්‍රසිද්ධියකි. අණවින, කොඩිවින, කැපිලි කෙටිලි, හදිහූනියම්වලට මෙන් ම වශීගුරුකම්වලට ද දුරාතීතයේ පටන් ප්‍රසිද්ධියක් මාතර දිහාවට හිමිව පවතී. මාතර පැත්තේ මිනිසුන් කෙරහි අවශේෂ ප්‍රදේශයන් හි පවතින මතය එදා මෙන් අද දවසට ද වලංගු බවක් ඇත්තේ ය. ඉදින් චම්මින්ද ප්‍රස්තුත කර ගන්නේ එවන් සුප්‍රසිද්ධ පරපුරක චරිතයකි. ඒ සුන්දරමාන නම් වෙදරාල ය. කට්ටඩි උන්නැහේ ය.
සිය පරම්පරාවෙන් උරුම වූ ඒ උතුම් දායාදය සුන්දරමාන යොදා ගන්නේ ජන සමාජයේ ශාන්තිය පිණිස යි. ඔහුගෙන් ප්‍රතිකාර ලබාගන්නට පැමිණෙන ගලේවල පැත්තේ පිරිසකගෙන්, ඒ ප්‍රදේශය පුරා පැතිරැති රෝබියක් මැඩලන්නට, ඇරයුම් ලබන සුන්දරමාන හා ඔහුගේ හිතවත් යකැදුරන් කණ්ඩායමක්, කරන්නා වූ ගම්මඩු යාගයක් ගැන කතාකරුවා අපට කියයි. එහිලා ඔහු ගම්මඩු ශාන්තිකර්මයක් මුළුමණින් ම ඉතා රසවත් බස්වහරකින් ඉදිරිපත් කරනා අයුරු....
රිය අනතුරකින් කොළඹ වෛද්‍ය විදුහලේ සිසුවකු ගේ කකුලක් කුඩු පට්ටම්වීමෙන් පාදයේ කොටසක් කපා ඉවත් කරන්නට, බටහිර වෛද්‍යවරුන් හෙවත් දොස්තර මහත්වරු නිගමනයකට එළඹි අවස්ථාවේ, එහි වෛද්‍ය සිසුවකු සේ ඉගෙන ගන්නා සුන්දරමාන ඇත්තන්ගේ පුත් සුදාරක, සිය පියාණන් ලවා දේශීය වෙදකමේ හාස්කම් පෙන්වමින්, ඒ තරුණ වෛද්‍ය සිසුවා සුවපත් කරන්නට තත්පර වන අයුරු ඔහු අපට කියන්නේ අප අමතක කරැති අපේ උරුමයේ මාහැඟි අගය පෙන්වා දෙමිනි.
රෝගී වෙද සිසුවා ගේ පාදය එළු ඇටයක් හා කුකුල් ඇට කැබැල්ලක් බද්ධ කර සුවපත් කළ විට, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට වෙද විදුහලේ ප්‍රධානියා, මාතර දිසාපතිවරයා පොළඹවන්නට කැස කවනා හැටි චම්මින්ද පෙන්වා දෙන්නේ, අපේ දේ අපට අගේ නැතැ යි යන්න, සිහිපත් කරවමින් අපට ටොකු අනිමිනි. අපේ පරගැතිකම ඔහු වචන අස්සේ සඟවා කියයි.
බලන්න කෝ මේ වැකි කීපය.. ව්‍යුත්පත්තිය කෙබඳුදැ යි යන්න පිටුවෙන් පිටුවක් පාසා ඔබට අහුලා ගත හැකි ය.
ඔහු හෙළ ජන සමාජයේ පැවති සාමුහිකත්වය කෙබඳුදැයි පෙන්වා දෙන්නේ, එය ඉතා ශීඝ්‍රයෙන් කම්මුතු වෙමින් පවතින අයුරු නොකියා ය. ලේඛකයා ගේ විචිත්‍රවත් සරල සුමග වචන රසාලිප්තය.
''කවුරු කවුරුත් හොඳයි දැන් හිත තියා ගන්න එක. අපි මේ සේන්දු වෙලා තියෙන්නේ අපේ අහකට නොවන විත්තිය. මේක උඩරට. අපේ ඇවතුම් පැවතුම්වලට වඩා වෙනස්. අපේ කතාබහත් ඒ ඇඅත්තන්ට අමුතු වෙන්න පුළුවන්. ඒ හන්දා ආව වැඩේ නම්බු තියාන කරාන යන්න ඕනෑ. කතාබහ, ඉඳුම් හිටුම්, කෑමබිම ඔක්කොම ගුරෙකුට ගැළපෙන විදියට තියෙන්න වෙයි. අකුරුගොඩ දරුවෝ මේ වැඩිහිටිගුරුන්නාන්සේලාගේ වචනෙට පිටින් යනව හෙම නෙවෙයි. ඒ වගේ ම තමා මෙහේ එක එක ඇත්තෝ ඒකට මේකට කතා කරාවි. එව්වා දිහා බලන්න පුළුවන් ආපු කාරිය නිමවලා. අපි දවසක් විතර විවේක ගන්නවා. එදාට මේ තහංචි මං අරෝනවා" (පිටුව 117)
''හැමතැන ම එක ම දේ තමා. අපේ අහත් ඕක ම නෙවැ වෙලා තියෙන්නේ. මේ ඉන්න පරම්පරාවත් නැති වුණා ම මෙව්වා සේරම කම්මුතුයි. කවුරු කොහොම කොරාවි ද කියල උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ"
''තවෙකක් කපුපත්තිනි හාමිට කීව ම මොකෝ. මේක කරන්නේ ඔය අඩු කුලේ අය පමණක් කියලනෙ මෙයාල හිතන්නේ. ඒකත් මේ සාස්තරේ තැන වැටෙන්ට හේතුවක්"
''ඒක එහෙම ම කියන්නෙ කොහොමෙ ය? එහෙව් අය නිසා නෙවේ මේ ශිල්පෙ රැකිල ඇත්තේ. එහෙම ය කියල මේ දේව පූජාවක් වෙච්චි කංකාරියක් අපි මානෙන් ලුහුටා යන්න දෙන්න නාකයි"
''සුන්දරමාන ගම පුරා ඇවිද ගියේ ය. ඔහු හැම ගෙයක් වටා පිටාව සේ ම හරක් ගාල් ද ඒ බැල්මට හසු කර ගත්තේ ය. වතුපිටි සියල්ල පිරිසිදු ය. ගලාගෙන යාමට තිබූ ඇළ දොළ ද ශුද්ධ කර තිබුණි. හිස්ව ගිය ඉඩම් කැබැලිවල පවා පඳුරු ගලවා ගිනි ලා තිබුණි. සාරයක් නැති වුව ද පොල් ගස්වල හනසු පවා ගලවා ශුද්ධ කර තිබුණි. බොහෝ ගෙවල්වල බිත්තිවල නිල් කුඩු කලවම් කොට වැරටි ගා තිබුණේ ය.(120 -121)
රියැදුරා සියලුම දෙස බලා නෙත් නවතාලූයේ තමා සමඟ ආ මහත්තයා වෙත ය. ඔහු දෙවැනි අග්ගලාව ද කමින් සිටියේ ය. වැලි හකුරු කැබැල්ලක් සමඟ ඔහු බීවේ නිල් පාට බීමකි. හකුරු නැතත් එහි වූයේ මිහිරි රසයකි.
''ආයුබෝවන්ඩ මොනවද මේ බීම හරිම අමුතුයි අපූරු පාට"
''මං හිතන්නේ ඔය ඇත්තන්ට කොළඹ පළාතේ ඕවා නැතිව ඇති. ඕක හදල තියෙන්නේ මොණර කුඩුම්බියයි නිල් කටරොල් මලුයි එකට තම්බලා (පිටුව 311)
හෙළ වෙදකමේ විශ්මය දනවන ප්‍රතිකාර විධි රටට ලොවට කියා පාන්නට චම්මින්ද ගෙන ඇති වෙහෙස බොහෝ ය.
''කොහොම ද මයෙ මුනුබුරේ, කියාපන් විස්තරේ. ඔය පුටුව අරන් වාඩි වෙයන්"
''ආනේ ඕං මට හිනාවෙන්නෙපා. ආතයි තාත්තයි තරම මට දැනීම නැතුවට, ලෙඩාගේ හාර්ට් බීට් එක ඒ කියන්නේ තාත්තේ හෘද වස්තුවේ ගැස්ම, මුලින් දැනුණේ තරුණ කෙනකුගේ ප්‍රමාණයට. වඩා අඩුවෙන්. ඒත් හැත්තෑ දෙවැනි තත්පරේ ඉඳන් අනූව විතර යනකොට ඒක සාමාන්‍ය තත්ත්වෙට ආවා. ඒත් ඒක සියයට විතර යනකොට ආයෙත් ටිකක් වෙනස් වෙන්න ගත්ත. එහෙම ගිහින් එකයි දොළහ තප්පරේදි ඉඳන් ආයෙත් වැඩි වෙන්න ගත්තා" (316)
''පුතා කීව තත්පර ගාණ හරියට ම හරි මාමේ. ඒ විදියට ම තමයි ඒක වෙන්නේ. ඒත් අර එකසිය දොළහේ තත්පරේ ඉඳන් වෙනස් වෙන්න ගන්නකොට ලෙඩාගේ හදවතේ පොඩි හිරවිල්ලක් එන්න හදනවා. අපි මේ ලෙඩාට මොනව කළත් මුලින් අපි ගස් නිවිි, ඇඹරැල්ලා, මුරුංගා වගේ දේවල් සතියක් විතර කන්න දෙන්න වෙනවා. ඒ වගේ ම ඇඟ නිවෙන්න කසාය ජාති තුන හතරක් දෙන්න වෙයි. එළඟි තෙල්, එළුකිරි මුහුන් කරලා, එතකොට පුතේ අර විටෙන් විට හුස්මේ රාවය වෙනස් වෙන්නේ මේ ලෙඩාගේ කකුල කුඩුවෙච්චි තැන්වලින් එහා මෙහා යන නහර වැල් තැළිල. ඒ තැන්වලින් ලේ එහා මෙහා යන්නේ හෙමින්. ඒ වෙලාවටයි ලෙඩාගේ ඇට වටේ තියෙන කුඩු වෙච්චි ඇට කෑලි මස් එක්ක තෙරපෙද්දි ඒ වෙනස එන්නේ" (පිටුව 316)
සිය එකම පුතා සුදාරක බටහිර වෛද්‍ය විද්‍යාව හදාරයි. අනතුරකට ලක්වී මෙන් පාදයක ඇට කුඩු පට්ටම් වීම නිසා ඒ කකුල කපන්නට වෛද්‍යවරුන් ගත්තු තීන්දුව ගැන කියන චම්මින්ද සිය මිතුරු වෛද්‍ය සිසුවාගේ පාදය දේශීය වෙදකමේ බලමහිමයෙන් තම පියාණන් ගේ වෛද්‍ය ශාස්ත්‍රයේ මහිමයෙන් සුවපත් කරන අයුරු මෙහි අවසාන භාගයේ දී විස්තර කෙරෙයි.
සුන්දරමාන බ්‍රහ්ම මූර්තියෙන් බෙහෙත් තුන ම රෝගියාට කළේ ය.
''බය වෙන්න එපා දරුවා තව ටිකකින් නින්ද යයි. ඔය දරුවා ඇහැරෙන්නේ කකුල සනීප වෙලා" (පිටුව 344)
''අයියේ අද මාතර දිසාපතිතුමා එනව කීවා මෙහෙට්ට. තව කොළඹිනුත් කට්ටියක් එක්ක"
22 වැනි අන්දරයේ ආරම්භක පිටුවේ අවසන් වැකිය යි ඒ.
සුන්දරමානට ආයුබෝවන් කීවේ දෑත් එක්කොට ය. සුදාරක සරමක් ඇඳගෙන ය. පැමිණි අමුත්තන් කාමරයට ඇතුළු වෙද්දී සුදාරකට උන්හිටි තැන් අමතක විය. ඔවුහු ඔහුගේ වෛද්‍ය විද්‍යාලයේ ගුරුවරු වූහ. ඔහු වහා දිව ගොස් ඔවුන් පිළිගත්තේ දිසාපතිතුමාට ආචාර කරමිනි. අනිත් අය පුතාගේ විදුහලේ ගුරුවරු බව කියන විට ඔහුට කරුණු වැටහිණී. දිසාපති සුන්දරමානගේ කාමරයේ පිරිසිදු කමට, බොහෝ රුචි විය. ඔහු මුලින් ම ඇසුවේ සුන්දරමානගේ පරපුර ගැන ය. සුන්දරමානගේ බිත්තියේ එල්ලා තිබු සුදු මහත්වරුන් සිටින පින්තුරයක් දැක ඔහුට ඒ ගැන විස්තර දැනගත යුතු විය. සුන්දරමාන කියූ කරුණු අසා ඔවුන් පුදුම වෙද්දි සුදාරක එය ඇසුවේ පළමු වරට ය. එම කතාව ඇසූ සැණින් දිසාපති, සුන්දරමාන වැලඳ ගත්තේ ය. සුන්දරමානගේ සීයා සුවපත් කර තිබුණේ දිසාපතිගේ මවගේ මව ය. ඒ මොහොතේ ම ඔහු කීවේ 'එහෙම නම් මට මේ වෙදා ගැන කිසිම දෙයක් හොයන්න ඕනෑ නෑ. මෙයාලා ගැන මගේ මුත්තා ලීව දින සටහන් සියල්ල තමා වෙත ඇති බව'' යි. (පිටුව 355)
''තාත්තේ අර බෙහෙත් බෝතල් දෙකත් ගේන්න අලුත හිඳපු"
දොස්තර කණ්ඩායමට අවශ්‍ය වූයේ කුකුළු ඇට සහ එළු ඇට මිනිසාට බද්ධ කරන්නේ කෙසේ ද කියා ය. සුදාරක ඔවුන්ට පැහැදිලි කර දුන්නේ ය.
How can we believe this?
(කොහොම ද මේවා විශ්වාස කරන්නේ?)
වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානියා කීවේ ආවේශ වූවකු මෙනි. ඒ සමඟ ම ඔහු සිය මුහුණ සුදාරකට හැරවූයේ, "නුඹත් අපිට බොරු කරනවද?" කියා අසන්නාක් මෙනි. සුදාරක වහාම ඔහුගේ බැල්ම කියවූයේ ය. (356)
"Governor Sir, How can we do this? There are no facilities to perform such a serious operation' This is an utter joke'''
(මට මේක කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. ජි. ඒ. හිතන්න මේක ලොකු ඔපරේෂන් එකක්. ලැබ් එකක් නෑ. කිසිම පහසුකමක් නැතිව කොහොමද එතකොට මේ වගේ මහා ලොකු දෙයක් කරන්නේ? මෙයාලා අපට විහිළු කරනවා)
''Okay - Did you visit the patient?''
(හරි දැන් ලෙඩා බැලුවද?)
"I would have thought the same if I didn't have my grandfather's notes, or if he was somebody else"
(මාත් ඔබ වගේම හිතාවි මගේ සීයගේ දින සටහන් නොකියවා තිබුණා නම්, එහෙම නැත්නම් එයා වෙන කෙනෙක් වුණා නම්) - පිටුව 356 – 357
චම්මින්ද සිය කෘතියෙන් නංවන්නා වූ උත්ප්‍රාසය අල්ලා ගැනීම අපහසු නොවේ.
පාසල් සිසුවකු සමයේ ලේඛන කලාවට නැඹුරු වී ඔහු ලද පරිචය උත්ත්‍රාසය දැනවෙන තැනට අඩුවක් නැතිව එක්කරන ඔහු හැම වචනයක් ම ඊට සරිලන සේ ගලපා ඇති අයුරු ඔහුගේ පරිචයේ තරම කියා පාන්නා සේ මට සිතේ. උචිතානුචිත වදන් කෝෂ්ඨාගාරයක් සතු නිර්මාණකරුගේ නුවණ කෙතෙක්දැයි කියා අපට හිතන්නට ඔහු අපට ඇරයුම් කරන්නේ යැ යි ද මට සිතේ. ප්‍රබන්ධයක ජවය, මිනිය හැක්කේ ලේඛකයාගේ පරිකල්පනීය ශක්තියේ ඔද තෙද බවින් නම් චම්මින්ද වෙලගෙදර සතුව එය අඩුවකින් තොරව පවතින බව හේ අපට නොකියා කියයි.
වියැකෙමින් පවතින, අපේ පැරැන්නන් සතුව පැවති සිල්ප ශාස්ත්‍ර රැක සංවර්ධනය කර ගත යුතු බව සුන්දරමානගේ වෙදරාල, යද්දෙස්සා ගේ චරිතයත්, සුදාරක නම් බටහිර වෛද්‍යවරයකු වී මේ දෙදැනුම පෝෂණය කරන්නටත් පියවර ගන්නා වෙදපුතුත් ඈඳාගෙන කතුවරයා රටේ පාලකයන්ටත්, පොදු මහ ජනයාටත් ඉඟි කරන්නේ ඔහු සතුව පවතින මාහැඟි මිනිස්කමෙහි අරුත පෙන්වමිනි.
මෙහි කිසියම් දොසක් වෙද ඒ නිල්වලා ගඟ පාදක කොටගත් දෙැනක හෝ තෙතැනක ගංගඟ යනුවෙන් වූ සඳහන ම පමණකි. එය වඩාත් විමසිල්ලකින් හා අවබෝධයකින් කියවන පාඨකයකුට හැර අනෙකකුට හසු නොවනු ඇත. චම්මින්ද වෙලගෙදර ගේ ස්වප්නේශ්වර නම් මේ අගනා නිර්මාණය ලෝක සාහිත්‍ය කෘති අතර සැරිසරන කෘතියක් වේ නම් ඒ කවර අගයක්ද? මේ අදහස, යෝජනාව කතුවරයා ගේ හා ප්‍රකාශකගේ අවධානයට යොමු වෙත්වා!
ඉංග්‍රිසි බසටත් තවත් භාෂා කීපයකටත් පෙරළුව හොත් එය ආදි හෙළයන්ගේ විශ්මිත සිල්ප සාස්තරය මේ යැයි කියා ලොවක් මවිත කළ හැක්කේ ය. ජයසේන නම් රෝගී සිසුවාගේ පාදය සුව කරනා සුන්දරමාන වෙදරාල ඔහු උසාවි කැන්දන් යන්නට ආ බලපුළුවන්කාරයින් ඉදිරියේ ම පෙර දිනෙක තමන් විසින් සිඳගන්නා ලද බෙහෙත් තෙලකින් සැත්කමෙහි දී සිදුකරන ලද කිසියම් කැපුම් සලකුණක් වෙද ඒ ඖෂධීය තෙල් ගැල්වීමෙන් පසු මැකුණු අයුරු මාතර දිසාපතිවරයාත්, වෛද්‍ය විද්‍යාලයේ ලොක්කන් හා සොක්කන් අන්දමන්ද කරමින් විශ්මයට පත් කරමින් දැක්වූ හාස්කම බාහිර ලෝකයා වෙත සන්නිවේදනය වන්නේ ය යන්න සටහන් කිරීම වටී.
- විශ්වජිත කපුමුල්ල -