ජගත් ගේ සතියේ සටහන - 74
පළාත් පාලන බල පොර
පසුගිය මැයි 06 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 178 ක බහුතරය කිසිදු පක්ෂයකට හිමි වුණේ නැහැ. මේ නිසා මෙම පළාත් පාලන ආයතනවල බලය අල්ලා ගැනීම සඳහා ජාතික ජන බලවේගයත්, සමගි ජන බලවේගයත් පසුගිය සති කිහිපය තුළ දැඩි උත්සාහයක යෙදී සිටියා.
සමගි ජන බලවේගයේ අපේක්ෂාව වුණේ විපක්ෂයේ සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් එක්කර ගෙන අවම වශයෙන් පළාත් පාලන ආයතන 100 ක බලය ලබා ගැනීම යි.
එහෙත් ජාතික ජන බලවේගය ද ඒ හා සමාන උත්සාහයක් දරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කළේ ඔවුන් ගේ සහාය තම පක්ෂයට ලබා ගැනීම සඳහා යි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ දෙපාර්ශ්වය ම දැඩි උත්සාහයක යෙදී සිටියා.
ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමේ මෙහෙයුම භාර දී තිබුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ද වන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතාට යි. ඔහු වැඩි අවස්ථාවක් යොමු කළේ කොළඹ මහ නගර සභාවට තේරී පත්වී සිටින සුළු පක්ෂ හා කණ්ඩායම් වෙත යි.
පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සබාවේ හිමිවී තිබුණේ මන්ත්‍රී ආසන 48 ක් පමණ යි. එහි බලය ලබා ගැනීමට නම් ආසන 60 ක් අවශ්‍ය ව තිබුණා. එම පක්ෂය නගරාධිපති අපේක්ෂිකාව ලෙස නම් කොට තිබුණේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය යි. ඇය නගරයේ ජනතාව අතර ජනප්‍රිය චරිතයක්.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස නම් කොට සිටි රීෂා ෂරූකට එම පක්ෂයේ ම පිරිසක් විරෝධය පළ කොට තිබුණා. එම විරෝධයේ මූලිකත්වය ගත්තේ හිටපු ජ්‍යේෂ්ඨ නාගරික මන්ත්‍රීවරයකු වන ටෝනි රිච්සි ය. ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රීෂා සරූක්ට තම සහාය නොදෙන බව ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභා සටන මෙහෙය වූයේ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් විසිනි.
මේ අතර සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 178 ක බලය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ යන පක්ෂ සමඟ සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණ සිටියා. ඒ අනුව පළාත් පාලන ආයතන 88 ක සභාපති හා නගරාධිපති තනතුරු සමගි ජන බලවේගයටත්, ආයතන 20 ක සභාපති හා නගරාධිපති තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, පොදුජන එක්සත් පෙරමුණට තනතුරු 8 ක් සහ එක්සත් ජාතික පක්ෂයට මුල්පුටු 4 කුත් ලබා දීමයි එකඟතාවය ඇති කරගෙන තිබුණේ.
ජනාධිපති ගෙන් පොරොන්දු පිට පොරොන්දු!
කොළඹ මහ නගර සභාව පිහිටුවීම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දැඩි උනන්දුවකින් පසුවූ අතර ජාතික ජන බලවේගයට සහාය දෙන පක්ෂ හා කණ්ඩායම් ගණනාවක නාගරික මන්ත්‍රීවරුන් පිරිස පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ගෙන්වා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තා.
කොළඹ මහ නගර සබාව පිහිටුවීමෙන් පසු එහි කාරක සභා රැසක සභාපති තනතුරු මෙම මන්ත්‍රීන්ට ලබා දෙන බවටත් ඔවුන්ගේ ඡන්ද කොට්ඨාසවල පොදු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මධ්‍යම රජයේ සහයෝගය දෙන බවටත් ජනාධිපතිවරයා ඔවුන්ට පොරොන්දු වූ බව ද දැනගන්නට තියෙනවා.
මේ අතර මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට සහාය දෙන මන්ත්‍රීවරුන් 60 දෙනකුගේ ලැයිස්තුවක් සකස් කොට එයට ඔවුන්ගේ අත්සන් ද ලබාගෙන තිබූ බව ද වාර්තා වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමේ දිනට කලින් දිනයේ සුනිල් වටගල මහතා ගෙන් තත්වය විමසා ඇති අතර ''අපි ස්ථිර වශයෙන් ම දිනනවා. දැනට 55 ක් ඉන්නවා. රහස් ඡන්දයක් තැබුවොත් අපට 61 ක් ස්ථිර වශයෙන් ම ගන්න පුළුවන් වේවි" යැයි වටගල මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
නගරාධිපති හා උප නගරාධිපති පත්කර ගැනීම සඳහා කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම පසුගිය 16 වැනිදා පලාත් පාලන කොමසාරිස් සාරාංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරුන් 117 දෙනා ම පැමිණ සිටි අතර විපක්ෂය මෙහිදී නගරාධිපති පත්කර ගැනීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අතර ජාතික ජන බලවේගය පැවසුවේ එය රහස් ඡන්දයක් මඟින් සිදු කළ යුතු බව යි.
මේ පිළිබඳව දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරුන් සහාය දැක්වීමට යෑමෙන් උණුසුම් තත්වයක් ද ඇති වුණා. රහස් ඡන්දයක් ගැනීම සඳහා එයට කැමති මන්ත්‍රීවරුන් ගේ ඡන්දය විමසීමට පලාත් පාලන කොමසාරිස්වරිය සූදානම් වූ අවස්ථාවේ රෝයි බෝගහවත්ත මන්ත්‍රීවරයා නගරාධිපති තෝරා ගැනීමට කෙළින් ම රහස් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා. ජාතික ජන බලවේගය ද එයට කැමැත්ත පළ කිරීම නිසා කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වූවා. එහිදී ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61 ක් ලබාගෙන නගරාධිපති ධූරයට පත්වූ අතර ඇය සමඟ තරග කළ රීසා ෂරූක්ට ලැබී තිබුණේ ඡන්ද 55 ක් පමණයි. ඔහුට සහය දෙන බවට අත්සන් කොට තිබු මන්ත්‍රී 60 දෙනා ගේ ලැයිස්තුවේ සිටි 6 දෙනකු ද ඔහුට ඡන්දය දී තිබුණේ නැහැ.
මේ අයුරින් ම කොලොන්නාව නගර සභාවේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය දැඩි විශ්වාසයකින් කටයුතු කළ නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන සුනිල් කොස්තා මහතා ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් එහි නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයට හිමිවුණා.
ගාල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගය ජය ගත්තේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දුගේ සහාය ජාතික ජන බලවේගයට ලැබීම නිසයි. සහබන්දු මහතා උප නගරාධිපති සේ පත්වුණා.
විනයට පිටුපෑ මන්ත්‍රීන් ගේ සාමාජිකත්ව අත්හිටුවයි
සමගි ජන බලවේගය විපක්ෂයේ පක්ෂ සමඟ සම්මුතියකට පැමිණ තිබුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු, පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරුන් පක්ෂ තීරණවලට පටහැනිව ගොස් ජාතික ජන බලවේගයට සහාය දක්වා තිබෙනවා.
මේ අයුරින් ජාතික බන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් දඹුල්ල මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් 6 ක ගේ හා කොළොන්නාවේ හා ගාල්ල සජබ මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වය තහනම් කිරීමට එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පියවර ගෙන තිබුණා. 
ගාල්ල මහ නගර සභාවේ උප නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත සහබන්දු මහතා ගේ පක්ෂ සාමාජිකත්වය පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් තහනම් කොට තිබෙනවා.
වතුකරයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ලංකා කම්කරු කොන්ග්‍රසය, ජාතික ජන බලවේගය සමඟ එක්වී තිබුණා. ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලංකා කම්කරු කොන්ග්‍රසයට ද ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවට උප සභාපති ධූරය ද හිමිවුණා.
නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයටත්, උප නගරාධිපති ධූරය ලංකා කම්කරු කොන්ග්‍රසයටත් හිමිවී තිබෙනවා.
ජීවන් තොන්ඩමන් ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොන්ග්‍රසය ජාතික ජන බලවේගය සමඟ එක්වීම දේශපාලන ක්ෂෙත්‍රයේ කැපී පෙනෙන වෙනසක් බව දේශපාලන විචාරකයින් පවසනවා.
පිල්ලෙයාන් !!!
පසුගිය බදාදා වන විට බහුතර නොතිබුණු පලාත් පාලන ආයතන 68 ක් සඳහා ඡන්ද විමසීම් පවත්වා ප්‍රධානීන් පත්කර ගෙන තිබුණා. එයින් සභා 32 ක ම බලය ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට හිමිව තිබුණේ සභා 14 ක බලයක් පමණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 4 ක බලය හිමිකර ගෙන තිබුණා.
මේ අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ TMVP පක්ෂයට සහාය දී ඇතැ යි ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී රාසමානික්කම් මහතා චෝදනා කරනවා.
කොළඹ මහ නගර සභාව ඇතුළු බොහෝ පළාත් පාලන ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත්කර ගැනීම විවෘත ඡන්දයකින් සිදු කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය ඉල්ලා සිටියා. එහෙත් ජාතික ජන බලවේගය ඉල්ලා සිටියේ රහස් ඡන්දයක්. රහස් ඡන්දයක් පැවැත්වීමට සූදානම් වූ විට සීතාවක සහ මාවතගම ප්‍රාදේශීය සභාවල විපක්ෂ මන්ත්‍රීන් සභාවෙන් පිටව යෑමෙන් ගණපූරණය නොමැති හේතුවෙන් ඒවායේ ප්‍රධාන තනතුරු පතිකිරීම ඇණ හිට තිබෙනවා.
විපක්ෂය චෝදනා කරන්නේ පළාත් පාලන ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත් කිරීමේ දී රහස් ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධි බවයි. තමන් පත්කර එවූ මහජන නියෝජිතයින් කටයුතු කරන ආකාරය දැන ගැනීමට මහජනයාට ඉඩදිය යුතු බවයිඔවුන් පවසන්නේ.

පළාත් පාලන ඡන්ද පාර්ලිමේන්තු ඡන්ද හා ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් රහස් ඡන්ද පාවිච්චි කරනවා නම් පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයකු පත් කිරීමට රහස් ඡන්දය විමසනවා නම් කතානායක තේරීමට රහස් ඡන්ද විමසනවා නම් පලාත් පාලන ආයතනවල නගරාධිපති, සභාපති ආදි තනතුරුවලට රහස් ඡන්දයෙන් පත්කිරීම වරදක් නැතැ යි මේ ගැන අචහස් දක්වන මැතිවරණ කොමිෂමේ හිටපු සභාපතිවරයකු වන මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
වර්තමාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පසුගිය ආණ්ඩුවල හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින් 28 දෙනෙකුගේ දේපොළ හා වත්කම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වසින් විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
ඊට අතමරව හිටපු යුද හමුදාපතිවරයකු හා හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා ගේ වත්කම් පිළිබඳව ද එම කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කොට තිබෙන බව ද වාර්තා වෙනවා.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නිආරච්චි, කාංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දිලුම් අමුණුගම, මනූෂ නානායක්කාර, වඩිවෙල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්කම්, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, සහ ශාන්ත අබේසේකර යන අය පිළිබඳව විමර්ශන සිදුකරගෙන යන බවත් ළඟදීම ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන බවත් එහි ආරංචි මාර්ග පවසනවා.
කිරි එළදෙනුන් 15000 ක් දාහක් ගෙන්වන්න කෝටි 211 ක අත්තිකාරමක් ?
මෙම පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ඔවුන් අයථා ලෙස ඉපැයූ මුදල්වලින් දේපොළ මිලදී ගෙන ඇති බවට පාර්ශ කිහිපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි අනුව බවයි දැනගන්නට තිබෙන්නේ.
මේ අතර කිරි එළදෙනුන් 15000 ක් ගෙන්වීමට ඇණවුම් කර එයට අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 211 ක මුදලක් ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවා ඇතත් එකම එක කිරි එළදෙනක හෝ ශ්‍රීලංකාවට ගෙනැවිත් නැතිබවට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මෙම කිරි එළදෙනුන් 15000 ගෙන්වීමට ඇණවුම් කොට තිබුණේ 2018 දී බවත් මෙය හිතාමතා සිදු කොට ඇති බරපතළ මුල්‍ය වංචාවක් බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
ස්වාධීන අධ්‍යක්ෂවරුන් රාජ්‍ය බැංකුවලට !


රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16 ක් පවත්වා ගෙන ගියේයැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ හය දෙනකුට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණය මේ සතියේ නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට පෙරේදා (19) දැනුම් දුන්නා.
රාජ්‍ය බැංකුවලට ස්වාධීන අධ්‍යක්ෂවරුන් සොයා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගමකට පවරා තිබෙනවා.
මෙසේ රාජ්‍ය බැංකුවලට අධ්‍යක්ෂවරුන් සෙවීම බාරදී තිබෙන්නේ KPMG නම් සමාගමට යි.
කැබිනට් තීරණයක් අනුව මෙම පියවර ගෙනැති බවත් බැංකුවල ධාරිතාව ශක්තිමත් කිරීම, සහ ස්වාධීන අධ්‍යක්ෂවරුන් ගේ නියෝජනය වැඩි කිරීම හා එමඟින් ආයතන තුළ පාලනය සහ අධීක්ෂණය වර්ධනය කිරීම මෙහි අරමුණ බවත් මුදල් අමාත්‍යාංශය පවසනවා.
මේ තේරීම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට හා මඟ විශේෂ තේරීම් කමිටුවක් ද පත්කර ඇත යි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
- ජගත් -


