හයිකු කවියේ හැඩ රුව
ශ්‍රී ලංකා හයිකු ගමන් මග......
"හයිකු" යන වදන ශ්‍රී ලාංකික අපට යම් ආගන්තුක බවක් දැනුනාට ලොව බොහෝ රටවල ප්‍රචලිත වදනක්.කුඩා කල හයිකු යන වදන හා එයට අදාල කුඩා කවි සිඟිත්ත මගේ ඇස ගැටුණේ ජපන් පරිවර්තන පොතකින්.එදා ඇතිවූ
" හයිකු යනු කුමක්ද " යි යන කුතුහලය සංසිඳවා ගැනීමට හැකිවූයේ හයිකු පිළිබඳව අධ්‍යයනය කිරීම ඇරඹූ පසුවයි.
හයිකු යනු ඉතා කුඩා කාව්‍ය ශරීරයකින් යුතු ප්‍රබල කවි සිඟිත්තක්. ලොව කුඩා ම කාව්‍ය විශේෂය ලෙස සැලකෙන මෙහි නිජබිම ජපානයි. සියවස් ගණනාවක් පුරා විහිද යන හයිකු ඉතිහාසය ජපන් ජන ජිවිතය හා බද්ධව පවතිනවා. සෙන් බුදුදහමට අනුගතව හැඩගැසුණු හයිකු කවි කලාව ජපන් ජන ජීවිතය හා සොබාදම සමඟ ඒකාබද්ධව පවතිනවා. විදග්ග භාෂා ශෛලියකින් නොව සරල ජන වහරකින් අතීත හයිකු කවිය රචනා වී තිබෙනවා.
පුදුම ලෝකයක්
නෙලුම් මල් යටකර
සීසාන
- කොබයිෂි ඉසා -
අතීත ජපන් හයිකු කවීන් නිරන්තර සංචාරයේ යෙදෙන්නන්. නිරාමිස දිවියක් ගතකළ මොවුන් තනි තනිව හෝ තම ගෝලයින් සමග දුර්ග මංපෙත් ඔස්සේ නිරතුරු සංචාරයේ යෙදී තිබෙනවා. එහිදී ඔවුන් සරල ස්වාභාවික සංසිද්ධීන් ඔස්සේ සිත මෙහෙයවමින් හයිකු කවි රචනාකර තිබෙනවා. නමුත් මෙම කවි වලින් ගැඹුරු අරුතක් සනාතන දහමක් ප්‍රකාශ වෙනවා.
සකුරා බලන්නට යන
සළු පිළි පැළඳි
ඇටසැකිලි
පැරණි ජපන් හයිකු කවිය රචනා කිරීමේ දී සෘතුව හෝ කාලය පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වී තිබෙනවා. ජපානයේ බෙහෙවින් කැපී පෙනෙන සෘතු භේදයක් පවතිනවා. එබැවින් නිරායාසයෙන් ම හයිකු රචනා වීමේදී සෘතු භාවිතය එකතුවන්නට ඇති. නමුත් මේ සෘතුවල බලපෑම නිසා හයිකු කවියට එක්වී ඇත්තේ මනා චමත්කාරයක්.
දිගම දිග ගිම්හාන දවසක
වැල්ලේ රටා මවන
අපේ අලස පිය සටහන්
- ෂිකී -
ජපන් කාව්‍ය ක්‍රම අධ්‍යයනය කිරීමේදී වකා, රෙංගා, හොක්කු, හයිකු වැනි කාව්‍ය සම්ප්‍රදායන් ගණනාවක් ම දක්නට ලැබෙනවා. මේවා අතරින් බෙහෙවින් ප්‍රචලිත භාවයට පත්ව තිබෙන්නේ හයිකු සම්ප්රදායයි. නමුත් හයිකු ඉන් පෙර පැවති ජපන් කාව්‍ය සම්ප්‍රදායන් ගේ විකාශයක්.
අතීතයේ ජපන් කවින් අතර පැවති කාව්‍ය සම්ප්රදායක් තමයි රෙංගා කාව්‍ය සම්ප්රදාය. මෙම රෙංගා කවි, කවි වැලක ආකාරයට යි ගමන්කරන්නේ. කවීන් සමූහයක් එක්ව වාඩිවී පවත්වන කවි මණ්ඩපයක ආකාරයක් මෙහි දක්නට ලැබෙනවා. කවි මණ්ඩපයේ නායකයා නැතිනම් ප්‍රධාන කවියා මුල්ම කවිය රචනා කරනවා. ඉන් පසුව ජ්‍යෙෂ්ඨත්වය අනුව අනුක්රමිකව අනෙකුත් කවීන් පිළිවෙලින් තම කවිය රචනා කරනවා. හරියට අපේ හිටිවන කවි වගේ. නමුත් මේ කවි ඉතා කුඩා කවි. පසුව ගායනා කිරීමට දක්ෂ අයෙකු විසින් මේ කවි ගායනා කළ බවක් සඳහන් වෙනවා.
මෙසේ මෙම කණ්ඩායමේ සිටි ප්‍රධාන කවියා විසින් රචනා කරනු ලැබූ පළමු කවිය " හොක්කු " ලෙස හැඳින්වෙනවා. හයිකු කවිය මෙන්න මේ හොක්කු කවියේ විකාශයක් ලෙස සැලකෙනවා. මෙම හොක්කු කවිය හයිකු කවියක් බවට පත්කිරීමට මූලික වී තිබෙන්නේ සෙන් යතිවරුන්. එබැවින් හයිකු කවියට ශූන්‍යත්වය හා සැහැල්ලුව එක්වී තිබෙනවා. හයිකු යනුවෙන් හැඳින්වෙන්නේ " සැහැල්ලු කවිය " යන අර්ථයයි.
'වකා' යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ පැරණිතම කාව්‍ය සම්ප්රදායයි. වසර 3000 පමණ ඈතට දිව යන මෙය 'තංක' ලෙස ද හැඳින් වෙනවා. නමුත් මෙම කවි ලියා ඇත්තේ ඉහළ සමාජ මට්ටම් වල ජීවත් වූ ප්‍රභූන්, අධි රාජිනියන් වැනි අයයි. මෙම කවි පරිසරය හා සෘතුව වර්ණනා කරමින් ලියවුණු නිසඳැස් ආරේ කවි. නමුත් මෙම කවි රචනා වී ඇත්තේ විදග්ග භාෂාවකින්. එමෙන් ම මෙම වකා කවිය අතිශය සුන්දර කාව්‍ය විශේෂයක්.
දුර කඳු මතින්
රෑ සමය ඇරඹේ
බාධා විරහිතව
එය එළඹේ
මගේ සිත සන්සුන්ය
එබැවින්ම
මගේ නෙතද සන්සුන්ය
ඝන්ථා නාදය ඈතට පැතිරේ
වකා කවියක්
කුෂිමින් අධිරාජිණිය.
එමෙන්ම එකල කාලීන ප්රන හා ගැටලු සාකච්ඡා කෙරෙන කාව්‍ය විශේෂයකුත් තිබුණා. එය හැඳින්වූයේ " සෙන්රියු " නමින්.
අතීතයේදී ජපානයේ බොහෝ ප්‍රසිද්ධියට පත් හයිකු කවීන් ගණනාවක්ම සිටි බව සඳහන් වෙනවා. ඔවුන් අතරින් කිහිපදෙනෙක් තමයි මත්සුයි බෂෝ, කොබෙයිෂි ඉසා, බුසෝන්, ෂිකී. මොවුන්ගේ කවි රසයෙන් අනූනයි. එමෙන්ම අර්ථයෙන් පරිපූර්ණයි. මොවුන්ගෙන් වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ කවියා වන්නේ මත්සුයි බෂෝ. නමුත් කෙතරම් සමත් කවියෙකු අතින් වුවත් ජීවිත කාලය තුළ දී පරිපූර්ණ හයිකු කවි කිහිපයකට වඩා රචනා නොවන බවයි පැවසෙන්නේ.
වලාකුළු වරින් වර පැමිණ
විවේක දෙයි
සඳ දෙස බලාසිටින මිනිසුන්ට
- මත්සුයි බෂෝ -
සරුංගලය පාවෙයි
අහසෙහි
ඊයේ එය සැරි සැරූ තැනම
- බුසෝන් -
ජපන් හයිකු කවිය ලියනු ලබන්නේ මාත්‍රා අනුව. එනම් මාත්‍රා 17 ක් පේලි තුනකට යෙදීමෙන් හයිකු කවිය ලියවෙනවා.පළමු පෙළ මාත්‍රා පහක්,දෙවන පෙළ මාත්‍රා හතක් සහ නැවතත් තෙවන පෙළ මාත්‍රා පහක් ලෙස යෙදෙනවා, ජපන් භාෂාවේ භාවිතා වන්නේ රූපාක්ෂර.මෙම රූපාක්ෂර මාත්‍රා ලෙස යොදාගෙනයි හයිකු කවිය ලියවෙන්නෙ.හයිකු කවියකදී ආවේගයන්, මතයන්,තමන්ගේ තීරණයන් ඉදිරිපත් කරන්නේ නැහැ.
මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින් වෙළාගෙන
- මත්සුයි බෂෝ -
නමුත් වර්තමානයේ දී ලොව බොහෝ රටවල් හයිකු රචනයට එළඹ තිබෙනවා. ලොව භාවිතා වන විවිධ භාෂාවන්ගෙන් අද හයිකු රචනා වෙනවා. මෙහිදී ඔවුන් මාත්‍රා 17 කියන සම්ප්රදාය බිඳිනවා.
හඬන විලෝ තුරු යටින්
ආපසු එමි
වැසුණු නිවසට
" සඳට රහසින් පෙම් කළා මම " පොතින්
මුල් යුගයේදී ලාංකික අපිට හයිකු කවිය හඳුනාගැනීමට ලැබෙන්නේ පරිවර්තන ලෙසයි. ආරියවංශ රණවීර මහතා, නන්දන වීරසිංහ මහතා, දොස්තර ලංකා සිරිවර්ධන මහත්මිය වැනි ජ්‍යෙෂ්ඨ කවි කිවිඳියන් ජපන් හයිකු කවි සිංහලට පරිවර්තනය කර තිබෙනවා.
ලංකාවේ හයිකු කවි කලාව පිළිබඳව කතා කිරීමේ දී සිංහලෙන් හයිකු කවි ලිවීමට පෙළඹෙන්නේ පසු අවධියක දී යි. එහිදී පාලිත සේනාරත්න මහතා ප්රමුඛ වෙනවා. එතුමන් යටතේ වසර තුනකටත් අධික කාලයක් ශ්‍රී ලංකා හයිකු කවි කලාව හැදෑරීමෙන් පසුවයි මා මගේ" සඳට රහසින් පෙම් කළා මම" ශ්‍රී ලංකා හයිකු කවි පොත එළිදැක්වූයේ. ඒ පිළිබඳව මා පාලිත සේනාරත්න ගුරුතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හයිකු කවිය ලිවීමට පමණක් නොව එය කියවීමට හා රසවිඳීමටත් මනා හැදෑරීමක් තිබිය යුතුයි.
පැරණි ඔරුව
කවුදෝ තබා ගිය
අලුත් හබලක්
- පාලිත සේනාරත්න -
ජපන් හයිකු කවි කලාව හා ශ්‍රී ලංකා හයිකු කවි කලාව අතර පැහැදිලි වෙනස්කම් මෙන්ම සමානකම් තිබෙනවා. ලොව පවතින බොහෝ කාව්‍ය සම්ප්‍රදායන් අතර වැඩිම නීතිරීති ප්‍රමාණයක් අඩංගු වන්නේ ජපන් හයිකු කවි සම්ප්රදාය සම්බන්ධයෙනුයි. නමුත් සිංහලෙන් හයිකු රචනා කිරීමේදී මේ සියළු සම්ප්‍රදායන් හා නීති රීති ආරක්ෂා කරන්න හැකිවන්නේ නැහැ. මෙහිදී ප්‍රධාන වශයෙන් ම මාත්‍රා 17 කියන සම්ප්රදාය බැහැර කරන්න සිද්ධ වෙනවා. නමුත් මෙහිදී අවම වචන ගණනක් යොදාගෙන පේළි තුනකට කවිය ගොනුකරන්න උපරිම උත්සාහයක් ගන්නවා. ඒ වාගේම කවියේ අන්තර්ගතයත් ඉන් ලබාදෙන රසයත් පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. ඕනෑම කුඩා කවියක් හයිකු කවියක් වන්නේ නැහැ.
අර කන්ද පාමුල
මල් වැරුව ගස
තනිවම
"සඳට රහසින් පෙම් කළා මම "පොතෙන්
ලංකික අපට සෘතු භේදය නොදැණුනත් එහි අත්ත්දැකීම නොවින්දත් හයිකු කවියක් රචනා කිරීමේදී යම් කාලයක් හැඟවීමට උත්සාහයක් ගන්නවා. සෙන් බුදු දහමේ පෙන්වා දෙන්නේ වර්මාතනය පිළිබඳව පමණයි. අතීතය හෝ අනාගතය පිළිබඳව සැලකෙන්නේ නැහැ. එබැවින් හයිකු කවිය රචනා වන්නේ වර්තමානයේ සිටයි.
රාත්‍රිය සෙමෙන් පැමිණ
බලාසිටින හැටි
පහන් දල්වන තුරු
" සඳට රහසින් පෙම් කළා මම" පොතින්
එසේම තමන් මූලික නොවී තම මතයක් ප්‍රකාශ නොකරන ආකාරයට හයිකු කවිය රචනා වියයුතුයි. කවිය ලියා තියා තමන් එයින් නික්මෙන ආකාරයක් තමයි හයිකු කවියේ දක්නට ලැබෙන්නේ. සමහර කවි නාටකීය ආකාරයෙන් ඉදිරිපත් කරන අවස්ථා ද දක්නට ලැබෙනවා. ලොව බොහෝ රටවල් වල හයිකු කවි කිවිඳියන් සමග කරට කර හයිකු කවි රචනා කරන කවි කිවිඳියන් ද අප රටේ සිටිනවා. ඔවුන්ගේ කවි නිතර අන්තර්ජාතික සඟරා වල පළවෙනවා.
සරත් අහසට
තනි උකුස්සෙක්
ගෙනෙන තනිකම
- පාලිත සේනාරත්න -
මම කවදත් කෙටි කවියට ප්‍රිය කරන කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති මේ තරම් ම හයිකු කවිය කෙරෙහි නැඹුරු වීමට හේතුවක් වෙන්න ඇත්තේ. නමුත් බොහෝ දෙනෙක් කෙටි කවිය හා හයිකු කවිය පටලවා ගන්නවා. කෙටි කවිය බොහෝ නිදහස් කාව්‍ය මාධ්‍යයක්. එය අපට ඕනෑම ආකාරයකට නිදහසේ රචනා කරන්න පුළුවන්. නමුත් හයිකුවක් රචනා කළ යුත්තේ එයට අදාළ සම්ප්‍රදායන් හා නීති රීති රාමුවක් තුළ සිටයි. ඒ නිසා හයිකු ලිවීමට මෙන්ම කියවා රසවිඳීමට ද යම් අධ්‍යනයක නිරත විය යුතුයි.
එක මග ආ සඳ
මිදුලේ තනිකර
යමි ගෙතුළට
"සඳට රහසින් පෙම් කළා මම" පොතින්
මම තවමත් හයිකු කවිය අධ්‍යනය කරන්නියක්.
නමුත් මා ලද සීමිත දැණුම ඔබ සැම හා බෙදාගැනීමට හෙළදිව වෙබ් අඩවිය ලබාදුන් අවස්ථාව අගය කරමි.