උණුසුම් පුවත්දේශපාලන

සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි.

රනිල් ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත් තුමිය අධිකරණයේ දී පවසයි

අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි." හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරීමට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සඳහන් කළා ය.

මහේස්ත්‍රාත් ලංකාපුර මෙනෙවිය එසේ ප්‍රකාශ කරන ලද්දේ අද (26) දහවල් රනිල් වික්‍රමසිංහ මහතා එරෙහිව ඉදිරිපත් කරැති නඩු නිමිත්ත යළ කැඳවූ අවස්ථාවේ දී ය.

ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වික්‍රමසිංහ මහතාට එරෙහිව කරුණු දැක්වීමෙන් පසු ජනාධිපති නීතිඥවරුන් වන තිලක් මාරපන හා අනූජ ප්‍රේමරත්න යන මහත්වරුන් සිය සේවාදායකයා වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ඉල්ලා දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයෙන් ම අධිකරණයට ඉදිරිපත් කළ කාරණා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ දී කියුබාවේ පැවති සමුළුවට සහභාගි වී ආපසු එන ගමනේ දී එංගලන්තයේ ද කළ සංචාරයකින් රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිතාවේ යොදා ඇති බවට චෝදනා නඟමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඉකුත් 22 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු උසාවියෙන් හේ අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය කළ නියෝගය පරිදි ය.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව රෝගී වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදි. බන්ධනාගාරයෙන් ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් නොකළේ හෙතෙම තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ පසුවිය යුතු බව ඔහට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ගේ නිර්දේශය මත යි.

කෙසේ වුවද ඔහ ෂූම් තාක්ෂණය ඔස්සේ විනිසුරු ලංකාපුර මෙනෙවිය විසින් පිරික්සන ලදි.