මගෙ ගෙට අදින් නව වස කට පෙර දිනෙක - ඔබ ආ බව ඇතිදැයි නොදනිමි මතක
ගරු ජනාධිපති තුමනි!
මගෙ ගෙට අදින් නව වස කට පෙර දිනෙක
ඔබ ආ බව ඇතිදැයි නොදනිමි මතක
සේවය නිමා කළ දිගු තිස්නව වසක
මම හෘද ශල්‍ය වෛද්‍යවරයෙකි විශ්‍රාමික
ගරු ජනපති තුමනි ලක හරසර ලැබුව
අවසර පතමු කියනට මේ අවනඩුව
මොරටුව වෙද සිසුන් මව්පිය එකමුතුව
වෙමු අපි වික්ෂිප්ත වූ තැවුලෙන් යුතුව
අදින් සිවු වසරකට වාගේ පෙරදී
මොරටුව වෙද විදුහල අරඹනා ලදී
යටිතල පහසුකම් යන්තම් සපයාදී
කළ ඒ දෙයින් දරුවෝ අදද දුක් විඳී
පුහුණුව සායනික මේ වෙද සිසුවන්නේ
කළුතර රෝහලෙයි දෙවසක් ලැබ දුන්නේ
මහාචාර්ය ඒකක එහි නැති හෙයිනේ
ලොකු ගැටලුවක් අවසන් වස පැන නැඟුණේ
අවසන් වසරෙ වෙද සිසු පුහුණුව දැඩිය
එය සිදුවන්නෙ මහැදුරු ඒකක තුළය
එයයි වෛද්‍ය සභාවේද නියමය
එය ඉටුකර දෙන්න කළුතර අසමත්ය
මේ ගැන බොහෝ කලකට පෙරදී දැකලා
විකල්පයක් වශයෙන් සලකා බලලා
නෙවිල් ෆ්‍රනාන්දු රෝහල සිටියෙමු ඉල්ලා
යුතුවූ ලෙස එය අපහට දුනි ලබලා
යටිතල පහසුකම් කළුතර සැදෙන තුරූ
මෙලෙසට එදා ඒ ඕනෑකම සපිරූ
තාවකාලිකව ප්‍රශ්නය නිමා කෙරූ
නිසා බලා සිටියෙමු සිදු කෙරෙන'යුරූ
වත්මන් සුව ඇමති පත්වූ විගසින්ම
ඉවත් කළා ඒ දී තිබූ විසඳුම
නැවත ඇවිළුණා ප්‍රශ්නය පෙර ලෙසම
දැන් කල් ගෙවුණි අවසන් තත්පරයටම
දුන් විසඳුම් කිසිත් ප්‍රායෝගික නොවිනී
අවසන් වසරෙ පුහුණුව ගිනි ඇවිළවිණී
මානසික ආතති ඇත තදින් දැනී
එනිසා ඔබට මේ ගැන ලියන සිත් වුණී
සාකච්ඡා රැස්වීම් තිබුණා එමට
තීරණ කිසිත් තව නැත නැග ක්‍රියාවට
එනිසා පවත්වන සාකච්ඡා අපට
පලක් නොවන බව තේරෙනවා හොඳට
විසඳා තිබු ප්‍රශ්නය යළි අවුල් කළා
කළ අය දැන් ඇත පඹ ගාලේ පැටලීලා
දරුවන් ඇත මේ ගැන සිත කළකිරිලා
ඔබ වත් මෙය දෙනු මැන අපට විසඳලා
ඇරඹිය යුතු ය පුහුණුව මේ අගෝස්තුවේ
කඹ අදිමින් සිටීම විසඳුමක් නොවේ
සොයා බලා මේ ගැන අද ඇති තත්වේ
සාකච්ඡාවක් දෙනු මැන පින් අත්වේ
නාමල් ගමගේ
- හෘද ශල්‍ය වෛද්‍ය
වවුලන්දූව වත්ත,
බෝගහ වේල්ල, කරාපිටිය.