උණුසුම් පුවත්කාලීනවිදෙස්විශේෂාංග

සැනසෙන්න! ඉවසන්න!!

චම්මිගෙ හිතිවිලි

සැනසෙන්න
සැනසෙන්න
ඉවසන්න
"Is not about the ability to wait ,
But
The ability to keep a good attitude while waiting"
-Lord Buddha-
වෙලිංටන් වලින් කි.මි තිස්පහකට එහායින් මහ පාරක අවසන වෙන්නෙ කඳු ගැටයකින්. ඒ මත ඉදි  වූ බෝධිරාමය. නවසීලන්ත පන්සලක්. නායක හාමුදුරුවෝ එම නගරයේම සිටි රොක් හා වේග රිද්ම කණ්ඩායම් නායකයා.
එම පන්සලේ මා දුටු වැකියක් ඔබට ලීවේ නම කියන්නට අවසර හෝ නොගෙන තාන්න මාන්න මොකුත් නොකියා අපේ ඇත්තන් 'බුදුන් 'කියන ගෞතම බුදුන් වහන්සේ ජීවිතය ගැන දෙසූ රුවන් වැකිවලින් එකක්.

එය දුටු මට හිතුණේ එය මතුරක් විය යුත්තේ ඔවුන්ට නොවේ අපට කියා.මොකද පන්සිල් නොගෙන පන්සිල් රකින ජාතියක් ඔවුන්.
"ඉවසීම යනු බලා සිටීමට ඇති හැකියාව නොවේ.
එහෙත්,
බලා සිටීමේදී ඉවසා සිටින්නට හැකියාවක්  ඇත්නම් ඒ මොහොතේ යහපත් ආකල්පයක් තබා ගන්නට ,ගොඩ නඟාගන්නට එයයි නියම  ඉවසීම"
-සම්මා සම්බුදු රජාණන් වහන්සේ-
මෙය වඩාත් ගැලපෙන්නේ ඔවුන්ට නොවේ බුදු දහම වෙනුවෙන් සරම උස්සා ගෙන ජීවිතේ දෙන්නට යන අපිටයි. හරියට ආගමක් නොඅදහන කිවියන් නීති ගරුකයි. යුක්ති ගරුකයි. මිනිසාට ආදරය කරයි.අනෙකා ගැන බහුමානිතව සිතයි. එහෙත් ඔවුහු එය තවත් ප්‍රගුණ කරවති.

අපි ඒවා දවසින් දවස කඩ කරමු. ඒ හැමදාමත් පන්සිල් අරන් කැඩිච්චා 'රෙප‍යාර්' කර ගන්න නිසා.

මෑතක සිට ඔබ විමසිල්ලෙන් සිටියා නම් ඔබට සිහිපත් වේවි,

මේ වසරේ පසුගිය මාස කීපය තුළ අකාලයේ ජීවිත කීයක් වැනසුනාද,

වැනසුවා ද කියා.

අද ඇගේ හැපුණත් අතක් පයක් කඩන්නට තරම් අපි අනිකා ගැන සැලකිලිමත් .

පිරිමින් පමණක් නොවේ කාන්තාවනුත්. ඇතෑම් දරුවනුත්.

අසූව දශකයේ මරණයේ සම්භාවනීයත්වය විනාශ කිරීමෙන් පසු ජීවිත වටිනාකම කාණුවට වැටුණා.

ඉස්සර මිනී මැරුමක් වුණාම එයට කවිකොළ ලිවීමට පවා සංවේදී වූ සමාජය අද පුංචි දේකට පවා ජීවිතය ගන්නට මැළි වෙන්නේ නෑ.

අපේ ඉවසීම මිනිසුන්ට ගරු කිරීමේ හැදියාව කොහේටද නිර්යාත කළේ.

අපේ ප්‍රදීපා ගයන "කොළොම් තොටින් නැව් නැංගා අපේ රටේ මනුස්සකම

කොළොම් තොටට

 ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට..."

මේකද අද වෙලා තියෙන්නේ.

ඒ වුනාට "ඉවසීමෙන් සැනසීම ලැබේ" කියලා සමහර තැන්වල දැන්වීමුත් ගහලා.

පොඩි කාලේ ඉඳන් උගන්වනවත් එක්ක. එහෙමනම් ඇයි මේ ඉක්මන් කෝපය. අපි ලොකු ගිඟයකින්

(Arrears ) නොවෙද මේ පෙළෙන්නේ.

අපි ඒ 'එරියස්' එක නේද මේ 'කවර්' කරන්න හදන්නේ. අද ඒකට අපි කියන්නේ "ආතල්" ගන්නවා කියලා . මේ ආතල් ගැනිල්ල නිසා වත්මන් සමාජයේ කොතරම් නම් වැදගත් සාරධර්ම වතුරේ ගියාද? රටේ ජනජීවිත හෑල්ලු වුනාද ? විනාශ වුනාද?

මේ සියල්ලම ඉවසීම නැතිකර ගැනීමේ ඉහළම අපි ඉන්නා නිසා.

අද ඇතෑම් පාලකයන්ටත් ඉවසීමක් නෑ. පාලිතයන්ට එහෙම උනාම කොහොමවත් නෑ. මොකද ගුරා හිටං කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියා ඇති නිසා. ඔවුන් එය රකිනවා.

මේ ඉවසීම නැතිකමේ වන්දිය ගෙවන්නේත් ඉවසන මිනිස්සුමයි.

එය ඉවසන්නම පුරුදු වීමේ අනිසි ඵලය නොවේද?

ඇම්.එස්  "ඉවසල ඉවසල අන්තිමේදි මම ගෙදර එනවා " කීවාට

අපේ අය යන්නේ වළ පල්ලට. නැත්නම් පුලන්නන්ගෙ භූමිකාවට.එහෙමත් නැත්නම් අසාදු ලේඛණයට.

අද ඉවසීම ප්‍රගුණ කළ යුතු බොහෝ ආගමිකැත්තෝත් වපුරන්නේ වයිරය. එතැන මනුස්සකමට නොවෙයි ගරු කරන්නේ, ඉවසන්නේ.

ඔවුන් තමන්ගේ කොටසයි ඉල්ලන්නේ. එතැනදී අනෙකාට මොනව උනත් ගාණක් නෑ.

ඒ අනුව බලද්දී අද බොහෝ ආගමික නායකයෝ කරන්නේ සසර දිනීම හෝ මෝක්ෂය දිනීම නොවෙයි. තමන්ගේ කොටස දිනා ගැනීමේ සටන හොඳින් හෝ නරකින් වුව ජය ගැනීමයි.

මොකද මනුස්සකම ණයවර ලිපියක්  (Lerre of Credit) හෝ නෞව්භාර පත්‍රිකාවකින්  ( Bill of Layding) වලින් තොරවම ලංකාවෙන් පිටමං කරළා.

එහෙත් එහෙම උනත් ඒ මොහොතේදිත් අපි බහුතරයකට යහපත් ආකල්පයකින්ම ඉවසන්න පුලුවන් නම් "ඉවසීමෙන් ම සැනසීම ලැබිය හැකි" නොවෙද?

ඉවසීම නොහැකියාවේ මුලයි යන්න නොසිතන තැනට පත් වෙන්නට අපි ඉවසමු.

"වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා

ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා "

කියන දේත් ඉවසන්න ඉවසමු.

චම්මින්ද වෙලගෙදර .

27-07-2025.