උණුසුම් පුවත්දේශපාලන

සැබෑ රණවිරු සැමරුමක් යනු රට දැය වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවීමයි

සජිත් කියයි

30 වසරක කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය පරාජය කරමින් අප රටට අතිශය වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර දුන් වීරෝධාර රණවිරුවන් 16 වැනි වතාවටත් අද දින අනුස්මරණය කරන බවත් අප රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට 28000කට වැඩි ජීවිත පරිත්‍යාගයෙන් සහ 60000 කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇස් හිස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කළ වීරෝධාර රණවිරුවන්ට නැවත වරක් උත්තමාචාරය පුද කරන බවත් මේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් සුරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැබවින්ම විරෝධාර රණවිරුවන් සැමරීම තුළ ඔවුන් සහ ඔවුන්ගේ පවුල් රැක ගන්නට ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් තමන්ගේම ඉඩමක් නිවසක් නොමැති රණවිරුවන් වෙනුවෙන් රණවිරු නිවාස වැඩසටහන් දියත් කරන ලෙසත් සොච්චම් විශ්‍රාම වැටුපට සීමා වී අධික ජීවන බර තුළ අසරණ වී ඇති බවත් ඔවුන් වෙනුවෙන් ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම ව්‍යවසායකයන් බවට පත් කළ යුතු බවත් ජීවිත පරිත්‍යාග කළ රණවිරු පවුල් මෙන්ම ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයන් රැක ගැනීමට කැපකරු මාපිය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රණවිරු දිනය නිමිති කර ගෙන විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තොරතුරු තාක්ෂණයෙන් නව තාක්ෂණයෙන් නිපුණයන් කිරීමට රණවිරු පවුල්වල දරුවන් පත් කළ යුතු බවත් රණවිරු උපහාර දේශපාලන පක්ෂවලට ලකුණු ලබා ගැනීම සදහා භාවිත නොකළ යුතු බවත් සැබවින්ම අවංකවම හදවතට එකගව මේ රණවිරුවන් සැමරිය යුත්තේ ඒ අයගේ ජන ජීවිත ආරක්ෂා කර පවුල් සුරක්ෂිත කර දරුවන්ගේ අනාගතයත් වර්තමානයත් සුරක්ෂිත කිරීමෙන් බවත් මේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් කටයුතු කර සැබවින්ම රට බේරා ගත් රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රණවිරුවන් ගැන ගුණ ගායනා කරන ගමන් ඉඩම් නොමැති රණවිරුවන්ට ඉඩම් ලබා දෙන්න මුදල් අයකරන සමාජයක් ඇති බවත් නිවාස ආධාර නොදුන් අය අද රණවිරු සැමරුම් ගැන කතා කරන බවත් සමගි ජන බලවේගය රණවිරුවන් දේශපාලන ආයුධයක් නොකර හෘද සාක්ෂියට එකගව රණවිරු පවුල් රැකගන්න කටයුතු කළ යුතු බවත් සැබැ රණවිරු සැමරීමක් යනු රණවිරු පවුල්වල සුබ සාධනය ගැන බැලීම බවත් එය යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

වීරෝධාර රණවිරුවන් කැපකිරීම් නොකරන්න අප රට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් ඔවුන් කළ ඒ කැපකිරීම මුදලකට සීමා කර නොහැකි බවත් ඒ අතිවිශිෂ්ඨ සේවාවට හද පත්ලෙන් ගෞරවය පුද කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.