උණුසුම් පුවත්කාලීනදේශපාලන

සිරිල් ගාමිණී පියතුමාගේ පචවැලට ගම්මන්පිලගෙන් පිළිතුරු

පිටකෝට්ටේ දී අද (18) පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායකයා පළ කළ අදහස්

සිරිල් ගාමිණී පියතුමාගේ පචවැලට පිළිතුරු

සලේ මැතිතුමාට කරන වදහිංසාවන් සාධාරණීකරණය කරමින් නිරන්තරයෙන් මාධ්‍ය හමුව පවත්වන සිරිල් ගාමිණී පියතුමා ඊයේ දිනයෙත් මාධ්‍ය හමුවක් පවත්වලා තවත් පච වැලක් රට ඉදිරියේ තැබුවා. එතුමාගේ පච වලට උත්තර දීම අපේ වගකීමක්.

ඇත්තෙන්ම මීට කලින් මේ වගේම පච වැලක් කිව්වම මම එතුමාට කාරණා දෙකක් සඳහන් කළා. මම එතුමාගෙන් ඉල්ලීමක් කළා, මුළු බයිබලයම කියවන්න තරම් එතුමාට වෙලාවක් නැතිනම්, අඩුම ගානේ පරණ තෙස්තමේන්තුවේ එන දස පනත කියවන්න. දෙවියන් වහන්සේ කතෝලික බැතිමතුන්ට දුන්න නියමයන් දහය. ඒ නියමයන් දහයේ අටවෙනි නියමය තමයි, "බොරු නොකියනු" කියන එක. එතුමා ඊයෙත් පච වැලක් දෙසා බෑමෙන් පේන්නේ, එතුමාට තවම දස පනත කියවන්න තරම්වත් වෙලාවක් ලැබිලා නැති බවයි. ඒ වගේම මම එතුමාට සිහිපත් කළා, දෙවියන් වහන්සේ ඔබතුමාට කන් දෙකක්, ඇස් දෙකක් සහ එක කටක් දීලා තියෙන්නේ, හොඳින් කියවලා, හොඳින් ඇහුම්කන් දීලා ඊට පස්සේ කතා කරන්න. නමුත් අවාසනාවට, එතුමා දෙවියන් වහන්සේවත් විශ්වාස නොකරන බවත් තමයි ඊයේ මාධ්‍ය හමුවෙන් පෙන්නුම් කරේ.

එතුමා ඊයේ කිව්වා, ශානි අබේසේකර මහත්තයාව රහස් පොලීසියේ අධ්‍යක්ෂක විදිහට පත් කරන්න කියලා අපි නම් කරලා ඉල්ලීමක් කළේ නැහැ. එහෙම කියලා එතුමා කියනවා, ශානි අබේසේකර මැතිතුමා ඇතුළු පිරිස රහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා විදිහට පාස්කු ප්‍රහාරය පිළිබඳ හොඳින් විමර්ශන කරගෙන ආවා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාම ඒ පිරිස වහාම ඉවත් කළා, අපි ඉල්ලුවේ කලින් විමර්ශනය කරගෙන ගිය පිරිසට නැවත පාස්කු විමර්ශනය භාර දෙන්න කියන ඉල්ලීම පමණයි. අපි ඔය කතාව ඇත්තයි කියලා හිතමු. දැන් මොකක්ද මේ කියන්නේ? එක, එතුමා දැනන් ඉඳලා තියෙනවා ශානි අබේසේකර මහත්තයා තමයි මේ පාස්කු විමර්ශනයට නායකත්වය දෙන්නේ. එතුමාව ඇතුළු පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා ඉවත් කරනවා. මෙතුමන්ලා ඉල්ලීමක් කරේ අර පරණ කට්ටිය, පරණ කට්ටියට නැවත දෙන්න කියලා. හැබැයි එතුමා හොඳටම දන්නවා පරණ කට්ටියේ නායකයා ශානි අබේසේකර කියලා. එහෙනම් ශානි අබේසේකර යළි පත් කරන්න කියන එක නෙවෙයිද මේ කියලා තියෙන්නේ? දැන් එතුමා කියන්නේ ඍජුව ඉල්ලුවේ නැහැ, අපි ඉල්ලුවේ මෙහෙමයි. එහෙම වුණත් අර බිමල් රත්නායක ඇමතිතුමා කිව්ව කතාව ඇත්තනේ. පියතුමනි, පද වැල් මාරු කරලා ඇත්ත නැත්ත කරන්න බැහැ. ඔන්න ඕකට තමයි කියන්නේ "කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ" කියලා.

ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ වර්තමාන විමර්ශනයට පාදක වුණු කුමන්ත්‍රණ න්‍යාය පැහැදිලි කරන්න සුනන්ද දේශප්‍රිය මහතා විසින් පොතක් ලියනවා. ඔය පොත් නිකුත් වූ උළෙලේ ප්‍රධාන දේශකයෝ දෙන්නා තමයි, අද පැමිණිලිකරුගේ භූමිකාව රඟපාන සිරිල් ගාමිණී පියතුමාත්, එතුමන්ලාගේ ඉල්ලීම මත ප්‍රධාන විමර්ශකයාගේ භූමිකාව රඟපාන ශානි අබේසේකර මහත්තයාත්. ඉතින් දෙන්නා හම්බවුණේ එකම තැන එතන නෙවෙයි, එතන දෙන්නා හොඳට කතා බහ කරමින් හිටියා. හැබැයි ඊට කලින්, සමාජය සහ සාමයික කේන්ද්‍රයේදී හමුවෙලා මේ දෙන්නා මේ කුමන්ත්‍රණ න්‍යාය සමාජගත කරන්නේ කෙසේද කියන එක ගැන සාකච්ඡා පැවැත්වූ බව අපි මීට කලින් හෙළිදරව් කරලා තියෙනවා. දැන් නම් ඒවට සාක්ෂි විදිහට, ඒ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරු අද මාධ්‍ය හමුව පවත්වලා කියනවා "මෙහෙම කුමන්ත්‍රණයකට අපිත් අහුවෙලා හිටියා"ය කියලා.

එතකොට දැන් මොනවා වුණත්, ඒ නිසා එදා ඒ කුමන්ත්‍රණයේ හිටපු අය දැන් මේ කුමන්ත්‍රණය හෙළිදරව් කරලා ඉවරයි කියන එක අපි සිරිල් ගාමිණී පියතුමාට සිහිපත් කරනවා. ඇත්තෙන්ම මොනවා වුණත් බිමල් රත්නායක ඇමතිතුමාට කොන්දක් තියෙනවා, ඒ නිසා තමයි සිරිල් ගාමිණී පියතුමා කෙතරම් ප්‍රතික්ෂේප කළත්, තමන් කරපු ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවත්, නිවැරදි කරන්නවත් බිමල් රත්නායක ඇමතිතුමා පෙළඹුණේ නැත්තේ. මොකද එතුමා දන්නවා "මම කිව්වේ ඇත්ත, එයා බොරු කිව්වට මට බොරුකාරයෙක් වෙන්න බැහැ, දස පනත එතුමා උල්ලංඝනය කරත් හතරවෙනි සිල් පදය මම රැකගන්න ඕනේ" වගේ අදහසක බිමල් රත්නායක ඇමතිතුමා ඇති.

එතකොට අපි දිගින් දිගටම කියපු කාරණයක් තමයි ශානි අබේසේකර මහත්තයාව රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කරන්න ගෝඨාභය ආණ්ඩුව කටයුතු කළේ ඇයි කියන එක. ඕනෑම විමර්ශනයකදී මූලික ප්‍රතිපත්තිය තමයි චෝදනාවට ලක්වෙච්ච අයව ඒ ආයතනයෙන් ඉවත් කරන්න ඕනේ විමර්ශනය කරන්න කලින්. මොකද චුදිතයා, සැකකරුවා නම් විමර්ශනයත් කරන්නේ, ඒ විමර්ශනය පිළිබඳ කිසිම විශ්වාසයක් ඇතිවෙන්නේ නැහැ. සාමාන්‍ය රජයේ ක්‍රමය තමයි විමර්ශනයක් කරද්දී සැකකරුවෙක් ඉන්නවා නම් එක්කෝ එයාව වෙන තැනකට මාරු කරනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන් නිවාඩු යවනවා, එහෙමත් නැත්නම් වැඩ තහනම් කරනවා. ශානි අබේසේකර මහත්තයාව වෙනත් තැනකට මාරු කළේ, ඔහු රහස් පොලීසියේ අධ්‍යක්ෂක වෙලා ඉන්න තාක් පාස්කු විමර්ශනය නිසියාකාරව සිදුකරන්න බැහැ. මොකද පාස්කු ප්‍රහාරයට සෘජුවම දායක වුණු බවට ඔහුට එරෙහිව චෝදනා 12 ක් හෙළිදරව් වෙලා තියෙනවා. ඇත්තටම මේ චෝදනා මතු වුණේ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ. ඊට පස්සේ ඔහුට එතන ඉන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඊට කලිනුත් මේ චෝදනා ගැන සමාජයේ කතාබහක් තිබුණා. එතකොට, විශේෂයෙන්ම ශානි අබේසේකර මහත්තයාට ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ චෝදනා නැගුවා විතරක් නෙවෙයි, මේ චෝදනා පිළිබඳ විමර්ශනය කරපු විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. අල්විස් කමිටුව විසින් ඔහුට පාස්කු ප්‍රහාරයට දායක වීම සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු කිරීමට නිර්දේශ කරලා තියෙනවා. එතකොට මේ සිරිල් ගාමිණී පියතුමන්ලා පාස්කු විමර්ශනය භාරදෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ, පාස්කු ප්‍රහාරයට දායකත්වය දැක්වූවාය කියලා චෝදනා 12 ක් එල්ල වුණු, ජනාධිපති විමර්ශන කමිටුවකින් අපරාධ නඩු ගොනු කරන්න නිර්දේශ කරපු රහස් පොලීසිය විසින් විමර්ශනයක් සිදුකරන කෙනෙක්.

දැන් ඇත්තටම මොකද වුණේ? සිරිල් ගාමිණී පියතුමාගේ ඉල්ලීම පරිදි, සිරිල් ගාමිණී පියතුමන්ලාගේ ඉල්ලීම පරිදි සමස්ත පොලීසියේ ලොක්කා විදිහට පත්කළා රවී සෙනෙවිරත්න මහත්තයාව, රහස් පොලීසියේ ලොක්කා විදිහට පත්කළා ශානි අබේසේකර මහත්තයාව. මොකක්ද මේකේ ප්‍රතිඵලය? මේ වන විට ඔවුන් දෙදෙනාගේ පාස්කු ප්‍රහාරයට දායකත්වය පිළිබඳ රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් විමර්ශනයක් සිදුකරමින් හිටියා. ඒක කොටුව මහේස්ත්‍රාත් උසාවියේ තිබ්බ නඩු අංක B 340/97/ 24.

දැන් මොකක්ද වෙන්න යන්නේ? හොරාගේ අම්මාගෙන් පේන අහනවා වෙනුවට, හොරාටම භාර දීලා පේන අහන වැඩේ. මොකද වුණේ? මේ විමර්ශනය සම්පූර්ණයෙන් කඩාකප්පල් කරා. මේ අය පත්වෙලා මාසයක් යන්න කලින් ඉන්දුක ද සිල්වා මේ විමර්ශනයෙන් ඉවත් කරලා, රහස් පොලීසියෙනුත් ඉවත් කරලා, පොලිස් මූලස්ථානයට මාරු කරනවා. දැන් මොකද වෙන්නේ? පොලිස් විමර්ශනය සම්පූර්ණයෙන් කොට උඩ යනවා.

දැන් මේ මං ගාව තියෙනවා ලිපියක්, මේක 2026 මාර්තු 26. රහස් පොලීසියේ අධ්‍යක්ෂකට, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අත්සන් කර යවන ලද ලිපියක්. අපි දන්නවා, ශානි අබේසේකර මහත්තයා ලියන සුරංගනා කතා උසාවියට ඇවිත් කියන්නේ දිලීප පීරිස් මහත්තයා. දැන් ඉස්සර සිබිල් වෙත්ත සිංහ නැන්දා ලියන සුරංගනා කතා අපිට පුංචි කාලේ කිව්වේ අපේ ආච්චි. හැබැයි, ඒ ආච්චිගේ කාර්යභාරය ඉටුකරන්නේ දිලීප පීරිස් මහත්තයා. දිලීප පීරිස් මහත්තයා මොකක්ද කියන්නේ?

2019 අප්‍රේල් 9 වන දින පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ලැබී ඇති තොරතුරු නිසි පරිදි විමර්ශනය නොකිරීමෙන් පාස්කු ප්‍රහාරය සිදුවීම් යන කරුණට අදාළ සිදුකරනු ලබන විමර්ශනය, කොටුව මහේස්ත්‍රාත් උසාවියේ B 340/97/ 24." මේකේ කියනවා "එකී උක්ත ශීර්ෂය යටතේ ඔබ විසින් 2024.11.25 සහ 2025.10.24 දිනට එවන ලද උදෘත සලකා බලන ලදී. එකී උදෘතයන්ට අනුව සහ පොලිස් පරීක්ෂක පොල්වත්ත මහතා සමග පවත්වන ලද සාකච්ඡාවන්ට අනුව මේ වන තෙක් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයන්හි මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සුරක්ෂිතව ගොනු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වී නොමැත." ඔය වැනි කාරණා කීපයක් කියලා අවසානයේ කියනවා, "ඒ අනුව මෙම ගොනුව වසා දැමීමට පියවර ගන්නා බව මින් දන්වා සිටිමි." මොකක්ද කරලා තියෙන්නේ? සැකකාර ශානි අබේසේකරට එරෙහිව තිබුණු විමර්ශනයේ ලිපි ගොනුව වසා දමන්නේය කියලා, සැකකාර ශානි අබේසේකරගේ අතිජාත මිත්‍ර දිලීප පීරිස් මහතා විසින්, අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට උපදෙස් දෙනවා. සැකකාර ශානි අබේසේකරගේ ලිපි ගොනුව වසා දමන්නයි, අධ්‍යක්ෂක ශානි අබේසේකරට උපදෙස් දෙන්නේ එකී ශානි අබේසේකරගේ

කුළුපග මිත්‍ර දිලීප පීරිස් මැතිතුමා. හොරාගේ අම්මාගෙන් නෙවෙයි හොරාගෙන්ම නේද පේන අහලා තියෙන්නේ? ඔන්න ඕකයි අපි ශානි අබේසේකර මහත්තයාව ගෝඨාභය ආණ්ඩුව කාලේ රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කළේ.

එතකොට මෙතන සාධාරණ ප්‍රශ්නයක් මතු වෙනවා. පාස්කු සැකකරුවන්ටම විමර්ශනය භාර දෙන්න කියලා ආණ්ඩුවට බල කරලා, පාස්කු විමර්ශනය නොමඟ යවලා, සැබෑ අපරාධකරුවන් මතු වෙන එක වළක්වගන්න සිරිල් ගාමිණී පියතුමාට තිබුණු උවමනාව මොකක්ද? පාස්කු වින්දිතයන්ට ඉටුකරන්න පොරොන්දු වෙච්ච සාධාරණය මේකද කියන එක අපි සිරිල් ගාමිණී පියතුමාගෙන් ප්‍රශ්න කරනවා.

ඒ වගේම සිරිල් ගාමිණී පියතුමා ඊයේ මාධ්‍ය හමුවේදී හරි අපූරුවට ඉබ්‍රාහිම් නානා ආරක්ෂා කරලා කතා කරා. එතුමා කතා කරපු විදිහට මට හිතුනේ, ඉබ්‍රාහිම් නානා ජනාධිපති නීතිඥවරුන්ට මුදල් වැය කරන එකේ, සිරිල් ගාමිණී පියතුමාව තමන්ගේ නීති උපදේශක විදිහට පත් කර ගත්තා නම් ඔහුට ඉතාම ලේසියෙන් නිදොස් වෙන්න අවස්ථාව තියෙනවා කියලා.

දැන් මේ ආණ්ඩුව බලයට පැමිණියාට පස්සේ ඉබ්‍රාහිම් නානාගේ රජයට අත්පත් කරගත්ත දේපල භාරදීම අධිකරණයේ තීන්දුවක් කියලා එතුමා කියන කතාව ඇත්ත. හැබැයි අපි මතු කරන චෝදනාව වෙන්නේ, ඒ දේපල භාරදීමට තීරණය කරන්නේ දෙවරක් අවස්ථාව දුන්නත් රහස් පොලීසිය ඊට එරෙහිව කිසිම තොරතුරක් ගොනු කරන්න අසමත් වුණු නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ රහස් පොලීසිය නානාට වාසිදායක වන අයුරින් කටයුතු කරමින් ඉන්නවා කියන එක.

ඒ විතරක් නෙවෙයි, නානාට එරෙහිව තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි ගෙදර වැඩ කරන සේවිකාව. ඇය තමයි සාක්ෂි දුන්නේ පොලීසියට, නානා සහ පුතාලාගේ මේ අපරාධ ගැන දැනුවත්ව හිටියාය අනුබල දුන්නාය කියලා. ඇයගේ සාක්ෂිය මත තමයි නීතිපතිවරයා නඩු ගොනු කරන්න තීරණය කළේ. නමුත්, දැන් මේ 2025 මාර්තු 24 වෙනිදා නඩුව කැඳවූවාම ගෙදර සේවිකාව විදේශ රැකියාවට ගිහිල්ලා ඇයගෙන් සාක්ෂි ගන්න විදියක් නැතැයි කියලා නීතිපති දන්වනවා. ඒ කියන්නේ, සිරිල් ගාමිණී පියතුමාගේ නීති සහාය නැතත් දැන් නම් නානා නිදොස් කොට නිදහස් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

එතුමා කියනවා, අපි සුරේෂ් සලේ මැතිතුමාට එරෙහිව සිදු කරන විමර්ශන නතර කරන්නයි කියලා බලපෑම් කරනවා කියලා. මම සිරිල් ගාමිණී පියතුමාට අභියෝග කරනවා, පුළුවන් නම් අපි එහෙම කිව්ව තැනක් පෙන්නන්න. අපි විතරක් නෙවෙයි, එතුමාගේ ආදරණීය බිරිඳ මනෝරි සලේ මැතිනියවත් කියලා නැහැ විමර්ශන නතර කරන්න කියලා. අපි ඉල්ලලා තියෙන්නේ වදහිංසා නතර කරන්න කියලා විතරමයි. විමර්ශන සිදු කළ යුතුමයි කියලා බිරිඳත් කියනවා, අපිත් කියනවා. ඇයි? විමර්ශන ඉදිරියටම ගියොත් තමයි ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු වෙන්නේ. ආණ්ඩුව මේ කරන පාස්කු රංගනයේ ප්‍රෝඩාව හෙළිදරව් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට වඩා උවමනාවක් අපිට තියෙනවා මේ විමර්ශනය ඉදිරියටම ගෙනියන්න. ආණ්ඩුවට උවමනා වුණේ අර රංග රාජපක්ෂ වගේ, කපිල චන්ද්‍රසේන වගේ මොහුටත් මානසික පීඩනයක් ඇති කරලා, වදහිංසා දීලා, සියදිවි හානිකර ගන්න තැනකට තල්ලු කරලා, මේ පාස්කු විමර්ශනය නතර කරලා ඇඟ බේරගන්න. "දැන් ඉතින් මහ මොළකරු මියගියානේ, දැන් අපි කුමක් කරම්ද?" කියලා. ඒවට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවත වරක් අභියෝග කරනවා සිරිල් ගාමිණී පියතුමනි, ඔබතුමා ඇත්තටම පියතුමෙක් නම්, ඇත්තටම දස පනත විශ්වාස කරනවා නම්, ඔබ කියන්නේ ඇත්තක් නම්, අපි කොතනද විමර්ශන නතර කරනු කියලා කිව්වේ කියලා පෙන්නන්න. ඔබතුමා අඩුම ගානේ අපේ සත්‍යග්‍රහයේ සටන් පාඨය මතක නම්, අපි මොකක්ද කිව්වේ? "විමර්ශන පවත්වනු. සලේ ව ශානිගේ වදකාගාරයෙන් නිදහස් කරනු." වදකාගාරයෙන් නිදහස් කිරීම දෙවැනි ඉල්ලීම, පළවෙනි ඉල්ලීම තමයි, "විමර්ශන පවත්වනු" කියන එක.

අපි කතා කරේ වදහිංසා ලබාදීමට එරෙහිව විතරයි. හැබැයි අපි වදහිංසා වලට එරෙහිව කතා කරන්න කතා කරන්න, හැම වතාවකම සිරිල්

ගාමිණී පියතුමා ඇවිල්ලා අපට එරෙහිව කතා කරනවා. මොකක්ද ඒ කියන්නේ? එතුමා මාධ්‍ය හමුව පවත්වන්නේ අමානුෂික වදහිංසා සාධාරණීකරණයට. එතුමා පාස්කු විමර්ශන කියන්නේ, වදහිංසා ලබාදීමට නම්, බලපෑම් කිරීමට නම්, ඔබ සුදු ලෝගුව ඇඳගෙන සිටින්නේ ජේසු සමිඳාණන්ගේ ප්‍රේමයේ පණිවිඩය ලොවට දෙන්නදැයි කියන එක ගැන අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. සුදු ලෝගුව, ජේසු සමිඳාණන් නියෝජනය කරමින්, ප්‍රේමයේ පණිවිඩය ලෝකයට ලබාදුන්නු, ජේසු සමිඳාණන්ව නියෝජනය කරමින් වෛරය වපුරන එක, වදහිංසා සාධාරණීකරණය කරන එකෙන් ජේසුස් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩයට අපහාස කරන්න එපාය කියලා අපි සිරිල් ගාමිණී පියතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

එතුමා කියනවා, මේ මම ආගම්වාදීව කතා කරලා ආගමික ගැටුමක් නිර්මාණය කරන්න හදනවා කියලා. මම කිව්වේ, සිරිල් ගාමිණී පියතුමනි, වසර 500 ක් බෞද්ධයන් සහ කතෝලිකයන් ඉතාම සමගියෙන් මේ පොළොවේ ජීවත් වුණා. ඔබ, මුස්ලිම් අන්තවාදීන් සිදුකළ බවට ජාත්‍යන්තර පරීක්ෂණ දෙකකින් සහ දේශීය විමර්ශන කමිටු පහකින් තහවුරු කර තිබෙන අපරාධයක්, බෞද්ධයන් මත පැටවීමට දරන මේ උත්සාහය නිසාත්, මේ බොරුව ජනගත කිරීමට වදහිංසා ලබාදීම සාධාරණීකරණය කරන නිසාත්, බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ගැටුමක් මතුවීමේ අවදානමක් ඇවිත් තියෙනවා. ඒ සමගිය විනාශ කරන්න එපා, ඒ මහා පාපකර්මය සිදුකරන්න එපා කියන එක තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලුවේ. ඒක, ආගම්වාදී කතාවක් බවට පත්වෙන්නේ කොහොමද කියන එකත් ඔබතුමාගේ දැනුම ඇසුරෙන් පැහැදිලි කරන්නැයි කියලා අපි සිරිල් ගාමිණී පියතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඇත්තෙන්ම දැන් මෙතුමා තමයි පැමිණිලිකරු. මෙතුමා තමයි විමර්ශකයා පත් කර ගත්තෙත්, එතුමාම කියන විදිහට. සාමාන්‍යයෙන් විමර්ශකයා අපක්ෂපාතී වෙන්න ඕනේ, පැමිණිලිකරුටවත් සැකකරුටවත් තමන්ගේ විමර්ශකයා තීරණය කරන්න බැහැ. හැබැයි පැමිණිලිකරුත් එතුමලා, විමර්ශකයෝ පත්කරන්නෙත් එතුමන්ලා. ඊට පස්සේ මාධ්‍ය හමුව පවත්වමින් විමර්ශකයා පත්කිරීම සාධාරණීකරණය කරනවා 2024 ඔක්තෝබර් මාසයේ සිට. ඒ වගේම ඔවුන් කරන වැරදි වැඩ අනුමත කරනවා. මේක ආගමික සමගිය කෙසේ වෙතත්, සැබෑ කතෝලික බැතිමතුන්ට ඔබව එපාවීමට කාරණයක්ය කියන එක ගැන අපි සිරිල් ගාමිණී පියතුමාට අනතුරු ඇඟවීමක් කරනවා.