උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

සිරිසුමනයෝ ද නික්ම ගියහ!

හෙළදිව සාතිශය සංවේදයෙන් දැනුම් දෙන වගයි!

අද (29) උදේ පාන්දර ජංගම දුරකතනය නාද බොහෝ ගණනාවකි. මා හුන්නේ නිදි යහනයේ ය.  ජංගමයාගේ මූහුණතින් දිස්වූයේ ගොඩගේ පොත් මැඳුරේ කළමනාකාර සම්පත් දිප්පිටිගොඩ යන නම යි.

වේලාව පාන්දර හතරේ හෝරාව ඉක්ම මහ වෙලාවක් ඉකුත් වී නොතිබිණි.

''සුගතපාල මහත්තයෝ! කනගාටුදායක ආරංචියක් කියන්න වෙලා"

මට හිතාගත හැකි විය. ඔහු ඊළඟට තෙපලන වදන්....

''ගොඩගේ මහත්තයා නැතිවුණා"
මා තවමත් නිදියහනේ ය. බිරියට ද සම්පත්ගේ වචන ඇසී ඈ ද කලබලයෙන් නැගිට්ටා ය.
ඒ අනුවේදනීය පුවත ඊළඟට ම වෙත යොමු කර තිබුණේ මසන් මිතු දයා ලංකාපුරයන් ය. ඒ වට්ස්අප් පණිවිඩයකිනි. ඒත්තෙක්කම මගේ ලොකු දෝණිගෙ ලොකු දෝණිය ද පණවිඩයක් තබා ඇත. ඒ 'ගොඩගේ සීයා නැතිවෙලා" යනුවෙනි.
ඊළඟට මුහුණු පොතේ දැක්කේ මාතලේ චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ සටහනක් ද තවත් සටහන් බොහෝ ගණනක් ද පැයක් දෙකක් ඉක්මෙන්නට පෙර දැකගත හැකි විය.
මුළු මහත් මරදාන ම ඒකලුකරමින් අහසට නැඟ ජාතියේ දේශයේ දරු දැරියන්ගේ නුවණැස පාදමින් දිදුලන 'ගොඩගේ පොත් මැඳුර' පොතපතට ආදරය කරන සියලු දෙනාට ම ප්‍රදීපස්තම්භකයක් සේ විරාජමාන ය.
 ඒත් එසේ අහසට විහිදුණු ඒ මහා පොත් මැඳුර අපට දායාද කරන්නට සිය ජීවිත කාලය ම අනන්ත ආකාරයෙන් අප්‍රමාණ දුක් කන්දරාවක් වින්ද මිනිසා ඒ සියල්ල ජාතියට දායාද කර සදා නොනිමි නින්දකට වැද හමාර ය.
අහෝ! සබඳිනි,
එතුමාණන් ජීවිත කාලය පුරා වින්ද අනේකාකාර දුක් වේදනා නිසා අපට අපේ නැණ නුවණ පාදා ගන්නට ඊයේ මෙන් ම අදත් අද මෙන් ම හෙටත් ඇති හැකියාන සුළුපටු නොවේ.
අදින් හවුරුදු 90 කට පෙර දකුණු ලකේ මාතර පුරවරයේ පාලටුව ගම් පියසේ දී ඔහු උපත ලද්දේ ගොවි පවුලක පවුලේ හය වැන්නා ලෙස යි. ඔහු ගේ මාපියන්ට දූදරුවන් නම දෙනෙකි. දිළඳු අඳගොවියකු වූ පියා මෙන් ම මව ද මේ දරු පැටවුන් ගේ කුස පුරවන්නට මහත් සේ වෙහෙස මහන්සි විය.
අම්මා තාත්තා ඔහු ඇමතුවේ හින්නි පුතා යනුවෙනි. ඔහු පුංචි සන්ධියේ රෝගී දරුවකු විය. ඒත් මේ දරුවා හෙවත් සිරිසුමන දෙමාපියන් තමන් ඇතුළු සෙසු දරුවන් රකින්නට ගන්නා උත්සාහය කෙරෙහි වේදනාවෙන් බලන්නට ඔහු ඒ සමයේ දී ම හුරු විය. එනිසා ම ගෙදර අඩුපාඩු මකා ගන්නට දෙමව්පියන්ට හැකි අයුරකින් පිහිට වන්නට ඔහුගේ සිත බල කළේ ය. එනිසා ම හේ වත්තෙ පිටියේ ඇති කන්කුන්, මුගුණුවැන්න ආදී පළාවර්ග නෙලාගෙන මිටි බැඳ පාර අයිනේ තබාගෙන විකිණීමට දෙපාරක් හිතුවේ නැත. සමහර දිනෙක ඔහු පාලටුවේ සිටි මාතර දක්වා පයින් ඇවිත් පළා මිටි අලෙවි කළේ ය.
දුප්පත්කම උපතින් ම කරදර හුන් පුංචි සිරිසුමන දරුවා කොළඹට එන්නේ දැලි රැවුල යාන්නමින් වැඩෙද්දී ය. ඔහු කොළඹට ආ අයුරු හා අද මරදානේ මහේශාක්‍ය ලෙස ඉහළට වැඩඹෙන රටට ම ලොවට ම දැනුම බෙදා දෙන පොත් සාප්පුවක් නිර්මාණය කිරීම දක්වා වූ කතාව පොතක් නොව පොත් ගණනාවක් ලිවීමට තරම් බෝ කරුණුවලින් පිරී ඇත.
ඔහු පොත් ප්‍රකාශකයකු වූ හැටි, ඔහු කෙරෙහි ද්වේෂයෙන් හා ඊෂ්‍යාවෙන් යුක්ත වූ අනෙක් පොත් ප්‍රකාශකයකු විසින් ඔහුගේ ජීවිතයට හානි කරන්නට ගත් උත්සාහය හා තවත් එවන් අනේකාකාර මිනිසුන් පෑ දුෂ්ටකම් එමට ය.
හැබැයි දොඩන්ගෙඩි දෙකක් තරම්වත් උස මහතක් නැති සිරිසුමන ගොඩගේ සතුව මහා චිත්ත ශක්තියක්, අධිෂ්ඨානයක් විය. එය විනාශ කරන්නට හේ අකාමකා දමන්නට ුර නරුම මිනිසුන්ට බැරි විය.
Exif_JPEG_420
ඒ නිසා ම ඔහු මේ පොළොවේ පැළකරන ලද බීජ බොහෝ ය. ඒවා දවසින් දවස අපූරුවට උස් මහත් වෙමින් සිය ඵලදාව ලාංකේය ජන සමාජයට උරාගැනිමට ඉඩ හසර පාදා දී තිබේ.
බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වරප්‍රමුඛ මහ සඟරුවනේ අවවාද අනුශාසනා නිබඳව ම ලැබීම නිසා ගොඩගේ යන නාමය අද ලෝකයා අතර දැවැන්ත ප්‍රදීපාගාරයක් වී පවතින බව ඔහු මා හා නොයෙක් වර පවසා ඇත.
ඔහු ළඟ නෑ, බෑ, යන වදන නොතිබිණි. තමන් කරා එන ආචාර්ය, මහාචාර්ය වරුන්ට මෙන් ම අංකුර ලේඛක ලේඛිකාවන්ට ද ඔහු පෑවේ සෙනෙහෙන් පිරිණු දයාර්ද ළෙන්ගත් සිනාව ම ය. ඔහු ඉදිරියේ අසුන් ගන්නා කවරකුට වුව 'ක්‍රීම් ක්‍රැකර් විස්කෝත්තුවක් දෙකක්, තැනක් පිරිනමා හොඳ කිකුල් හකුරු කෑල්ලක් ද කහට කෝප්පයක් ද දෙන්නට ඔහු තත්පර වන අයුරු මේ දැනුදු මා දෑස් ඉදිරියේ දිස් වේ.
පත්තරකාරයකු සේ ඇත්ත පත්තරෙන් පන්නරය ලබා දිවයිනෙන් වඩාත් හැකියාවන් ඉස්මතු කරගෙන ලේඛකයකු සේ ඒ වන විට හවුරුදු විසිහතරක් ගෙවා තිබුණත් මා ගත්කරුවකු සේ කලඑළි බැස්සේ එතුමාණන්ගේ අනුග්‍රහය නිසා බව කෙසේ නම් නොකියා සිටින්න ද? එසේ නොකියා සිටින සමහර ලේඛකයින් නැතුවා ද නොවේ.
ඔහු දැනහඳුනා ගත්තේ 1990 දී ය.  එදා සිට මෙදා දක්වා ගාලු එන සමහර ගමන් බිමන් වල දී සිය අදරබර බිරිය නන්දා ගොඩගේ මැතිනිය හා අප නිවසට කිහිප වරක් ගොඩවැදී සුවදුක් විමසීමට තරම් උතුම් ගතිගුණ ඔහු සතුව පැවති බව නොකියා හැකි ද?
ඔහු මුද්‍රණ කර්මාන්තයට යොමුවීමෙන් පසු පොතක් සමාජගත කළේ ලයනල් සරත් නම් අප මිතුරකු ගේ කෘතියක් පළ කරමින් බව මා හා දෙතුන් වරක් ම කියා ඇත. ඒ 1970 දී බව මගේ මතකය කියයි. එදා පොත් ප්‍රකාශනයට අත්පොත් තබන ලද ගොඩගේ මහතා තවත් වසර දෙකක් යද්දී සිය ප්‍රකාශනයක් උදෙසා රාජ්‍ය සම්මානයක් ලැබීම කෙරෙහි මහත් සේ තුටුවූයේ බොහොම් අහිංසක ලෙස ය. ඒ මහැදුරු ඒ. වී. සුරවීරයන් ගේ 'සොඳුරු ලොව' නමැති කෙටිකතා සංග්‍රහය පළ කිරීමෙනි.
ඔහු මේ දක්වා පළ කළ ඉතා වටිනා අගනා කෙටිකතා, නවකතා, කාව්‍ය සංග්‍රහ, පරිවර්තන කෘති, ශාස්ත්‍රීය කෘති වලනට හැම හවුරද්දක ම සම්මානයට පාත්‍රවීම ඔහුගේ කැපවීමේ මහත් ප්‍රතිඵලයක් නොවන්නේ ද? ගොඩගේ මහතාට දේශබන්ධු සම්මානය පුදන ලද්දේ මේ රටේ සිටි අති ඉහළ විද්වතකු සේ චිර ප්‍රසිද්ධ විජමු ලොකුබණ්ඩාර ඇමතිවරයාණන් විසින් කරන ලද නිර්දේශය අනුව හිටපු ජනපති රණසිංහ ප්‍රේමදායාණන් ය.
ගොඩගේ මහතාට සවිමත් අත්වැලක් සතු ය. ඒ ඔහුගේ ආදරණීය බිරිය නන්දා ගොඩගේ මැතිනිය යි. ඇයගේ වගකීම් හා යුතුකම් මොනවට ඉටු කරමින් සිය සැමියා ගේ ඒකායන පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරමින් ගොඩගේ ආයතනයේ උන්නතියට ඈ දරනා වෙහෙස මහන්සිය විස්තර කරන්නට වචන මදිය.
ඈ ඒ තරමට ම සකසුරුවම් ලෙස ඇය කටයුතු කරන්නී ය.
ගොඩගේ මහත්තයා බොහෝ සම්මානවලින් පිදුම් ලද අග්‍රගන්‍ය ව්‍යවසාකයෙකි. ඔහු තර උර දුන්නේ ලේසි පාසු කාර්යයකට නොවේ.
බලන්න!
ඔහු සිය ධනපරිත්‍යාගයෙන් ප්‍රවීණ, ආධුනික ලේඛකයින්ට අතහිත දෙනවා පමණක් ද? නැත... හවුරුදු ගණනාවක් පුරා ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලක් පවත්වමින් කුසලතා පූර්ණ නිර්මාණකරුවන්ට, කාරියනට ඔවුන්ගේ පොත පත උත්කෘෂ්ටයෙන් ඔසවා තබා ජාතියට හඳුන්වා දෙන්නට තරම් පරහිතකාමී වී ඇති අයුරු. ඒ ඔස්සේ ලේඛකයින් තව තවත් දිරිමත් කරන්නට ඔහු කළ කැපකිරීම අති ශ්‍රේෂ්ඨය. අමිල ය.
ඔහු වෙතින්, ඔහුගේ පිහිටාධාරයෙන් ග්‍රන්ථකරණයට පිවිසි සමහර වියතුන් පසුකාලීනව මේ උතුම් මිනාසාට කෙණහිලිකම් කළ බව පෞද්ගලිකව ම දනිමි. ඒත් ඔහු නොවේ ඒ කිසිවක් කකුලේ මාපටැඟිල්ලෙන් ඉහළට ගන්නා ලද්දේ. සියල්ල නිහතමානීව උපේක්ෂාවෙන් දකින්නට බලන්නට ඔහු හුරු පුරුදු වූයේ සැබැවින් ම දිගු කලක් තිස්සේ බලන්ගොඩ මාහිමිපාණන් ගේ අවවාද අනුශාසනා නිබඳව ම හිතට නංවා ගන්නා නිසාදෝ යි මට හැඟේ.
මට වේදනාවක් ඇත. ඒ ඔහු අප හමුවට කිහිප අවස්ථාවක් ම රජ්ගමට ආවත්, ඔහුගේ නිවහනට ගොස් බැහැදැකීමට නොහැකිවීමේ වේදනාවෙන් පසුවෙමි.
සියල්ල සිදුවන්නේ සොබාදමහට අනුව නිසා ඒ වේදනාව යටපත් කර ගන්නට මම කැසකවමි.
ගොඩගේ ආයතනය තව තවත් රටට දැයට සමයට ඇවැසි නිර්මාණකාරියට වඩාත් නවමු මුහුණුවරකින් යොමු වී යෙහෙන් වැඩඹෙන්නට මේ සෝකජනක අවස්ථාවේ වුව නොපවා කෙසේ ද?

ගොඩගේ පොත් මැඳුරේ පාලනාධිකාරිය ඔවුන්ගේ දියණියන් කමණී ගොඩගේ වෙත ප්‍රදානය වීමෙන් පසු ඇය හා මව විසින් එහි පෙණුම අලුත් වෙනසකට භාජනය කරන ලදි. එකී ප්‍රතිසංස්කරණවලින් පසු යළි විවෘත කෙරුණේ සර්වරාත්‍රික පරිත්‍යාණ සඤ්ඤායනයකින් අනතුරුව ය. එහෙත් ඒ මාහැඟි අවස්ථාවට හවුල් වෙන්නට නොහැකිවීම සිත රිදවන සුලු ය. ඔය අතර වාරයේ අද මේ අනුවේදනීය ආරංචිය සැළවිය

ගොඩගේ මැතිසඳ නිවන් සුව!
- සුගතපාල මැන්දිස් -