හෙළදිව කෙටිකතාව
ස්වකීය දිවිය සුවහසක් රෝගී වූ අසරණ අහිංසක ජනයා වෙත කරුණා මුදු ගුණයෙන් බලමින් ඔවුන්ට ඇවැසි බේත් හේත් ඇවැසි කලට ඇවැසි පරිද්දෙන් දී ඔවුන් ගේ හිත් හතන් ද කායික සුවතා ද මැනවින් සපුරන්නට ඇප කැප වී සිටින සංජීවනී පද්මසේන නම් කෘතහස්ථ ලේඛිකාව හෙළදිව හා බෝ ළෙන්ගතු ය.
ඈ නිබඳම හෙළදිව කව් මිණි වැල් පිටුව සරහන්නට දායකත්වය සපයන්නියකි. 'සිහිනයක්ටි නොවේ' නම් මේ කෙටිකතාව තරගයකින් ජය ලබා ඇති නිර්මාණයකි. පද්මසේන ගේ නිර්මාණය කියවන විට ඔබට දැනෙන හැඟෙන දැනීම් කෙබඳු වේ ද? කව් පැබැඳීමට මෙන් ම බෝ කැමැත්තක් දක්වන්නී ය. කවියකින් වගේ ම කෙටිකතාවකින් ද ඇගේ හිතේ පැසවන නේකවිධ කම්පනවලින් සමාජයේ දැවෙන ජනයා ගේ හිත් හතන් නිවන්නට ඕ කෙතරම් නිර්මාණශීලීව මේ අකුරු ගෙත්තම් කරන්නේ ද?
ඈත කඳු ඉහත්තාවට උඩින් අඩ සඳක් පායා ඇත. ඒ අතරින් අඳුරු සළු අතුරා ඇතිවාක් මෙන් අලු පැහැති වළාකුළු ද රන්පැහැති තාරුකාවෝ කිහිපයක්ද පෙනී නොපෙනී දිලෙයි. මද සීත සුළං රැල්ලක් හැමුවද කවුළුව වසා දැමීමට මිගාරට නොසිතේ. පසෙකින් හිඳ සුව විඳින නීශාගේ මුදු කොපුල මත දඟකාර කෙහෙරැල්ලක් වැටී ඇත. ඇගේ මුවින් සිහින් ගීතයක් වැනි ප්රාශ්වාස ශබ්දයක් ඇසෙන්නේ ඇය ගැඹුරු නින්දකට වැටී ඇති බැවිණි. මිගාරට නම් නින්ද අහලකටවත් එන්නේ නැත. හිස රිදුම් දෙන්නේ දරා ගත නොහැකි ලෙසටය.
අද සැඳෑයම සිදුවූ ඒ සිදුවීම මිගාරට තවත් දරා සිටීමට අපහසු වුවත් ඔහු තවමත් නිශාට කිසිවක් කීවේද නැත. කිසිවක් විමසුවේද නැත. එක් අතකට මෙය අසා දැනගත්තා නම් හොඳ යැයි ඔහුට සිතුණත් හරි හැටි පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිත් විමසීමට මිගාරට සිත් දෙන්නේ නැත.
මිගාරත් නිශාත් විවාහ වී ගතවුණ මේ වසර දෙක පුරාවට සුළු සුළු සිත් අමනාපකම් මතුවුවද දෙදෙනා අතර දැඩි විරසක හිත් බිඳීම් ඇතිවී නැත. වසර තුනක සෙනෙහසක ඇවෑමෙන් දෙගුරු ආශිර්වාද මැද විවාහ වූ දෙදෙනා ඉතා ආදරයෙන් කල්ගත කළ අතර ඇතිවූ පුංචි පුංචි නෝක්කාඩු සුළු මොහොතකින් හිරු දුටු පිණි මෙන් වියැකී යන්නේය. ඇත්ත වශයෙන්ම නිශා ආදරණීය සුන්දර බිරිඳකි. හින්දි සිනමා පට නැරඹීමට ඇති දැඩි ඇබ්බැහියක් මිස ඇය ගැන කිව හැකි වෙනත් වරදක් නැති තරම්ය. හින්දි සිනමා පට බැලීමේදී නම් ඇයට ලොවම අමතක වී ඇතැම් විට වැඩ කටයුතු පවා මඳක් අතපසුවී යයි. එහෙත් ඇය තමාට කොතරම් ආදරය කළා ද යන්නත් දැනටත් කොතරම් ආදරය කරන්නේ ද යන්නත් මිගාර හොඳටෝම දනී.
ඉතින් අද සවස් යාමයේ කඩාපාත්වුණු මේ හෙන ගෙඩිය කුමක්ද? මිගාරයට තෝන්තු ගතියක් දැනේ. ඇස් ඉදිරිපිට මැවෙන සිත්තම් පෙළක් මෙන් නැවතත් ඒ රූප රාමු මැවි මැවී පෙනේ.
මිගාර සේවය කළේ පුද්ගලික ආයතනයක සහකාර කළමනා කරුවෙකු ලෙසිනි. ඔහුට ඉන් හොඳ වැටුපක්ද ඉතා ඉහළ පිළිගැනීමක්ද නිතැතින්ම ලැබේ. පුරුද්දක් වශයෙන් දිනපතා සේවය නිමාව හවස් කල නිවසට යාමට පෙර සේවා ආයතනයට ඉදිරියෙන් ඇති පුංචි අවන්හලෙන් තේ කෝප්පයක් බීම මිගාරගේ ජීවිතයට පුද්ගලිකව අනුබද්ධ වී ඇති පුරුද්දකි. එය නිශාගේ හින්දි චිත්‍රපට මෙන්ම ඇබ්බැහියකි. ඒ පුංචි පිරිසිදු අවන්හලෙහි තේ කෝප්පයේ රස ඔහුගේ දිවියේ විඩාව දුුකරවයි. දෙතොල් තෙමා මුළු සිරුරම ප්‍රබෝධයෙන් මත් කරන ඒ තේ කෝප්පයේ රස නොවිඳ කිසි දිනක ඔහු නිවසට ගියේ නැත. නිශා එය දනී. ඔහුගේ ඒ සුන්දර පුරුද්දට ඉඳහිටක සරදමට සිනා වූවා මිස ඇය එයට කිසිත් කියන්නේ නැත. ඇය ඒ තරමටම මිගාරගේ සුන්දර පුරුද්ද විඳ දරා ගනී. ඔහුව තේරුම් ගනියි.
අද සවසද පුරුදු ලෙසම ඔහු පුංචි අවන්හලේ කෙළවර මේසයක වාඩි වී මදින් මද සුන්දර රස මවන මීයුරු තේ කෝප්පයේ රස බලමින් සිටියේය. මඳ වෙලා ගත වෙන්නට සුන්දර යුවතියක් කල්පනා බරිත බැල්මක් මුව දරාගෙන ඔහු වෙතට එනු ඔහු බලා සිටියේ පුදුමයට පත් දෙනෙත් වලිනි.
“මේ මිස්ටර් මිගාර නේද.”
අසලට පැමිණි යුවතිය සෙමෙන් විමසීය. හේ තවමත් නෙත් අයා ගත් ගමන්ය. ඔහු කිසිදාක මේ යුවතිය හඳුනන්නේ නැත.
“මම පොඩ්ඩක් වාඩිවෙන්නද? මට පොඩ්ඩක් මිස්ටර් මිගාර එක්ක කතා කරන්න ඕනේ.”
මිගාර හිස සොලවා අනුමැතිය දැක් වූයෙන් ඇය ඔහු ඉදිරිපිට අසුන් ගත්තාය. ඇගේ සුන්දරය දෙනෙත් සෝබර ය. හිස කෙස් කෙටි ය. නවීන විලාසිතාවකට අනුව හැඳ පැළඳගෙන සිටි. මේ මොන හෙන ගෙඩියක් දැයි මිගාරට බියක් දැනුණ ද ඔහු නෙත් අයා ඇය දෙස බලා සිටියේ ය.
“ඔයා මාව අදුරන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාව අඳුරනවා මිගාර මට ඔයත් එක්ක ලොකු කතාවක් කතා කරන්න ඕනේ.”
“කියන්න...මිස්…”
මිගාර තැටමුවේ ඇය කවුදැයි නොදන්නා බැවිනි.
“මම සොනාලි..”
“කියන්න මිස් සොනාලි..”
ඇගේ පැහැබර මුව අඳුරු වෙනුද නිල් නෙතු අගට කඳුළක් මෝදු වනු ද මිගාරට පෙනුනේ ය.
හදගැස්ම වැඩි වී සිරුරට දහඩිය දමන බවක් දැනේ.
“මිගාර ඔයාගේ නෝනා මගේ boyfriend එක්ක සම්බන්ධයක් පවත්වනවා.”
සොනාලිගේ වචන වලින් මිගාරට දැණුනේ කුලුගෙඩියකින් ඔළුවට පහර දෙනවා මෙන් වේදනාවකි. දෙසවන් තුළ හෝ ගානා ශබ්දයක් නෙත් වලින් ගිනි පුලිඟු පිටවෙන්නාක් මෙන්ද දැනේ. හද රිද්මය එළියට පණින සේ වේගයෙන් ඇසේ.
“ඔයාට පිස්සු ද මොනවද ඔය කියන්නේ?”
ඔහු සෙමින් ඇසුවේ උගුර කට වේලී ඇති බවක් දැනුණු බැවිනි
“ඔයාට බොරු කියලා හිතෙයි. ඒත් මට ඔප්පු කරන්න පුළුවන්.”
ඇය දුරකථනය අතට ගෙන කිහිප වාරයක් එහා මෙහා කර ඔහුට යම් පින්තූරයක්ද කෙටි පණිවිඩ කීපයක්ද පෙන්වූවා ය. එහි වූයේ,
“උදේ දහයට විතර එන්න”
“පරිස්සමින් ඉන්න”
“බුදු සරණයි සරණයි!”
වැනි වැකි කිහිපයකි. සේයාරුවේ වූයේ නිශා කිසියම් තරුණයෙකුට කුමක් හෝ දෙන දර්ශනයකි.
“මට විශ්වාස කරන්න බෑ”
හේ ගොත ගැසුවේය.
“ඔයාම හොයලා බලන්න. අනේ කරුණාකරලා මිස්ටර් මිගාර ඔයාගේ නෝනට කියන්න අපි අතරට එන්න එපා කියලා. අපි ලබන මාසේ මැරි කරන්න ඉන්නේ. ඔයා අහල බලලා, එයත් එක්ක මේක විසඳගන්න ප්ලීස්. මම තාරකටත් කියලා කොහොම හරි මේ සම්බන්ධයෙන් නතර කරන්න බලන්නම්.”
ඇය ඉකි ගැසුවා ය. තාරක යනු ඇගේ පෙම්වතා විය යුතු ය.
මිගාරට ඉබේම මෙන් නැගිට්ටුනේ ය. සොනාලිට යන්නම්වත් නොකියා ඔහු නිවසට ආවේ අසිහියෙන් මෙන් ය. මෙය විශ්වාස කළ නොහැක. විශ්වාස නොකර සිටීමටද නොහැක. සොනාලිගේ නෙත්වල වූ දරා ගත නොහැකි ශෝකය ඔහු හොඳින්ම දුටුවේ ය.
එක්වර ම නිශා අවදි වී පුදුමයෙන් ඔහු දෙස බලා සිටිනු දකින විට මිගාර තිගැස්සි පියවි ලොවට වැටුණේ ය.
“ඇයි මිගාර ඇහැරිලා.... ඔයාට නින්ද යන්නෙ නැද්ද?”
නිශා බිය වී ඇඳේ ඉඳගනිමින් ඇගේ එක් අතක් ඔහුගේ නළල මත රැදෙව්වා ය. ඇගේ නිදිබර මුහුණ මත බිඳක්වත් වංචාවක, බොරු ආදරයක සේයාවක්වත් නැත. මේ ආදරණීය සුන්දර බිරිඳ තමාට මෙසේ බොරු ආදරයක් මවා පාන්නේ කෙලෙස දැ යි ඔහුට සිතා ගත නොහැක.
“ඔළුව රිදෙනවා. නින්ද ගියේ නෑ”
ඔහු කී ය.
“ඉන්න මම පෙනඩෝල් දෙකක් ගේන්නම්.”
ඇය ඇඳෙන් බැස මේසය ළඟට ගියේ කඩිසර ගමනෙනි.
නිශා ගෙනත් දුන් පෙනඩෝල් පෙති දෙක බී සයනයෙහි ඇලවුණ මිගාරගේ හිස සෙමෙන් පිරිමදින නිශාගේ මෘදු දෙනෙත ඔහුගේ සිත දවාලයි.
නැත. මෙසේ විඳවිය යුතු නැත. නිශාගෙන් මෙය අසා දැනගත යුතු යි. සැකය මල් අසුනක සැඟවී සිටින සර්පයකු බඳු ය. උඩින් සුන්දර සුවඳ විහිදෙව්වාට ඇතුළතින් විෂකුරු විස පිරී තිබේ.
මිගාර යළි සයනයෙහි වාඩිවිය.
“නිශා මට ඔයාට කතාවක් කියන්න තියෙනවා”
නිශා දෙනෙත් ලොකු කර ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
අකුරක් නෑර අද දින හවස සිදුවූ සිදුවීම් මිගාර නිශාට විස්තර කළේ ය. නිශ්ශබ්දව කතාව අසාගෙන සිටි නිශාගේ දෙනෙතින් බේරී වැටෙන කඳුළු මිගාරට ලොකු කතාවක් කිය යි.
දෙවියනේ මේක ඇත්තක්ද..... කෝපාග්නි යක්ෂයා ඔහුගේ හදවතට පැමිණීමට පටන්ගෙන තිබේ. දැන් ඉතින් එළඹෙන්නේ විනාශයේ හෝරාව යි. කාමරය නිහඬය ඔරලෝසුවක් හදවත මෙන්ම නාද නගයි.
ලබ්...ඩබ්... ටක්...ටික්…
“මට සමාවෙන්න මිගාර මම ඔයාට ලොකු කතාවක් හැංඟුවට”
නිශා කඳුළු පුරෝගෙන කියයි.
“කියනවා නිශා..ඒ කතාව ඇත්තද…”
ඔහු වියරුවෙන් අසයි..නිශා කඳුළු පිසදා ගනී..
“නෑ ඒ කතාව බොරු..”
ඇය සෙමින් කියයි..
“ඒ මගේ අයියා..”
ඇගේ වදන් හැඟුම්බරයා දුකින් පිරි ඇත. නෙත් වලින් කඳුළු ගලා යයි..
“මට මේ කතාව ඔයාට කලින් කියන්නයි තිබුණේ මිගාර.. මට සමාවෙන්න මේක නොකිව්වට මේක ලොකු කතාවක්..”
ඇය ඉකිබිදිමින් කියයි. තමාට සිහිනයක් පෙනෙන්නේ දැයි මිගාර නැවතත් දෙනෙත් පිස දමා බැලුවේය. නැත, මේ පියවි ලෝකයයි. සිහිනයක් නොවේ..
“ඒ අපේ අම්මට සිද්ධවුණු අත් වැරදීමක්. අම්මා තරුණ කාලේ තිබුණු සම්බන්ධයකින් ලැබුණු දරුවෙක්..”
නිශා කියයි.
“ඒ දරුවා ගෙදර මුර කරන පවුලට හදාගන්න දීලා තමයි අම්මා තාත්තට බන්දලා දීලා තිබුණේ”
මිගාරට නිශාගේ මවගේ වලව්කාර මහ ගෙදරත් බොරු මාන්නයෙන් පිරුණු නිශාගේ සීයාගේ මුහුණත් මැවී පෙනුණි.
“අම්මා මේ කතාව හිතේ දරාගෙන හරියට දුක් වින්දා. තාත්තා මේ ගැන දැනගෙන හිටියේ නෑ. අම්මා ඉක්මනටම මැරුණෙ මම හිතන්නේ මේ දුක දරාගෙන හිටිය පීඩනයට.
ඒ අයියා ඉඳ හිටලා සීයගේ ගෙදර යනකොට මම දැකල තිබුණට ඒ මගේ අයියා කියලා මම දැනන් හිටියේ නෑ..
අම්මා මැරෙන්න කලින් මට මේ සේරම විස්තර කිව්වා. මට තිබුණේ මේවා ඔයාට කියන්න මිගාර. ඔයා අම්මා ගැන; මා ගැන මොනවා හරි හිතාවිද කියලා මම කියන්න බයෙන් හිටියේ..”
ඇය ඉකිගසමින් කියයි .
“අයියා හොඳට ඉගෙන ගත්තා. හදාගත්තු අම්මට තාත්තාට සැලකුවා. සාමාන්‍ය රස්සාවකුත් කළා..
දවසක් මම එයාව හොයාගෙන ගිහින් මේ කතාව කිව්ව. එයා ඒක දැනගෙන හිටියා. මම එයාගේ නංගි කියලත් දැනගෙන හිටියා. අපි දෙන්නා ගොඩක් වෙලා කතා කළා. බදාගෙන ඇඬුවා. ලෝකෙට පේන්න විදින්න බැරි සහෝදරත්වය හොර රහසින් විඳගත්තා. මට අයියාගේ සුවඳ තාම දැනෙනවා. ඒ මගේ එක් කුස උපන් අයියා මිගාර. අම්මට.. අම්මේ කියන්න වාසනාවක් නැති, මට නංගි කියන්න වාසනාවක් නැති මගේ අහිංසක අයියා ඒ මිගාර..”
නිශා ඉකිබිදිමින් හඬයි. නොදැනුවත්ව මිගාරගේ සුරත නිශාගේ හිස මත රැඳවී තිබේ.ඔහුටද මේ දුක දරාගත නොහැක.
“ඔයා මට කිව්වා නම් මාත් එයා බලන්න එනවනේ ළමයෝ..”
මිගාර කියයි.
“මට බයයි මිගාර. ඔයා මේක මොන විදිහට තේරුම් ගනීද කියලා මට බය හිතුණා. මම අම්මාව තේරුම් ගත්තා. අම්මා ආදරේ කරපු දුප්පත් පෙම්වතා අම්මාට නැතිවුණා. අම්මාගේ කුසෙන් බිහිවුණු දරුවාට පුතා කියන්න පින අම්මාට නැතිවුණා..
මගේ අම්මාත් පව් මිගාර..අම්මා පව්... ඇය නැවතත් ඉකිගසයි..
අයියට ඕනි වෙලා තිබුණා රට යන්න. සෝනාලිව බැඳලා ලස්සන ජීවිතයක් ගතකරන්න. ඒකට සල්ලි ටිකක් මදිවෙලා තිබුණේ. මා ළඟ අම්මගේ රත්තරන් බඩු ටික තිබුණා. ඔයා ඒවට ලෝභ නැති බව මම දන්නවා. ඔයා ඒවා හොයන්නේ නැති බවත් මම දන්නවා. ඒවා මොනතරම් වටිනවාද කියන එකවත්, තියෙන්නේ මොනවද කියලවත් ඔයා කවදාවත් අහලවත් නැහැ..
මම එදා ගියේ අයියාට ඒ ටික දෙන්න. ඒ ටික විකුණලා ඒ සල්ලි වලින් අයියට රට යන්න පුළුවන්.. සොනාලිත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්නත් පුළුවන් ඒකයි මම ඒ ටික අයියට දුන්නේ..
අනේ සමාවෙන්න මිගාර. මට සමාවෙන්න. මම මේ ටික ඔයාට නොකියා ලොකු වරදක් කළේ. මට සමාවෙන්න..මම හීනෙන්වත් ඔයාටත් ද්‍රෝහි වෙලා නෑ මහත්තයෝ.. මම කළ එකම වැරැද්ද මේවා ඔයාට හංගපු එක..”
රැයේ නිහැඬියාව බිඳිමින් ඇගේ ඉකිබිදුම් හඬ ඇසේ. ඈත ගසකින් බකමූණෙකු කෑ ගසන හඬ ඇසේ.
මිගාර හෙමිහිට අත දමා නිශා ළයට තුරුල් කර ගත්තේය. ඔහුට ඇය ගැන මෙන්ම ඇගේ අම්මා ගැනත් සොයුරා ගැනත් දැඩි දුකක් දැනේ. ඇත්තෙන්ම ඇය කලින් මේ ගැන තමා දැනුවත් කර තිබුණානම් මේ ප්රශ්නය මෙයට වඩා හොඳින් විසඳීමට ඉඩ තිබුණි.
“බලන්න නිශා තව පොඩ්ඩෙන් අපේ පවුලත් කැඩෙනවා. සොනාලිගෙ හිතත් රිදිලා . ඒ දෙන්නත් වෙන්වෙනවා. ඔයා මේවා කියලා තිබුණ නම් මීට වඩා ලස්සනට අපිට අයියව මුණගැහෙන්න තිබුනා..”
“අනේ,. ඔයා හොඳයි කියලා දන්නවා මිගාර. ඒත් මේ තරම් හොඳ වෙයි කියලා මම කොහොමද දන්නේ? ඔයා මෙහෙම මේ ප්‍රශ්න ගැන බලනවා කියලා දන්නව නම් මම ඔයත් එක්කයි අයියා බලන්න යන්නේ.”
“මිනිසුන් අපි අතින් ඕන තරම් වැරදි වෙනවා. එකම වැරැද්දක්වත් නොවෙන්න රහත් වෙලා නෑ නිශා. ඔයාගේ අම්මට එක තැනක ජීවිතය වරදින්න ඇති. ඒ වරදට අම්මා හිතින් මොනතරම් දුක් විඳින්න ඇත්ද.. අම්මට ආදරේ කරලා එයා අයිති කරගන්න බැරි වුණ ඒ අසරණ පෙම්වතා මොනතරම් දුක් විදින්න ඇත්ද..? මේ සේරම දැනගෙන ඔයාගේ අයියා මොනතරම් දුක් විඳින්න ඇත්ද.. ඔයාලා සේරම පව් නිශා..
ඒ වගේම සැකෙන් දැවි දැවී මම වගේම සොනාලිත් දුක් විඳින්න ඇති. අපිත් පව්.. අපි මේ සේරම සොනාලිට කියලා අයියවත් හම්බවෙන්න යමු. එයාල දෙන්නගේ වෙඩින් එක ලස්සනට ගනිමු. ඔයාගේ අයියා ඔයාගේ කියලා ඔයා පිළිගන්න. මගෙන් බාධාවක් නෑ. දැන් ඔයාගේ පුහු මාන්නයෙන් ඉදිමුණු සීයත් ආච්චිත් මේ ලෝකේ නෑනේ. අනික අම්මයි තාත්තයි මේ ලෝකෙ නෑ. කවුරු මොන කතා මොන විදිහට කිව්වත් අපිට මොකද... “
“අනේ මිගාර ඔයා මනුස්සයෙක් නෙවෙයි දෙවියෙක්.”
නිශා ඉකිබිඳ හඬමින් මිගාරට තුරුළුවේ. මිගාරට මහා සැහැල්ලුවක් දැනේ. හෙට නිවාඩුවක් දමා හෝ තාරක බැලීමට යා යුතුය. නිශාගේ නොදුටු සොයුරා දැක හඳුනා ගැනීමට ඔහුටද මහත් ආශාවක් දැනේ. දුරදිග නොබලා කටයුතු කළා නම් සිදුවන්නේ මහා විනාශයකි. පවුල් දෙකක්ම කැඩී යනු ඇත. ඇත්තෙන් ම සැකය විසකුරු සර්පයකි. මල් අසුනක සැඟවී සිටින විස පිරුණු මාරයෙකි. ඉඩ ලද වහා දෂ්ට කරයි. ඒ විසට බෙහෙත් සොයනු නොහැක.
“එළි වෙන්නත් ළඟයි. දැන් නිදාගමු. මම නිවාඩුවක් ගන්නම්. හෙට යමු අයියව බලන්න..”
මිගාර නිශාට තුරුළුවේ. අළු පාට තිර රෙදි ඈත් කරමින් සඳ කවුළුවෙන් එබී බලයි. සඳහිරු කහපාටය. එයින් රැල්ලක් නිශාගේ මූණට වැටී ඇත. කවුළුව වහන්නට ලෝභය. මිගාර එලෙසින්ම සයනයේ වැතිරේ. සඳ සිනා සලයි. පිනිමලින් සැරසුණු තණපත් උජාරුවෙන් හිස සොලවයි. රැහැයියන් වීනා අතට ගෙන නද දෙන්නට පටන් ගනී. සිදුවූ කිසිවක් සිහිනයක් නම් නොවේ. සැබෑ ජීවිතයේ සැබවින්ම සිදුවූ සොඳුරුතම, දුක්බර හැඟීම් මිශ්‍රිත සැබෑම සිදුවීම් පෙලකි
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆