උණුසුම් පුවත්පරිසරයවිශේෂාංග

සුන්දර කෙල්ල-බෝපත් ඇල්ල

ඇගේ පහස විඳින්න. ඇයත් රකින්න. ඔබත් රැකෙන්න

මේ උතුම් සිරිපා අඩවියට අධිපති ශ්‍රී සුමන සමන් දිව්‍ය රාජයාගේ බැල්ම වැටී ඇති ප්‍රදේශය යි. එනම් සුන්දර මැණික්පුරය හෙවත් රත්නපුරය යි. ඉතා සුවිශේෂී ඓතිහාසික ස්ථාන මෙන්ම සුන්දර දියඇලි වලින් ද පිරුණු රත්නපුරයේ තවත් සුන්දරතම දියඇල්ලක් වන බෝපත් ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්යෂණ දිනාගත් සුවිශේෂී ස්ථානයකි.

බෝපත් ඇල්ලට ළඟා විය හැකි මාර්ග දෙකකි. එකක්, කුරවිට හිග්ගස්හේන ගමෙන් හැරී යන මාර්ගය යි. දෙවැන්න නම්, කුරුවිට පොලිසිය අසලින් වැටී ඇති මාර්ගය යි. කුරුවිට අගලවත්ත නම් ගමේ පිහිටා ඇති මේ දියඇල්ල අඩි 95 ක් (මීටර් 30) පමණ උසින් යුතුව, සිය සේලය මුදා හරින්නේ රිදී පැහැති පිණි පබළු වැනි පෙණ කැටිති විසිරවමිනි. එය නෙත සිත කාන්දමකට මෙන් අද්දවන මනස්කාන්ත දර්ශනයකි.

රන්වන් හිරු කිරණ වළා සේලයන්ගෙන් මිදී තුරු වියන් වැළඳගන්නා සුන්දර උදෑසනක තෙත පෙණ පිඬු සිරුරේ හැපී නංවන හීගතු සිසිලෙන් එතී මේ ඇල්ල නරඹද්දී දැනෙන චමත්කාරය , ඔබ දිනක් හෝ අත්විඳිය යුත්තේ ම ය. විසල් වනස්පතීන් සිය දෑත් දිගු කර අහස අල්ලන්නට තැත් කරන රුක් ගොමු පිරුණු වන පෙත මතින්, ඉතා පටු පාෂාණ විවරයකින් එබී බලා සිය පුළුලු’කුල සලා පහළට ඇදෙන බෝපත් ඇලි කොමළිය සිය විසල් සුන්දරත්වය යටින් සූක්ෂම කුරිරුකමක් ද සඟවාගෙන නැත්තේ නොවේ.

ඉතා උතුම් පූජනීය ඇසතු වෘක්ෂයේ බෝ කොළයක හැඩයෙන් යුතුව ගලා බසිනා හෙයින්, මේ ඇල්ලට බෝපත් ඇල්ල යන නම ලැබී ඇති බව කියැවේ. පටු පාෂාණ විවරයකින් සිහින්ව ගලා, පසුව පළල් දිය දහරක් සේ ගලා යන බැවින් මෙම බෝ කොළ හැඩය ලැබී ඇත. ඉතා සුන්දර ජෛව විවිධත්වයෙන් පිරුණු කොළ පැහැති වනපෙත, ඇල්ලට ඉහළින් පිහිටා ඇත්තේ හරිත පලසක් අහසට අත වනනවාක් මෙන්‍ ය. ගල් පර මතින් පහළට වැටෙන දිය ඇල්ලේ සුන්දර පෙණ කැටිති, රිදීමය කලාලයක් බඳුව පහළට වැටී ගංඟාව දිගේ ගලා යයි. රත්නපුරයේ කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් පෝෂණය වන ඇල්ලේ ජලය වී වගාව සඳහා යොදා ගන්නා බව අවට ගැමියෝ පවසති.

රිදී පෙණ පිඩු නඟන සුනිල්වන් දියකඳ අතර ආවේණික මත්ස්‍යන් මෙන්ම තවත් ජලජ ජීවීන් ද බහුලව ජීවත් වේ. එමෙන්ම අවට පරිසර පද්ධතිය තුළ තෙත් කලාපයට ආවේනික උරගයින්, සර්පයින්, මෙන් ජීවීන් ද නිල්වන් තුරු වියන යට අලංකාර කුරුල්ලන් ද, තවත් සුන්දර සතුන් ද, වල් ඌරන් වැනි සිව්පාවුන් ද සැඟවී සිටී. වනස්පතිය හරිත පැහැයෙන් හැඩ කරමින් වටිනා විසල් රුක් මෙන්ම ඖෂධ පැළෑටි වර්ග ද පිරී පවතී. මෙය රක්ෂිත වනාන්තර පද්ධතියකි. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ මේ සුන්දර පරිසරය විනාශ වී යාම හා අපවිත්‍ර වීම නම් දුක්බර සිදුවීමකි.

මෙම ස්ථානය නැරඹීමට ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම අනිවාර්යය වන අතර කුරුවිට ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන රථවාහන නැවතුමහලක්, වැසිකිළි පද්ධතියක් මෙන්ම, කඩකාමර රැසක් ද මෙහි දැකිය හැකි ය. කොළඹ, රත්නපුර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටීම මෙන්ම කොළඹ නගරයට ආසන්න දුරක පිහිටීමත්, නෙත් සිත් ඇද  බැඳ ගන්නා සුන්දරත්වයත් නිසාම සංචාරක ආකර්යෂණ නොමදව ලැබෙන ස්ථානයකි. එමෙන්ම මෙම ස්ථානය වාර්ෂික වර්ෂාපතනය ඝනමිලිමීර 5000 ක් පමණ වන තෙත් සදාහරිත ප්‍රදේශයකි.

ජනප්‍රවාද රැසක් ද බෝපත් ඇල්ල ආශ්‍රිත පරිසරය සම්බන්ධයෙන් ප්‍රචලිතව පවතියි. සමන් දේවාලය වැඳ පුදා ගැනීමට යන ප්‍රභූන් අතරමඟ දී මෙම ඇල්ලෙන් ස්නානය කළ බව මෙන්ම වටිනා නිධානයක් මෙහි සැඟව ඇති බවටත් ගම්මුන් අතර ප්‍රචලිතම ජනප්‍රවාද වේ. එමෙන්ම එම නිධානය ලබා ගැනීම සඳහා මිනිස් ජීවිත දහසක් බිලි දිය යුතු බවටද ඒවා අතර කියැවේ. තවද පෙම්වතා හැර යෑමෙන් උග්‍ර සිත් වේදනාවට පත් වූ තරුණියක් ඇල්ලෙන් පැන දිවි නසා ගත් බවත් එම තරුණියගේ අවතාරය දිය ඇල්ල වටා සැරිසරන බවටත් ගම්මුන් අතර කියැවෙන ජනප්‍රවාද වේ.

ජනප්‍රවාද කෙසේ වෙතත් මේ වන විට මිනිස් ජීවිත ආසන්න වශයෙන් 80 කට වැඩි ප්‍රමාණයක් මේ ඇල්ලට බිලි වී ඇති බව නම් සඳහන් කළ යුතු ම ය. දිය ඇල්ල වැසි දියෙන් පෝෂණය වූ කළ ඉතා ප්‍රචණ්ඩ ය. මල් අතරින් සැඟවී සිටින සර්පයෙකු සේ විසකුරු විස සඟවාගෙන සිට අවස්ථාව ලද විට පහර දෙයි. ඉහළ කලාපය වැසි දියෙන් සන්නද්ධ වූ විට පහළ ජල මට්ටම ඉහළ නගියි. ඉන් සමහර ජීවිත හානි සිදුවී තිබේ.

අනෙක් කරුණ නම් හිතාමතාම කරගන්නා විපත් වේ. බොහෝ විට සෙල්ලක්කාරකමට හෝ බීමත්ව හෝ තාරුණ්‍යයෙන් මත් වුණු තරුණයෝ ගල් තලාවේ ඉහළට ගොස් ඡායාරූප ගැනීමට හෝ වීරත්වය පෑමට යෑමෙන් ගල් තලාවෙන් පහළට ලිස්සා වැටී දිය කඳ වැළඳ මරුමුවට පත්වෙති. බොහෝ විට ඒ සිරුරු ගල් තලා කුහර වල පැටලී තිබී හෝ දිය අතර සැඟවී තිබී ගොඩට ගැනීමට සිදුවන බව ගම්මු කියති.

කොපමණ බිහිසුණුකම් පෑව ද දිය ඇල්ල සිය ලාලිත්‍යයෙන් සියලු දෙනා ම වසඟයට ගෙන ඇත. ඈ සිය ආඩම්බර බඳ නිබඳව ලෙලවමින් කිසිත් නොවූවා සේ ගලා බසියි. වැසි කලට දිය දහරින් පෝෂණය ලැබ ඉතා ප්‍රචණ්ඩව වියරු වෙස් ගනියි. සිය රිදී සේලය වඩාත් පුළුල් කර ඇතැම් විට බෝ කොළ හැඩය පවා ඉවත් කරගනිමින් සැහැසිව ගලා බසියි.

එනිසා මෙම ස්ථානයේ දිය නෑම ඉතා ප්‍රවේසමෙන් කළ යුතුය. එමෙන්ම මෙම සුන්දර ලලනාව රැක ගැනීම අපගේ පරම යුතුකමක්ද විය යුත්තේම ය. කොළ පැහැති සුන්දර සදාහරිත වනස්පතිය මෙන්ම සිසිලසින් පිරුණු පරිසරය රැක ගැනීම ද අපගේ වගකීමකි. පොලිතීන්වලින් අපවිත්‍ර නොකර පරිසරයට හා සතුන්ට හානිකර චර්යයා වලින් වැළකී දිය ඇල්ලේ සුන්දරත්වය නැරඹීම අපගේ අනිවාර්යය යුතුකමකි.

ඉතින් නිදහස් දවසක ඔබත් මේ රුවැත්තිය නැරඹීමට ආ යුතුම ය. ඇගේ රිදී සේලයේ පහස විඳිය යුතුම ය. ඒ රිදී පෙණ තුඩු ස්පර්ෂයෙන් කිති කැවෙන මුදු මිහිර, සිසිලසෙන් පිරුණු ඒ දියවැළෙහි ස්පර්ෂය ලැබිය යුතුම ය.

ඇවිත් කිමිදී ගිලෙන්න ඒ දිය දහර තුළ. විඳින්න වනස්පතිය අතරින් පෙරී එන නැවුම් හිරු කිරණක උණුසුම. එමෙන්ම,රකින්න මේ සුන්දර කෙල්ල, ආදරණීය බෝපත් ඇල්ල.

ඈ මෙන්ම රැකෙන්න ඔබත්, රැකගන්න ඔබේ ජීවිතයත්. ඇගේ සැහැසිකම දැනුණු වහා ඒ අසලි න් ඉවත් වන්න. ඇයට හිරිහැර කිරීමට උස් ගල් තලා මතට නොපිවිසෙන්න. ඒ ඇය කෝප ගන්වන ක්‍රියාවක් බව අහිමි වූ ජීවිත සංඛ්‍යාව අපට පාඩමක් උගන්වමින් කියා සිටියි.

ඉතින් සොබාදහමට ළං වෙන්න. සොබාදහමට ආදරේ කරන්න. ඇගේ ගීතයට සවන් දෙන්න. ඇයත් රකින්න. එමෙන්ම ඔබත් රැකෙන්න.

 - සංජීවනී පද්මසේන -