ගහ කොළ සුරකිමින් පරිසරය ආරක්ෂා කරන්නේ නම්...
මිනිස් ජීවිත 35000 කට අධික පිරිසක් මියැදුණු සුනාමි රළය වෙරළ ඉක්මවා ගලා ආවේ අදින් හවුරුදු 21 ට පෙර අද වගේ දොහක යි. තවත් පීවිත 5000 ක් අදටත් අතුරුදන් බව ද සටහන් කරන්නට සිදුවී ඇත්තේ දැඩි වේදනාවකිනි.
2004 දෙසැම්බර් මස 26 වැනි පුන් පසළොස්වක් පොා්දා මහ මුහුද ගොඩ ගැලුවේ කිසිවකු නොසිතූ අයුරිනි. දකුණු කරේ ද, නැගෙනහිර ද මහ මුහුදු ගොඩට කඩා වැදී කළ ඒ මහා ඛේදවාචකයට හවුරුදු 21 ක් සපිරෙන්නේ අදට යි. සොබාදහම විසින් මේ වින්නැහිය කළේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි මහ මුහුදේ හටගත් භූමිකම්පාවකිනි.
අපේ රටේ වේලාවෙන් හරියට ම පෙරවරු 9. 25 ට උදම් රළ පෙළ කඩා වැදුණි. අපට මෙන් ම තවත් රටවල් ගණනාවක මිනිස් ජීවිත මෙන් ම ගොඩනැගිලි හා වෙනත් දේපොළ සුනාමිය විසින් මහ මුහුදේ කරදිය කඳ විසින් බිලි ගන්නා ලද්දේ ය.
ඒ ඛේදවාචකය මුහුදු කරේ දනන් අත්වින්දේ කෙසේ ද යන්න අද ද මතකයට නැඟෙන විට දැනෙන්නේ මහා බියකි.
සුනාමිය කළ විනාශය දැනුණේ වෙරළ කරේට ය. ඒත් ඊට වසර 21 ක් ඉක්මෙන්නට පෙර මේ බිමෙන් නමයෙන් අට කොටහකට ද අත්විඳින්නට සිදුවූ 'දිට්වා' සුළි කුණාටුව විසින් කරන ලද මහා විනාශය ලාංකේය ඉතිහාසයටඑක්වන ලැවැන්තම ස්වාභාවික විපතයි.
එදා මහ මුහුදු ගොඩ ගලා අහිමි කළ ජීවිත සංඛ්‍යාව තරම් විනාශයක් රටට ඇති නොවුණ ද හෙළබිමෙන් 8/ 9 ක් ම දියකර හැරීමෙන් සිදුවූ පාඩුව ඉමහත් ය.
සොබාදහම විසින් අපට කියාදෙන මේ පාඩම්වලින් නිසි පරිදි අපි පාඩම් උගත්තෝ වූයේ ද යන්න සළකා බැලීම වටී. එකිනෙකාට චෝදනා නඟමින් අපත් අපේ රට කරවන හා කරවූ ඇත්තනුත්, කරන්නට සිහින දකින ඇත්තනුත් එකිනෙගා අතර කුලල් කා ගනිමින් කරන්නා වූ නාඩගම් දිහා බොහොම ඉවසිලිවන්තව බලා හිඳින සොබා දහම ඊළඟ වතාවේ දී කුරිරු වී පැත්තකින් මහ මුහුද කඩා වැදෙමින් ද අනෙක් අතින් කඳුකරය දිය කර හරිමින් ද නිසි දඬුවම් දීමට පටන් ගත්තොත් මිනිස් ප්‍රාණීන් කිසිවකුත් පොළෝ තලයේ ඉතිරි වේද යන්න හොඳින් හිතා බලනවා නම් හොඳ ය.
මෙවර “ජාතික සුරක්ෂිත දිනය" නමින් ඇරඹෙන වැඩ සටහනක් හෙට ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව කටයුතු යොදා ඇත. එය බොහොම හොඳ වැඩකි. හැබැයි ඉතින් එය කරන්නේ ද තවත්නෙ දේශපාලන සංදර්ශනයක් ලෙස නම් ඒ සඳහා වැය කරන මුදල ද ගඟේ මූදේ දැමීමක් බව නොකියා බැරි ය.
අප එකිනෙකාට දයාව, ආදරය පාමින් සුහදත්වයකින් යුක්තව අප අවට ඇති ගහ කොළ සතා සීපාවාට ආදරය කරමින් පරිසරයට අවම හානියක් පවා නොකරන්නේ නම්.....!!!
පරිසරයට අප ආදරය කරන්නේ නම් පරිසරය ද පෙරළා අපට ආදරය කරනා බව සිහියේ තබා ගෙන නාය ගිය කඳු පල්ලම්වල ගහ කොළ සිටුවන්නට පියවර ගතහොත් නායයෑමට ලක් වූ පරිසරය අපට පෙරළා හුස්ම දෙනු ඇති.
