කොටපිටියේ රාහුල නාහිමිපාණන් ලවා චුල්ල මාලුංක්‍ය පුත්ත සූත්‍රය දේශනා කරන්නට ඇරයුම් කරන්න!!

විපක්ෂ නායක කාර්යාලයේ පසළොස්වක පෝයට ධර්මදේශනාවක් පැවැත්වීමේ සිරිතක් 2024 ට පෙර තිබුණා මතක ය. තවම ඒක කෙරෙනවා නම් ඊළඟ ධර්ම දේශනාව පවත්වන ගරු ස්වාමීන්වහන්සේට, හොඳ මාතෘකාවක් යෝජනා කරන්නට මට සිතුණි. එය මේ රටටත් සමගි ජන බලවේගයට ඡන්දය දෙන, ඡන්ද දායකයින්ටත් බොහෝ ප්‍රයෝජනවත් විය හැකි ය.
ප්රජාතන්ත්රවාදි රටක හොඳ පාලනයක් පවත්වාගෙන යාමට නම්, විපක්ෂය ශක්තිමත්ව තිබිය යුතුය. ආණ්ඩුව නම් කොහොමටත් ශක්තිමත් ය. මන්ත්‍රී බලය, මූදල් බලය, රාජ්‍ය බලය, ජනාධිපති බලය හමුදා බලය, ආදී හැම බලයක් ම, මෙහෙයවීමේ හැකියව ඇත්තේ ආණ්ඩුවට හා එහි නායකයාට ය. විපක්ෂයට ඔය කිසි බලයක් නැත. ඇත්තේ ජන බලය එකතුකර ගැනීමට අවස්ථාවක් පමණි.
මාමේ යෝජනා කරන ධර්ම දේශනාව පැවැත්තුවොත්, ප්‍රධාන විපක්ෂය ජන බලය එකතුකර ගැනීමට ලැබෙන, අවස්ථාවන්වලට බලවත් බාධකයක් වී ඇති, සාධක පහවීම නිසැක ය. මේ ධර්ම දේශනාව පැවැත්වීමට වර්තමාන ලංකාවේ වැඩ සිටින, අග්‍රගණ්‍ය ධර්ම දෙශකයාණන් වහන්සේලා අතරින්, උචිතම ස්වාමීන් වහන්සේ වන්නේ, කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, අතිපූජ්‍ය අනුනායක හා මහා ලේකඛාධිකාරී අග්ග මහා පණ්ඩිත, මහාචාර්ය, කොටපිටියේ රාහුල මහා ස්ථවිර පාදයන් වහන්සේ ය. උන්වහන්සේ මෙබඳුම ධර්ම දේශනාවක්, 2019 වර්ෂයේ දී ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහයෙන්, අපේ කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ, අති උතුම් මහ නායක, අග්ග මහා පන්ඩිත, ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාර මා හිමිපාණන් වහන්සේ, වැඩ වෙසෙන පන්නිපිටිය, රුක්මලේ, ධර්ම විජයාලෝක මහා විහරස්ථානයේ දී, පුරා පැයක කාලයක් තිස්සේ, පවත්වනු ශ්‍රවණය කර ඇත්තෙමි. එදා අප සමග ඒ ධර්ම දේශනාව, ශ්‍රවණය කළෝ, ධර්මදේශනාවේ දායකත්වය දැරූ, ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, අතිගරු ජනාධිපති ධුරන්ධර, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්රමුඛ පිරිසකි. ඒ ආසන්න වකවානුවේ ජනාධිපතිතුමා ගත්, දේශපාලන් තීන්දුවක් නිසා රටේ මහා ව්යකූලතත්වයක්, ඇතිවී තිබුණි. අපේ කොටපිටියේ රාහුල අනුනායක නාහිමියන්, ත්‍රිපිටකයෙන් ගත් උදාහරණ යොදාගෙන, රාජ්‍ය පාලකයින් නොකළ යුතු දේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසුරෙන්, පැහැදිලි කර දුන්නෝ ය. ඒ පැයක කාලයේ දේශනා කළ ධර්ම දේශනාව පොදුවේ මුළු මහත්, ශ්‍රාවක සමූහයේ ම බුද්ධිය අවධි කළ, එකක් විය. බෞධ භික්ෂුන් වහන්සේලාට ඓතිහාසිකව පැවරුණු, රාජ්‍ය පාලකයින්ට අනුශාසනා කිරීමේ කාර්ය, බොහෝ අපූරුවට අපේ, කොටපිටියේ අනුනායක මාහිමිපාණන් වහන්සේ සිදුකරද්දී, අප අසල බිම වාඩිවී සිටි, මෛත්‍රීපාල ජනාධිපතිතුමා මඳක් දැස් පියාගෙන, ඉතා හොඳින් ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළ බව නිරීක්ෂණය කළෙමි. පුරා පැයක කාලයෙන් දෙකෙන් පංගුවකටත් වඩා, ජනාධිපතිවරයා මෑතදී කළ කාර්ය ධර්මානුකූල හෝ, බුද්ධිමත් නොවන බවත්, මෝඩ කමක් බවත්, පිරිහීමේ ලක්ෂණයක් බවත්, රජුන් පිරිහෙන විට රටත් පිරිහෙන බවත්, රාජ්‍ය පාලකයින්ට රට පිරිහීම නොව, පැවරී ඇත්තේ රට බැබළවීම බවත්, එය නොකළොත් ජනතාව විසින් පාලකයාව, ප්‍රතික්ෂේප කරනු ඇති බවත්, බුධ දේශනාව ඇසුරෙන් පැහැදිලි කළ, අනුනායක හිමියන්ට, ධර්ම දේශනාව අවසන අටපිරිකර පූජා කර, පසඟ පිහිටුවා වන්දනා කළ, මෛත්‍රීපාල ජනාධිපතිතුමා නැගිට දිගු හුස්මක් හෙළීමෙන් පමණක් ප්‍රතිචාර දක්වනු පෙනිණි. මේ නිසා විපක්ෂ නායක කාර්යාලයේ මා යෝජනා කරන, ධර්ම දේශනාව, කොටපිටියේ රාහුල අනුනාහිමියන් ලවාම පැවැත්වීම සුදුසු ය.
ධර්ම දේශනාවට පාදක කර ගත යුත්තේ, මජ්ජිම නිකායේ භික්ඛු වග්ගයේ, එන චුල්ල මාලුංක්‍ය පුත්ත සූත්‍රය යි. එහි එන කරුණු සාරංශව මෙසේ ය. බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර, ජේතවනාරාමයේ වැඩ වාසය කරද්දී, චුල්ය මාලුංක පුත්‍ර නම් භික්ෂුවට, දිනක් මෙසේ සිතුවිල්ලක් ඇතිවිය. බුදුන්වහන්සේ ලෝකය සදාකලිකද? නැතිද? ලෝකයේ කෙලවරක් ඇතිද? නැතිද? ජීවය හා ශරීරය යනු දෙකක්ද? එකක්ද ? සත්වයා මරණින් පසු පවතීද ? නැතිද ? ආදී දේ ගැන නිශ්චිතව, දේශනා කර නැත. එය එතරම් සුදුසු යැයි මට නොසිතේ. මේ ගැන කෙළින් පිළිතුරු නොදුන්ණොත් මම සිවුරු හැරයමි යැයි සිතා, මේ ප්‍රශ්න ටික බුදු රජුන්ගෙන් විමසීය. එවිට බුදුන් භික්ෂුවගෙන් ඇසුවේ, මම ඔබට කවදා හෝ මේ ප්‍රශ්නවලට පිළිතුරු කියන්නෙමි, ඇවිත් මා ළඟ පැවිදි වන්නැයි කියාය. එසේ ඔබ වහන්සේ මට කියා නැත. එසේ නම් ඔබ මාවෙත පැවිදි වන්නට එද්දී, මේ ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලමින් පැවිදි වන්නෙමියි කීවේද? එසේත් නැත කියා භික්ෂුව පිළිතුරු දුනි. එසේ නම් දැන් ඔය ප්‍රශ්න අසන්නේ ඇයිදැ යි විමසූ බුදුන්, ඔබේ ඔය ප්‍රශ්නවලට මම පිළිතුරු නොදෙමි. සිවුරු හැර යන කෙනාට, මහණ කමේ ප්‍රතිඵල නොලැබෙනු ඇතැ යි පැවසූහ.
බුදුන් වහන්සේ එහිදී මෙසේද දේශනා කළහ.
"මාලුංඛ්‍ය පුත්‍රය!, යම්කිසි පුරුෂයෙකුට විෂ සහිත ඊතලයකින්, විදින ලද්දේ ද, ඔහුගේ ඥාතිමිත්රයෝ ශල්‍ය වෛද්‍යවරයෙකු ගෙන්වති. එවිට තුවාල වූ පුද්ගලයා මෙසේ කියයි.
"මට ඊයකින් විදින ලද්දේ ක්ෂ්ත්රියෙක්ද? බ්‍රාහ්මණයෙක්ද? වෛශ්‍යයෙක්ද? ශුද්‍රයෙක්ද? ඔහුගේ නම කුමක්ද? ගෝත්‍රය කුමක්ද? ඔහු උස අයෙක්ද? මිටි අයෙක්ද? මධ්‍යම තරමේ කෙනෙක්ද? කළු අයෙක්ද? සුදු අයෙක්ද? එළලූ අයෙක්ද? ඔහුගේ ගම නියම්ගම නුවර කුමක්ද? විද්දේ මහ දුන්නකින්ද? කුඩා දුන්නකින්ද ? දුනුදිය වර නූලෙන් කළ එකක්ද? හණ නූලෙන් කළ එකක්ද? නහර වලින් කළ එකක්ද? විදිනලද ඊතලය කුසෙහි උපන් එකක්ද? රෝපනයණ කර වැඩූ එකක්ද? පක්ෂි පිහාටුවකින් වෙළන ලද්දක් ද? ගිජුලිහිණි පිහාටුවකින් වෙළන ලද්දක්ද? ඒ ඊතලයක ද?වේතාන්ඩයක්ද? නාරවයක්ද? වසුදතක්ද? මේවා දැනගන්නා තුරු ඊය ගලවන්නට නොදෙමි යි
කීවොත් වන්නේ ඔහුට මිය යන්නට ය."
මේ බුධ දේශනාවේ ඊය කියා, ඇති තැනට ටෝපිඩෝව කියා හෝ, සබ්මැරීනය කියා යොදා, විපක්ෂ නායක තුමාටත්, ඔහුගේ වටේ ඉන්නා උපදේශකයින්ටත්, අපූරු විග්‍රහයක් කර දැක්වීමට, කොටපිටියේ රාහුල අනු නා හිමියෝ සමත්වනු නිසැක ය.


මෙසේ ලිවීම ප්‍රමාද වුණේ ආණ්ඩුවේ සිටින, චුල්ල මාලුංඛ්‍ය පුත්‍රයින් බඳු, සිවුරු හැර යාමේ අදහසින්, පැවිදිවී සිට සිවුරු හැර ගිය, කවර මන්ත්‍රීවරයෙකු හෝ, ඇමතිවරයෙකු හෝ, පාර්ලිමේන්තුවේදි ම මජ්ජිම නිකායේ, චුල්ල මාලුංඛ්‍ය සූත්‍රයෙන්, විපක්ෂ නායක තුමාට පිළිතුරු දෙනු ඇතැයි, බලා සිටීමට වූ නිසාය. එසේ සිදු නොවුණේ ඒ අය සිවුරේ සිටිද්දීත්, ත්‍රිපිටකයේ සූත්‍රවලට වඩා, ලෙනින්ගෙ සූත්‍ර අධ්‍යනය කළ නිසා විය යුතුය. ගරු නාමල් කරුණාරත්න ඇමතිතුමාත්, ගරු ගමගෙදර දිසානායක නියෝජ්‍ය ඇමතිතුමාත්, ගරු චන්දන සුරිය ආරච්චි මන්ත්‍රීතුමාටත්, බැරිවුණු උත්තරය, කොටපිටියේ රාහුල අනු නා හීමියන් ලවා ම දීම සුදුසු ය.
- සුනිල් කන්නන්ගර -
