උණුසුම් පුවත්විශේෂාංගසෞඛ්‍යය

සුසිල ගෙ අම්මා

හිත ලෙඩ කරන බොරු භූතයෝ - 5

 මනෝ ව්‍යාධි පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් (MBBS, MD Psychiatry - Counsultant Psychiatrist) මහතා සමඟ කෙරුණු සාකච්ඡා පෙළෙක පස්වැන්න යි මේ.

            අම්මා ගේ අතේ පයේ තැනින් තැන කැළල් කීපයක් තියෙනව සුසිලා දවස් ගණනකට කලින් දැක්කා. හැබැයි ඈ ඒ ගැන අවධානයක් යොමු කළේ ඒ ලප කැළල් දවසින් දවස වැඩි වෙන වගක් දුටුව හින්ද. එක එක තරමේ මේ ලප කැළල්වලින් සමහරක් ඒවා හොඳහැටි වේළිලා. තවත් ලප වගේක ඉස්ම බේරෙනවා. දවස් කීපයකට පස්සෙ අම්ම ගෙ මූණ පුරාත්, බෙල්ලෙ ඉස්සරහත්, පස්සෙත්, වැඩි වැඩියෙන් මතුවෙලා තියෙන හැටි දැක්කහම සුසිල ගෙ පපුව හෝස්ගාල පත්තු වුණා. ඒ ඈට ඈ කෙරෙහි ම උපන් කේන්තියකුත් එක්ක. ඇගේ හිතේ කොනකින් මොකක් දෝ බියකුත් මතු වුණා ඒ එක්ක ම. දියණියන් අම්මා මූණ කට දොවා පිරිසිදු වුණාට පස්සෙ වඩාත් හොඳින් විපරම් කළේ මවට නො දැනෙන්නට වගේ. අම්ම ගෙ හැසිරීම්වලත් පොඩි පොඩි වෙනස්කම් ඇති වෙලා වගේ.

“මොනවද අම්මෙ මේ ඇඟේ තැනින් තැන තුවාල. කොහොම ද මේ තරම් තුවාල ඇඟේ තැනින් තැන.”

සුසිලා අම්මගෙන් ඇහුවා.

දුවණිය එහෙම කීවා ම අම්මා දිග හුස්මක් පිට කරල සුසිල දිහා බලා හිටියෙ බෝම අහිංසක විදිහට.

“කෝ බලන්න... කෝ බලන්න....” ඈ මවට කිට්ටු වී වඩාත් විමසිලිමත්ව ඇගේ අත පය පිරික්සන්නට පටන් ගත්තා.

“මෙන්න මූණෙත් තැන් තැන්වල... කෝ බලන්න පිට” යි කියා ඈ මවගේ හැට්ටය මඳක් ඉහළට ඔසවා බැලින්න නම් පිටෙත් තැන් තැන්වල කිසිවකු නියවලින් පහුරුගාලා පහුරුගාලා වගේ.”

ඈ වතුර ටිකක් රත්කරල බේසමකට දමා පැනෙල් රෙදි කෑල්ලක් අරන ඒ තුවාල පිරිසිදු කළා. ඊට පස්සෙ ඒ ලප කැළල් ද තුවාල ද හොඳට තෙත මාත්තු කරල ආයුර්වේදෙන් ගෙනැත් තුබුණු තුවාල තෙල් ගල්වල අම්ම ගෙන් ආපහු වතාවක් ඇහුවෙ කොහොම ද මෙච්චර තුවාල ඇතිවෙලා තියෙන්නෙ කියල.

“මං කෝමද බං දන්නෙ ඇගේ තුවාල ඇති වුණේ කොහෙම ද කියා. මොකදැ මං දොස්තර විභාග පාස් කොරල තියෙනව යැ. එහෙම වුණා නං කියන්න තිබුණා තුවාල මොනවද කියා.” ඈ දුවට පිළිවදන් බැන්දෙ නොරුස්නා මූණත් තහඩුවක් එල්ලං. මව ගේ කෝපසහගත බව සුසිලා ට ගෙන දුන්නේ දුකක්. වේදනාවක්. මහත් සිත් පීඩාවක්. එදා හැන්දෑවේ සැමියා ගෙදර ආ පසු ඔහු ට පැවසුවේ සිය මෑණියන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් වේදනාබර වුවනෙන්. සැමියා ත් ඒ විස්තරය අසා කම්පාවට පත් වුණා.

බෑණනුවන් ද බෝ ළෙන්ගතුව නැන්දණිය ගේ සිරුර සෝදිසි කළා. ඔහු දැක්කේ කිසිවකු විසික් ඇගේ ශරීරයේ තැන් තැන් සීරීමෙන් කොනිත්තමින් ඇති වුණු තුවාල ලෙස. ඔහු ටිකක් වෙලා කල්පනා කළා. බිරිය පැත්තකට කැඳවා කීවේ අපි හෙට දවසෙත් බලමු කියා.

පසුදා සුසිලා බලන කොට අම්ම ගෙ මුළු සිරුර පුරා ම වගේ තුවාල හටගෙන.

“අම්මෙ ඊයෙට වඩා අද වැඩිවෙලා නේ අම්මගෙ ඇඟේ තුවාල...” බෝ සෝ බරව ඈ මවට කීවා.

“හ්ම් තුවාල... තුවාල වැඩි නොවේ යැ මේ ගෙදරට භූතයෙක් වැහිල ඉන්නවා. උඹල කාටවත් ඒ ගැන පේන්නෙත් නෑ උඹල ඒ ගැන සොයන්නෙත් නෑ, ඒ භූතය තමයි මගේ ඇඟ නියවලින් පහුරු ගගා තුවාල කරන්නෙ”

අම්මාගෙ ඒ කතාවෙන් දුව හොඳට ම සසල වුණා. වැඩ ඇරී සැමියා ගෙදර ඇවිත් ටික වෙලාවක් ගත වුණාට පස්සෙ සුසිලා අම්මා කී කතාව ඔහුට කීවේ කිසියම් බියක් සැකක් පපුවෙ පුරෝගෙන.

නිවසට අරක් ගෙන සිටින භූතයා ගෙන් මව ත් නිවසත් බේරා ගැනීමට තත්පර වූ සුසිලා සැමියා කැටිව යකැදුරෙකු සොයා ගොස් ඔහු ලවා අම්මාට ශාන්තිකර්මයක් කරන්න දෙපාරක් හිතුවෙ නෑ. යකැදුරා සුසිල ගෙ මවට ශාන්තිකර්මයක් කොට ආරක්ෂාවට ගේ සතර කොනේ යන්තර හතරකුත් වැළලුවා.

එදායින් පස්සෙ සතියක් දෙකක් ගෙවුණෙ අම්මාට කිසියම් සහනයක් ඇති කරමින්. සුසිලා ගෙ හිතට එයින් ඇති වුණේ සන්තුෂ්ටියක්. තවත් සතියක් විතර ඉක්ම ගියාට පස්සෙ අම්මා ගේ සිරුරේ අර පෙර පරිද්දෙන් ම තුවාල ඇතිවෙලා. තැන් තැන්වල තුබුණු තුවාල සුව වූ කැළල් යළි තුවාල වෙලා. ඒවා තරමක් ඇතුළට පවා ගැඹුරුයි වගේ.

එච්චර විතරක් නම් බැරියැ. අම්මා රෑට රෑට ගේ පුරා ඇවිදින්න ත් පටන් අරන් බව සුසිල ගෙ සැමියා දවස් කීපයක් ම දැක තිබෙනවා. ඔහු නැන්දම්මා ගේ මේ අලුත් හැසිරීම සුසිල ගෙ කනට කරල හීන්සිරේ කෙඳිරුවා. මහත්තයා කී දේ සැබෑවක් බව ඈත් අත්දැක්කා.

තවත් ටික දොහකට පස්සෙ අම්මා මහ රෑජාමෙ සුසිලට කතා කරල ඇයත් සැමියත් දරුවනුත් නැගිට්ටෙව්වා.

“මොකද අම්මෙ?” සුසිලත් සැමියත් එකවර ඇගෙන් විමසුවා. ඒත් ඔවුන් අවදි කළ හේතුවක් අම්මා කීවේ නෑ, එහෙම දවස් ගාණක් ම රෑ දෙගොඩහ යාමෙ අම්මා ගෙදර ඉන්න හැමෝම නැගිට්ට වන්න වුණේ ඔවුන්ට මහ කරදරයක් වෙමින්.

තවත් ටික දවසකින් ඈ ගෙදර අය අවදි කිරීම වෙනුවට නිවසේ දොර ඇරන් එළියෙ ඇවිදින්න වුණා. ගේ වටේ ම ඇවිදින අඩි සද්දවලින් බියට පත් සුසිල ත් සැමිය ත් නැගිටල බලන කොට අම්මා උන්දැ ගෙ කාමරේ නෑ. විපරම් කරද්දි මේන්න වියපත් අම්මා මොන මොනවදෝ දොඩවමින් ගෙයි පස්ස පැත්තෙ ඇවිද ඇවිද ඉන්නවා තට්ට තනියම.

සුසිල ත් මහත්තය ත් හොඳටෝම බයවුණේ අර භූත දෝෂය ආපහු වැඩිවෙලා දෝ කියන සැකෙන්. ඒ හින්ද ඈ සැමියා ට කීවේ යන්තර මන්තරකරු කැඳව්වොත් හොඳ වග. යකුදුරා පැමිණ ඔවුන් ගේ කතාවට සවන් යොමු කර හිට ටික වෙලාවකට පස්සෙ කීවේ භුතයා පලවා හරින්නට ලොකු තොවිලයක් කරන්න ඕනෑ කියන කතාවයි.

“අද කාලෙ තොවිලයක් කරනව කියන එක සුළුපටු වියදමක් යැ. ලක්ෂයකට වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා. හොඳයි එහෙම වියදම් කරා ය කියමුකො. කාට හරි ණයක් තුරුසක් වෙලා හරි කරන්න ඕනැ දේ කොරන්න එපා යැ. ඒත්... ඒත්.... ප්‍රශ්ණෙ තියෙන්නෙ එතැන නෙවෙයි. එච්චර මුදලක් විය පැහැදම් කරලත් අම්ම ගෙ ලෙඩේ හොඳ නූණොත්.....” සැමියා සුසිල ගෙන් ඒ විදිහට ඇහුවා.

සැමියා ගේ කතාවෙ ඇත්ත බිරිය හොඳින් වටහා ගත්තා. එහෙම වටහා ගත්තු සුසිලා එදා ම හවහ අම්ම ගෙන් ඇහුවා මොකක් ද මේ වැඩේ තේරුම... අම්මා අපි කවුරුවත් ම දන්නෙ නැතුව මහ රාත්තිරියෙ ගේ දොර ඇරගෙන එළියට යනවා. වැරදිලාවත් සතෙක් සර්පයෙක් දෂ්ට කළොත්... හොරොක් හතුරෙක් ගෙට රිංග ගත්තොත්.....” ඈ එහෙම කීවෙ අම්ම ගෙ හිත පොඩ්ඩක් හරි කැඩෙන බිඳෙන විදියට නම් නෙවෙයි. 

“හනේ පුතේ මං උඹලට කරදර කරන්න කැමති නෑ... මගේ ඇඟේ හම ඇතුළෙ පණුවො වගයක් ඉන්නව. උන් රෑට හම මතු පිටට එනවා. ඇවිත් ඇඟ පුරා ම දුවනවා. දුවනවා. ඒක මට දරා ගන්න බෑ, එතකොට තමයි මං උන් අයින් කරන්න අදින්නෙ. එතකොට තමයි නියපොතු වලට හම තුවාල වෙනව ඇත්තෙ.” අම්මා ඒ කතාව දූට එක වර ම කීවේ නෑ, සුසිලා අහන අහන කොට නොකියා ම ඉන්න බැරි තැන යි ඒ විස්තරේ කළේ.

එහෙම කියපු අම්මා සුසිලට පේන්න ම අතේ හම කොණිත්තා “මේන් බලපංකො දුවේ මේ.. මේ.... මේන්න පණුවො තමා මගේ හමට යටින් ඉවරයක් නැතිව දුවන්නෙ. දුවන්නෙ.” යි පවසමින්  අතකත් බෙල්ලෙත් හම කොණිත්තා පණුවො අරන් පෙන්නුවා. අම්මා එහෙම පණුවො පෙන්නුවත් සුසිලට නං පේන්න පණුවෙක් නෑ,

“මේ පණුවො ඇඟ පුරා දුවන එක මොන කරදරයක් ද දරුවො... ” ඈ කීප වතාවක් ම එහෙම කිය කියා ඊළඟට ඇගේ හැම තැනක් ම කසන්න පටන් ගත්තා. එතැනින් නො නැවතුණු අම්මා තවත් විස්තරයක් කියන්න වුණා.

“මේ පණුවො ඉන්නෙ පුතේ මයෙ ඔළුව ඇතුළෙ. හිස මුදුනෙ. මුන් ඉහ මුදුනෙ හිට පහළට පහළට ඇවිත් ඇඟ පුරා ම දුවන්නෙ දුවන්නෙ හමට යටින්. මොන කරදරයක් ද පුතේ... මොන පවක් ද...”

“ඉස්සරින් හිටියෙ පණුවෙක් දෙන්නෙක්. දැන් උන් පැටව් ගහල ද කොහෙද පොදි පොදි... ඉන්නවා දැනෙනවා ගුලි ගුලි.... වෙලාවකට හම විදගෙන උඩට ඇවිත් බිමටත් වැටිල තියෙනවා.. ”

ඈ බිමට නැඹුරු වී පොළොව අත ගා ඇගේ සිරුර විදගෙන හම මතු පිටට ඇවිත් බිම පතිතව ඇතැ යි කියන පණුවො එකතු කරන්නත් පටන් ගත්තා. එහෙම එකතු කරපු පණුවො යෝගට් කප් එකකට දමල දුවණියටත් මුනුබුරාටත් මිනිබිරියටත් පෙන්නන්නෙ “මේන් බලා පල්ලා... මේන් බලා පල්ලා....’‘ කිය කියා.

අම්මා එහෙම පණුවො එකතු කොට යෝගට් කප් එක සුසිලටත් ඇගේ දරු දෙන්නටත් පෙන්නුවත් ඔවුන් ඒක ඇතුළෙ ඉන්න පණුවෙක් දැක්කෙ නෑ, ඔවුන් දුටුවෙ නූල් කෑලි, කොළ කෑලි, ගිනිකූරු කෑලි, වගේ බිම තිබෙන රොඩු බොඩු කෑලි.

අම්මා ඇගේ ම නියවලින් සිරුරේ තැන් තැන් කස කසා, කොණිත්ත කොණිත්තා කඩ කඩා තුවාල කර ගන්නෙ අර පණුවො එළියට අදිනව කිය කියා. උන්දැට රෑට නින්දක් නෑ. එක පාරට ම අම්මා කේන්තියෙන් සුසිලටත් දරු දෙන්නටත් ඉවරයක් නැතිව බණින්න පටන් ගත්තෙ කෝපයෙන් පුපුර පුපුරා. අම්මට කිසියම් මානසික රෝගයක් වැලඳී ඇතැ යි සුසිලා තනිවම කල්පනා කළා. මොකද කියනවා නම් අම්මා නිතර නිතර කෝප සහගතව හැසිරෙන්න පටන් ගත්ත හින්ද. ඈ සැමියාට අම්මා දැන් පත්ව  සිටින තත්ත්වය කීවෙ බෝම දුකෙන්. හඬ හඬා.

“අපි දොස්තර කෙනකුට අම්මා පෙන්නමු. දොස්තර මහත්තයා තේරුම් ගනීවි මොකක් ද අම්මට ඇතිවෙලා තියෙන මොළේ අමාරුව කියා”

සුසිලා සැමියාත් එක්ක අම්මා කැටිව මානසික රෝග විශේෂඥ වරයකු හමුවුණේ ඊට පස්සෙන් දා හවහ.

වෛද්‍යවරයා ඈ හොඳින් පිරික්සුවා. පණුවො ගැන විස්තර ඇහුවා. ඒ ඔක්කොටම කලින් නම අහල වයස අහන එක නෙවැ වෛද්‍යවරයෙක් මුලින්ම කරන්නෙ.

මගේ වයස හවුරුදු හැත්තෑ පහක් අහවරයි නෙවැ මහත්තයො දැන් හැත්තැ හයේ මුල” යි ඒ වයෝවෘද්ධ කාන්තාව පිළිවදන් බැන්දෙ බෝ ම පහසුවෙන්. වෛද්‍යවරයා ගේ කරුණා ගුණය නිසා දෝ ඈට කිසියම් පහසුවක් දැනිලා වගේ.

“මං දූ ළඟට ඇවිත් මාස හත අටක් විතර ඇති. ඊට කලින් මං හුන්නේ මගේ ගෙදර. පුතා ගෙ පුතා බලා කියා ගෙන. මයෙ පුතා අවුරුදු ගණනාවක් වෙනව රට ගිහින්. පුතාට ඉන්නෙ එක ළමයෙක් විතරයි. මයෙ පුතා ගෙ ගෑනි පුතත්,  ළමයත් අත ඇරල වෙන මිනිහෙක් එක්ක ජීවත් වෙන්නෙ. ඒ ගෑනි එදා මෙදා තුර මයෙ මුනුබුරා ගැන කිසිම සෙවිල්ලක් බැලිල්ලක් කළේ නෑ මෙච්චර කාලෙකට. දැන් කොල්ල ගජ ඉළන්දාරියෙක්. පුතා දරුව ගෙ ඉස්කෝලෙ වැඩ කටයුතුවලට හැම මාසෙකම අඩුවක් පාඩුවක් නැති අපි දෙන්නට සල්ලිය බාගෙ එව්වා දොස්තර මහත්තයො. ඒකා ඒ සල්ලිවලින් ඌට ඕනැ කරන පත පොත ගන්නවා වෙනුවට කළේ යාළුවොත් එක්ක ටැක් ගැහි ගැහී නැති නාස්ති කරපු එක. මං ඉතින් මේ වයසක ගෑනි මොනව කරන්න යැ. ඒකා පස්සෙන් යන්න එන්න යැ. එකා යකා ය කියනව නෙවැ. මුනුබුරා යාළුවොත් එක්ක හෙරොයින්වලට ඇබ්බැහි වෙළා. කාට කියන්න යැ. අන්තිමේ දී කුඩු බොන්න දහ අතේ ණයවෙළා. මයෙ කොල්ලා දුක් මාන්සියෙන් හරි හම්බ කරල අපට එවන හැම සතේම මේකා යාළුවොත් එක්ක කුඩු බොන්න වියදං කරල මදි පාඩුවට තමා තාත්තා එව්වා ම දෙන්නං කිය කියා එක එකා ගෙන් ණයට සල්ලි අරන් තියෙන්නෙ. මං මේක ඉවසන්න ම බැරි තැන පුතාට කීවා... ඊට පස්සෙ පුතා සල්ලි එවන එක නැවැත්තුවා පොඩි ගාණක් මයෙ වියදමට විතරක් එවල....

“අන්තිමේ දී ණය කාරයො ගෙදරට ඇවිත් කරදර කරන්න පටන් ගත්තා ම මේකා මට කියන්න පටන් ගත්තා මයෙ ගේ යි ඉඩම යි ඒකා නමට ලියන්න ය කියා. නිතර නිතර කරදර කරන කොට මං ඉතින් වෙන මොනවා කරන්න යැ මේකා ණය කාරයන්නට මූණ දෙන්න බැරුව මොකක් හරි කර ගත්තොත් කියා ගෙය යි ඉඩම යි ලියා දුන්නා මුනුබුරාට. මේකා මොකක් දැ කළේ ලක්ෂ ගණනක් වටින ගේ යි ඉඩම යි විකුණලා.... මට සිද්ධ වුණේ මයෙ ගෙදරින් දොට්ට බහින්න. අනේ ඉතින් මයෙ දුවට මේක ආරංචි වෙලා ඇවිත් මං කැන්දන් ගියා මුන්දැ ගෙ ගෙදරට. මට කිසිම හිත රිදෙන්න වචනයක්වත් කීවෙ නෑ. මුනුබුරත් එක්ක මං ගෙදර ඉන්න කොට ත් ඉතින් මයෙ මේ දූ පුළු පුළුවන් වෙලාවට ඇවිත් අපි දෙන්න ගෙ දුක සැප හොයා බැලුවා. මයෙ මුනුබුරා කුඩු බොන්න පටන් අරන් ය කියා මට කීවෙත් මයෙ මේ දුව තමා....”

රෝගියා හා ඇගේ දුවණිය ත් කරන ලද අනාවරණවලින් වෛද්‍යවරයා මේ වයෝවෘද්ධ කාන්තාවට වැලඳී ඇති රෝගය මැනවින් තේරුම් ගත්තා. තමන්ට තුබුණු නිවසත් ඉඩමත් අහිමිවීමෙන් හිතේ හටගත් වේදනාව, මානසික පීඩනය නිසා මේ රෝග තත්ත්වය මතුවී ඇති බව විශේෂඥ වෛද්‍යවරයාට වැටහුණා.

“වෛද්‍ය විද්‍යාවේ මේ රෝගය හඳුන්වන්නේ පැරසිටෝෂීස් (Dorpermin)  යනුවෙන්. මේක පරපෝෂිත මෝහ රෝගය. මේ රෝගය වැලඳුණු කෙනකුට හම යටින් විවිධ කුඩා කුඩා ෂතුන් දුවනව වගේ දැනෙනවා. කෘමීන්, පණුවො දුවනව වගේ තමා දැනෙන්නෙ. රෝගියාට එය එසේ දැනෙන එකට අපි කියන්නෙ භ්‍රාන්ති තත්ත්වය කියා. ඒක වෛද්‍ය විද්‍යා‌වෙ  දි භාවිතා කරන්නෙ (්‍Hallucinations) හැලුෂිනේෂන්ස් යනුවෙන්. කවර වයසක කෙනකු වුව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. ජීව විද්‍යාත්මක වෙනස්කම් නිසා මොළේ තිබෙන (Dorpermin) නමැති රසායනික ද්‍රව්‍යවල හට ගන්නා වෙනස්කම් නිසා ස්නායුවලින් කෙරෙන පණිවිඩ හුවමාරුවට ඇති රසායනික ද්‍රව්‍යයක ක්‍රියාකාරීත්වයේ අඩාල වීමක් බවයි පෙන්නුම් කරන්නෙ.

මේ සඳහා ඖෂධීය ප්‍රතිකාර කෙරෙන්න ඕනෑ, අඩුම තරමින් වසරක කාලයක්වත් එක දිගට ඖෂධ පාවිච්චි කරන්න වෙනවා. මේ රෝගියා සාමාන්‍ය පුද්ගලයකු සේ ජීවිතය ගත කරනවා. ඒත් එහෙම වුණත් මේ රෝග ලකෂණවලින් යුක්තව රෝගීන් ජීවිත කාලය ම පෙළෙනවා. මීට හේතුවක් සේ ජානමය හා මොළයේ ඇති රසායනික ද්‍රව්‍යවල සමතුලිතතාවයේ වෙනස්වීම් තමා මූළික හේතු කාරණා වෙන්නෙ. 

මේ රෝගී කාන්තවගේ රෝගය මතුවීමට හේතුව අර මං මුළින් සඳහන් කළා සේ ඇගේ නිවසත් ඉඩමත් අහිමිවීමේ මානසික පීඩනයත් වයෝවෘද්ධ වියේ දී දූ දරුවන්ගෙන් දුරස්ව වාසය කරන්නට සිද්ධවීම ලෙෂත් සඳහන් කළ හැකියි.

- සුගතපාල මැන්දිස් -