උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත විචාරසාහිත්‍යය හා කලාව

සෙනෙවියකු පාමුල

වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි

වෛද්‍යවරයකු සේ තිස් හවුරුද්දක තරම් සේවාවක් ලාංකේය ජන සමාජයට කරමින් සිටින්නා වූ මහින්ද වික්‍රමාරච්චි සාහිතවේදියකු සේ සිය හැකියාවන් අපේ කලාකෙත අස්වද්දන්නට දායකත්වය දෙන නිර්මාණකරුවෙකි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලනාංශයෙහි බෝ කාර්ය බහුල වෘත්තීය දිවියක නියැළෙමින් අපේ දරු පරපුරට වැළඳෙන්නා වූ නේකාකාර රෝගාබාධයන් සුවපත් කරන්නට සහෝදර වෙදැදුරන් හා සෙසු කාර්ය මණ්ඩලය හා එක්ව කැපවීම් කරනා දොස්තර මහින්ද සිය මතක ගබඩාවේ පිරී ඇති අත්දැකීම් කලාත්මකව කැටි කරන්නට නිබඳවම යොමුව සිටිනා සුන්දර මිනිසෙකි.

ඔහු විසින් මෑතක දී සිත්තම් කළ කෘතිය 'සෙනෙවියකු පාමුල' නමින් එළිදක්වන ලදුව අපේ පුවත්පත් කලාවේදී අමල් යශෝමන් ජයසිංහ විසින් පත්තර පිටුවක් පුරා විසුරුවා තිබිය දී හෙළදිවට උපුටා ගන්නට සංස්කාරකට සිත් පහල වූයේ මෙවන් නිර්මාණකරුවන් ගේ කැපකිරීමට උපහාර කිරීම කළ යුත්තක් ම සේ සලකමිනි. 

'සෙනෙවියකු පාමුල' ඔහුගේ නිර්මාණ දිවියේ දසවැනි වෑයමයි. හේ මෙය දායාද කරන්නේ යොවුන් සාහිත්‍ය ගොන්නට යි.  ඒ උත්සාහය වෑයම  හෙළදිව බොහෝ අගය කරන්නේ ඔහු මෙහිලා කරැති කැපවීම ලාංකේය සුවහසක් පාඨකයනට ආදර්ශයක් බව කියා පාමින් ඔවුන් ද නිර්මාණකරණයෙහි යොමුවනු දැකීමේ පරමාර්ථයෙනි.

හෙළදිව වෛද්‍ය මහින්දට මෙන් ම පුවත්පත් කලාවේදී අමල්ට ද ආශිර්වාද පතන්නේ ඉතසිතිනි.

පාඨකය! මෙවන් නිර්මාණ කෘති පිළිබඳව ඔබට ඇති අදහස් උදහස් 'දෙන්නං බැටේ' නියායෙන් බැහැරව ලියමින් ඔවුන් තව තවත් දිරිමත් කරන්නටත් ඒ ඔස්සේ රෝගීව පවතින හෙළදිව් ජන සමාජය සුවපත් කරන්නටත් මේ කාලය බව සඳහන් කරන්නේ අපේ බස විනාශය කරා තල්ලු කරන්නට අපේ ම සමහර ඇත්තන් හුදු ලාබාපේක්ෂාවෙන් කරන්නා වූ තුච්ඡ ක්‍රියා පිළිකෙව් කිරීම ජාතියේ නාමයෙන් කළ යුත්තක් සේ අප හඟින බැවිනි. 

  • සංස්කාරක