උණුසුම් පුවත්කාලීන

සෙව්වන්දිගේ හැංගිමුත්තමං කෙළිය නිමා විය.

සැඟව සිටියේ නේපාලයේ මහල් නිවසක උඩු මහලේ

ප්‍රබල පාතාල නායකයකු සේ කුප්‍රසිද්ධව හුන්  සංජීව කුමාර සමරරත්න නොහොත්  ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අංක 5 උසාවියේ විත්තිකූඩුවේ සිටිය දී ඉකුත් පෙබරවාරි 19 දා වෙඩිතබා ඝාතනය කළ පෙරකදෝරු වෙස්ගත් සාහසිකයාට ඒ සඳහා ඇවැසි ගිනිඅවිය ගෙනැවිත් උදව් කළ ප්‍රධාන සැකකාරිය වූ 26 හැවිරිදි  පින්පුර දේවගේ ඉෂාරා සංජීවනී නමැත්තිය මාස ගණනාවක් තිස්සේ  රට ම කලඹමින් පොලිසිය හා හැංගිමුත්තන් කෙළිමින් සිටිය දී ඊයේ නේපාලයේ දී අල්ලා ගෙන ඇත.

විසිහය හැවිරිදි පින්පුර  දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නැමැති මැය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකි. ඇය පදිංචිව සිට ඇත්තේ මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ ය.

ඇය සමඟ තවත් අපරාධකරුවන් පස් දෙනකු පොලිසිය විසින් කොටුකර ගෙන ඇතැ යි පොලිස් ආරංචි මාර්ග කියයි.

ගණේමුල්ලේ සංජීව ඝාතනය කරද්දී උසාවි පරිස්‍රයේ සිට අනතුරුව අලුත්කඩේ උසාවි බිමින් පලාගිය ඇය අත්අඩංගුවට ගන්නට පොලිසිය ස්ථාන ගණනාවක් පිරික්සූවත් ඒ වන විට ඇය මෙරටින් පළාගෙස් නේපාලයේ තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සැඟව සිටිය දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ගණේමුල්ලේ සංජීව නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට 2023 සැප්තැම්බර් 23 වැනිදා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අනතුරුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියේ ය. ඔහු නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ උසාවියට ගෙනැවිත් නඩුව කැඳවූ අවස්ථාවේ හේ විත්තිකූඩුවට නැඟ සිටිය දී ඝාතකයා විසින් වෙඩි තබන ලදුව මිය ගියේ ය.

ගණේමුල්ල සංජීව මිනිස් ඝාතන 19 කට සම්බන්ධ පාතාලයේ නම්දැරූ අපරාධකරුවෙකි. ඔහු ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ඉන්දූනිසියාවේ දී අල්ලා ගන්නා ලද කෙහෙල්බද්දර පත්මේ නම් කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරු ය. සිය පියා මරන ලදැයි චෝදනා එල්ල වූ සංජීව උසාවිය තුළ දී මරා දමන ලද්දේ පද්මේගේ මෙහෙයවීමෙනි.   ඔහුට ද මිනීමැරුම් චෝදනා කිහිපයක් එල්ල වී ඇත. ඔහුගේ නියෝගයෙන් උසාවිය තුළ දී දඩයක්කරුවකු ලවා   සිය හොඳම මිතුරකු සේ බෝ කලක් හුන් ගණේමුල්ලේ සංජීව ඝාතනය කරන්නේ සිය පියාගේ මරණයට පලිගැනීමක් ලෙස බව ද පොලිසිය විසින් අනාවරණය කරගත් කරුණු ය.

සැකකාරිය සමඟ පොලිස් අත්අඩංගුවට පත් අනෙක් අපරාධකරුවන් පද්දෙනා කෙහෙල්බද්දර පත්මේ නම් සාහසික අපරාධකාරයාගේ සමීපතමයන් බව ද අනාවරණය වී ඇත.

පොලිසිය සමඟ හැංගිමුත්තන් කෙළිමින් මෙරටින් පළා ගිය සංජීව ඝාතනයේ වගකිවයුතු සැකකාරියක වන සෙව්වන්දි මිද්දෙනියට පැන ගොස් එතැනින් ඉන්දියාවට යන ලද බව ද දැන් අනාවරණය වී ඇත. ඇය ඉන්දියාවේ මාස කිහිපයක් සිට නේපාලයට පැනගොස් සැඟව සිටින ලද්දේ මැදපෙරදිග රටකට පලා යෑමට කල්මරමිනි. ඒ සඳහා වෙනත් කාන්තාවක ගේ තොරතුරු මත සකසන ලද ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගි කරගන්නට කැසකවා ඇති බව ආරංචි මාර්ග දක්වයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව ද පොලිසිය කියයි.