උණුසුම් පුවත්

හරියට හොරු ඇල්ලුවා නම් වැට් ගහලා ජනතාව පීඩාවට පත් කරන්න ඕනෑ නැහැ

සජිත් අද (24) පාර්ලිමේන්තුවේ දී කියයි

රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවට පත් කර රටේ ජනතාවට අන්ත දුක්ඛිත අනාගතයක් උරුම කර දුන් පාර්ශ්ව පිළිබඳ පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් පිළිබිඹු වූ බවත් එසේ හදුනා ගත් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩු කබ්රාල්, එස්. ආර්. ආටිගල, පී.බී. ජයසුන්දර, ඩබ්. ඩී ලක්ෂ්මන් හා සමන්ත කුමාරසිංහ යනාදීන්ට අමතරව තවත් වගකිවයුත්තන් එම ආණ්ඩුව තුළ සිටියේද සහ ඔවුන්ගේ දූෂණ හා වංචනික ක්‍රියාමාර්ගයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත්ද යන්න බදු බරින් මිරිකුණු ජනතාව ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැට් එක ගහනවා වෙනුවට හොරකම් කළ හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම හොරුන්ව නීතිය හමුවට ගෙනවිත් සියලු දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී ගෑස්, සීනි, නැනෝ නයිට්‍රජන්, ගල් අගුරු, අසූචි පොහොර වංචා සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයෙන් ප්‍රශ්න කරමිනි.

ගෑස්, සීනි, නැනෝ නයිට්‍රජන්, ගල් අගුරු, අසූචි පොහොර ආදී සෑම හොරකමකටමට විරුද්ධ පරීක්ෂණ ඉබි ගමනින් ගියත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පරාටේ නීතිය ගෙනවිත් ඔවුන්ගේ දේපල වෙන්දේසි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේ  ය.

එසේම 2019 - 2022 කාලය තුළ සිදුවූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධ විශේෂ විගණන විමසුම් සම්බන්ධ ගැටලු ගණනාවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසී ය.

සීනි බදු වංචනිකයන්ට ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?

ඒ අනුව 2020 ආණ්ඩුව සීනි කි.ග්‍රෑම් 1 සදහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරිම නිසා පාරිභෝගික ජනතාව වෙත සහනයක් නොලැබුණත් රජයට රු. මිලියන 16707 ක් පාඩු වූ බව 2022.3.23 දින නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් එම වාර්තාව කෝපා වෙත යොමු කිරීමෙන් අනතුරුව ආදායම් නොලැබී යාමට වගකිව යුතු පාශ්වය හදුනා ගැනීමට සී.අයි.ඩී. වෙත 2022 ජුනි 21 දින යොමු කර මාස 19 ක් ගත වී ඇති යි ද ඒ සඳහා වගකිව යුතු පාර්ශ්ව කවුරුන්ද කියා ප්‍රශ්න කර සිටින්නේ යැ යි ද  විපක්ෂ නායකවරයා පැවසී ය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම නිසා රු.මි. 10000ක් පාඩුයි

එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තර්කානුකූල පදනමකින් තොරව අතරමග නැවතීම නිසා රු. මි. 10000 ක පාඩුවක් සිදුවූ බව 2022.11.23 නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් බවත් මෙම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 13 ක් ගත වී ඇතත් කෝප් හෝ කෝපා හමුවේ සලකා නොබැලීමට හේතු කවරේද කියා ප්‍රශ්න කර සිටියේ ය. එමෙන්ම මේ අමනෝඥ මෝඩ තීන්දුව නිසා ජපන් රට අදටත් අප රටත් සමඟ අමනාපයකින් සිටින බවත් ඒ නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කළේ ය.

කාබනික පොහොර මගඩිය නිසා සිදුවූ පාඩුව ගණනය කරලත් නැහැ

2021-2022 කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000 ක ප්‍රසම්පාදනය නිසා රජයට ඇ. ඩොලර් 69000 ක පාඩුවක් හා ගණනය කර නොමැති විශාල පාඩුවක් සිදුව ඇති බව 2022.8.26 වැනි දින විගණන විශේෂ වාර්තාවේ සදහන් ඇති බවත් මෙය නිකුත් වී මාස 16 ක් ගත වී ඇතත් තවම කෝප් හෝ කෝපා කමිටුවල සලකා නොබලා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍විමසී ය.

නැනෝ නයිට්‍රජන් වංචාව කෝප් සහ කෝපා වෙත ඉදිරිපත් කරලත් නැහැ

නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතලයක් ඇ. ඩො. 5.25 කට ලබා ගත හැකියාවක් තිබුණත් ඇ. ඩො. 12.45 ක් හා 10 ක් යටතේ මිල දී ගැනිමට රු.මිලියන 711 ක පිරිවැයක් දරා ඇති බව 2023.12.13 දින විශේෂ විගණන වාර්තාවේ සඳහන් බවත් මේ නිසා රජයට සිදුවූ පාඩුව කවරේද මෙන්ම මෙම වාර්තාව කෝප් හෝ කෝපා හමුවේ සලකා බලන්නේ කවදාද කියා විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ ය.

ගල් අගුරු වංචාවේ සිදුවූ පාඩුව පියවා ගන්නේ කවදා ද?

ගල්අගුරු සමගාම විසින්. රු. බි. 500 කින් යුත් ප්‍රසම්පාදනයක් සුදුසුකම් රහිත සැපයුම්කරුවකුට ලබා දීමට එකග වීමට පෙර නිතිපතිගෙන් උපදෙස් ලබා ගෙන නොමැති බවත් එහිදී ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ ඇගයුම් කමිටුව එම කාර්ය හරියට සිදුකර නොමැති බවට 2022.9.30 දින විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් එම වාර්තාවේ නිර්දේශ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද අනුමත කර ඇති මොහොතක රජයට සිදුවූ පාඩුව මෙන්ම එම පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා ප්‍රශ්න කර සිටියේය.

ගෑස් වංචාවේ වගකිවයුත්තන් කවරේද?

එල්.පී.ජී. ප්‍රසම්පාදනයේදී අඩුමිලක් යටතේ සියාම් ගෑස් ‌ ට්‍රේඩින් වෙතින් මිලදී නොගෙන ඕකියුම් ටේ්‍රඩින් වෙතින් ඉහළ මිලකට මිලදී ගැනිම නිසා රජයට රු. මි. 1138 ක අමතර වැයක් දැරීමට සිදුව ඇති බවත් නිසි පරිදි මුදල් ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් ඇනුවුම් කිරීම නිසා නැව් පවා ගාස්තු වශයෙන් රු.මි. 210 ක මුදලක් මාස 5ක කාලයක් තුළ අමතරව ගෙවීමට සිදුව බව 2022.12.11 දින විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් මෙම වාර්තාව කෝප් හෝ කෝපා හමුවේ සලකා නොබලා ඇති බවත් ඒ සඳහා වගකිවයුත්තන් කවරේද කියා ද වැඩිදුරටත් හේ ප්‍රශ්න කළේ ය.

ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලා තෝරු මෝරු ආරක්ෂා කරනවා

හෙට අනිද්දා පාර්ලිමේන්තුව කල් දමන බවට ආරංචි වුවත් තමා ඇසු ප්‍රශ්නවලට හරියාකාර පිළිතුරු නොමැති බවත් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධික ණය බරින් සිටින ව්‍යාපාරිකයන් 10 දෙනා නම් කරන ලෙස ඉල්ලා සිටියත් අදටත් ඒ සඳහා පිළිතුරු නොමැති බවත් මාධ්‍ය ඉදිරියේ හාල්මැස්සෝ ඇල්ලුවට ණය ගත්ත ගජමිතුරන් ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසී ය.