උණුසුම් පුවත්විශේෂාංගසතියේ සටහන

හිටපු උත්තම මැති ඇමතිවරුන් තිස්හතක් පරාජයට බයවෙලා

ජගත් ගේ සතියේ සටහන  -  39

 

 

මහින්ද, මෛත්‍රී, රනිල් සමුගනී

 

 

 

 

            (1970 පාර්ලිමේන්තුවට ආ ගුඩ් ඩබල)

හිටපු මැති ඇමතිවරුන් 37 ක් පරාජයට බියෙන් පොර පිටියෙන් මාරුවෙලා

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 ක් තෝරා ගැනීම සඳහා නොවැම්බර් මස 14 වැනි දා පැවැත්වීමට යන මැතිවරණයට දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690 කින් අපේක්ෂකයින් 8383 ක් තරග වැදී සිටිනවා.

 

මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මැති ඇමතිවරුන් 37 ක් තරග කිරීම සඳහා නාමයෝජනා ලබා දී නෑ. එයින් සමහරෙක් තමන්ගේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවලට නම් ඇතුළත් කොට තිබෙන අතර තවත් පිරිසක් දේශපාලනයෙන් විශ්‍රාම ගන්න බව පවසනවා.

මොවුන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද වෙනවා.

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පසුගිය ආණ්ඩුවේ හා කලින් පැවති ආණ්ඩුවල කැබිනට් ඇමති ධූර දැරූ චමල් රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. බී. දිසානායක, ප්‍රසන්න රණතුංග, ගාමිණි ලොකුගේ, සී. බී. රත්නායක, විමලවීර දිසානායක, පාඨලී චම්පික රණවක, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, අලි සබ්‍රි, යන මහත්වරුන් සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර දුරූ ෂෙහාන් සේමසිංහ, කණක හේරත්, සිසිර ජයකොඩි, ගීථා කුමාරසිංහ, හා හිටපු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා, සී. වී. විග්නේශ්වරන්, ගෙවිඳු කුමාරතුංග, සම්පත් අතුකෝරළ, විජිත බේරුගොඩ, ජානක තිස්සකුට්ටිආරච්චි, ජගත් පුෂ්පකුමාර, සහත් ප්‍රදීප්, තලතා අතුකෝරළ, මාවෙයි සේනාධිරාජා, යන මහත්ම මහත්මීන් ද, මෙවර මැතිවරණයට තරග කරන්නේ නැහැ.

මේ හැර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, කෙහෙළිය රඹුක්වැල්ල, සිරිපාල ගම්ලත්, ප්‍රදීප් උඳුගොඩ, ඩී. බී. හේරත්, ලුණතිලක රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ගයාෂාන් නවනන්දන, ලොහාන් රත්වත්තේ, පාඨලී චම්පික, විමල් වීරවංශ, කරු පරණවිතාන, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක යන මහත්වරුන් ද මෙවර නාමයෝජනා භාරදී නැති බවයි වාර්තා වෙන්නේ.

හිටපු මන්ත්‍රීන් අතරින්, රංජිත් මද්දුම බණ්ඩාර, ඉම්තියාස් බාකීර් මාකාර්, සුදර්ශනී ෆ්‍රනාන්දුපුල්ලේ, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, ටිරාන් අලස්, ජයන්ත වීරසිංහ, සුරේෂ් රාඝවන්, ගාමිණි ලොකුගේ, සී. බී. රත්නායක, නාමල් රාජපක්ෂ, ජනක තිස්සකුට්ටිආරච්චි, ජයන්ත කැටගොඩ, මහාචාර්ය තිස්ස විතාරණ, ගාමිණි වලේබොඩ, හා සාගර කාරියවසම් යන අයගේ නම් සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සර්වජන බලය යන පක්ෂවල ජාතික ලැයිස්තුවලට ඇතුළත් කොට තිබෙනවා.

ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක 22 සඳහා ම අපේක්ෂකයින් ඉදිරිපත් කොට ඇති අතර ඔවුන් ගේ ජාතික ලැයිස්තුවට සුගත් වසන්තද සිල්වා නම් දෘෂ්‍යාබාධිත උපාධිධාරීයකු ඇතුළත් කොට තිබීම විශේෂත්වයක්.

මෙවර නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී කිසිදු ප්‍රශ්නයක් නොවැතිව තිබුණේ ජාතික ජන බලවේගයට පමණයි. එම පක්ෂය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සති කිහිපයකට පෙර සිට ම ඔවුන් ගේ අපේක්ෂක ලැයිස්තු සූදානම් කොට තිබූ බවයි එහි ආරංචි මාර්ග සඳහන් කළේ.

  සර්වජන බලයත් අවුල්

යුතුකමේ ගෙවිඳුත් පැත්තකට වෙලා

සර්වජන බලය පක්ෂයේ නාමයෝජනා සකස් කිරීමේ දී එහි හවුල්කාර සංවිධානයක් වූ යුතුකම සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග මහතා දිලිත් ජයවීර මහතා සමඟ ඇති වූ මතභේදයක් අනුව ඉවත් වුණා.

සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තුව සකස් කිරීමේ දී තමාගේ නම මුලට දමන ලෙස ඔහු කළ ඉල්ලීමට, පක්ෂ නායක දිලිත් ජයවීර මහතා එකඟ වී නැහැ. ඊට පෙර හේමකුමාර නානායක්කාර හා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහත්වරුන් ගේ නම් ඇතුළත් කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා. මේ නිසා ගෙවිඳු කුමාරතුංග මහතා සර්වජන බලයෙන් ඉවත්වී තිබෙන බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කෙළේ.

සර්වජන බලය තුළ තමන් නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂයට ප්‍රධාන තැනක් දීමට දිලිත් ජයවීර මහතා කටයුතු කිරීම ගැන කලකිරී සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙවර මැතිවරණයට තම පක්ෂය තරග නොකරන බවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවන බවත් පවසා නිවේදනයක් නිකුත් කළා.

එහෙත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස නුවරඒළිය දිස්ත්‍රික්කයට ද, ජගත් ප්‍රිංයකර පුත්තලමට ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ  මෙවර මැතිවරණයට තරග කරනවා. ජාතික නිදහස් පෙරමුණේ හිටපු තවත් මන්ත්‍රීවරයකු මොහොමඩ් මුසම්මිල් මහතා ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටිනවා.

          පාඨලීට සජිත් කොකා පෙන්නලා

පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය සමඟ ඇතිකර ගත් ගිවිසුමක් අනුව ජනාධිපතිධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන කථිකයකු හා සංවිධායකයකු සේ කටයුතු කළ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙවර මැතිවරණයට තමා හා තම පක්ෂය තරග නොකරන බව පසුගිය 10 දා නිවේදනය කළා.

ඒ මහතා පවසන්නේ පසුගිය අගෝස්තු 10 වන දා තමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන බලවේගය සමඟ ගිවිසුමක් ඇති කරගෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහණය පතා රටපුරා යමින් විශාල වැඩ කොටසක් කළ බවයි.

එම ගිවිසුම අනුව මෙවර මැතිවරණයේ දී තම පක්ෂයේ අපේක්ෂකයින් 11 දෙනකු දිස්ත්‍රික්ක 11 කට සමගි ජන සන්ධානය යටතේ ඉදිරිපත් කිරීමට හා තම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවයි.

එහෙත් මැතිවරණයට නාමයෝජනා සකස් කිරීමේ දී එක්සත් ජනරජ පෙරමුණට දිස්ත්‍රික්ක 7 කට පමණක් අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ඉඩදිය හැකි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත්

මද්දුම බණ්ඩාර මහතා රණවක මහතාට පවසා ඇති අතර තවත් දින කිහිපයකට පසු දැනුම් දී ඇත්තේ අපේක්ෂකයින් දෙදෙනකුට පමණක් ඉඩදිය හැකි බවයි.

මේ අතර තමා කොළඹ දිස්ත්‍රික්කයට සමගි ජන සන්ධානයෙන් තරග කිරීමට සූදානම්ව සිටිය නමුත් මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා තමාට පැවසූ බව පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ඒ අනුව පක්ෂයේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවට ඉදිරිපත් කළ විට රංජිත් මද්දුම බණ්ඩාර මහතා එයට අකමැත්ත පළ කළ බවත් පසුව ජාතික ලැයිස්තුවට ද තමාගේ නම ඇතුළත් කොට ඇති බවත් රණවක මහතා මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

මේ තත්ත්වය යටතේ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී සාකච්ඡා කොට මෙවර මැතිවරණයෙන් ඉවත් වීමට තීරණය කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

තම පක්ෂය සමඟ ඇතිකර ගත් ගිවිසුම සමගි ජන බලවේගය අමු අමුවේ ම උල්ලංඝණය කිරීම නිසා මෙවර මැතිවරණයේ දී කිසිදු පක්ෂකට සහයෝගය නොදී නිහඬව සිටීමට තීරණය කළ බව ද ඔහු තවදුරටත් පැවසුවා.

පාඨලී චම්පික රණවක මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් වේදිකාවල කතා පවත්වද්දී බොහෝ දෙනා පවසා තිබුණේ සජිත් ජනාධිපති වූ පසු පිහිටුවන ආණ්ඩුවේ අගමැති ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කළ යුතු බවයි.

චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා අභිබවා යමින් පක්ෂයේ නායකත්වයට පත්වේවිය යන බිය නිසා ඔහු කපා දැමීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බව පැහැදිලි යැ යි මේ ගැන අදහස් දක්වන දේශපාලන විචරකයින් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ කිසිදු නායකයකුට දෙවැනි පෙළ නායකයකු ලෙස නැගී සිටීමට ඉඩ නොදෙන බවයි. රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් පක්ෂය හැර ගියේ සජිත් ප්‍රේමදාස මහතා ගේ මේ ක්‍රියාකලාපය නිසා බව ද දේශපාලන විචරකයින් තව දුරටත් ප්‍රකාශ කළා.

මේ අතර පක්ෂයේ දෙවැනි පෙළ නායකයකු සේ නැගී සිටීමට උත්සාහ කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ද නායකත්වයෙන් කැපිල්ලක් ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මෙවර මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය ලැයිස්තුවේ නායකයා ලෙස තමා පත්කරන ලෙස හර්ෂ ද සිල්වා මහතා සජිත් ප්‍රේමදාස මහතා ගෙන් ඉල්ලා ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. දැන් හර්ෂ ද සිල්වා පරාජය කිරීමට සඳහා පක්ෂ ඇතුළතින් ම කුමන්ත්‍රණයක් දියත් වී ඇතැ යි හර්ෂ ද සිල්වා මහතා ගේ සමීපතමයින් පවසනවා.

       (පාඨලිට කොකා පෙන්න සජිත්)

තමාට ඡන්ද නොදෙන සේ මාන්නප්පෙරුම                                                    ඡන්දදායකයින්ට කියයි.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවෙන්  නාමයෝජනා භාර දී ඇති නමුත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කළේ තමා මැතිවරණයෙන් ඉවත්වන බවයි. එබැවින් මෙවර මැතිවරණයේ දී තමාට ඡන්ද ලබා නොදෙන ලෙස ද ඔහු ගම්පහ ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියා.

මෙයට හේතුවී ඇත්තේ ගම්පහ ආසනයේ සංවිධායක ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා කටයුතු කරද්දී පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණ සමගි ජන බලවේගයට එක්වූ වරුණ දීප්ත රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා විසින් ගම්පහ ප්‍රධාන සංවිධායක ලෙස පත් කිරීමයි.

අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සබඳතා පවත්වන බවට හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට ගතු කීම හේතුවෙන් ඔහු මෙසේ ඉවත් කොට ඇති බව සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ අතර පාඨලී චම්පික රණවක මහතා ගේ එක්සත් ජනරජ පෙරමුණ සජබ ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත්වීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයට සජබ යෙන් තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා සිටි එක්සත් ජනරජ පෙරමුණේ නියෝජ්‍ය නායක කරු පරණවිතාන මහතා ද සිය නාමයෝජනා පත්‍රය අස්කර ගෙන මැතිවරණයෙන් ඉවත්වී තිබෙනවා.

හේෂා දමිතා කපා දමලා

පසුගිය අරගලයේ ප්‍රධාන චරිතයක්ව සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහණය පතා රැස්වීම්වල කතා කළා. එහි කාන්තා සංවිධානයේ ද ක්‍රියාකාරී වැඩ කොටසක් කළ ඇයට මෙවර මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට ද අවස්ථාවක් ලබා දී තිබුණා. ඒ අනුව දමිතා අබේරත්න මහත්මිය පසුගිය 8 වැනි දා කොළඹ දී රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට ද අත්සන් තැබුවා.

එහෙත් පසුගිය 11 වැනි දා රත්නපුර දිස්ත්‍රික්සජබ නායක හේෂා විතනගේ මහතා විසින් මැතිවරණ නිලධාරීන්ට බාරදුන් සජබ නාමයෝජනා ලැයිස්තුවේ දමිතා අබේරත්න මහත්මියගේ නම තිබී නැහැ.

තමා මේ ගැන නීතිමය පියවර ගන්නා බව ද දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

හේෂා විතානගේ මහතා පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයට පිටින් අපේක්ෂකයින් අනවශ්‍ය බැවින් තමා ඇයගේ නම කපා දැමූ බවයි. අපට අපේක්ෂකයින් පිටතින් ආනයනය කිරීමට අවශ්‍ය නැතැයි ඔහු මේ ගැන විමසූ මාධ්‍යවේදීන්ට පවසා තිබුණා.

                                                                                             - ජගත්  -