උණුසුම් පුවත්කාලීනදේශපාලන

හිටපු ජනපති රනිල් 26 දා දක්වා රිමාන්ඩ්

මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන සේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මීට ටික වෙලාවකට (9. 45 ට) පෙර  නියෝග කළා ය.

ලාංකේය දේශපාලන භූමියෙහි  හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පළමු  අවස්ථාව ලෙස  මෙය ඉතිහාසයට එක්වනු ඇත.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දක්විම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ලබා දුන්නා ය.
මෙහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ සැප්තැම්බර් මස 22 වනදා සහ 23 යන දිනවල සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ‌ෙදපාර්තමේ න්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි සඳහන් කළේ ය.
2023 වසරේ සැප්තැම්බර් මස 13 වනදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ කියුබාවේත් සහ ඇමරිකාවේත් නිල සංචාරයක නිරතවීමෙන් අනතුරුව  ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා සැප්තැම්බර් මස 22 වැනිදා  බ්‍රිතාන්‍යයට ගිය බව අනාවරණය වී ඇත..
ඒ සිය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගේ සම්මානිත මහාචාර්ය පදවිය ලබාගැනීම සඳහා උදෙසා  යැ යි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණෙය් දී ප්‍රකාශ කරන ලද්දේ ය.    
මේ ගමනට හිටපු ජනාධිපති සමග ඔහුගේ බිරිඳ,  පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනකු සහභාගී වී ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
‌ෙමහිදී හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට හෘද රෝග මෙන්ම පාලනය කළ නොහැකි දියවඩියා තත්ත්වයන් හා රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත් ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළේ ය..
මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න  මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා බලන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ලංකාපුර මෙනෙවිය විසින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන සේ නියෝග කළා ය.