නීතිපතිවරයා හා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් ඔවුන් අත්අඩංගුවට ගන්නෙපා - නීතිපති
වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි 2023.12.31 වන දින සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025.02.27 දින නියෝග කරන ලදි.
එකී නියෝගයෙහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුවට නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා හා වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.
මාතර මහේස්ත්‍රාත් අධිකරණෙයන් නිකුත් කරන ලද නියෝගයට එරෙහිව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එකී පෙත්සම සලකා බලා අද (2025.03.17) ඊට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් ගරු අභියාචනාධිකරණය වෙතඉදිරිපත් කර තිබිණි.
නීතිපතිවරයා හා පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
මේ රිට් පෙත්සම 2025.03.21 වන දින අභියාචනාධිකරණයේ දී කැඳවීමට නියමිතය.
මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06 ක් වැඩිදුර විමර්‌ශන සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය වෙත නිකුත් කරැති නිවේදනයක දක්වා ඇත.