ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

හිටපු මුදල් ලේකම් මහින්ද හිටපු ජනපති රනිල් අගේ කරයි

එම ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද ඔහු ගේ ඇගැයීමට ලක් වේ

හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරන ලදි. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා දැඩි තීරණ ගැනීම සම්බන්ධයෙනි. ඉතා බරපතල ආර්ථික අර්බුදකාරී අවස්ථාවට රට මුහුණ පා තිබුණු අවස්ථාවේ ඔහු ගත් දැඩි තීන්දු ගැන විස්තර කරමින් හේ දෙරණ රූපවාහිනී  සේවයේ  ඊයේ (30) පැවති 360 වැඩ සටහනට එක් වෙමින් හේ මේ අදහස් පළ කරන ලද්දේ ය.

“මම වැඩිම කාලයක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කළා. ඔහු ආර්ථිකය එහි දුෂ්කරම කාල පරිච්ඡේදයේ දී මනා ලෙස කළමනාකරණය කළා. අර්බුදවල දී තීරණ ගන්නේ කෙසේ ද සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න මං ඉගෙන ගත්තා ,” හේ සඳහන් කළේ ය.

සමහර තීරණ දේශපාලනික වශයෙන් අභියෝගාත්මක වූවත්, ඒවා රටේ අභිවෘද්ධිය සඳහා ගත් බව ඔහු තවදුරටත් පැවසී ය.

“විශේෂයෙන් ජාත්‍යන්තර ගනුදෙනු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී, වික්‍රමසිංහ මහතා සුවිශේෂී නායකත්වයක් ලබා දුන්නේ  යැ යි සිරිවර්ධන මහතා කී ය.. අනෙකුත් ජාතීන් සමඟ ප්‍රධාන සාකච්ඡා හරහා ඔහු මට මඟ පෙන්වූ ආකාරය මට තවමත් මතක යි,”

වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමකින් තොරව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් ගැඹුරු විය හැකි බව අවධාරණය කළ මහින්ද  සිරිවර්ධන මහතා, එකී ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද අගය කළේ ය.  

"ජනාධිපති අනුර ආර්ථිකය බුද්ධිමත්ව මෙහෙයවනවා," යැයි ද මේ  ආර්ථික ප්‍රතිපත්තිය දිගටම කරගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය රටට හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ද සඳහන් කළේය.