චම්මිගෙ හිතිවිලි
ඔබේ සිත ඔබ සමග සුන්දරව සිතන
සොඳුරු දොහක් !
බොහෝ විට සාර්ථක වූ කතාන්දරවලින් අපි අන්තිමට දන්නේ ඒ කිසියම් කැපකිරීමක ඵලයක් බවයි.
කැපකිරීම් කරන හැමෝම සාර්ථක වෙනවාද?
සාර්ථක වූ හැමෝම කැපකිරීම් කර තිබෙනවාද?
ගැඹුරින් හිතා බැලුවොත් මං හිතන්නේ නෑ කියලා. එහෙමනම් ඇයි කැපකිරීම්වලින් තොරව සාර්ථකත්වයක් නැතැයි කියන්නේ...?
පුංචි විහිළුවක් මතක් වෙනවා.
හැබැයි එතැන කැපකිරීම = වේදනාව. හරිනේ කැපකිරීමත් කිසියම් වේදනාවක්. මන්ද කැපකිරීම කියන්නේත් අතෑරීමක් හෝ දරා ගැනීමක් නිසා.
ඔහ් අර කතාව....
" ඉත්තැවියක් එක්ක හාද වෙලා හිටිය ලු හා පෝතකයෙක්.
යාළු වෙලා ඉඳිද්දී ඉතින් ඒක සුන්දරයිනේ. හැඟීම් ඇතිවෙනවා. අදහස් මාරු කරගන්නවා.
මේ දෙන්න කුල දෙකක වුනත් එයාල ඒක ගැටලුවක් කරගෙන නෑ තමන්ගේ ආදරයට.
දවසක් දෙන්නම ආදරයෙන් මුමුණ මුමුණ සිටිද්දී හාවට හිතුණළු ඇයට තව ළං වෙන්න.
ඒ උණුසුම විඳින්න හිතුව හාවා ඇයට පුංචි හාද්දක් දෙන්න හදද්දී ඇයටත් හැඟුම් බරවෙලා.
ඒ වගේ වෙලාවට විවිධ වෙනස්කම් වෙනවනේ. ඉතින් ඉත්තෑ කුමාරිගේ ගතේ රෝමවගේ තිබුණු ඒ ඉත්තෑකූරු ප්‍රාණවත් වෙලා. හා තෙමේ මුව අද්දර . ඔය වෙලාවට පෙරට තැබූ පය කවුද පස්සට ගන්නේ.
හාද්දට හාද්ද.
උණුසුමට උණුසුම.
ගතට ගත.
අවදි වූ කූරු ඇනීයාම හා මූණ පුරා.
ආදරය උණුසුම්ද මෙතරම් කියල එයාට දැනිල තියෙන්නේ මූණ අතගාද්දී අල්ලේ තමන්ගෙම ලේ දැකල. ඔහුට අත පිහිදා ගන්න ඉත්තෑ කුමාරිට දෙන්න වෙන්නේ ආයෙත් ඉත්තෑ කූරුමනේ. හා කුමරා අල්ලත් ඇයත් දෙස බලා කීවාලු වේදනාවෙන් තොර සැපතක් නැත්තේ ය " කියා.
කැපකිරීමත් අභිප්‍රේරණ ක්‍රියාවලියක අංගයක්. සාර්ථක ව්‍යවසායකයක එක් කරුණක්.
අපේ ගම්වල ඇත්තෝ කොයි තරම් කැපකිරීම් කරනවද? සමහරවිට අන්තිමට ඒ කැපකිරීමට ඔවුන් ලබන්නේ වගා රක්ෂණයේ සොච්චම විතරයි.
ගැමියා තමන් හික්ම වූ දහමට අනුව එය කැඹිරීමක් නැත්නම් කර්මය කියලා හිත සනහා ගන්නවා. තවත් සමහරුන්ගේ කැපකිරීම අනුන්ගේ අයිතිය උදුරා ගැනීම හෝ රිදවීම.
එහි පරිමාණය අනුව ඔවුන්ගේ සාර්ථකත්වය සමාජය සළකනව. "බල්ලෝ මරා උණත් හම්බ කරණ මුදල්වල කොහේවත් බල්ලෝ මැරූ කතාවක් ලියවෙන්නේ නෑ'. එහෙමත් කියමනක් ගමේ තියෙනවා .එය විචාර බුද්ධියෙන් විග්‍රහ කර බලන්නෙකු ඉතා ගැඹුරුක් ඇති සමාජ විද්‍යාත්මක විග්‍රහයක් බව පෙනේවි.
කැපකිරීමත් ගඟට ඉණි කපනවා වගේ කරල වැඩක් නෑ. එහෙම කළාමයි කියන්නේ, "උදේ ඉඳන් වතුර ඇදල හැන්දෑවට කළේ බිඳ ගත්ත වගේ '' කියලා.
කැපකිරීම අපි ලෝක සම්මතයට කර හෝ බැඳීම්වලට කරල වැඩක් නෑ.
ඒක ආයෝජනයක් වෙන්න ඕනේ ඵලවත්.
ඒ වගේම එය කළමනාකරණය කරන්නත් ඕනේ හොඳින්. බෝසතුන් පස්මහ බැලුම් බැලුවේත් ඒ නිසයි. ඒ උන්වහන්සේ ලෝකයේ පහළ වූ පළමුවන අළෙවි විශේෂඥයා නිසා.
ඒ අනුව අපි හැම වෙලේම කියන වගේම අහන කැපකිරීම යහපත් ආයෝජකයක් නොවන තරමට ඒක ගඟට කැපූ ඉණි වගේ.
නැත්නම් කර්මය ගෙවීමක්. හැබැයි ඒකත් කමක් නෑ මේ භවයේ එය නිමා වේ නම්.
ඒත් අපි හැමදාමත් කරන්නෙම කැපකිරීම්.
කැපකරුව ඔබට ජය!
චම්මින්ද වෙලාගෙදර.
26-01-2026.
