උණුසුම් පුවත්

හිරුණිකාට ඉතා කුඩා දරුවන් තිදෙනකු සිටින බව සලකා බලා දඬුවම ලිහිල් කරන්න

විත්තිකාරිය ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලයි

අවුරුදු තුන, හතර සහ පහ යන වයසේ පුංචි දරුවන් තුන් දෙනෙකු සිටින හෙයින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

ඇය බන්ධනාගාරගත නොකර ලිහිල් දඬුවමක් දෙන සේ නීතිඥවරයා ඉල්ලා සිටිය ද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කළේ ඇය ආදර්ශමත් විය යුතු කාන්තාවක වූවත් ඒ ගැන නොතකා කටයුතු කිරීම වැරැද්දක් බව යි.

නඩුවේ තීන්දුව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා 18 කට වරදකාරිය බව යි. ඒ එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කරමින් උක්ත දඩ මුදල් ගෙවීම ‌නොකළොත් ඒ එක් එක් චෝදනාවට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බවත් ප්‍රකාශ කළේ ය.

තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට ඇය  වැරදිකාරිය බවත් ඊට බරපතළ වැඩ සහිත  තෙවසරක සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේ ය.

මහාධිකරණ විසින් ලබා දුන් තීන්දුවට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කරන්නේ යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී හුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා තීන්දුවෙන් පසු ප්‍රකාශ කරන ලද්දේ ය.