උණුසුම් පුවත්කෙටි කතාවසාහිත්‍යය හා කලාව

හෙළදිව කෙටිකතාව

අලකලංචිය

සුජීවට තිබුණු ගැටළුව තමයි ජිනසිරිට මුහුණ දෙන එක.කොයි මොහොතක හෝ ජිනසිරි කඩා බිඳගෙන මෙතනට දුවගෙන එන බව සුජීවා දන්නවා.

" එක අතකට ටිකක් බීල ආවොත් හොඳයි "

කවදාවත්ම නැතිව සුජීවා හිතුවා

සාමාන්‍ය ජීවිතයේ කතා අඩු බැරෑරුම් පුද්ගලයෙකු වන ජිනසිරි බීගත්ත වෙලාවට සැහැල්ලු විනෝදකාමී පුද්ගලයෙක්.බීල කෑ ගහන ගුටි බැට හුවමාරු කරගන්න ඉතිහාසයක් ජිනසිරිට ලියවිලා තිබුණේ නැහැ.එකම වරද තමයි හැමදාම හවසට හම්බ කරගත්ත දෙයින් කොටසක් කසිප්පු පොළට දීල ගෙදර එන එක.
එල හරක් හතර පස්දෙනා ගේ රාජකාරිය කලේ සුජීවා.සුජීවා ජිනසිරිව කසාද බැඳලා එනකොටත් ජිනසිරිලා ගේ පවුලට හරක් පට්ටියක්ම හිටියා.ඒත් ජිනසිරි ගේ තාත්තා ගේ මරණයත් එක්ක එකා දෙන්නා අඩු වුණු හරක් පට්ටිය දැන් වෙනකොට පස් දෙනෙකුට සීමා වෙලා. කිරි දොවන එක තමයි සුජීවගේ දවසේ පළමු කාරිය.කිරි ටික කඩයට ගිහින් දෙන්නේ ජිනසිරි.
ජිනසිරි නම් මේ හරක් කෙරුවාවට කම්මැලී.පෙදරේරුවෙක් වන ජිනසිරි හවසට ගේන සොච්චමෙන් දරු දෙන්නෙකුත් පාසැල් යවාගෙන ගෙදර අඩු වැඩියත් පිරිමහගන්න බැරි නිසා හරක් හතර පස්දෙනා සුජීවාට ලොකු පිටුවහලක් වුණා.
නොමිලේම ලැබෙන ගොම ටිකෙන් පලා කොටුවත් සාරෙට හැදුණා.ඒකත් සුජීවට අමතර ආදායමක් .සුජීවා කීයක් හම්බකරනවද ඒවා වියදම් කරන්නේ මොනවටද කියලා කවදාවත්ම ජිනසිරි හොයලා බැලුවේ නැහැ.වැඩක් පලක් නොලැබුණු දවසට හවස් අතේ බොන්න සල්ලි නැතිව එකල මෙකල වෙනකොට ජිනසිරිට කීයක් හරි දුන්නේ සුජීවා ගේ කැමැත්තෙන්.
කලින් දවසේ හවස ගේ පිටිපස්සේ පොල් ගහක ගැටගහල හිටපු සුදු වැස්සී ලිහාගෙන ගිහින් තිබුණේ පෙරෙයිදා පාන්දර .කිරි දොවන්න බාල්දියත් අරගෙන ගිහින් බලනකොට ලනුවත් එක්කම වැස්සි පේන්න හිටියේ නැහැ.ගැටේ බුරුල් වෙලා වැස්සිම ලිහාගෙන යන්න ඇතී කියල හිතපු සුජීවා කෑගහල ජිනසිරි වත් ඇහැරවගෙන වට පිට ලඳු කැලෑවල හොයල බැලුවත් වැස්සි හිටියේ නැහැ.
අහල පහල උදවියත් එකතුවෙලා දවල් එකොළහ දොළහ වෙනකම් හෙව්වත් වැස්සි හම්බවුණේ නැහැ.පෙරදා රෑ පොද වැස්සෙම තමන්ගේ ගෙදර බල්ලා නොනැවතී බිරූ බව කිව්වේ අල්ලපු ගෙදර ජයසිංහ.සුජීවට නම් ඔය මොකවත් ඇහුණේ නැහැ.දවස තිස්සේ නැහිලා නැහිලා මොරොන්තුඩුවේ පොලටත් ගිහින් ආවට පස්සේ ඇඳට වැටුණු ගමන්ම මළා වගේ නින්ද ගියා.
හැමෝම කිව්වේ පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාන්න කියලා.ජිනසිරි නම් ඔය පොලිසි ගානේ රස්තියාදු වෙන්න හොරයි.ඒ නිසාමද කොහෙද බයිසිකලේ නැගලා

" තව ටිකක් බලලා එන්නම් "

කියලා පිටවුණේ

පොලිසි යන්න සිද්ධ වුණෙත් සුජීවට.කමලාවතී නැන්දා එක්ක ගිහින් ඇන්ට්‍රිය ලියලා ආවා.රාළහාමි ඇහුවේ සැක කවුද කියලා.ඒත් එහෙමට සැක කරන්න කෙනෙක් සුජීවගේ ඔළුවට ආවේ නැහැ.හිත කිව්වෙම කඹේ පිටින්ම කොහේ හරි ඇවිද ඇවිද ඇති කියලමයි.
ගෙදර ආවත් උයා පිහාගෙන කන්න වත් සුජීවට හිත් දුන්නේ නැහැ.පොඩි කාලේ ඉඳලම දරවෙක් වගේ නාවල කවල පොවල අතගගා හැදුව සතා මස් කඩේටවත් බිලි වුණාද කියලා හිතෙනකොට ඇස් දෙකෙන් කඳුළු පැන්නා.
ඉන්න හරක් පස්දෙනාගෙන් තුනක් වැස්සියො. වහු පැටව් දෙන්නයි. වැඩිපුරම කිරි දුන්නේ සුද්දි.තමන්ගේ දරුවන්ගේ ඇඟෙත් වැඩිහරියක් දුවන්නේ සුද්දි ගේ කිරි නේද කියල හිතනකොට සුජීවට ඉහිලුම් නැතිව ගියා.

"නිමිත්තක් වත් බලමු"

කියල ජිනසිරිට යෝජනා කලත්

" ඕව බොරු වැඩ "

කිව්වා මිසක් වෙන කරන්න දෙයක් යෝජනා කලෙත් නැහැ.
පේන කියන තැනක් ගැන ඔත්තුවක් අරගෙන ආවෙත් කමලාවතී නැන්දා.බණ්ඩාරගම පැත්තේ ටක්කෙටම පේන කියන තැනක් තිබෙන බවත් පේන කියන්නේ හවස හතරෙන් පස්සේ බවත් කිව්වට සුජීවා එක්ක ඒ ගමනට එකතු වෙන්න කමලාවතී නැන්දට ඉස්පාසුවක් තිබුණේ නැහැ.වැඩට යන දුවගේ දරුවෝ දෙන්නා ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ බලාගත්තේ කමලාවතී නැන්දා.
ජිනසිරිට කිව්වත් පලක් නැති නිසා තනිවම හරි මේ ගමන යන්න සුජිවා තීරණය කලේ තමන් ප්‍රමාද වන හැම තත්පරයකින්ම සුද්දිට මස් කඩේ කොක්කට ඇති දුර අඩුවන බව දන්න නිසමයි.
පාසැල ඇරී නිවසට ආ දෙදරුවන්ට බත් බෙදා දුන් සුජීවා පාරට බැස්සේ බණ්ඩාරගමින් හතට පිටත්වන බසයෙන් තමන් ආපසු පැමිණෙන බව කියමින්.ඒ වන විටත් තාත්තා නිවසට පැමිණ නොසිටියහොත් ලොකු පුතාට බස් එක නවත්වන කජු ගහ හන්දියට තමන් එක්කරගෙන යාමට පැමිණෙන ලෙසත් දක්වමින්.
හවස තුන පමණ වන විට පේන කියන ස්ථානය මිනිසුන් ගෙන් පිරී ගියේ විද්‍යාව කෙතරම් දියුණු වූවද සියළු ප්‍රශ්ණ නිරාකරණය කිරීමට ඒ විද්‍යාව අපොහොසත් බව පසක් කරමින්.
පූජා පවත්වා යාතිකා අහවර කර පේන කීම අරඹනකොට පහත් පහුවෙලා.පේන කිව්වේ නම අඬගහලා.හයත් පහුවෙනකම් සුජීවට අඬගැහුවේ නැහැ.පේන ඇහිල්ල පැත්තක තියලා එන්න හදනකොටම තමයි සජීවගේ නම අඬගැහුවේ.
නැතිවුණු දෙයක් ගැන පවසමින් ඇරඹුණු පේනය ගමන්කළේ නැතිවූ වළල්ලක දිසාවට .සුජීවත් මැදිහත් වෙලා හරි පාරට ගත්තත් පේන කරු කීවේ තව දින දෙකකින් වැස්සිම කඹයත් සමගම නිවසට පැමිණෙන බවයි.
සුජීවා බස් නැවතුම් පොළට පැමිණෙන විටත් අවසන් බස් රථය පාරට පැමිණෙමින් තිබුණා.පා පුවරවට ගොඩවන විටම කොන්දොස්තර කෑගැහුවේ බසය යන්නේ මොරොන්තුඩුවට පමණක් බව කියමිණුයි

" ඉතිරි දුර යන්නේ කොහොමද"

සුජීවා ලතැවුණා

මොරොන්තුඩුවෙන් බහිනකොට අට ට විතර ඇති.මොරොන්තුඩුවේ සිට කෙටි පාරක් ගමට වැටී තිබුණත් එය වැටී තිබුණේ කැලෑ කුට්ටි සහ පාළු කුඹුරු යායවල් පසුකරමින්.දහවලක වුවත් යෑමට බියක් උපදවන එම පාර තෝරාගනු හැර වෙන විකල්පයක් සුජීවට තිබුණේ නැහැ.අතේ තිබුණු ජංගම දුරකථනයත් තිබුණේ බැට්‍රි බැසීම නිසා ක්‍රියා විරහිතව.
ත්‍රී රෝද රථයක් පිළිබඳව සොයා බැලුවත් එකම රථයක්වත් රථ ගාලේ තිබුණේ නැහැ.පාරේ ගමන්කරන ත්‍රීරෝද රථයක් නවත්වාගෙන තනියම එහි ගමන් කරන්නත් සුජීවට බය හිතුනා. ළඟ තිබූ කඩයකට ගෙඩ වූ සුජීවා එහි සිටි කාන්තාවගෙන්

"අක්කේ ඉටිපන්දම් නැද්ද"

යැයි විමසා සිටියේ තද අඳුරේ යා නොහැකි නිසයි.

කාන්තාව ඉටිපන්දම් සොයන අතරතුර වයස පනහක පනස් පහක තරමේ හැඩි දැඩි අයෙකු

" නංගී කොහේට ද යන්නේ"

යැයි විමසා සිටියේ කරුණාවෙන්.එක් වරම කිසිවක් නොපැවසූ සුජීවා

" කලපුගමට"

යැයි පැවසූවේ ඇසෙන නෑසෙන හඬකිනි.

කලපු ගම යැයි පැවසෙනවාත් සමගම වෙළඳසැලේ සිටි කාන්තාව

" අනේ විජේපාල මල්ලියේ
මෙන්න මේ නංගි වත් කලපුගමට ගෙනිහින් දාපන්.
උඹත් යන්නේ ඒ පාරෙන්ම නේ"

පැවසුවේ සුජීවාව පුදුම කරවමින්.

එවිට විජේපාල

" යමු
මම ගිහින් දාන්නම්"

යැයි පැවසුවත් ,

සුජීවා හිටියේ අදිමදි කරමින්.

සුදු සරමක් හා කමිසයක් ඇඳ පිටතට පෙනෙන ලෙස රන් දම්වැලක් ගෙල පැළඳ සිටි විජේපාල පැමිණ සිටියේ යතුරු පැදියකිනි.

සුජීවා ගේ ප්‍රතිචාරය දුටු කාන්තාව

" ඇයි නංගි අඳුනන්නේ නැද්ද විජේපාල මල්ලිව.
නෙල්ලි ගහ ගෙදර ලොකු විජේ කියන්නේ මේ මල්ලිට තමයි"

දැක පුරද්දක් නැතත් සුජීවා විජේපාල පිළිබඳව අසා තිබුණේ අයුක්තියට එරෙහි වන කා හටත් පිහිටවන හිත හොඳ චන්ඩියකු ලෙසය.ඔහුගේ චරිතයේ ඇදක් පලුද්දක් කිසිවකු කතාවනු සුජීවා අසා නොතිබිණි .

කෙසේ වූවත් විජේපාල ගේ යතුරුපැදියට සුජීවා ගොඩවූයේ වෙන කලහැකි කිසිවක් නොමැති නිසාය.මහ රත්තිරියක පාළු පාරක තනිමග යාමෙන් හිතනවාටත් වඩා භයානක දෙයකට මුහුණ දීමට සිදුවේයැයි සිතුණු නිසාය.
යතුරුපැදිය ට නැගුණු සුජීවා ඉඳගත්තේ විජේපාල ගේ ඇඟේ නොවදින ලෙස බොහෝ පිටුපසට වන්නටය.යන අතරතුර ඇතිවූ කතාබහෙදී පෙනී ගියේ විජේපාල ජිනසිරිව පමණක් නොව ඔහුගේ පරම්පරාවම හොඳින් දන්නා හඳුනන බවකිය.
කෙමෙන් පහව යන බියත් සමඟ සුජීවා තැම්පත් වූවා පමණි යකඩ පාලම ළඟදී ඉදිරි පසින් වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් නැවැතිවූයේ මග හරස් කරමිණි.බයිසිකලය බ්‍රේක් තදකරනවාත් සමඟම වීසිවී ගිය සුජීවා තණබිස්සට වැටුණු අතර යතුරුපැදියද පෙරලාගෙන විජේ වැටුණේ පාර මැදමය.
සිහි එළවා ගැනීමට තැත් කරද්දීම පොලු මුගුරු ගත් පිරිමි තිදෙනෙක් ත්‍රීරෝද රථයෙන් බැස්ස අතර ආවේස වූ පරිදි කෑගසමින් කාන්තාවක් පැමිණියේ අවසානයටය.
පිරිමි තිදෙනා පොලු මුගුරු වලින් විජේ ට පහර දෙද්දී ගැහැණිය සුජීවා ගේ කෙස් වැටියෙන් අල්ලාගෙන පාර දිගේ ඇදගෙන ගියේ පයින් ද පහර දෙමිණි.ඒ අතර ඇය මහ හඬින් බැන වැදුනාය.

" මම කාලයක් තිස්සේ බලාගෙන හිටියේ අතටම අල්ගන්න.හවසට හවසට ජැන්ඩියට ඇඳගෙන මොරොන්තුඩු ගාටනකොට මම හිතුව මොකක් හරි හොර ගමනක් තමයි කියල"

" දැකපු කීපදෙනෙක් ම කිව්වා රෑට රෑට ගාමන්ට් යන ගෑණියෙක්ව බයිසිකලේ දාගෙන එනවය කියල"

" මොකද රෑ වෙන්නේ කියල අහනකොට හොර පූසා වගේ ලිස්සල යනව මිසක් උත්තරයක් නොදෙනකොම මට සැක හිතුණා"

" කසාද බැඳපු දරුවොත් ඉන්න මිනිහෙක් නේද? කියල නිකමටවත් හිතුවද.මනමාලකම ඉහට ගැහුවම ඕවා කල්පනාවෙන්නේ නැහැනේ"

" ලෝකෙට නම් හරිම අපූරු සාධාරණ මිනිහ.
ගෙදර ගෑණිට තමයි සේරම හොර මැරකම්"

බනින අතරම ගැහැණිය සුජීවාගේ මුහුණට වැරෙන් පහරක් එල්ල කලේ තොල පැලී ලේ ගලන ලෙසටය.සුජීවා ඇඳන් හිටි හැටිටයේ පැත්තක් ඉරා දැමූ ගැහැණිය සුජීවා ට තව තවත් පහරදී වෙලට පෙරලා දැමුවාය.

" අනුන්ගේ මිනිස්සු අල්ලගන්නවට මම අද තොට හොඳ පාඩමක් උගන්නනවා"

" පරට්ටි.....තොට පාරෙ බැහැලා යන්න බැරි කරලා තමයි මම අද පස්ස බලන්නේ "

නැගිට ගැනීමටද නොහැකි සුජීවා අතහැර දැමූ ඔවුන් විජේව ත්‍රීරෝද රියට පටවා ගනිමින් පිටව ගිය අතර එක් අයෙක් විජේ ගේ යතුරු පැදිය පැදගෙන ගියේය.
අතට අහුවන තණ පඳුරු ආධාරයෙන් පාරට ඇදුණු සුජීවා නැගිට හිට ගැනීමට උත්සාහ කලද කැරකී ගොස් නැවත පාර මැදම ඇද වැටිණි.අතේ මැණික් කටුව දෙසින් තදබල වේදනාවක් දැනුණු අතර පැලුණු තොලෙන් මෙන්ම සීරුණු අතපයෙන් ද ලේ ගලායමින් තිබිණි.
ඇඳන් හිටි සුදු සාය හා හැට්ටය ඉරී රැල් වී තිබුණු අතර ගලා ආ රුධිරයෙන් තැන තැන රතු පැල්ලම් සෑදී තිබුණේ යක්ෂණියක ගේ පෙනුමක් සුජීවාට ආරෝපණය කරමිනි.විදාහල බොකටු කොණ්ඩය පෙනුම තවත් බියකරු කලේය.
ඈතින් එන යතුරුපැදි සද්දයකින් නැගිට පාර මැද ඉඳගත් සුජීවා දෑත ඉහළට ඔසවමින් කෑගැසුවේ තමන්ට පිහිට වන ලෙස ඉල්ලමිණි.නමුත් සුජීවා දුටු යතුරුපැදි කරුවන් දෙදෙන යතුරු පැදියද හරවාගෙන පලාගියේ මර හඬ දීගෙනමය.
අවසන තමන් අසල රථයක් නවත්වන හඬ සුජීවාට ඇසුනේ සිහිය අඩ සිහිය අතර වැටී සිටියදීය.ඇයව ඔසවා රථයට දමාගෙන රෝහලට රැගෙනවිත් තිබුණේ රාත්‍රී මුර සංචාර යේ යෙදුණු පොලිස් ජීප් රියකිනි.
පිරිසිදු කර බෙහෙත් දමා සුජීවා ව වාට්ටුවට දමන විට පාන්දර දෙක පමණ වී තිබිණි.ඇඳගැනීමට සායක් හා හැට්ටයක් රෝහලෙන්ම දී තිබුණු අතර මැණික් කටුවට ගල් ප්ලාස්ටරයක් දමා තිබිණි.වේදනා නාශක හා නිදි බෙහෙත් වල බලයෙන් රෑ එලිකරගත් සුජීවාව පෙලමින් සිටින්නේ තුවාල වල වේදනාව නොව ජිනසිරිට මහුණ දීමට ඇති ලැජ්ජාව සහ බයයි.
ජිනසිරි එනකොට අට ට විතර ඇති.කොරිඩෝව දෙසට බෙල්ල දික්කරගෙන ඇඳ උඩ වාඩිවෙලා හිටපු සුජීවා ඈතදිම පියසිරිව දැක්කා.ජිනසිරි වාට්ටුවට ඇතුල් වෙනකොටම සුජීවා විලාප නැගුවේ මේ දැන් පකවුරු හරි පහර දෙන විදියටයි .ජානසිරිත් දුවගෙන ඇඳ ළඟට ආවේ සුජීවට හොඳටම අමාරු ඇති කියලා හිතාගෙන.සුජීව ගේ ස්වභාවය දැකලා ජිනසිරිට ඇස් අදහගන්න බැහැ.මූණ ඉදිමිලා.එක ඇහැක් වැහිලා .තොල් දෙක කළු වෙලා. මළ මිණියක මූණක් වගෙයි.

" අනේ ජිනේ"

" අනේ ජිනේ "

කියමින් ගොත ගහනව ඇර කට ඇරලා වචන පිටකරන්න සුජීවට අමාරුයි.ගොත ගගහ සුජීවා කියන්න තැත් කරන්නේ මොකක්ද කියලා ජිනසිරිට තේරුම් ගන්න අපහසු වුණේ නැහැ.ඒක නිසාමයි දෑතින්ම අල්ලගෙන සුජීවා ව ඇඟට තද කරගත්තේ.

" ඔයා බයවෙන්න එපා සුජීවා .

මම ඔයාව හොඳට අඳුනනවා.ඔයා කවදාවත් වැරදි වැඩක් නොකරන බව මම විතරක් නෙවෙයි අපේ දරුවො දෙන්නත් දන්නවා "

" මුලු ගම ම දුක් වෙනවා ඔයාට වුණු දෙයට.
කවුරුවත් ඔයාව සැක කරන්නේ නැහැ"

"දැන් නාඬ ඉන්න"

" මගෙයි වරද.මට තිබුණා ඔයත් එක්ක ඔය ගමන යන්න එන්න"

ඒ වචන ටික ඇහෙනකොට සුජීවට තේරුනේ තමන්ගේ ඇඟේ අමාරවෙන් බාගයක්ම සුව වුණා වගේ.

" අන්න විජේ අය්යත් පිරිමි වාට්ටුවේ ඉන්නවා.ඒ මනුස්සයට හොඳටම අමාරුයි.ඉස්සරහ දත් දෙකකුත් කඩලා"

" විජේ අය්යගෙ පවුල තමයි එයාගෙ මල්ලි කෙනෙකුයි තව චන්ඩි දෙන්නෙකුයි එක්ක ඇවිත් මේ වැඩේ කරලා තියෙන්නෙ.අන්තිමේ මිනිහව ඉස්පිරිතාලෙට ගෙනත් දාලා .ගෑණි ගිහින් පොලිසියට බාරවෙලා"

" දැන් කූඩුවේ"

" ඕන චන්ඩියෙක් ගේ චන්ඩිකම් ගෑණි ළඟදි ඉවරයි කියන්නේ ඕකනේ"

කියමින් ජිනසිරි හයියෙන් හිනාවුණා.

ඒ හිනාවට එක්වෙන්න හැදුවත් වේදනාව නිසා සුජීවා කට වහගෙන ඇස් දෙකෙන් හිනාවුණා.

 

 - ෂර්මිලා බංදුනී දංවත්ත  -