උණුසුම් පුවත්කෙටි කතාව

හෙළදිව කෙටි කතාව

වචී පරම

"දැන් ඔය කෙටිකත‌ාවල ඉන්න සුදු චරිත ගුරාලා ඇගට අරගෙන ස්ටේජ් උඩ එක එක විගඩම් නටනවා නේද? ගස් කපන්ඩ එපා ය, ගුරුන්ට ගෞරව කරන්ඩය වගේ සාර ගර්භ ඔවදනේ ඉඳලා පංති ක්‍රමයට සිදු වුණු සමාජ විභේදනය ඉතා නරකය , ඒ ක්‍රියාවලියට හවුල් නොවිය යුතුය වගේ ඔයාලට ටිකක් බරසාර ඔවදනුත් දෙනවා නේද?"

පංතිය පටන් ගත්ත මුල් ම දවසේ සිරිසුමන හාමුදුරුවෝ තමන් නියෝජනය කළ ක්ෂේත්‍රයේ සෙසු ක්‍රියාකාරි සාමාජිකයින් විවේචනය කළා. උන්වහන්සේට ඕනෑ වුණේ තමන් ටියුෂන් මඩ ගොහුරේ පිපුණු මඩ නොතැවරුණු නෙළුමක් බව අපිට අඟවන්නට ද මන්දා? මේවා හරිම දේශපාලනිකයි. ඡන්දෙ  කාලෙට මහින්ද, රනිල්ට යි, රනිල් මහින්දට යි, බණිනවා වගේ සිරිසුමන  හාමුදුරුවෝ ආයෙම කියවිල්ල පටන් ගත්තා.

''මාකටින් ඕවා. නැතුව බෑ මුන්දලාගේ අධිරංගනය වැඩියි. ඔය මානව හිතවාදී චරිත උන්ගෙ ඇතුළෙ නෑ. මෙහෙමයි ඉතින්. මොකද අපි කියලත් රහසින්වත් පවු නොකළ උදවිය නෙවේ. රහසින්වත් පවු නොකළ සේක කියන්න හිටියෙ එක එක මනුස්සයයි නේ. මමත් තාම හරියට එයාව දැකලා නෑ"

උසස් පෙළට නිර්දිෂ්ට 'පේමතෝ ජායතී සෝකෝ' නාට්‍ය කෘතිය උගන්නන්න පටන් ගන්න කලින් ප්‍රේමයෙන් නොවේ මනුෂයයාගෙන් ශෝකය, බය ඇති වෙනවා වගේ කතාවක් සිරිසුමන හාමුදුරුවෝ කීවා.

අම්මගෙයි අප්පච්චිගෙයි උවමනාවට සිංහල විෂයට කණ්ඩායම් පන්තියක් ගෙදර නිර්මාණය වුණා. සිරිසුමන හාමුදුරුවෝ හදාරා තිබුණු සිංහල විෂය සඳහා වූ ශාස්ත්‍රීය ඥානය, තමා ප්‍රධානම නිෂ්පාදනය. මේ නිෂ්පාදනයේ අලෙවි ප්‍රවර්ධක වුණේ අපේ අම්මා.  අම්මාගේ අරමුණ මේ කුඩා කණ්ඩායම් පංතියට තව ළමයි  එකතු කරගන්න. ඒක ඒ අරමුණින් එළිපෙහෙළි වන සැබෑ අරමුණ තමා.  අම්මා ලාභය බලාගෙන කරපු වැඩක් ඒ. ඇගේ කෙටිකාලීන මුල්‍යමය වාසිය මාසික පන්ති ගාස්තු අඩු කර ගැනීම. දිගුකාලීන මුල්‍යමය වාසිය අධ්‍යාපනය තුළින් භෞතික විමුක්තිය මතුකර ගැනීම.

''ඇත්තට සල්ලි කියන්නෙත් සෑහෙන වටිනා උසස් දෙයක් තමා. දෙවියෝ කොතැන දඑතැන ළඟපාත කාසි ගොඩක් තියෙනවා. පඬුරකට වුණත් නිකං රෙදි කෑල්ලක් ගැට ගහන්ඩ බෑ නේ. "

මම අපේ සිංහල පන්තියේ මලීෂාට කිව්වා.

''මට නං පඬුරු ගැටගහන හැම වේලෙම හිතෙන්නෙ දෙවියෝ කියන්නෙ දුන්නොත් දෙනවා වගේ කෙනෙක් කියල. පඩුරු ගැටගහන අය එතැනට යන්නෙ දුන්නොත් දෙනවමද කියලා අහන්න වගේ"

මලීෂා සාමාන්‍ය දෛනික කතාබහට එකතු කරගත්ත මේ අපූරු චින්තාව ගැන මට දැනුණේ පුදුමයක්.

සිරිසුමන හාමුදුරුවෝ කියන්නේ ඇත්තටම තමන්ගෙ ප්‍රතිදානයේ ගුණාත්මක බව ගැන සැලකිලිමත් වූණු කෙනෙක්. පාට පාට සරුවත් කෝප්පා වගේ ඇස් බඳින දිව පිනවන වැඩ කළේ නෑ. උන්වහන්සේ ඉගැන්වීමේ ක්‍රියාවලිය හරියට ම කොත්තමල්ලි කොප්පයක් වගේ ඇඟට ගුණයි. කොහොඹ පොතු තම්බලා බොන කොට එන තිත්ත රහ නෑ, සරුවත් කෝප්පයක්,  වීදුරුවක්, බොන කොට එන පැණි රහත් නෑ.

කල්යත් ම ළමයි හය හතර බවට පත්වුණා. හතර දෙනා මමත්, මලීෂත්  දක්වාත් අඩු වුණා. පන්තිය හැර ගිය ළමයි රහ සරුවත් පන්ති හොයා ගෙන ගියා කියල පස්සෙ ආරංචි වුණා. පන්තියෙ ළමයි ඉරට්ටෙ සංඛ්‍යාවකට අඩුවුණේ පන්තියෙ ඔවුන් හිටියෙ යුගල් වශයෙන් නිසා. මේ යුගල් බැඳුම් අතරෙ ස්වාධීන තීරණ, ස්වාධීන ක්‍රියාකාරකම්, වගේ ඒවා නැහැ. සේරම සිද්ධ වුණේ යුගල විධියට.

ඔන්න දැන් අම්මා ගේ කණ්ඩායම් පන්තියත් පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්වෙලා සම්පූර්ණ වියදම අපේ පවුලත්, මලීෂාලාගේ පවුලත් අතර බෙදී ගියා. අවසානයේ මලීෂත් පන්තිය හැර ගියේ මාව තනි ශිෂ්‍යාවක බවට පත් කරලා.

අපට උසස් පෙළට නිර්දිෂ්ටවෙලා තිබුණු නාට්‍ය කෘතිය වුණු 'පේමතී ජායතී සෝකෝ' නාට්‍යය උන්වහන්සේ උගන්නන කොට මම හිටියේ තනියම. මට නාට්‍ය කෘතිය අවබෝධයත් සම්පූර්ණයෙන් කියවලා පස්සේ ඒ ආශ්‍රිත පොත්පත්, ලිපි ආදිය ය හෙයා ගෙන කියවන්න කියලා සතියක කාලයක් ලබා දුන්නා. මම බිහේෂ් ඉන්දික, ආරිය රාජකරුණා වැනි ඇදුරන් ලියූ කෘති කිහිපයක් හා ලිපි කිහිපයක් හොයාගෙන කියෙව්වා.

''ඇයි ශිල්ප ශාස්ත්‍රයේ පරතෙරට ම ගිහිපු ගැහැනු පිළිකුල් කරපු, උද්දාල බමුණා ස්වර්ණතිලකා කෙරෙහ බැඳුණේ?"

සිරිසුමන හාමුදුරුවෝ ආගිය තොරතුරු කතා කරන ස්වරයෙන් ම පාඩමට ප්‍රවේශ වීමේ මුල් ම ප්‍රශ්නය මගෙන් ඇහුවා.

ස්වර්ණතිලකාගේ භෞතික රුවෙහි තිබූ ආකර්ශණීය බව නිසා කියලා වචන බර කරලා නොකියා මම ''ස්වර්ණතිලකා ලස්සන නිසා" කියල කිව්වා.

''නැහැ".

''එහෙනම්"

''සුන්දරත්වය තියෙන්නේ වස්තුවේ නෙවේ. අපේ සිතේ. සිතිවිලිවල. තණ්හා, ආශාවලින් විනිර්මුක්ත හිතක් නම් තිබුණේ උද්දාලට ස්වර්ණතිලකා ගේ සුන්දරත්වයට වශී වීමක් සිද්ධ වෙන්නේ නෑ.

සිරිසුමන හාමුදුරුවෝ නාට්‍ය කෘතිය ඉගැන් වූ අයුරු මගේ මනසේ සිනමා පටයක් ලෙස දැනුදු පහළ වේ. සිරිසුමන හාමුදුරුවන්ට අනුව මුළාවට හේතුව තණ්හාවයි. තණ්හාව පහ කළොත් ජීවිතය ඉතා සාමකාමියි. න්‍යායාත්මක අධ්‍යාපනය ප්‍රායෝගිකත්වයෙන් තොර නම් එයින් වැඩක් නැහැ. ජාතක කතා වාක්‍ය රීති, සද්ධර්මරත්නාවලිය, ගුත්තිල කාව්‍ය, අතර කාල රේඛා දෝලනය වෙන්න ඉඩ හැරලා, අපේ නෑ, මගේ සිංහල පන්තියේ අවසාන දිනය උදා වුණා.

පෙරළමින් කියවා සිටි පොතක් වසා තැබුවා වැනි හැඟීමක් එදින මට දැනුණා. එදා රතුපාට දවසක්. සිරිසුමන හාමුදුරුවො කඩඉම් විභාගයට පෙර සූදානම් වියයුත්තේ කෙසේ ද යන්න පිළිබඳව අවවාද කීපයක් දීලා, අම්මයි, අප්පච්චියි එක්ක සුහදව කතා කරලා, සේකරගේ 'සක්වාලිහිණි' කවි පොත මට තිළිණ කරලා යන්න ගියා. යන්න ම ගියා.

හාමුදුරුවෝ මට තිළිණ කරපු සක්වාලිහිණි පොත පෙරළා කියවන්න මට අවකාශයක් හැදුණෙ උසස් පෙළ විභාගය අවසන් වුණාට පස්සෙ. එදා ඇත්තට ම මට රතුපාට දවස කියලා නම තිබ්බෙ මෙදා. ඒ කවි පොතේ මැදට වෙන්න කුඩා කඩදාසියක සටහනක් තිබුණා.

''මට ඔයා ගේ මුළු සිරුර ම හැඟීම් ගොඩක්. ඔය සිරුරෙ කොහෙන් හෙළ වුණත් වැටෙන්නෙ හැඟීමක් ම යි. කල්පනා ම කරලා කල්පනා ම ගොඩක් වුණු ශරීර ස්කන්ධයක් ඔයාට තියෙන්නෙ. ජීවිතේ කිසිදාක දුකක් නොවේවා!!

මට උද්දාලව මතක් වුණා. ප්‍රායෝගිකත්වයෙන් තොර වූ උද්දාලගේ න්‍යායාත්මක අධ්‍යාපනය මතක් වුණා. උසස් පෙළට නිර්දිෂ්ටවෙලා තිබුණු ගද්‍ය, පද්‍ය උපුටන කල් යද්දි මතකයෙන් මැකී ගියත් සිරිසුමන හාමුදුරුවෝ අර රතුපාට දවසේ මට දුන් කුඩා සටහටනේ එකම වචනයක් වත් මට අමතක වුණේ නෑ,

හිරිමල් යෞවන තුර දලු ළා ගෙන වැඩී එන කාලයක ලැබුණු මේ ප්‍රථම ප්‍රේම හසුන මා තුළ ආත්මාභිමානයක් ඇති කළා. එහෙ මෙහේ රස්තියාදුවෙ යන කොලු නඩවල කොල්ලෙක් දෙන්නෙක් සිය ප්‍රේම විමනේ කිරුළ පැලන්දුව මා සම වයසේ සිටින මිතුරියන් දෙතුන් දෙනාට වඩා විශේෂයි කියල මට හිතුවා උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගතකළ ගන්ධබ්බ කාලයේ ප්‍රථම ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කරපු මහා ආඩම්බරකාර කෙල්ලක් වෙන්න මට උවමනා වුණා.

මම පෙරළා සිරි සුමන හාමුදුරුවන්ට ලිපියක් ලිව්වා. ඒ සඳහා මා ළඟ තිබූ මතක මෙවලම් මා හොඳට හසුරුවා හැරියා. වැඩිපුර ම භාවිතා වුණේ නන්දි වානිජ කතා වස්තුවෙ උද්ධෘත. හාමුදුරුවො මට පන්ති කරන සමයේ මම කලබලකාරී ස්වරූපයකින් විචාර ලියා චකිතයකින් කල් ගෙවපු හැටි යළිත් මතක් වුණා.

ලිපිය ලියන කොට ඒ කලබලයවත්, චකිතයක්වත් මා තුළ නොවූ බවට මට සහතික කර කියන්න පුළුවන්. එදා ඒ ලිපිය ලියන මොහොතේ දී සිරි සුමන හාමුදුරුවෝ මගේ ශිෂ්‍යයෙක් ය, මං උන්වහන්සේ ගේ ගුරුවරයා ය යන ගාම්භීර සිතිවිල්ල මා තුළ ඇති වුණා.

සිරි සුමන හාමුදුරුවෝ වෙත,

ඔබ වහන්සේ සක්වාලිහිණි පොතෙහි තබා තිබුණු කුඩා සටහන මගේ නෙත ගැටුණා. මම ශිව අමාත්‍යයා වෙත වෙළඳ වාර්තාව යැවූ ප්‍රකාශයෙන් කොටසක් උපුටා දක්වන්න කැමතියි.

''මේ ශරීරය කිසි ගතයුතු සාරයක් නැත්තේ ය. නිස්සාර ය. මනෝ ව්‍යාධිවලින් පීඩිත ය. සියලු ආරෝග්‍යතා ව්‍යාධි කෙළවර කොට ඇත්තේ ය"

ඔබ වහන්සේට මේ උද්ධෘතය මතක ඇති අනිවාර්යයෙන් ම

 හැබැයි ජීවිතතේ සමහර ගැටලුවලට අපි දන්න සූත්‍ර අපට ආදේශ කර ගන්න බැරි වෙනවා.

ඒ ලියුම ලියල අහවර වුණාට පස්සේ මට අර යශෝදරාවතේ අභිනික්මන් කරපු සිදුහත් කුමරුට වනේ තියෙන කොයි දේත් රස වෙන්න, අව්වේ රැස් අඩු වෙන්න, පතපු යශෝදරාව මතක් වුණා. මමත් ඈ තරමට නැතත් ටිකක් හරි උත්තරීතර යි කියල හිතුණා. කොහොමෙන් කොහොම හරි උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් මම විශ්වවිද්‍යාලෙට තේරී තිබුණා. ප්‍රතිඵල ගැන සිරි සුමන හාමුදුරුව්න් දැනුවත් කරලා ගුරු පඩුරු තියා එන්න අම්මා මාවත් එක්කර ගෙන උන්වහන්සේ වැඩ සිටි පන්සලට ගියා. අම්මා බුදු කුටියට යනකං ඉඳල, ලියූ කුඩා ලිපිය මම උන්වහන්සේගේ, දෑත මත තියා තියා ආවා. එදා උන්වහන්සේගෙන් දිස්වුණේ වෙනදා මා වෙත දැක්වූ සාමාන්‍ය හැසිරීම් රටාවම යි. හැබැයි මගේ කල්පිත සිනාව ලොවේ අපේ සම්මුඛ වීම හා අනතුරුව සිදුවන සිදුවීම් ගැන සොඳුරු සිනමා පටයක් ඇඳිලා තිබුණේ. එදා ඔය සිදුවීමෙන් පස්සෙ කවරදාකවත් මට සිරි සුමන හාමුදුරුවන් ව මුණ ගැහුණේ නෑ. මම විශ්වවිද්‍යාලයට ඇතුළු වී පළමු වසර ගතවන විට සිරි සුමන හාමුදුරුවෝ අපේ නගරයෙන් බැහැර නොච්චියාගම පැත්තෙ ගමක පන්සලක වැඩ වසන බවට මට ආරංචි වුණා.

මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලෙ දි අර කලින් ලිව්වා වගේ ලිපි කිහිපයක් ම ලියුවා. අන්තර්ගතයන් හා ලිපිනයන් වෙනස්. මුල්  ම ලිපිය ලියූ දා දැනුණ මිහිර දෙවන තුන්වන ලිපි ලියන විට, සැඟවී යන අයුරු මං උපේක්ෂාවෙන් විඳදරා ගත්තා. අවසන් වසරෙ දි මම අරහෙම ලියුම් ලියපු, කෙනකුගේ ගෙදර ස්ථිර පදිංචි ලිපිනය මට ලැබුණා. ඒ හුඟක් කල් ගත වෙද්දි.

සිරි සුමන හාමුදුරුවෝ කියන කුඩා දිය සීරාව කාල වැලි තලා යට හැංගිලා. ගියා.

මට මුල් ම ගුරු පත්වීම දොරවක විද්‍යාලයට තීන්දු වුණා. මම ඊට තරමක් දුරින් වූ බාලිකා පාසලක සිංහල ගුරුවරියක් ලෙස සේවයේ නිරත වුණා.

දස වසරක් වගේ දිගු කාලයක් ගතවෙලා ගියාට පස්සෙ  නැවත සිරි සුමන හාමුදුරුවන් ව මුණ ගැහුණා. ඒ සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කර තිබුණු සාහිත්‍ය වැඩසටහනක දී. මා උගන්වන පාසලේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ව රැගෙන ඒම වැඩසටහනට සම්බන්ධ වෙන්න නියම වෙලා තිබුණු ගුරුවරි මම. වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයකු වශයෙනුයි උන්වහන්සේ වැඩම කොට තිබුණේ.

රූපය පවා නැසී යනවා කිව්වට උන්වහන්සේ ව හඳුනා ගත නොහැකි අයුරින් රුව වෙනස් වී තිබුණේ නෑ. ඒ වෙන කොට පවුල, රැකියාව වගේ සංස්ථා එක්ක සටන් වැදිලා මගේ යෞවන රුව නම් පැරදිලා වුන්නේ. මාව මේ තරම් දිගු කාලයකට පසුව හඳුනා ගැනීමට පුළුවන්කමක් හාමුදුරුවන්ට නැතුව ඇති කියලා මම නිගමනය කළා. ඒ නිසා වැඩසටහන අවසානයේ මම ම උන්වහන්සේ ට මාව හඳුන්වා දුන්නා.

''ආ... නදිනි"

උන් වහන්සේගේ ආමන්ත්‍රණයේ ස්වරයෙත්, මුහුණේ ඉරියව්වලත් පුදුමය මුසු වූ සතුටක සේයාවක් අභ්‍යන්තරයේ වේලාගෙන සිටින බවක් හැඟවූවා. රැකියාව, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, සැමියා ආදී නොයෙක් මාතෘකා පිළිබඳව සුලබ ප්‍රශ්න කිහිපයක් සිරි සුමන හාමුදුරුවෝ මගෙන් ඇහුවා.

අනතුරුව,

විදත් අබේසේකර යන රචකයා ව දන්නව ද ?" යැයි මගෙන් ඇහුවා.

ඒකීය මාර්ගයක ගමන් කරමින් තිබූ අපේ කතා ප්‍රවාහය නවමු දිශානතියකට හරවපු මේ වදන්..  අර කියන රචකයා මගේ මතකයේ කිසිම අහුමුල්ලක හිටියෙ නෑ.

''නැහැ හාමුදුරුවනේ මම දන්නෙ නෑ"

මම කිව්වා.

''ප්‍රකට රචකයෙක් නෙවේ නදිනි. මගේ ව්ශ්වවිද්‍යාල සගයෙක්. එයා විශ්වවිද්‍යාලයේ පළළමු වසරේ කවි පොතක් කළා. අවසන් වසරේ වාචි පරම කියල කෙටි කතා පොතක් කලා. මම සාමාන්‍යවෙන් කියවන පොත්පත්වල ආකර්ශනීය තැන් වෙනම කොළවල සටහන් කර ගන්නවා. වචි පරම කෙටිකතා පොතේ එක කෙටි කතාවක මං එහෙම සටහන් කරගත්තු උදෘත කොටසක් තමා මගේ අතින් වැරදිලා ඔයාගෙ පොතට ඇවිත් තිබුණෙ. "

ඉතින් ඔය විදියට මට ප්‍රථම ප්‍රේමය අහිමි වුණේ දස වසරක් වගේ දිගු කාලයකුත් ගත වුණාට පස්සෙ. මට මං ගැන ම වූ ලැජ්ජාව යටපත් කරගන්න අමාරුවෙන් වගේ මං එදා මඳ සිනාවක් පැලඳ ගත්තා. අතීත ප්‍රේම නාටකයේ මා විසින් රචනා කර ගත්ත, අතීත ප්‍රේම නාටකයේ මං රචනා කර තිබුණු, තිර පිටපතත් මම ස්වර්ණතිලකාය කියන හැඟීමත්, එදා සුනුවිසුනු වුණා. ජීවිතේ සමහර භෞතික දේවල් අපට අහිමිවෙලා, දිගු කාලයක් ගියාට පස්සෙ තමා ආත්මීයව අහිමිව වෙන්නේ. සමහර අයට දිගු කාලයක් ගිහින් වත් ඒ ආත්මීය අහිමි වීම අත්විඳින්න බැරි වෙනවා.

          -  නජිලා අධිකාරි  -