පාඨක සැමට දිගාසිරි!!!
හෙළදිව ඊ පුවත් සංග්‍රහය කියවන, බලන, පාඨක සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ඇති බව සටහන් කරන්නේ බෝ තුටිනි.
අද මේ සටහන තබන්නට මඳ වේලාවකට පෙර අපේ හෙළදිව පරිශීලනය කරන සහෘදයින් 201095 ක් සටහන් වී තිබුණි.
අප වෙබ් අඩවිය නරඹන බලන කියවන ඔබ සැමට අපගේ ප්‍රණාමය!!!
ඉතා ළෙන්ගතුව නිහතමානීව ගෞරවයෙන් යුක්තව අපි ඔබ සැම සිහිපත් කරමු. අගේ කරමු.
හෙළදිව ඊ පුවත් සංග්‍රහය මේ තාක් දුර, වසර දෙකක් පුරා අඛණ්ඩව යාවත්කාලීන කරමින් පවත්වා ගෙන එන්නේ මහත් වූ දුෂ්කරතා රැසක් විඳදරා ගනිමිනි. අප පුවත් අඩවිය 2020 දී ආරම්භ කරන ලද නමුත් එසමයේ ලෝකයා මුහුණ දුන් මාරාන්තික කොරෝනා වසංගතය හේතුවෙන් පැනනැඟුණු ආර්ථික දුෂ්කරතා නිසා බිඳ වැටීමෙන් පසු අප යළි ක්‍රියාත්මක වූයේ 2023 ජනවාරි 01 වනදා සිටයි.
මේ වෙබ් අඩවිය වෙනුවෙන් වෙළඳ දැන්වීම් දෙකක් ලදිමු. ඒ හැර වෙනත් කිසිදු ඉපැයීමක් නොමැතිව පාඨක ඔබ වෙත හෙළදිව යාවත්කාලීන කරමින්, පිරිනමන්නට අප අසීරුතා රැසක් මැද ක්‍රියා කළ ද, එයින් සිතට දැනෙන තෘප්තිය මහත් ය. කෙතරම් අසීරුතා තිබුණ ද ඒ සියල්ල විඳදරා ගනිමින්, අපට කළ හැකි කැපවීම කරමින්, පුවත්, කව් මිණි වැල්, හා හෙළදිව කෙටිකතාව වැනි විශේෂාංග ද, අපගේ ශක්ති ප්‍රමාණයෙන් එක්කරමින් පාඨකයා වෙත නොඅඩුව සපයන්නට වෙහෙසෙන්නෙමු.
හෙළදිව පුවත් අඩවිය, සෙසු සමාජ මාධ්‍යජාලාවන් ගෙන් වෙනස් ය. අපේ අරමුණ පාඨක ප්‍රජාවට, කුණු රසය උරා බීමට, නැතිනම් ආලෝලනය කිරීමට නොවේ.
අද අපේ රට තුළ ඉස්මතුව පවතින ඊනියා කුප්‍රසිද්ධ චරිත ගැන, පුවත් මවමින් අපරාධකරුවන්, වීරයන් කරන්නට, අප උත්සුක නොවනා අතර, අගය කළ යුත්තා හෝ අගය කළ යුතු දේ, කිසිදු භේදයකින් තොරව, ඇගැයීම ද අපේ පරමාර්ථ අතර මුල් තැනක් ගන්නා බව ද, ඔබ හෙළදිව ස්පර්ශ කරනා විට පෙනී යනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
හෙළදිව අපට අරමුණක් ඇත. දැක්මක් ඇත. ඒ දැක්ම හෝ අරමුණ හෝ ඔස්සේ ,අපේ පාඨකයින් වෙත කලින් දැක්වූවා සේ සියලු බාධක විඳදරා ගෙන, ආ මඟ ඔස්සේ ඉදිරිය බලන්නේ ද, මේ බිමේ උපන්, අනාගත පරපුරේ යහපත් පැවැත්මකට, ඔවුන් පෙළ ගැස්වීමේ උදාර චේතනාවෙන් බව සටහන් කරන්නෙමු. හෙළදිව ඔවුනට පහන් ටැඹක් වන්නේ ඔවුන් මේ බිමට ආලෝකය සැපයන පුරවැසියන් සේ උදාර මෙහෙවරක නියැළේ ය යන දැඩි විශ්වාසයක් පවතින හෙයිනි.
හෙළදිව පුවත් අඩවිය කිසිදු දේශපාලන පක්ෂකයකට හෝ ,කණ්ඩායමකට හෝ, ගැති නොවේ. එහෙත් කවර පක්ෂයකට වුව, හෙළදිව විවෘත ය. ඒ රටක සංවර්ධනයට ඇවැසි මඟ, හෙළි පෙහෙළි කරගන්නට ඔවුන් හැමගේ අදහස් උදහස් ඇවැසි යයි විශ්වාස කරනා හෙයිනි. ඔවුන් කිසිවකුට හෝ කඩේ යෑමකට අප සූදානම් නැති බව ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ ගාම්භීරව ය.
පාලක පක්ෂය, කවර පක්ෂය් වුව, ඒ කවුරුන් රට මෙහෙය වුවද, විපක්ෂයේ පක්ෂවලට ද අප දක්වන්නේ එකමාකාරයේ සැලකීමකි. අපේ අරමුණ යහපත් පරපුරක් බිහිවනු දැකීමයි. ඒ උදෙසා අතහිත දෙන කවරකුගේ වුව අදහස් පිළිගන්නට, පළ කරන්නට හෙළදිව ඊ පුවත් සංග්‍රහය නිබඳව ම සැදී පැහැදී සිටී.
ලාංකේය සුවහසක් ජනතාව, දැනුමින් පෝෂණය කරන්නට කැමැති, කවරකුගේ වුව අදහස් අගය කරන්නෙමු.
රටක් සේ මෙසිරිලක මුහුණ දී සිටින්නේ, දැඩි දුෂ්කරතා රැසකට යි. එය සාගර ජලකඳ යට සැඟව ඇති නොපෙනෙන අයිස් කඳු පෙළකට සමාන ය. මේ අභියෝග රටක් සේ අප ජයගත යුත්තේ ම ය. නැතිනම් අප මහා අර්බුද ගණනාවක් සහිත අගාදයක පතුළේ ගිලෙු කාට නම් වැළැක්විය හැකි ද??
රටක්, රාජ්‍යයක් සේ අපට ඇතුළෙන් මෙන් ම, බාහිරින් ද එල්ල කෙරෙනා බාධක බොහෝ ය. ඊට මූලික ම හේතුව ලෝක සිතියමේ ඇල්පෙනෙත්ති තුඩකටත් වඩා කුඩා රටක්, රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා ඇති ස්ථානය යි.
එමෙන් ම මේ බිමේ වසන්නන් සතු, මහා සංස්කෘතික උරුමය යි. බෞද්ධ දර්ශනය ඔස්සේ දෙදහස් පන්සිය හැටහත් වසරක තරම් කාලයක් මුළුල්ලේ එයින් පෝෂණය ලබමින්, මෙහි වැසියන් ගෙවන්නා වූ දිවි පෙවත, දියකර හරින්නට, මේ බිමේ මිනිසුන් සතු සාරධර්ම නැති භංගස්ථාන කරන්නට, අකාමකා දමන්නට, සිඳ දමන්නට, විදෙස් බලවේග නිබඳව ම යටිකූට්ටු වැඩ හෙවත්, ක්‍රියාකාරකම් සැලසුම් කරමින්, ක්‍රියාවට නඟමින් සිටින බව, හෙළදිව පුවත් සංග්‍රහයේ විශ්වාසය යි. එයින් ගැලවීම ලේසි පාසු නැත්තේ ය. ඒත් මෙහි අගය ලෝකයා හමුවේ තබමින් එය රැක ගන්නට කැපවීම අපේ පරමාර්ථය යි. ඒ සඳහා අපට පක්ෂ පාට, නැත්තේ ය. ඒ උදෙසා සිහි බුද්ධියෙන් යුක්තව අත්වැල් අල්ලා ගන්නට කැමැත්තේ ය. ඒත් එය අවංක හැඟීමෙන්, අත දිගු කරන්නේ නම් පමණි. නැතිනම් අර කුප්‍රසිද්ධ රහස් වැඩකරුවෝ වෙස් මුහුණු පැලඳ අප හමුවේ පෙනී සිටිමින් නේකාකාර රංගනයන් පා කවර හෝ බොරුවලක හෙළන්නට, ඊට තල්ලු කරන්නට පැය 24 පුරා ම උන් සදා ඇති සැලසුම් හරහා තොණ්ඩු දාන්නට අප්‍රමාද වනු සහතික ය.
මෙය අප කාටත් කොයියම් වෙලාවක හෝ සිදු නොකෙරේ ද? එය රාජ්‍ය පාලකයිනට මෙන් ම විපක්ෂයේ ඇත්තන්ට ද පෙන්නා දෙන්නට කැස කවන්නේ අපට දැනෙන වැටහෙන විදියට යි. කවුරු කවුරුත් බූවල්ලන්ගෙන් පරෙස්සන් වුණොත් හොඳ ය. නැතිනම් උන්ගේ අඩුපඩුවලින් සිර කරගන්නේ අප කාගෙ කාගෙත් ගෙල විතරක් නොවේ....??
හෙළදිව පාඨක ඔබ සැමට දිගාසිරි!!!


