උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

හෙළදිව සාහිත්‍ය අතිරේකය – කෙටිකතාව

දත් කැක්කුම

      දත් කැක්කුම

මිසිස් සුගතදාස ඔරලෝසුව දෙස බැලුවේ කීවෙනි පාරට ද කියලා ඇයට ම මතක නැහැ. ඔරලෝසුව දෙස නොබලා වුවත් වෙලාව කීමේ හැකියාව දැන් ඇයට තියෙනවා. කලින් බලද්දී විස්සේ නැවතී තිබූ දිග කටුව යන්තම් විසි තුනට තල්ලුවී තිබුණේ ඉබි ගමනින්. දැන් වෙලාව හතරයි විසි තුනයි. දොස්තර මහතා හමුවීමට වෙලාව දී තිබෙන්නේ හයයි කාලට.

විනාඩි දහයක දුරින් තිබෙන " ඩෙන්ටල් ක්ලිනික්" එකට යන්න හයට ගෙදරින් පිට වුණත් ඇති. ඒත් ප්‍රශ්නනයවී තිබෙන්නේ යනවද... නැද්ද කියන දෙගිඩියාවයි.

මීට මාස කිහිපයකට පෙර සෑදුණු දත් කැක්කුම ගොඩ වෙදකම් කිරීමෙන්ම සුව කරගත්තත් මේ පාර නම් ඒ බෙහෙත් අහන පාටක් නම් නැහැ. සිද්ධාලේප, ටූත් පේස්ට්, දත් කැක්කුමට අලවන ප්ලාස්ටර් ආදී මෙකී නොකී දේවල්වල පිහිට පැතුවත් සුවයක් නොලැබුණු තැන ගෙදර උදව්වට සිටින සුදු මැණිකේ කියූ පරිදි පුවක් නැටි හා මූණමල් පොතු තම්බපු වතුරෙන්  දවසට තුන්වරක් කට සේදූවත් පලක් වුණේ නැහැ.

මූණමල් පොතු හොයන්න වුණු මහන්සිය දන්නේ මිස්ටර් සුගතදාස විතරයි. දන්න කියන කිහිප දෙනෙකුට ම පණිවිඩ කියලා  කාර්යාලයේ වැඩ කරන හොරණ පැත්තේ ඉඳලා  එන කාර්යාල කාර්ය සහයකයෙකු මාර්ගයෙන් තමයි අන්තිමේදී සොයාගන්න පුළුවන් වුණේ. ඒත් ඒකෙනුත් වැඩක් නැතිවූ තැන දත් දොස්තර සහය පතනවා හැර වෙන විකල්පයක් මිසිස් සුගතදාස ට තිබුණේ නැහැ.

එදා ඩල්සී ගේ ගෙදර දවල් කෑමට නොගියා නම් තමන් මෙවන් අකරතැබ්බයකට මුහුණ නොපානු ඇතැයි සිතන විට මිසිස් සුගතදාස ට ඇතිවන්නේ තමන් ගැනම තරහක්. තමන් වාසය කරන නිවාස යෝජනා ක්‍රමයේ ම අනෙක් පස වෙසෙන ඩල්සී කොහොමත්ම  මිසිස් සුගතදාසට අල්ලන්නේ නැහැ. තමන්ට විශේෂ වරදක් කර නැතැත් කොණ්ඩය කොටට කපා පාටකර මුළු ඇගේ ම විච්චූරණ එල්ලාගෙන ඉන්න ඩල්සි මගදී හමුවුවත් වචනයක් දෙකක් කතාකරනු විනා වැඩි සම්බන්ධයක් කොහොමටවත් තිබුණේ නැහැ.

දුරකථන ඇමතුමක් දී පහළොස් වෙනිදා දහවල් කෑමට තම නිවසට පැමිණෙන ලෙස සුගතදාස යුවලට ම ආරාධනා කළෙත් ඩල්සි මයි. ඇමරිකාවේ රැකියාවක නියුතු සැමියා නිවාඩුවකට ලංකාවට පැමිණීම මුල් කරගෙන නිවාස සංකීර්ණයේ වෙසෙන සියලුම නිවැසියන් ට ආරාධනා කර තිබුණා. නමුත් මිසිස් සුගතදාස නම් කීවේ වෙන කතාවක්.

" ඔය එන්න කියන්නේ ඒ ගොල්ලන්ගේ ගේ පෙන්නන්න"

ඒත් එම නිවස බැලීමේ වුවමනාව වඩාත්ම තිබුණේ මිසිස් සුගතදාසටය. නිවාස සංකීර්ණයේ තිබූ සුඛෝපභෝගී නිවාස අතර ඉදිරියෙන්ම තිබුණේ ඩල්සි ගේ නිවසයි. රජයේ සේවකයන් වූ මිස්ට සුගතදාසත් මිසිස් සුගතදාසත් වේයන් තුඹස බඳින්නාක් මෙන් මුදල් ලැබෙන ලැබෙන ආකාරයට ගොඩනගාගත් නිවසේ වැඩ අවසන් කලේ සිය එකම පුතු ඕස්ට්‍රේලියාවේ රුකියාවකට ගොස් එවූ මුදල් වලින්.

නමුත් ඩල්සිලා ඉඩම් කැබැල්ල මිලදී ගත්තේ ද මෑතක දී. බලාසිටිය දී ඉහළට එසවුණු නිවස අනෙක් සියළු නිවාස පරදා නැගී සිටී.

දත් කැක්කුම ඉවසා සිටිය නොහැකි තැන කොට්ටය කම්මුලට තබා තද කරගත් මිසිස් සුගතදාස ඇඳේ ඇලවුණේ විනාඩි දහයක්වත් ඇස් පියාගන්නා අදහසිනි. පසුගිය දින කීපයේම ඇහැ පියවුණේම නැත. ඇඟට දැනෙන්නේ ඉමහත් විඩාවකි. ගිය පහළොස්වෙනිදා කෑවායින් පසු බඩට හරි හැටි කෑමක්ද නැත. බොන දෙයක් වුව ද බීමට සිදුවූයේ දතට රහසෙනි. පැණි රස හෝ සීතල යමක් ගැටුණ හොත් රිදුම පැමිණෙන්නේ යට හක්ක හාරාගෙන ය.

විටෙක සිතෙන්නේ අමාරුව ඇත්තේ දතේ නොව හිස් කබල ඇතුළත කියාය. එවිට හිස බිත්තියක වුව ද හප්පා ගැනීමට සිත් වේ. එන්ට එන්නම වම් කම්මුලේ ඉදිමුමද වැඩිවේ. වම් ඇහැද පුංචි වී ඇත. මිස්ට සුගතදාස හෝ මැණිකාට යමක් විමසුව ද පිළිතුරු දීමට හිතෙන්නේ නැත. කට ඇර වචනයක් පිටකිරීමට ද මහත් ආයාසයක් දැරීමට සිදුවී ඇත.

පළමුවර දත් කැක්කුම සෑදී සුව වූ පසුව වම් හක්කෙන් කිසිවක් නොහපා සිටීමට පරෙස්සම් වූ මිසිස් සුගතදාස ගේ පරෙස්සම කාලයත් සමඟම ලිහිල් වී ගියේ ඇයටත් නොදැනීමය. එදා ඩල්සීගේ ගෙදරදී ෆ්රුට් කේක් කැබැල්ලක තිබූ රට ඉඳි ඇටයක් නොහැපුනා නම් අද ද දත යහතිනි.

ඒ අවස්ථාවේ දී ඇතිවූ වේදනාව සිහි වන විට දැනුදු හිරිගඩු නැංවේ. ඒ මහ සෙනග අතරේ වේදනාව සඟවාගෙන හිටියේ කෙසේදැ යි දැන් මිසිස් සුගතදාස ට සිතාගැනීමටවත් නොහැකිය. විස්කි බෝතල් වටේ රොක් වී සිටි අය අතරින් මිස්ට සුගතදාසව නැගිටුවාගෙන කෑවායින් නොකෑවායින් ගෙදර දුවගෙන විත් ඇඳේ වැටුණායින් පසුව හරිහැටි කැමක්, බීමක්, නින්දක් නැ

අද බදාදා. දින තුනක්ම පාසලට යාමට නොහැකි වූයේ මේ කෙහෙම්මල් දත් කැක්කුම නිසාමය. අද වත් මේ දතෙන් නිදහස් වූවහොත් සිකුරාදාට වත් සේවයට වාර්තා කිරීමට හැකි වෙතැයි මිසිස් සුගතදාස සිතුවාය. "ෂෝට් ලීව්" එකක් දමා කලින් ගෙදර එන ලෙස මිස්ටර් සුගතදාසව පොරොන්දු කරවාගත් නමුත් හරියටම දොස්තර මහතා හමුවීමට යනවා ද යන විශ්වාසය එවෙලේ ද තිබුණේ නැත.

බය නොහඳුනන කාන්තාවක ලෙස කා අතරත් ප්‍රසිද්ධ මිසිස් සුගතදාස දත් ගැලවීමට තිබුණේ පුදුම බියකි. කුඩා කල දතක් පිරවීමට දන්ත ශල්‍යාගාරයට ගිය ගමන ඇයට තවමත් බියකරු මතකයකි. අඬුපඬු වලින් හා බෙහෙත් ගන්ධය පිරි ශල්‍යාගාරය මතක්වන විට වේදනාව කොතෙක් තිබුණත් වෛද්‍ය වරයා හමුවීමට යන්නට සිතෙන්නේම නැත.

විටින් විට සෑදුණු දත් රිදුම් ගොඩ වෙදකම් වලින්ම සුව කරගත්තත් මෙවර නම් තමාට දන්ත වෛද්‍ය වරයකු හමුවීමට යාමට සිදුවන බව මිසිස් සුගතදාස ට ස්ථිරය.වෙලාවකට සිතෙන්නේ මේ ඔරලෝසු කටු හිමින් යනවා වැඩිය කියාය. වේදනාව මදක් අඩුවන විට සිතෙන්නේ තව දවස් දෙක තුනක් යන විට ඉබේම අඩුවී යනු ඇතැයි කියාය.

මිස්ට සුගතදාස ගේ අදහස නම් අදම කරන දෙයක් කර මේ අඬෝවැඩියාවෙන් නිදහස් විය යුතුය කියාය. ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිට කතා කළ පුතු කියා සිටියේද එයමය. වෛද්‍ය වරයා හමුවීමට සියළු කටයුතු පිළියෙල කළේ ද පුතු විසින්ම ය

ඇඳේ ඇලවී සිටින මිසිස් සුගතදාස සිටියේ දෙලොවක් අතරය. ඉසිලිය නොහැකි වේදනාව වෛද්‍ය වරයා හමුවීමට යන ලෙස පැවසුවත් බය විසින් තව දවස් දෙක තුනක් බලන ලෙස යෝජනා කරයි. පුතා කී පරිදි වෛද්‍ය වරයා පිළිබඳ තොරතුරු ලබාදී ඇත්තේ ඔහුගේ මෙරට මිතුරෙකු විසිනි. මිතුරා කී පරිදි වේදනාව නොදැනෙන ලෙස දත් ගැලවීමට එම වෛද්‍යවරයා නම් දරා සිටින්නෙකි. මවගේ හැටි දන්නා නිසා ගැලපෙන වෛද්‍ය වරයකු සොයාගැනීමට පුතා මහත් වෙහෙසක් ගෙන තිබිණි.

දත ගැලවීමට පෙර හිරිවට්ටන්න විදින බෙහෙතෙන් පසුව කිසිවක් නොදැනෙන බව පැවසුවේ අල්ලපු ගෙදර චිත්‍රාය. නමුත් හිරිවට්ටන බෙහෙත විදීමේදී නම් ටිකක් රිදෙන බව පැවසීමට ද ඇය අමතක නොකළා ය. දැන් මිසිස් සුගතදාස ගේ වැඩි බය තිබෙන්නේ බෙහෙත් විදීම පිළිබදවය. වෙලාව ලංවන්න ළංවන්න මිසිස් සුගතදාසට දැනෙන්නේ තමන්ට උණ වැළඳී ඇති ආකාරයකි.

පහයි තිහ වන විට මිස්ටර් සුගතදාස නිවසට පැමිණි අතර ඒ වන විටත් කොට්ටය බදාගත් මිසිස් සුගතදාස ඇඳේමය. වදෙන් පොරෙන් නැගිටුවාගෙන ඇවිටිලි කර බැරිම තැන අවසානයේ ටිකක් තදින් කතාකළ විට මිසිස් සුගතදාස ඇඟපත සෝදාගෙන ඇඳගත්තාය.

දන්ත ශල්‍යාගාරයට පැමිණෙන විට හය පසුවූවා පමණි. තම පැමිණීම තහවුරු කළ දෙදෙන හිස්ව තිබූ පුටු දෙකක ඉඳගත් අතර මිසිස් සුගතදාසගේ දෙනෙතේ ලියවුණු බිය හඳුනාගැනීමට මිස්ට සුගතදාස ට අපහසු වූයේ නැත.

" මොන ජංජාලයක් කරගනීද දන්නේ නෑ"

හිතින් හිතුවත් මිස්ට සුගතදාස කිසිවක්ම පැවසුවේ නැත.

තමන් ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් තිබූ රූපවාහිනිය දෙස බලාගෙන හිටියත් දෙන්නගෙ ම අවධානයක් යොමුවී තිබුණේ වසා ඇති කාමරයෙන් එන සද්ද බද්ද වෙත. විටින් විට ඇරෙන වැහෙන දොරෙන් යන එන්නන්ගේ හැඟූම් කියවගන්න දෙන්නම උත්සාහ කළා.තම අවස්ථාව කොයි මොහොතේ උදාවනු ඇද්දැයි බලා සිටිනු විනා වචනයක් හෝ කතාකරන්න දෙදෙනාගේම කට ඇරුනේ නැහැ.

හයයි හතලිස් පහ පහුවුණත් මිසිස් සුගතදාසගේ වාරය පැමිණුනේ නැහැ.

" දත් වල වැඩ ඔහොම තමයි හරියට වෙලා යනවා"

තමා ළඟම හිටි කාන්තාවක් ඒ සමඟම හිටි තවත් කාන්තාවකට පවසනු මිසිස් සුගතදාස අහගෙන.

මිසිස් සුගතදාසගේ වාරය එනකොට හතත් පහුවෙලා.රෝගියා පමණක් ඇතුළට ගත් නිසා මිස්ටර් සුගතදාස ට දොර ළඟින් නතර වෙන්න සිදුවුණා. ඒ වෙලාවේ මිසිස් සුගතදාස ගේ මුහුණ දුටු මිස්ට සුගතදාස ගේ හදවත පිච්චුණා.

" මොන පණ්ඩිතකම් තිබුණත් පොඩි ළමයෙක් වගේ"

මිස්ට සුගතදාස ට හිතුණා.

වායු සමීකරණ කර තිබූ ශල්‍යාගාරයට ඇතුළු වීමේදීම මිසිස් සුගතදාස ට දැනුණේ තමන් වෙව්ලන්නාක් බඳු හැඟීමක්. මුව වැස්ම දමාගෙන සිටි වෛද්‍යවරයා දෑසින් සිනාසෙමින් මිසිස් සුගතදාස පිළිගත් අතර  ඉඳගන්නා ලෙස පැවසුවේ අභිනයෙනි. රිදෙන දත ඇති පැත්ත ඉදිමුමෙන්ම හඳුනාගත් වෛද්‍යවරයා සහයිකාවට උපදෙස් දුන්නේ උපකරණ සූදානම් කරන ලෙසට ය

පුටුවේ ඇලවී සිවිලිම දෙස බලාගෙන හුන් මිසිස් සුගතදාස ට දැනුණේ තමන් තනිවූවා වැනි හැඟීමකි. බලෙන් හෝ මිස්ට සුගතදාස කැඳවාගෙන පැමිණියානම් කෙතරම් හොඳදැයි ඇයට සිතිනි.

වදෙන් පොරෙන් මෙන් මිසිස් සුගතදාසගේ මුඛය විවර කරවාගෙන දත පරීක්ෂා කළ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දත හොඳටම නරක්වී ඇති බැවින් දත ගලවා ඉවත් කිරීම වඩා සුදුසු බවය. හිනාවෙන විට නොපෙනෙන තැනක  දත ඇති බැවින් දත ගැලවීමෙන් එතරම් හානියක් නොවන බවද වෛද්‍යවරයා පවසා සිටියේ මිසිස් සුගතදාස ගේ හිත හදන්නටය .

දත ගැලවීමට පෙර හිරිවැටීමට දෙන ඖෂධය එන්නත් කිරීමට අවශ්‍ය නිසා සිරිංජරය සූදානම් කරගත් වෛද්‍යවරයා මිසිස් සුගතදාස දෙසට නැඹුරු වීමත් සමගම බිය වූ ඇය පුටුවේ කෙලින් වී වාඩිවූයේ වෛද්‍යවරයාගේ හිසෙහිද හැපෙන පරිදිය.

" බයවෙන්න එපා ... රිදෙන්නේ නැහැ,හාන්සිවෙන්න"

පැවසූ වෛද්‍යවරයා නැවතත් ඖෂධය එන්නත් කිරීමට සැරසුණා පමණි නැවතත් මිසිස් සුගතදාස පුටුවේ කෙලින්විය.

" බයවෙන්න එපා, හාන්සිවෙන්න"

වෛද්‍යවරයා පැවසුවේ මදක් දැඩි ස්වරයකිනි.

කොතෙක් හිත මෙල්ල කරගන්නට හැදුවත් තෙවන වරටත් මිසිස් සුගතදාස පුටුවේ කෙලින්වී වාඩි වූවාය. ඉවසීමේ රතු ඉර මායිමටම පැමිණි වෛද්‍යවරයා

" මේ වැඩේ හරියන්නේ නැහැ, පොඩි ළමයිත් ඔයිට වැඩිය හොඳින් මේකට මූණදෙනවා, කෝ....හාන්සිවෙන්න"

අතින් තල්ලු කර මිසිස් සුගතදාස පුටුවෙහි හාන්සි කරවූ වෛද්‍යවරයා හතරවැනි වරට ද එන්නත විදීමට සැරසුණා පමණි.  මිසිස් සුගතදාස කෑගසාගෙන පුටුවෙහි කෙලින් විය. ඇයගේ හිසෙහි හැපුණු සිරිංජරය විසිවී ගොස් බුමුතුරුණ මත පතිත විය.

කේන්තිය ඉහ වහා ගිය වෛද්‍යවරයා ගේ දකුණු අත මිසිස් සුගතදාස ගේ වම් කම්මුල මත පතිත වූයේ ද එවිටමය. හෙනයක් ගැසුවාක් මෙන් සිදුවූ සිදුවීමෙන් කමිපනයට පත් මිසිස් සුගතදාස පුටුවෙන් බැස දොර දෙසට දුවන්නට වූයේ ළඟ තිබූ උපකරණ කීපයක්ද බිම පෙරළා ගෙන ය.

මිසිස් සුගතදාස කාමරයේ දොර හරින විට ද මිස්ටර් සුගතදාස සිටි ඉරියව්වෙන්ම දොර ළඟ හිටගෙන හිටියේ යමක් සිදුවීමට නියමිත බව කල්තියාම දැනගෙන හිටියාක් මෙනි.මිස්ට සුගතදාසවත් පසුකරගෙන මිසිස් සුගතදාස පඩි පෙළද බැස පාරට දිවගියේ හඬමිනි. මිස්ට සුගතදාස ඇගේ අත් බෑගයත් ඔසවාගෙන ඒ පසුපස දිව ආවේ විමතියෙන්

" මොකද වුණේ? මොකද වුණේ??" යැයි අසමින්.

වදනකුදු නොදෙඩූ මිසිස් සුගතදාස තම කම්මුල සැමියාට පෑවේ ඉකි ගසමිනි. හොඳින් කැපී පෙනෙන පරිදි රතුව ඉදිමුණු කම්මුල මත සටහන් වූ ඇඟිලි පහක සළකුණු මිසක වෙනත් කිසිවක් වටහාගනු නොහැකි වූ මිස්ටර් සුගතදාස ගේ ඇස් වල සටහන් වූයේ විසඳාගත නොහැකි ප්‍රශ්ණාර්ථයකි.