උණුසුම් පුවත්දේශපාලන

හෙළ දෙස හෙළ බස හෙළ රැස සුරැකීමට කැපවීම මගේ අභිප්‍රාය යි – භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

පාර්ලිමේන්තු මහ මැතිවරණ ය - 2024 අපේක්ෂකයකු සමඟ

නම වැනි පාර්ලිමේන්තුව‌ට මහජන නියෝජිතයින් 225 ක් තෝරා පත් කර ගන්නට තවත් ඇත්තේ හරියට ම අඩමසකි. නැතිනම් දවස් පාළොහකි. එයින් ද පැය හතළිස් අටක නිහඬ කාලයක් ඇති නිසා ඒ දවස් පාළොහෙන් තවත් දවස් දෙකක් ඉවත් කළ විට දවස් දහතුනකි. මේ දවස් දහතුන  කෙසේ ගලා යාවිද   දෙවියන් ද නොදන්නා තරමි.. එය දෙවියන්ට පවා ප්‍රශ්නයකි.
පාර්ලිමේන්තු  මහ මැතිවරණයට ඉතා සාර්ථක ලෙස පිටියට පිවිස ටෙස්ට් පන්දු ද, පාපන්දු ද, දැල්පන්දු ද පැසි පන්දු ද ඈ කී නොකී සියලු පන්දුවකින් ම සිල්ප දක්වමින් හිනා පිරුණු මුවැතිව ජනපති අනුර කුමාර දිසානායක හා ඔහුගේ මාළිමා නඩයත්, සීනුවේ නඩයත් (ඇත්තට ම එහෙම දෙයක් ගැන වචනවලින් කියැවෙතත් ඇත්තේ මාළිමාව ද නැත්තං සීනූව ද යන්න හුදි ජනයා හෙවත් ඡන්දදායකයා නොදනී) හුරේ දම දමා සිටිති.
කොහොම වුණත් වත්මන් ජනාධිපති අනුර කුමාර ගේ ජාතික ජන බලවේගය පිටියට බැස ප්‍රතිවාදීන් එනතුරු කල් මරමින් සිටින බව පෙනේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජිත් ප්‍රේමදාස ගේ ටෙලිපෝනයේ හඬ ගලන්නේ කඩින් කඩ ය. සෙසු පක්ෂ හැම  එකක ම ඇතුළෙ, ඇතුළෙ කචල් ය. අවුල් ය.
මේ තත්ත්වය මත කිසියම් විශ්වාසයකින් යුක්තව රටට පිළිගත හැකි යමක් කිරීමේ නිසි දැක්මක් ඇතිව පිටියට පිවිස සිටින්නෝ කාර්කාරයෝ ය. හෙවත් මෝටර් රිය ලාංචනය සේ යොදාගත් ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණෙ දේශප්‍රේමී නඩය යි.
ඒ නඩයට නායකත්වය දෙන්නේ රුෂාන් මාලින්ද නම් හිටපු ගුවන් නියමුවෙකි. හේ ව්‍යවසායකයෙකි.
ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණෙහි,  ඉතා දක්ෂතාවලින්, කුසලතාවලින්,  නිපුණාතාවෙන් පිරුණ, රට දැය සමය ගැන ඉමහත් ඇල්මක් ඇති, කණ්ඩායමක් ගොනු කර ගන්නට මෙහි නායකයා ගෙන ඇති දුරදක්නා තීරණය, රටේ ජනයාගේ වාසනාව මිස අන් කිසිවක් නිසා සිදු වූවක් නම් නොවේ.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ‌පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයින් 22 අතර කැපී පෙනෙන චරිතයක් සේ සඳහන් කළ හැකි අයෙක් ගැන අද අපි කතා කරමු.
හේ නමින් භක්ති ය.
භක්ති ධර්මප්‍රිය ය.  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් ය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, මෝටර් රියෙන් හෙවත් කාර් එකෙන්, භක්ති කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින්නේ 14 අංකයෙන් ය.
මේ යොවුන් ඡන්දාපේක්ෂකයා පුවත්පත් කලාවේදියෙකි. අපේ වචනවලින් කියනවා නම් පත්තරකාරයෙකි. අද ඒ නම වෙනුවට සමාජයේ පුළුල්ව භාවිතා කෙරෙන්නේ මාධ්‍යවේදියා යන වචනය යි.
පුවත්පත් කලාවේදියකු සේ සමාජයට පිවිසෙන භක්ති, ඒ සඳහා පන්නරය ලබන්නේ කිත්සිරි නිමල් ශාන්ත නම් ජ්‍යේෂ්ඨ පුවත්පත් කතුවරයාගෙනි. ඒ අදින් හවුරදු විසි හතරකට උඩදී ය. නො එසේ නම් 2000 වසරේ දී, සුමති පුවත්පත් සමාගම විසින් අරඹන ලද දිනපතා 'ලක්බිම' පුවත්පත දොරට වැඩීමත් එක්ක ය. කිත්සිරිගෙන් ගුරුහරුකම් ලබා ගත් ඔහු අනුර හොරේෂස්, ක්‍රිෂ්ණා විජයබණ්ඩාර, සම්පත් දේශප්‍රිය, මියුලන්, ජටිල වැල්ලබඩ, සුන්දර නිහතමානි, සුනිල් තෙන්නකෝන්, මහින්ද දලුගොඩආරච්චි, යසවර්ධන රුද්‍රිගු, චන්ද්‍රසේන මාරසිංහ වැනි ජ්‍යේෂ්ඨයින් ගේ අවවාද උපදෙස් උකහා ගත්තේ ය.  එදා මෙදා තුර ගෙවී ගිය කාලයේ දී ඔහු ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු සේ මහත් කැපවීම් කරමින් රටට, ජනතාවට, නැවුම් ප්‍රවෘත්ති සපයන්නටත්, බලවතුන් විසින් සඟවා ගෙන ඇති රහස් තොරතුරු, හාරා අවුස්සා අනාවරණය කරන්නටත් මහත් උනන්දුවක් ගත්තෙකි. විශේෂාංග ලිපි ඔස්සේ ලාංකේය ජන සමාජ ඥානනය කරන්නටත්, ගත්තු අපමණ වෙහෙස දන්නා ජනතාව, අවස්ථා කීපයකදී ම ඔහු අගය කරන්නට පසුබට නොවූහ.
ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අකුරු කළේ ය. විෂය බාහිර ක්‍රියාකාරකම් හැම එකකට ම පාහේ යොමු වෙමින් අත්දැකීම් උකහා ගෙන  සිය මතු දිවියට ඇවිසි පන්නරය ලබාගන්නට  කරැති කැපවීම් රැසකි.
කෝවිඩ් වසංගතය පැවති සමයේ  මාපියන්ගේ අවවාද පවා නොතකා සිය ජීවිතය ගැන නොසලකා  ඔහු රෝගී ජනයාට සහන සැලසීමට සිය මිතුරු කැලක් හා එක්ව කරන ලද සහන සේවාව බොහෝ දෙනකු ගේ අගැයීමට, පැසසුමට ලක් විය.
ඔහු කිසියම් කටයුත්තකට එලඹියේ ද, එහි නිමාවක් දක්නා තුරු කවර බාධක ආව ද ඊට නොපසුබටව කැපවීම්  කරන්නට තත්පර වන මිනිසෙකි.
අපි හෙළදිව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිවිස වඩාත් පුළුල්ව තම අපේක්ෂා මුදුන්පත් කර ගන්නට කැසකවනා භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් හා සංවාදයක නිරත වූයෙමු. මේ අපෙන් ඔහු වෙත යොමු කෙරුණු ප්‍රශ්නවලට ඔහු ගේ පිළිතුරු පාඨක ඔබ වෙතට,
⋆රටේ පොදු මහජනයාට ලාංකේය දේශපාලනය හා දේශපාලනඥයින් තිත්තවෙලයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ හිටපු මහජන නියෝජිතයන් 225 ම එපා කියන හඬ, ඔවුන් පන්නා දැමිය යුතු යි කියන හඬ, කෙළවරක් නැතිව ඇහෙන කාලයක් මේ. ඉතින් ඒ ගොඩට ඔබත් එක්වෙන්න ද මේ හදන්නෙ?
  • පහුගිය හවුරුදු හතළිහක හතළිස් පහක තරම් කාලය පුරා මේ රටේ දේශපාලනඥයින් කළේ, රටේ සංවර්ධනය, ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට, මහජන මුදල් හා දේපොළ කොල්ලකෑම. හොරකම් කිරීම, අල්ලස් ගැනීම යි, යටිමඩි ගැහීමයි. මන්ත්‍රී ධූරය ඔවුන් ආබරණයක් කර ගත්තා මිස එයින් ජනතා බලාපොරොත්තු, අපේක්ෂා, ඉෂ්ට සිද්ධ කරන්න නෙවෙයි, පියවර ගත්තේ. ඇත්තට ම මේ තත්ත්වයට රට ඇද වැටුණේ නෙවෙයි, ඇද දැම්මේ 1977 රට කරවන්න බලය ගත්තු එක්සත් ජාතික පක්ෂයේ පාලකයින්. ඔවුන් ජනතාවට පට්ට පල් බොරු කියලා, බොරු පොරොන්දු දීලා ඡන්ද කෑල්ල පික් පොකැට් ගහන් ලැබුවේ 5/6 මහා දැවැන්ත අසීමිත බලයක්. සෑම කෙනකුට ම පෝෂ්‍යදායි ධාන්‍ය  රාත්තල් අටක් නොමිලේ ලබා දෙනවා කියා එවක එක්සත් ජාතික පක්ෂ නායකය ා වූ ජේ. ආර්. ජවයර්ධන මහත්තයා කියපු කතාව දැන්නම් කිසිකෙනකුට මතක නැති බවයි අපේ වැඩිහිටියන් කියන්නෙ. ඒවගේ කෙබර ඇදබාලා බලය ගත්තු ජේ. ආර්. මන්ත්‍රීවරුන්ට කීවේ  ඕන්න දොරවල් ඇරලා තියෙන්නෙ. මඟ විවර කරලා තියෙන්නේ. ඕනෑ කෙනෙක් ඕනැ විදියකට හම්බ කර ගන්නෙකැයි ඇත්තේ. හැබැයි කරාට කමක් නෑ. අහුවෙන්න නං කොරාන්නෙපා කියා. ඉතින් බලයෙන් මත්වෙලා හිටපු දේශපාලනඥයින් ලොක්කා ගේ කීම අනුව හැම ජරා වැඩක් ම කර කර කළේ ඒ උදවියගේ බැංකු ගිණුම් තර කර ගන්න එක. කොමිස් ගැහිලි, හොරකං කිරිලි, අඩුවක් නැතිව කළා.  ඒ පූර්වාදර්ශය ඔස්සේ ඊට පස්සෙ බලේට ආ හැම කෙනා ම කළේ ඔය ටික. ඉතින් රටේ ජනතාව එහෙම කියන එකේ වැරැද්දක් නැහැ. එහෙම නොකියනවා නම්, විරෝධය නොදක්වනවා නම් තමා වැරැද්ද.
කොහොම වුණත් පාර්ලිමේන්තුවේ සිටිය හැම දෙනා ම හොරුන් හෝ වාංචනිකයන් හෝ දූෂිතයන් හෝ නොවේ. ඉතාම ගුණයහපත් රට ගැන ජනතාව ගැන හිතන දේශපාලනඥයෝ ඔය අතරෙ හිටියා. නමුත් බහුතරයක් දෙනා නිසා ජනතාව කාටත් එක හැන්දෙන් බෙදිල්ලක් තමා 225 එපා ය කියන මතය. ඒ ඔවුන් ගේ වේදනාව ප්‍රකාශිත විදිය යි.
මං විශ්වාස කරන්නේ නොවැම්බර් මහේ 14 වැනි දා ලාංකේය ජන සමාජය මේ පිළිඳව වඩාත් බුද්ධිමත්ව තීරණයක් ගෙන පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු ක්‍රමය 1977 ට පෙර පැවති යා සේ වඩාත් බුද්ධිමත්, නිර්මාණශීලී, විචක්ෂණශීලි මහජන නියෝජිතයින් පිරිසක් තෝරා ගනීවි. මොකද ගෙවුණු කාලය පුරා ජනතා සිතුම් පැතුම් ඉටු කරනවා වෙනුවට තමන්ගේත්, තම හතරවරියාගේත්, ගජමිතුරන්ගේත් ඕනෑකම් අවශ්‍යතා සපුරා ගත්තු කපටි දේශපාලනඥයින් විශාල පිරිසක් මේ ඡන්දෙට ඉදිරිපත් නොවී ගෙවල් අස්සටවෙලා ඉන්නේ.
ඡන්නදායකයින් 1977 දී කළා සේ හා ඊට පස්සෙ පහුගිය මැතිවරණය දක්වා කළා සේ මෙදා එහෙම අවස්ථාවාදී පුද්ගලයින් දියවන්නා හොය තරණය කරන්න ඉඩ හසර පාදා දෙන්නෙ නෑ කියන විශවාසය නිසා තමයි අපත් මේ පිට්ටනියට පිවිසෙන්නේ.

පාර්ලිමේන්තුවට ඔබ පත් වුවහොත් කවරාකාරයෙන් කටයුතු කරනවා ද?

  • මා මගේ මාපියන් ගේ මඟ අනුව යි පා නඟන්නේ. ඔවුන් දෙන්නා ම මේ රට දැය සමය කෙරෙහි දැඩි ආදරයකින් භක්තියකින් කැපවීම් කරපු දෙන්නෙක්. මගේ සොවුරියන් ද එහෙමයි. කවදාවත් ලාභාපේක්ෂාවන් වෙනුවෙන් කිසිම දෙයක් කළේ නෑ, එනිසා ම අපට බොහොම දුක් කරදර විඳින්න සිද්ධ වුණා. අයුක්තියට අසාධාරණයට එරෙහිව මගේ මාපියන් දෙන්නා ම කැපවීම කිරීම නිසා ජීවිතාවදානමට මුහුණ දුන්නා.
ඔබ දන්නවා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා නැඟී ආ විරෝධය. දහස් ගණනක් උගත් බුද්ධිමත් විවිධ තරාතිරමේ පිරිස ජාතියට අහිමි වුණා. අහිමි කළා. එදා මගේ වයස යාන්තමින් අවුරුදු දහය යි. පාලකයින් විසින් රට තුළ නිල හා නොනිල මැරයන්‌ ලවා, දැවැන්ත භීෂණයක් හවුරුදු හතරක තරම් කාලයක් පතුරුවා හැරිය අයුරු තාත්තා අපට කියා දිලා තියෙනවා. ඒ වගේ ම තමයි දේශප්‍රේමීන් යැයි කියා ගත්තු පිරිසත්. මේ දෙ  කොට්ඨාසය ම රටේ තරුණ පරපුර අමු අමුවේ මරා දමද්දී, ටයර් සෑයන් හි පුළුස්සා දමද්දී. පණ පිටින් මරා දමද්දී, බෙලි කපා කෝටුවල ගසා තිබෙද්දි ඊට විරුද්ධව තාත්තා ඔහුගේ කැමරාව හා පෑන මෙහෙය වූවා.
තාත්තා මේ දෙගෙල්ලන්ට ම කරදරකාරයෙක් වුණා. මොකද ඇත්ත ස්වභාවය රටට අනාවරණය කරන්න ඔහු කැපවීම කරන නිසා. ඒ කාලේ අති බහුතරයක් දෙනා හිටියේ ඇස් කන් පියාගෙන. මරණ බය නිසා. ඉතින් අපේ තාත්තා ඝාතනය කරන්න ආණ්ඩුවේ නිල ඝාතකයනුත් දේශප්‍රේමීන් යැ යි කියා ගත්තු පිරිසත් ඔහු හඹා ආවා. ජීවිත ගලවා ගන්නට අපි හතර දෙනා නෑ හිතවතුන් ගේ ගෙවල්වල හංගලා ඒ දෙගොල්ලන්ගෙන් වහන් වෙන කොට තාත්තා එක්ක අම්මා හෙවණැල්ල වගේ හිටියා.
එදා රටට අහිමි වුණු 60000 කට අධික තරුණ පිරිස අද රජීවතුන් අතර හිටියා නම් මේ රට කෙතරම් සශ්‍රීක රටක් බවට පත් කරන්නට හැකියාවක් තිබුණා ද? රටේ කෙතරම් ධනස්කන්ධයක් කෝටි ප්‍රකෝටිවලින් ජාතියට අහිමි වුණා ද?ඒවා තිබුණා නම් මොන තරම් ආර්ථික වශයෙන් රට ශක්තිමත් ද?
ඉතින් මේ දිහා බලන කොට මෙවන් දේ මතුවට හෝ නොවන්නට නම්, අපි ඊට විරුද්ධව හඬ නැඟිය යුතු යි. ඒ සඳහා අවසථාව සලසා දෙන සේ මං අපේ කොළඹ රටේ සබුද්ධිමත් ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වැදගත් අවස්ථාවේ ඔබේ හඬ නැගිය යුතු තැන අවදි කරන්නට අපේ පිලටත් අවස්ථාව සලසා දෙන්න ය කියා. ඒක ඔබ වෙනුවෙන් වගේ ම රට වෙනුවෙන් කරන්නා වූ මා හැඟි කාර්යයක් වේවි.

⋆ පක්ෂ හැම එකක් ම තම තමන් බලයට ආ විට රටට ජනතාවට කරන්නා වූ මෙහෙය ගැන කියන ප්‍රකාශන මැතිවරණ සමයේ දී බහුලව දකින්න පුළුවන්. හැබැයි බලය පික්පොකැට් ගහන් පාර්ලිමේන්තුවට ගිය සැණින් හැම දෙනා ම ඒ සියලු පොරොන්දු අමතක කරලා ජනතාවට පයින් ගහන එන කමා අප දැක තියෙන්නේ ගෙවී ගිය කාලය පුරා. ඉතින් ඔබේ පක්ෂය මොන වගේ  වැඩ පිළිවෙළක් ද ජනතාව ට ඉහළ ජීවන මඟක් නිමහම් කරන්නට යොදා ගන්නේ. ඒ ගැන කියුවොත්......

  • අපට වැඩ පිළිවෙළක් තියෙනවා. අංක එක තමයි, හවුරුදු හතළිහක, හතළිස් පහක වගේ කාල වකවානුවක් පුරා අපේ මව්බිම ඉතා සීඝ්‍රයෙන් අගාධය කරා ගිලිහෙමින් පවතිනව. ඇත්තට ම ගිලිහුණා  නෙමෙයි ඇදදමලා. මෙහෙම මේ රටට තව දුරටත් යන්න බෑ, වැටෙන්නෙ පතුල නොපෙනෙන මහා පාතාලයකට. ඒකට අපි හැම කෙනකු  ම වගකියන්නෝ නැ. මොකද අපි පුරවැසියන් හැටියට දේශපාලනඥයින් ගේ හෙංචයියන්වෙලා ඔවුන් කරන දේවල්වලට නිහඬ වතක නේ හිටියේ.
ඉතින් මෙයින් රට ගොඩ ගත්තෙ නැත්තං අනාගත පරපුර අපේ සොහොන්වලටත් පොල්පිති ඇදබාවි. අපේ මුතුන් මිත්තන් අපට රටක් ඉතිරි කළාට, අපි අපේ අනාගත පරපුරට ඉතිරි කරන්නෙ පැණි උරා බීපු කජුපුහුලමක් නං....
අපේ මූලික වගකීම රට රැකීම. අපේ භාෂාව මෙන් ම ඒ බස කතා කරන මේ රටේ සුවහසක් ජනතාව ආරක්ෂා කිරීම. එයින් අදහස් කරන්නෙ සිංහල ජාතිය විතරක් නෙවෙයි මේ රටේ ජන්මය ලද හැම මිනිහා ම රැකීමේ වගකීම්. පාර්ලිමේන්තු‌වේ වාඩිවෙලා රටේ උන්නතියට ඇවැසි ප්‍රතිපත්ති සකසා ඒවා නියමානුකූලව ක්‍රියාත්මක වෙනවා දැයි විපරම් කිරීම. කිසියම් වැරැද්දක් අඩුපාඩුවක් ජනතාව‌ට, රටට සිද්ධ වෙනවා නම්, සිද්ධ කරනවා නම් ඒ සියල්ල නිවැරදි කිරීම. අපේ ප්‍රතිපත්තියෙහි  ලා ප්‍රමුඛතම කාර්යය එය යි.
භාෂාවක් නැත්නම් කිසිදු ජාතියකට පැවැත්මක් නෑ, භාෂාව තමයි අපේ සන්නිවේදනයේ ප්‍රධාන ම මෙවලම. නමුත් අද සිදුවෙන්නේ නැත්නම් සිදු කරන්නේ කුමක් ද අපි. අපි දැන හෝ හෝ නොදැන හෝ අපේ මව්බස මරන එක නේ ද? පාසල් පද්ධතිය ම අවුල්ජාලයක් වෙලා. වෙලා නෙවෙයි අවුල්ජාලයක් කරලා. පාලකයින් විසින්. පාලකයනට උඩ ගෙඩි දෙන නිලධාරීන් අබමල් රොණක තරම්වත් උවමනාවක් දක්වනවා ද හෙළ බස නිසි පරිද්දෙන් භාවිතා කරන්නට.
මේවාට එක පැත්තකින් ජනමාධ්‍යයත් වගකියන්නෝනැ.  ඔවුන් අද භාවිතා කරන්නේ හඩු බසක්. අද තියෙන ගුවන්විදුලි නාලිකා මෙන් ම රූපවාහිනී නාලිකාවලින් ගුවන් තලය  දූෂණය කරන්නේ ඒවායේ සේවයේ යෙදෙන  ගිරා පෝතක පෝතිකාවන්ම ලවා. කිසිම හරයක් නැති හිස් වචන. සිංගිරිසියෙන් තමයි වැඩි පුර ම කතා කරන්නෙ. තමන් මේ කරන දෙයින් රටට ජාතියට බසට සිද්ධ වෙන හානිය කොච්චරක් ද කියා ඔවුන් තැකීමක් නෑ, කටට එන ඕනෑම අවරගණයේ වචන දෙසා බානවා. කොච්චර වුණත් තවමත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ යම් තාක් දුරකට ඒ කසිකබල් අවරගණයේ වචන භාවිතාව අඩුයි. හැබැයි අසන්නන් ඒවා අහන්න යොමු වෙන්නෙ නෑ. ඒක හරිම කරුමයක්. රටේ අවාසනාවක්.
මොවුන් අපේ බස  නිසි පරිද්දෙන් නොහසුරුවන්නේ කිසියම් හීනමානයක් නිසා දෝ කියන සැකයකුත් අපට තියෙනවා. ඔවුන් සමහර විට මේ අති උතුම්, අති සුන්දර, රමණීය දේශයේ, රටේ ඉපැදීම කෙරෙහි ද කිසියම් වෛරයකින් පසු වෙනවා දෝ යන්න හිතා බලන්නත් වෙනවා.
ඉතින් මේවායේ වැරැද්ද ඒ තරුණ වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ගේ ම විතරක් නෙවේ. ඒ ඒ ආයතන පාලනාධිකාරිත්ව ද  මූලිකව ම මේ විනාශයට වගකියන්නෝනැ.
අපි පාර්ලිමේන්තුවේ දී දෙස බස රැස ආරක්ෂා කිරීමට ගන්නා වූ කවර වූ හොඳ යෝජනාවක් වේද ඊට දෑතම ඔසවනවා. ඒ වගේ ම තමයි මේ ත්‍රිවිධ රත්නය කෙළෙසන්න පාලකයින් කටයුතු කරනවා නම් අපි කොන්දේසි විරහිතව, ඊට එරෙහිව හඬ නඟනවා. වළක්වාලන්නට හැම විටක ම සැදී පැහැදී සිටිනවා.
අපේ රට ගිලගන්න මාන බලන් ඉන්න බටහිරයන්ගෙ අවශ්‍යතා අනුවයි මට නං තේරෙන්නේ. නොදැන හෝ දැන හෝ මාධ්‍ය ආයතන අපේ උතුම් බස කෙළෙසන්නට ගිරා පෝතක පෝතිකාවන් යොදවල තියෙන්නෙ. මොකද අපේ ජාතියේ මුල සින්දොත් ඔවුන්ගේ අරමුණ සාර්ථක වෙනවා නේ.
 එදා අවියෙන් බැරිවුණා බටහිරයන්ට මේ රට යටත් කරගන්න. අද සල්ලිවලින් මේ බිමේ ඉඩම් කට්ටි ගෙන මාළිගා වැනි 'විලා' හදනවා. කිසි කෙනකුට ඒ හතර මායිමකට යන්න බෑ, අද ගාල්ල කොටුව දිහා බලන්න. ගාලුපාරේ හැතැප්ම දෙකක තරම් බිමක් වෙරළ පැත්තෙන් පිටරැටියන් අරන් තියෙන හැටි.
සංචාරක කර්මාන්තය අපේ රටට ඇවැසි විදේශ විනිමය ඉපැයීමට මහත් රුකුලක්. පිටිවහලක්. එහෙම නං රාජ්‍ය පාලකයින් කරන්න ඕනැ අපේ මිනිසුන්ට සංචාරක කර්මාන්තය සාර්ථකව කරන්න ඇවැසි ණය පහසුකම් ලබාදීම. අද කෙරෙන්නේ සුද්දන් වෙරළ කරේ විතරක් නෙවෙයි රට ඇතුළෙත් ඉඩකඩම් මිලදී ගෙන ඔවුන්ට රිසි සේ ගොඩනැගිලි ඉදිකර සංචාරක කර්මාන්තය ඔවුන් අතට අනියම් විදියට අරගැනීම යි. අද ගාල්ල පැත්තෙ පදිංචිවෙලා ඉන්න පිටරැටියන් සියලු දේ අන්තර්ජාලය හරහා ලක ලෑස්ති කරන් ජයට ම මේ රටේ සම්පත් උරා බොනවා. මෙතෙක් රට කරවපු ආණ්ඩු කළේ සංචාරක කර්මාන්තය ඔස්සේ ලාංකේයයන් ගොඩ නැඟීම නෙවෙයි. පොඩි මිනිහා අතමිට සරුකර ගන්නට මඟක් නැතිව හූං ලද්දි බලපුළුවන්කාර මැති ඇමැත්තන් හා ඔවුන්ගේ හෙංචයියන් කෝටි ගණන්වල ඉඩම් විකුණා මුදල් ඉපැයීමත්, ඍජුවම ඔවුන් ද හැකි හැකි තැන්වල හෝටල් ඉදිකිරීමත් කිරීම යි. එක පැත්තකින් සුද්දන් ද අනෙක් පැත්තෙන් දේශපාලනඥ බලපුළුවන්කාරයින් ද වෙරළකරේ ඉඩකඩම් ගෙන අර මිනිසුන් ඒ කියන්නේ ඒවායේ පදිංචිව හුන් මිනිසුන් රට ඇතුළට තල්ලු කිරීමයි කරන්නෙ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නම් සුද්දන්ට ඉඩම් ගන්න තියෙන ඉඩප්‍රස්ථා අහුරා වෙරළ කරේ මිනිසුන් සංචාරක කර්මාන්තයට ආසත කරමින් ඊට අවශ්‍ය මුල්‍යමය පහසුකම් ලබා දීම යි කළ යුත්තේ.
අපේ වැඩපිළිවෙළෙහි සුවිශෙෂී කාරණාවක් සේ මෙය පෙන්වා දෙන්න කැමතියි.
අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙළ නිර්මාණය කළේ රටේ පොදු මහජනයා හා කරන ලද කතාබහෙන් රැස්කර ගත්තු තොරතුරුවලින්. ඉතින් ඒක මේ වගේ සම්මුඛ සාකච්ඡාවකින් කියන්නට අපහසු යි.   
කොළඹ යනු නේකාකාර පිරිස්වලින් සමන්විත ජනසමාජයක කේන්ද්‍රස්ථානය. ඉතින් මෙවන් සුවිශේෂි දිස්ත්‍රික්කයකට නවකයකු වන ඔබ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලනය කරදරා ගත්තු ඔබගේ පැමිණීමෙන් ඔබේ අරමුණ සක්ෂ්‍යාත් කර ගත හැකි දැ?
  • කොළඹ දිස්ත්‍රික්කය යනු මේ රටේ වැදගත් ම කලාපයයි. මෙහි හැම ජන කොටසක් ම වාසය කරනවා. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, මැලේ වේවා, බර්ගර් වේවා, බෞදුධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි මේ ඈ හැම ආගම දහමක ම අනුගාමිකයින් ගෙන් පිරුණු ලොව සුප්‍රසිද්ධ නගරයක්. අපේ වෙළඳ නගරය. කලින් රටේ අගනුවර. මෙහි හැම සමාජ ස්ථරයක ම පිරිස් ගොනු වෙලා අනාදිමත් කාලයක පටන්. ඔවුන් බොහොම බුද්ධිමත්. රටේ ලෝකේ වෙන දේවල් ගැන නිබඳවම දැනුවත් විමකින් යුක්ත සමාජ ස්ථරයක්. ඔවුන් සබුද්ධිකයි.
ඒක අප වැනි නවක තරුණ පිරිස්වලට වඩාත් ආකර්ශනීය ලෙස යොමු විය හැකි යි. මන්ද යත් ඔවුන් රට ගැන ලෝකය ගැන මනා වැටහීමකින් පසුවෙන නිසා. හැබැයි එයින් අදහස් වෙන්නෙ නෑ අවශේෂ පළාත්වල හෝ දිස්ත්‍රික්කවල හෝ ජනයා බුද්ධිමත් නොවේ ය යන්න. මොවුන් තමා වැඩිපුරම පාලකයින්ගෙන් බැට කන්නෙ. අපි දන්නවා නේ කිසියම් ප්‍රශ්නයක් ගැන විරෝධයක් දක්වන්න විරෝධතාකරුවන් රොක් වෙන්නෙ කොළඹට. පහුගිය අරගලය සමයේ කොළඹ ලෝකය පුරා මහත් අවධානයකට ලක්වුණා නේ.
ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් මෙන් ම අවශේෂ පිරිස් ද වෙනස්වන ලෝකය දිහා වඩාත් සංවේදීව ක්ෂණිකව ග්‍රහණය කර ගන්න තරම් සන්නිවේදන පහසුව උපරිමයෙන් තියෙනවා නේ. මේ දිසාවේ ජන සමාජය අනෙක් දිස්ත්‍රික්ක හා සසඳන විට වඩාත් ඉදිරියෙන් ඉන්නෙ. අද ඔවුන් හැම දෙනා ම පාහේ නන්නත්තාරවෙලා. පහුගිය කාලේ මොන තරම් අමාරුවකට මේ මිනිසුන් මුහුණ දුන්න ද? විශේෂයෙන් ම මැද පන්තිය.
ඒනිසා ඔවුන් තුළ සාම්ප්‍රදායික දේශපාලනඥයින් කෙරෙහි ලොකු කලකිරීමක්, වෛරයක් තියෙනවා  
2024 ජනාධිපතිවරණයේ දිස්ත්‍රික් ප්‍රථිපල අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලවලින් පෙරමුණ ගත්තේ අනුර කුමාර දිසානායක මහතායි. අනුර කුමාර දිසානායක මහතා 629963 ක් ගනිද්දි සජිත් ප්‍රේමදාස මහතාට 342108 ක් ඡන්දය දී තිබුණා. සජිත් ට වඩා අනුර ඡන්ද 287855 කක වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනුවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද සංඛ්‍යාව 1765351 කි. මෙයින් ඡන්දදායකයින් 399165 ක් ඡන්ද පොළට ඇවිත් නෑ. එයින් පේනවා පවතින දේශපාලනඥයින් ගැන ඇති අකමැත්ත. අප්‍රසාදය. ඡන්දය පාවිච්චි කරලා තිබෙන්නේ 1386186 ක්.
අපි විමසිල්ලට ගත යුත්තේ ඡන්දපොළට නො ආ පිරිස කෙරෙහි. සමහර විට මෙයින්  කිසියම් ප්‍රමාණයක් විදෙස්ගතව සිටිනවා වෙන්න පුළුවන්. ඒත් කොහොම හරි ලක්ෂ හතරකට ආසන්න, ඉතාම සොච්චමක් අඩුවෙන් පිරිසක් කිසිවකුට සිය ඡන්දය නොදුන්නේ ඇයි.
මොවුන් මැති ඇමතිවරුන් ගැන පසුවන්නේ අප්‍රසාදයකින් ද? එසේ නම් ඔවුන් දිනා ගන්නට අප කළ යුත්තේ කුමක් ද යන ගැටලුව අපි හොඳින් හිතා බලන්න ඕනෑ. ඔබ විමසුවා නවකයකු වන මා වැන්නකුට පොදු ජනයා ඡන්දය දේවි ද කියා.
අපි අ‌පේ ප්‍රතිපත්ති කවරාකාර ඒවාදැ යි ගෙන්ගෙට ගොස් ඔවුන් දැනුවත් කිරීම ඔස්සේ අප කෙරෙහි විශ්වාසයක් ඔවුන් ගේ හිත් හතන්වලට රිංගවා ගත්තොත් ඒ ඡන්දවලින් අඩුම තරමින් අඩක් හෝ සක්‍රිය කොට අපේ පැත්තට නම්මවා ගන්න පුළුවන් කියන විශ්වාසයක් අපේ කණ්ඩායමට තියෙනවා.
මෙතැන තියෙන ගැටලුව අප ද පැරණි සාම්ප්‍රදායික දේශපාලනඥයන් නොවේ ය කියන හැඟීම ඔවුන් හිත් තුළ රෝපණය කිරීමේ අපහුසව යි. එය කළොත් අපේ අපේක්ෂාව ඉෂ්ට වේවි. මං විශ්වාස කරන්නෙ මේ දිස්ත්‍රික්කයේ පොදු මහජනයා බොහොම හැගීම්බරව ඉන්නෙ දේශපාලනඥයින් ගේ කෙරුවාවල් කෙරහි කලකිරීමෙන්. වේදනාවෙන්. අලුත් පක්ෂයකිිින් අලුත් පිරිසක් දියවන්නා හොය තරණය කළහොත් ඔවුන්ගෙන් රටට දැයට සමයට යම් සාධනීය කාර්යභාරයක් කරගත හැකි ය යන හැඟීමකින් මේ උදවිය සිටිනවා.
ජනාධිපතිවරණයට තිස් අට දෙනකු තරග කළ බව අපි දන්නවා නේ. ඒ උදවියගෙන් ජාතික ජන බලවේගයේ හෝ වේවා සමගි ජන බලවේගයේ හෝ වේවා ගෑස් සිලින්ඩරේ කරතියා ගත්තු රනිල් මහත්තයා හෝ වේවා සෙසු අපේක්ෂකයින් කිසිවකුටත් ජනාධිපති සිහිනය සැබෑ කර ගන්නට බැරි බව දන්න නිසා ඔවුන් බහුතරයක් ඡන්දෙ දීමෙන් වැළකුණා කියන කාරණය තමයි අපට පේන්නේ. ඒ ඉතින් ජනාධිපතිවරණය ට නේ. පත්වෙන්නේ එක පුද්ගලයයි ජනාධිපති හැටියට.
නමුත් පාර්ලිමේන්තු මැතිවරණය යනු රටේ මුල්‍යමය කටයුතු හසුරුවන නීති තනන ආයතනය නිසා අර පිරිසෙන් යම් ප්‍රමාණයක් හෝ ඡන්දය දෙන්න ඡන්ද මධ්‍යස්ථානය කරා ඒවි. ඒ උදෙසා අපි වෙහෙස මහන්සි විය යුතු යි.
එහෙම වුණොත් අප මව්බිම වෙනුවෙන්, මව්බස වෙනුවෙන් හා ජාතිය වෙනුවෙන් කළ යුතු මෙහෙය කරන්නට අපෙන් කීප දෙනකු හෝ දියවන්නා හොය තරණය කරවා ඔවුන් වෙනුවෙන් හඬක් නංවන්න අපේ පිරිසෙ ඇත්තන්ට හැකි වේවි.
⋆ වෘත්තීය පුවත්පත් කලාවේදියකු වූ ඔබ දේශපාලනඥයකු ලෙස බවුතිස්ම  වෙන්නෙ මාධ්‍ය දිවියට සමු දෙමින් ද?
අපෝ නෑ. මං පත්තරකාරයෙක්. මාධ්‍යවේදියෙක්. මගේ ඇඟේ දුවන්නෙ මගේ අප්පච්චිගෙ ලේ. ඒ ජාන. මං වඩාත් ම ප්‍රියකරන්නෙ පත්තරකාරයෙක් වීම මිස අන් කවරක්වත් නෙවෙයි. මං පෑනට ආදාරෙයි. පෑන නම් අත්හරින්නෙ නෑ. දේශපාලනඥයා යනු  පිරුවටයක් ඇඳගත්තු මිනිසෙක්. මං කැමති හැමදාමත් මාධ්‍යවේදියකු සේ සමාජයට නොහොඳ නරක පෙන්වා යහපත් පරපුරකට මං එළිපෙහෙළි කරන්න පත්තර කාරයකුට හැර අන් කවරකුට එය කළ හැකි ද?
මේවා තාවකාලිකයි. පිරුවට... පිරුවට.... මහජනයා කොයි මොහොතේ අපට අන්දවපු පිරුවට ය ආපහු උදුරා ගන්නා හැටි පේනවා නේ. අද ගෙදරින් එළිපෙහෙළියට බහින්න බැරි තරම ට ම ඔවුන් ජනතාවගෙන්ති කොන්වෙලා නේ ද?  පේනවා නේ. හතළිහකට වැඩි දේශපාලනඥයින් පිරිසක් ගලේ පැහැරූ බීළාලයින් බවට පත්වෙලා. නමුුුත් වෘත්තීීය පුවත්පත් කලාවේදියා හෝ ලේඛකයා හෝ මියැදෙන තුරු ම සමාජයේ ප්‍රසංශාවට ලක්වෙන්නෙක්. හැබැයි ඉතින් අද ඒකත් ප්‍රශ්නයක් බවට පත්වෙලා. සමහර මාධ්‍යවේදීන් යැ යි කියා ගන්නා ඇත්තන්ගේ නොපනත්කම් නිසා

- විශ්වනාත් කපුමුල්ල -