උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

හෙළ සාහිත කෙත අස්වද්දමින් හුන් ඈ යන්නට ම ගියා ය

සෝමා ජයකොඩි සම්මානනීය ගත්කතුවරියේ සුබ ගමන් !!!

 'මදාරා’ ගැන දිවයින ඉරිදා සංග්‍රහයට කොටස් වශයෙන් ලියා,  ස්වකීය නිර්මාණශීලී කුසලතා, රට පෙන්වමින් සිය සාහිත චාරිකාව ඇරඹූ සෝමාවෝ, ඇගේ ලිවිසැරියත්, දිවිසැරියත් හමාර කරැති බව, හෙළදිව පාඨක සහෘයනට සංවේගයෙන් මෙසේ දැනුම් දෙම්හ

මේ අප සන් මිතු අනුර බී. සෙනෙවිරත්නයන් සිය මුහුණු පොතෙහි තබා ඇති සටහන සෝමා ජයකොඩි ලේඛිකාව ගැන කදිම පැතිකඩක් දිගහැර දක්වා ඇති අයුරු යි.

ළෙන්ගතු පෙම් කවිය •••••••••••

නිහඬ ය දැන් ඉතින් 

එක්දහස් නමසිය හතලිස් නමයේ ජනවාරි 21 වන දින යටියන්තොට ප්‍රදේශයේ ඉපිද පුවක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් හා පුවක්පිටිය මහා විද්‍යාලයෙන් මෙන් ම, නුවරඑළිය කඳපොළ විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා පසුකලෙක මෙරට සම්මානනීය ලේඛිකාවක බවට පත්වූ  සෝමා ජයකොඩි ග්‍රන්ථ කර්තෘවරියක ලෙස පමණක් නොව, ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනයෙන්, සිංහල ඉංග්‍රීසි ද්වී භාෂා ලේඛනයෙන්  ද සමාජයට ඉමහත් සේවාවක් සිදු කළා ය.

සිය ලිවි සැරිය තුළ ‘දූලි වලාකුළු’, ‘හේමන්ත නිද්‍රාව’, ‘කැන්ගරුවෝ’, කර්නල්ගේ බිරින්ඳෑවරු 1 සහ 2’, ‘අප්පච්චි’, ‘ළාදලු බෝපත්’, ‘සිදුහත් යසෝදරා’, ‘මා ප්‍රිය සොඳුර’, 'කඳුළු බද්ද' ඇතුළු පාඨන සිත් සතන් ඇද බැඳ ගන්නා නවකතා රැසක් ඇය විසින් රචනා කරන ලද අතර, ඉන්  'මදාරා’ නම් නවකතාව මුලින් ම පාඨකයන් අතරට ගියේ, දිවයින ඉරිදා සංග්‍රහයේ කොටස් වශයෙන් පළවූ රසවත් නවකතාවක් ලෙස ය.

1987 වසරේ දී ප්‍රකාශයට පත් එම නවකතාවත්, ඉන්පසු පුවත්පත්වල පළවූ සහ ග්‍රන්ථ වශයෙන් එළිදුටු ‘රන්ගිර’ සහ ‘බලවත්තු හා බවලත්තු’ යන නවකතාත් පසුව ටෙලි නිර්මාණ බවට පත් වී ය.

ඇගේ නවකතා අතරින් ‘මා ප්‍රිය සොඳුර’. ‘ළාදළු බෝපත්’ හා ‘සිදුහත් යසෝදරා’ කෘතීන් ඉංග්‍රීසි සහ දමිළ බසින් ද ප්‍රකාශයට පත්ව තිබේ.

වැඩිහිටියන් උදෙසා සාහිත්‍යකරණයේ යෙදෙන අතර තුර ළමයින් සඳහා ද ලේඛනයේ යෙදෙන්නට ඇය අමතක නොකළා ය. ‘පින්වන්ත දරුවෝ’, ‘මැජික් බෝලය’, ‘බක බක කතන්දරේ’, ‘උකුසු අම්මාගේ පාඩම’, ‘අයියගෙ කතාවයි මල්ලිගෙ කතාවයි’, ‘දරුවන්ට ලියැවුණු බයිබල් කතන්දර’, ‘නෙතුලිගේ කතා’, ‘එයා හොඳ පුතෙක්’, ‘වාසනාවන්ත දූපත’, ‘තැටි මාමා’ ඉන් කිහිපයකි.

මීට අමතරව මහාවංශය ඇසුරින් ඇය ලිහිල් බසින් ග්‍රන්ථ රැසක් ම යොවුනන් වෙනුවෙන් රචන කර තිබේ.

තව ද, මෙරට කීර්තිමත් පුද්ගලයන් තිදෙනකු වන ඩෙන්සිල් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක සහ පබිලිස් සිල්වා යන අයගේ චරිතාපදාන ඇයතින් රචනා වී ඇත.

ඇය ලියූ ගුවන්විදුලි නාට්‍ය සංඛ්‍යාව 85 ක් පමණ වේ. ඒවායින් කිහිපයක් ඇය ‘සරණාගතයෝ’ සහ ‘දෙවියන් සහ ගැහැනිය’ වශයෙන් දෙවරක දී සංග්‍රහ කොට දැක්වූවා ය.

සිය පියාගේ අඩිපාරේ යමින් කුඩා කල පටන් පොතපත කියැවීමට මහත් රුචිකත්වයක් දැක්වූ සෝමා ජයකොඩි අන්‍යයන් ද කියැවීමට හුරු කරවමින් ‘සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය’ නමින් පවත්වාගෙන ගිය බණ්ඩාරගම, මැදගම, ‘රන්ගිර’ නම් සිය දෙමහල් නිවස සහ එහි වූ ඇගේ පෞද්ගලික පුස්තකාලය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස 2019 වසරේ දී ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත ප්‍රදානය කළා ය.

අවසාන කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවුව ද, ඇය සිය පෑන අත නොහැරියා ය. ඇය අවසානයේ රචනා කළ ‘ළෙන්ගතු පෙම් කව’ කෘතිය නේවාසික රෝගියකු ලෙසින් හිඳ එළිදැක්වූ ප්‍රථම කෘතිය ලෙස පසුගිය ජනවාරි 17 වන දින එළිදැක්වූයේ, ඇය නේවාසිකව ප්‍රතිකාර ලැබූ රාගම පුනරුත්ථාපන රෝහලේ දී ය.

සුජීවත්ව සිටිය දී තම නැණ පමණින් සාහිත රසයෙන් ජන මන නිවා සැනසීමෙන් නොනැවතී තම වටිනා නිවස ඇතුළු ඇගේ සුවිසල් පුස්තකාලය පවා එසේ දැයේ පාඨකයන් වෙනුවෙන් පරිත්‍යාග කළ උදාර ලේඛිකා සෝමා ජයකොඩි අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ සොයුරියට අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරමු.෴

         අනුර බී. සෙනෙවිරත්න