ජගත් ගේ සතියේ සටහන - 48
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 27 වැනි කතානායකවරයා වශයෙන් පත්වී සිටි අශෝක සපුමල් රන්වල මහතා අධාපන සහතික පිළිබඳ ප්‍රශ්නයක් මත එම ධූරයෙන් ඉකුත් 15 වැනිදා ඉල්ලා අස් වුණා.
එම පුරප්පාඩුවට නව කතානායකවරයකු පත්කර ගැනීමට තිබුණේ ඉකුත් 17 වැනිදා යි. කතානායක තනතුරට විපක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊට පෙර ප්‍රතාශ කළ අතර එම පක්ෂයේ බොහෝ දෙනකු කතානායක ධූරයට රෝහිණී කවිරත්න මන්ත්‍රිවරිය ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ කොට තිබුණා. කවිරත්න මහත්මිය ද එයට කැමැත්ත පළ කළා.
විපක්ෂයේ පක්ෂ සහාය නැති නිසා රෝහිණී ගේ නම යෝජනා කළේ නැති ල
එහෙත් පාර්ලිමේන්තුව පසුගිය 17 වැනිදා රැස්වූ අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කතානායක ධූරයට නමක් යෝජනා කරන ලෙස සභාවෙන් ඉල්ලා සිටියා. මෙහිදී නැගී සිටි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගේ නම යෝජනා කළා.
තවත් නම් තිබේදැ යි නියෝජ්‍ය කතානායකවරයා විමසූ විට සභාවෙන් පිළිතුරක් නොලැබුණු බැවින් ජගත් වික්‍රමරත්න මහතා කතානායක ධූරයට ඒකමතිකව පත්වූ බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළා.
සමගි ජන බලවේගය කතානායක තරගයට නමක් ඉදිරිපත් නොකළේ ඒ සඳහා විපක්ෂයේ අනෙක් පක්ෂවල සහයෝගය නොලැබීම නිසා බවයි දැනගන්නට තිබෙන්නේ. විශේෂයෙන් ම දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුන් විපක්ෂයෙන් කතානායක ධූරයට නමක් ඉදිරිපත් කිරීමට යාම ගැන විරෝධය දක්වා තිබීම නිසා නිහඬවීමට තීරණය කළ බව එහි මන්ත්‍රීවරයෙක් මාධ්‍යවේදීන්ට කියා තිබුණා.
වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 159 ක් සිටින අතර විපක්ෂයට මන්ත්‍රීවරුන් සිටින්නේ 66 ක් පමණයි.
මේ අතර පළාත් පාලන මැතිවරණ සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ මහනුවර දි ප්‍රකාශ කළා. ඒ සඳහා කලින් කැඳවා තිබූ නාමයෝජනා අවලංගු කොට අලුතින් නාමයෝජනා කැඳවන බවත් ඒ වෙනුවෙන් පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට ඉක්මනින් ම පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා කියා තිබුණා.
ඊළඟ ඡන්දෙට ඔක්කොම කඩිමුඩියෙ වැඩ
දැන් විපක්ෂයේ සෑම පක්ෂයක් ම පාහේ මෙම පළාත් පාලන මැතිවරණ සඳහා සූදානම් වීමට පටන් ගෙන තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, ආදී වෙනම පක්ෂ පිහිටුවා ගෙන තරග කොට පරාජය වූ හිටපු මැති ඇමතිවරුන් දැන් යළිත් එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා.
මෙම පිරිසේ රැස්වීමක් පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අනුර යාපා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, නිමල් ලංසා, ලසන්ත අලගියවන්න, අනූප පැස්කුවල්, චාමර සම්පත් දසකායක, ෆයිසර් මුස්තාපා, ජගත් ප්‍රියංකර, මොහොමඩ් මුෂාරෆ්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු හිටපු මැති ඇමතිවරුන් 30 ක පමණ පිරිසක් හා පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් ද මෙයට සහභාගි වූ බව යි වාර්තා වෙන්නේ.
පුටුව පළාත් පාලනේට සූදානම්!?
පොදුජන එක්සත් පෙරමුණ වශයෙන් යළි සංවිධානය වී 'පුටුව' ලකුණින් පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා. විදේශගතව සිටින බැවින් සුසිල් ප්‍රේමජයන්ත හා මොහොමඩ් මුසාමිල් යන මහත්වරුන් මෙම රැස්වීමට පැමිණ නැහැ.
ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් අයදුම්පත් කැඳවීමට තීරණය වූ බව ද දැනගන්නට තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ද පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ දී රැස්වී පළාත් පාලන මැතිවරණ ගැනත පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු ගැනත් සාකච්ඡා කොට තිබෙනවා.
මෙහිදී පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී, චානක මහතා පත්කොට ගෙන ඇති අතර ග්‍රාමීය හා කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධායක ලෙස හිටපු ඇමති ජොන්ස්ටන් ෆ්‍රනාන්දු මහතා පත්කර ගත් බව දැනගන්නට තිබෙනවා.
මේ අතර පසුගිය මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 'ගෑස් සිලින්ඩරය' ලකුණ යටතේ තරග කළ පක්ෂ ගණනාවක් ඉන් ඉවත්වී වෙනම කටයුතු කිරීම අරඹා තිබෙනවා. ඒ අනුවයි නිමල් සිරිපාල ද සිල්වා, නිමල්ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, ඇතුළු පිරිස පොදුජන එක්සත් පෙරමුණ යළි පිහිටුවීඹට කටයුතු කර තිබෙන්නේ.
මේ තත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය යළි පණ ගන්වා ප්‍රබල පක්ෂයක් බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සෙසු ප්‍රධානීන් සමඟ පසුගිය සතියේ සාකච්ඡා පවත්වා තිබුණා.
පසුගිය කාලයේ පක්ෂ කටයුකුවලින් ඉවත් වී නිහඬව සිටි සාමාජිකයින් යළි එක්කර ගැනීමට හා සමගි ජන බලවේගයේ සිටින එම පක්ෂයේ නායකත්වය කෙරෙහි කලකිරී සිටින අය යළි පක්ෂයට බඳවා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද වාර්තා වෙනවා.
අලිය කෙළින් කරන්න කමිටුවක්
තවද එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් ද පත් කොට තිබෙනවා. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සාගල රත්නායක, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, හරීන් ෆ්‍රනාන්දු, මනූෂ නානායක්කාර, තලතා අතුකෝරාළ යන අය මෙම කමිටුවට පත්කොට ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.
පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ දී දිස්ත්‍රික් නායකයින් පත් කිරීමට ද මෙහි දී තීරණය වී ඇති අතර කංචන විජේසේකර මහතා මාතර දිස්ත්‍රික් නායකයා ලෙසත් අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස ෂෙහාන් සේමසිංහ මහතා පත් කිරීමටත් මෙහි දී යෝජනා වූ බව ද පැවසෙනවා.
පක්ෂය හැර ගොස් සිටින පිරිස් යළි එකතු කර ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනකු ද දැනටමත් ඔවුන් සමඟ කතා කිරීම අරඹා ඇතැ යි දැන ගන්නට තිබෙනවා.
මේ අතර පසුගිය මහ මැතිවරණය ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයට ලැබී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහෙන් පළමු මන්ත්‍රී ධූරයට පත්වූ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් වූ අතර ඉතිරි මන්ත්‍රී ධූර හතර පත්කළ ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට පක්ෂය තුළින් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඇතුළෙන් ම සජිත්ට දොස් පරෝස්
මෙහිදී ප්‍රබල විරෝධයක් හට ගෙන තිබෙන්නේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත් නොකිරීම ගැන යි.
දේශපාලන ක්ෂේත්‍රයේ සෑම පක්ෂකම ගෞරවයට හා ආදරයට පත්ව සිටින ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට පසුගිය මහ මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයට තරග කළේ නම් ලෙහෙසියෙන් ම පාර්ලිමේන්තුවට තේරීපත් වීමට ඉඩ තිබූ බවයි බේරුවල ජනතාව පවසන්නේ. එහෙත් සමගි ජන බලවේගය වෙනුවෙන් රට වටේම ගොස් ධන්ද ව්‍යාපාරය මෙහෙයවන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඔහුට දන්වා තිබෙනවා. ඒ වෙනුවට ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන බව ද පැවසූ බැවින් දක්ෂ කථිකයකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතා උතුරු නැගෙනහිර ඇතුළු බොහෝ ප්‍රදේශවල සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද කටයුතුවල යෙදුණා.
එසේ තිබිය දී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ පාක්ෂිකයින් පක්ෂ නායකයාට දොස් පවරනවා.
කලකිරුණු ඉම්තියාස් ජාතික සමගිය හා සන්හිදියාව කරට ගනී 
මේ අතර යළි පක්ෂයේ දේශපාලන කටයුතුවලට සහභාගි නොවී සිය පියා වෙනුවෙන් පවත්වා ගෙන යන ජාතික සමගිය හා සන්හිඳියාව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය මඟින් රට පුරා ජාතික සමගිය හා සන්හිඳියාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කටයුතු කරගෙන යනවා.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා බලාපොරොත්තු දල්වා ගෙන සිටි ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුෂාර ඉඳුනිල් යන හිටපු මන්ත්‍රීවරුන් පක්ෂ නායකයාගේ ක්‍රියාකලාපය ගැන දැඩි කනස්සල්ලකින් පසුවන බවත් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔවුන් පසුගියදා රැස්වී සාකච්ඡා කොට ඇති බවත්, දැනගන්නට තිබෙනවා. මොවුන්ගෙන් සමහරකු යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීම ගැන එහි නායකයින් සමඟ සාකච්ඡා කොට තිබෙන බව ද දැනගන්නට තිබෙනවා.
පසුගිය මහ මැතිවරණ පරාජයෙන් පසු පක්ෂයේ පරාජයට හේතු වූ කරුණු ගැන සාකච්ඡා කිරීමට හා පක්ෂය ඉදිරියට ගෙනයෑම සඳහා වූ යෝජනා 11 ක් ඇතුළත් ලිපියක් සමගි ජන බලවේගයේ විධායක සභිකයින් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාට බාරදී තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ විධායක සභාරැස්වීමක් පවත්වන ලෙස ද ඔවුන් ඔහුගෙන් ඉල්ලා තිබෙනවා. එම රැස්වීමට පක්ෂයේ විධායක සභාවේ අය පමණක් කැඳවන ලෙස ද ඔවුන් ඉල්ලා ඇතත් තමාට හිතවත්, පසුගිය මැතිවරණවල දී තමා ළඟින් ම සිටි එක්තරා ව්‍යාපාරිකයකු ද සහභාගි කරවීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබෙනවා. එහෙත් එම ලිපිය ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් හා විධායක කමිටු සාමාජිකයින් එයට විරෝධය දක්වා ඇති බව ද වාර්තා වෙනවා.
එහෙත් සජිත් ප්‍රේමදාස මහතා අද වන තුරුත් එම රැස්වීම කැඳවා නැති බව පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු අප සමඟ ප්‍රකාශ කළා.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඉන්දීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණ වෙළඳ සල්, බාබර් සැලුන් වැනි සුළු ව්‍යාපාර ඇරඹීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇතිකර ගැනීමට නියමිත 'එක්ටා' ගිවිසුම පිළිබඳව මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් ගේ කාලවල දී දිගින් දිගට ම සාකච්ඡා පැවති නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.
මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව දැඩි උත්සාහයක් ගන්නා නමුත් රට තුළින් නැඟී එන විරෝධයන් නිසා ශ්‍රී ලංකාවේ කිසිම ආණ්ඩුවක් එක්ටා ගිවිසුම අත්සන් කිරීමට උත්සුක වුණේ නැහැ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 15 වන දා සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයේ දී මෙම ගිවිසුමට එකඟතාවය පළ කරනු ඇතැ යි විපක්ෂයේ බොහෝ පක්ෂ අතර විශ්වාසයක් පැවතුණා.
එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවෙන් පසු දෙදෙනා එක්ව පැවති මාධ්‍ය හමුවේ දී නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා එට්කා ගිවිසුම ඇතිකර ගැනීමේ වැදගත්කම ගැන සඳහන් කළත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් සඳහන් කළේ නැහැ.
ඉන්දු - ශ්‍රී ලංකා නායකයින් අතර පැවති සාකච්ඡාවලින් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ ද 'එට්කා' ගැන සඳහන් වී තිබුණේ නැහැ.
එහෙත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, සර්වජන බලයේ අනුරාධ හේරත්, අදීන් ශ්‍රී ලංකාව 'එට්කා' ගිවිසුමට එක වී ඇති බව පවසමින් විශාල ප්‍රචාරයක් ද ගෙන ගියා.
අන්තිමේ දී මේ පිළිබඳව පැහැදිලකි කිරීමට විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පෙරේදා පියවර ගෙන තිබුණා.
දෙරට අතර මීට පෙර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුමක් තියෙනවා. එම ගිවිසුමට අනුව කටයුතු කරමින් තිබෙනවා. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා වෙළඳ පොළ පුළුල් වීමත් එක්ක මීට දසක කීපයකට පෙර අත්සන් කළ මෙම ගිවිසුම අලුත් කරලා ඉදිරියට ගෙනියන්න. එමෙන් ම එට්කා පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරලගයි තියෙන්නෙ. එහෙම නැතුව ඉන්දීය සංචාරයෙන් පසු 'එට්කා' ගිවිසුමට අත්සන් කරලා, එට්කා ගිවිසුම අත්සන් කරනවා. එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරනවා, යැ යි සමහරු පවසනවා. එහෙම එකක් කොහෙත් ම නෑ. අපි පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි අපේ ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට අපි කොහෙත්ම එළඹෙන්නෙ නෑ. ඒක අපේ මූලික ප්‍රතිපත්තිය. දෙරටේම ආර්ථිකයේ සහ වෙළඳාමේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න අපි ඕනෑ ම වෙලාවක සූදානම්. අපි ඉන්න පැහැදිලි ස්ථාවරය එයයි යනුවෙන් විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.
- ජගත් -