ආරක්ෂකආර්ථිකඉතිහාසයඋණුසුම් පුවත්විශේෂාංගසංස්කෘතික

2026 වසර උදාව රටට කෙබඳු ද?

හෙළදිව හඳහන

2025 වසර ගෙවෙන්නට ඇත්තේ තවත් දින දහයක් පමණි. රටට ඉමහත් විපතක් කරමින් ජන හදවත්වලට දැරිය නොහැකි තරමේ කම්පන, දුක්, වේදනා,  දායාද කොට 2025 ගෙවී යන්නේ ය. එළඹෙන හවුරුද්දෙවත්  එවන් දුක්, කරදර, හිරිහැර, වද, වේදනා නොවේවා යනු හැම හදවතකම ඇති අපේක්ෂාව යි. අප පියමං කරන වසරේ ලද යහපත් අයහපත් සියලු දෙයින් පාඩම් ඉගෙන ගනිමු.  ඉදිරි වසරේ දී හිත් හතන්වලට සහනයක්, ශාන්තියක් ඇති වේවා ය යන්න, කාගෙ කාගෙත් එකම පැතුම යි. ඉදින් අපි ලබන්නා වූ වසර ජ්‍යොතීර්වේදයට අනුව කෙබඳු ද යන්න, විමසුමට ලක් කිරීමට ගන්නා වූ උත්සාහය යි මේ.  ජ්‍යොතිෂ දැක්මක් ඇතිව, අනාගතය දිහා බලන්නට අදහස් කළේ,, හෙළයේ පැරණි සම්ප්‍රදායන් කෙරෙහි, විශ්වාසයකින් පසුවන ජන සමාජය, දැනුවත් කිරීමේ අරමුණිනි. ඉදින්,

මේ තරුණ ජ්‍යොතිෂවේදියාණන් ඉදිරි වසර දකින අයුරු මෙසේ ලියා දන්වන්නෙමු.

2026 වසර ජනතාවට සියලු අතින් පීඩාකාරී වසරක් වෙමින් විවිධ තාඩන පීඩන, ගංවතුර, නායයෑම් ආර්ථික ප්‍රශ්න, ජීවන වියදම් ප්‍රශ්න ආදී මෙකී නොකී මහත් කරදරකාරී කඳුළු පිරුණු වසරක් ලෙස ගෙවී යයි. පසුගිය වසර දෙස ආපසු හැරී බැලීමට තරම්වත් සිත් නොදෙන වසරක් ලෙස මෙය අපට කෙටියෙන් හඳුන්වාදිය හැක.

මහත් බලාපොරොත්තු ඇතිව තම තමන්ගේ සුඛ විහරණය පිණිස මහජනතාව අනාගතය දෙස දෑස් දල්වාගෙන සිටී. එම සියලු අපේක්ෂා ඉටු වීම පිණිස ප්‍රාර්ථනා පෙරදැරිව නව වසරට පිවිසෙන ඔබට 2026 වසර පිළිබඳ ජ්‍යෝතිෂ්‍ය තුළින් සහනයක් වේ දැ යි අපි බලමු.  2025 ගෙවී යන්නේ බදාදා දිනයකිනි. 

 2026 නව වසර බ්‍රහස්පතින්දා දිනක් ලෙසින් රාත්‍රී 12.00 ට රවි හෝරාව පවතින අතර එම අවස්ථාවේ තත්කාල ලග්නමය වශයෙන් කන්‍යා ලග්නයත්, වෘෂභ නවාංශකයත් වශයෙන් උදාව පවති.

මෙහිදී සඳු ග්‍රහයා සඳුට අයත්, රෙහෙන නැකතේ ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ 12 අධිපති රවි ග්‍රහයා 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත එළඹෙන වසර රජයට බාධක, අභියෝග වලට මුහුණ දීමට සිදු වන බව පෙනේ.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහන අනුව 2035 වන තුරුම රාහු දසාව පවතී. රාහු පාප ග්‍රහයෙකු නිසා මිනිස් සිත් සතන් තුළ රජය කෙරෙහි පවතින පාපකාරී සිතුවිලි තවදුරටත් පැවතිය හැකි වේ.

ජනතාට සහන වෙනුවට  බදු බර ඉසිලීමට සිදු වේ.

විරුද්ධ පක්ෂ බලවත් වන බවක්ද පෙනේ.

2026 වසර දේශගුණික විපත් බහුලව ඇති කරයි. ලබන වසර තුළ කිසිසේත්ම මැතිවරණයක් නොපවත්වයි. දුකට අධිපති ශනි මේ මොහොත වන විට විවෘතව ගමන් කිරීම හේතුවෙන් දූෂිත චෝදනා වලට ලක් වූ චරිත ගණනාවකට නීතියෙන් දඬුවම් ලැබිය හැකි වසරකි.

2026 ජූලි 27 සිට දෙසැම්බර් 11 තෙක් ශනි ග්‍රහයා වක්‍ර චලිතයේ ගමන් කිරීම හේතුවෙන් කම්කරුවන්ට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට යහපත් නොමැති අතර බොහෝ විට ජනතා නැගී සිටීමක් මෙන් ම උද්ඝෝෂණ තත්ව පවා ඇති වීමට ඉඩ ඇත.

ගුරු ග්‍රහයා වක්‍රව ගමන් කිරීම රටේ ආදායම් තත්ත්ව යහපත් යැයි සිතිය නොහැක.

ලබන වසර තුළ ග්‍රහ යුද්ධ 15 ක් සහ ග්‍රහණ 4 ක් ඇති විය හැකි අතර මෙහිදී මාර්තු 03 පූර්ණ චන්ද්‍රග්‍රහණය සහ අගෝස්තු 12 පූර්ණ සූර්යයග්‍රහණය අප රටට තදින් බලපෑම් ඇති කරනු ලබයි. එම කාලයේ දී ස්වභාවික විපත් ප්‍රබලව ඇති කරයි. ගංවතුර, නායයෑම් වැනි ආපදා තත්ව, කුණාටු තත්ව පවා ඇති වීමට ඉඩ පවතී.

2026 ජුනි 02 ගුරු කටක රාශියට යෑම ඉතාමත් යහපත් වේ. තත්කාල කේන්ද්‍රයෙහි රාජ්‍ය කාරක රවි, 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත රජයේ ඉහළ පෙළේ  නිලධාරීන්ට අසුභතා ඇති කරයි.

ජනවාරි 16 සිට දින 39 ක් සෙන්පති කුජ තමාගේ උච්ඡ බවනය වන මකරයට යෑම ආරක්ෂක අංශයන් හි කීර්තිනාමය වැඩි වන දින කිහිපයක් ද වේ. එමෙන්ම ප්‍රබල ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකයින් නීතියට හසු වන බවක්ද වේ.

රජය නියෝජනය කරන අධිපති ග්‍රහයා වෙමින් දොළොස්වැන්නට යෑම තුළ රජයේ කීර්තිනාමයට හානිදායක පුවත් අසන්නට ලැබේ.

මාර්තු සහ අගෝස්තු අතර කාලයේ වගා වලට ගැටලු ඇති කරයි. එය ස්වාභාවික විපත් හේතු කොටගෙන වන්නට ඉඩ තිබේ. (ජල ගැලීම්) ඇති කරයි.

අගෝස්තු මැද තෙක් කාලගුණික විපත් කඳු කඩා වැටීම්, නායයෑම් ප්‍රබලව ඇති කරයි. එම නිසා ඔබ ප්‍රවේශම් වීම වැදගත් වේ.

ලෝක බලවතුන්ට ලොකු ලොකු ගැටලු

විශේෂයෙන් 2026 ලබන වසර ඇමරිකාව, චීනය, ඉන්දියාව වැනි ලෝක බලවතුන්ට විශාල ගැටලු වලට මුහුණපෑමට සිදු වන බව පෙනේ.

යුදමය තත්ව සමනයට

ජනවාරි 18 සිට පෙබරවාරි 3 දක්වා ලොව පුරා පරිගණක ආශ්‍රිත ගැටලු, වෛරස් ඇති වීමට බොහෝ වැඩිය. ජනවාරි 16 සිට පෙබරවාරි 23 අතර කාලය අතිශයින් පරිස්සම් විය යුතු කාලයකි. සිත් කම්පා කරවන සිදුවීම්, මාරක අනතුරු, සිය දිවි නසා ගැනීම්, සාහසික ක්‍රියා ඇති විය හැකි බැවින් උක්ත කාලයේ සැලකිලිමත්ව කටයුතු කරන්න. ලෝකායන ජ්‍යෝතිෂ්‍ය ලෙස බැලීමේදී රට රටවල්වල පවතින යුධමය තත්වය, ජුනි මාසයෙන් පසු සමතයකට වන බව පෙන්නුම් කරයි. මෙරටට ආයෝජන ලැබුණ ද ඒවායේ කළමනාකරණයේ දුර්වලතා පෙන්නුම් කරයි.

පංචශීල ප්‍රතිපදාවෙන් කල්ගත කරන්න

එබැවින් ඔබ පංචශීල ප්‍රතිපදාවේ යෙදෙමින් කටයුතු කරමින් ජීවිතය දුකයි යන අන්ත්‍ය සිතුවිලි ඇති කරමින් කටයුතු කිරීම බාධක දුරු කර ගැනීමට හේතු වනු ඇත.

ජ්‍යොතිෂ කීර්ති ශ්‍රී විභූෂණ" ජ්‍යෝතිෂ භාෂ්කර, ආචාර්ය පී.කේ. තරංග කුමාර