ආර්ථිකඉතිහාසයඋණුසුම් පුවත්දේශපාලනසංස්කෘතික

විපක්ෂ නායක ගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය

 ශ්‍රී ලාංකිකයින්ගේ සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් වන සිංහල දෙමළ අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් අප රටේ ආදරණීය ජනතාව වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සාම්ප්‍රදානුකූලව අලුත් අවුරුදු උදාව හෙවත් සූර්ය මංගල්‍යය ලෙස උත්සවාකාරයෙන් සැමරීමට මෙරට ජනතාව අනාදිමත් කාලයක සිට කටයුතු කර තිබේ. මේ කාලයේ ගහකොළ ඵලබර වී අස්වනු සරු වී අටු කොටු පිරී ඉතිරී සැම සිත්සතන් තුළ සෞභාග්‍යයේ අරුණළු උදා වී යයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු කලට වෙලාවට නිවැරදිව වැඩ කටයුතු කිරීම පුරුදු පුහුණු කළ, කළගුණ දැක්වීම ප්‍රගුණ කළ සංස්කෘතික මංගල්‍යයකි. එමෙන්ම ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති නොබිදෙන සම්බන්ධතාව මෙන්ම එකිනෙකා අතර ඇති බැදීම්වල වටිනාකමත් ඉස්මතු කරන මෙය සියළු වාද-බේද අතහැර අලුත් මිනිසුන් ලෙස ඉදිරියට පිය නැගීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරයි.

මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබේ. ඒවා නිසිපරිදි කළමනාකරණය කර ගෙන රටත් ජනතාවත් ප්‍රගතිය වෙත රැගෙන යාම අප සියලුදෙනා සතු සාමූහික වගකීමකි. එවැනි අවස්ථාවල පටු මතවාදවල එල්ලී සිටීම නොකළ යුතු බව අප විශ්වාස කරමු. එබැවින් මෙහි සැබෑ අරුත වටහා ගනිමින් සාමූහිකත්වය තුළින් අප වෙත එල්ල වි ඇති අභියෝග ජය ගෙන සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු නව වසරකට පිය නැගීමට අප සියලු දෙනාම කටයුතු කළ යුතුය. රටක් ලෙස අපට එල්ල වී ඇති අභියෝගවලට සියලු දෙනාම එකට එක්ව සාර්ථකව මුහුණ දී එම අභියෝග ජය ගෙන සැවොම එකතු කර ගත් සෞභාග්‍යයක් කරා යන මේ ගමනේ දී සැමගේම සිත්සතන් හි දුක කඳුල වේදනාව වෙනුවට සතුට සම්පත රජකරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !l

සජිත් ප්‍රේමදාස,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක.

2025.04.14