බේරෙ වැව මැද ක්ෂේම භූමිය
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
රොබින්සන් කෲසෝ ද විටින් විට ඇවිත් යන
තලතුනා මහත්තුරු සැඳෑ කල බීඩි බොන
කොළොම්තොට බවලතුන් බිකිනියෙන් සැරි සරන
විටෙක නාඹර ළඳුන් පෙකණියෙන් සිනාසෙන
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
ප්‍රදීපාගාරය ද ඉටිපන්දමක් පමණි
සබ්මැරීන ද තිබේ අපස්මාරය හැදුණ
ඇමරිකන් පිටි ගලන දූපතේ වෙරළ දිග
කිඳුරියන් හා සමඟ තලගොයන් අව් තපින
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
අඩියකින් පුඩියකින් සුදුළූණු රස උරන
පඩි දාට හෙළුවෙන් ම ග්‍රීස් ගස බඩ ගාන
අහිංසක පියවරුන් කුණුහරුප තලු මරන
කතුරු ඔන්චිල්ලාව උඩ අතුරු පස බුදින
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
ඇපත් නැති නඩු සහිත මහත්තුරු දිව විකෙන
ඇවිත් යති යළිත් එති පිරිත් පැන් නිතර බොන
උපත් පාලන කොපු ද තිසර පට යට රඳන
වෙසඟනන් සැපත් වී වැටත් නියරත් බුදින
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
දූපතේ මැද්දේ ම අසපුවකි පෝ දාට
බාබෙකිව් ලිපක් උඩ දහම් රස පුළුස්සන
යතිවරු ය හති දමත කිති කවන රති විඳින
හිටි ගමන් හිටි ගමන් ධාතු වඩිනා බැවින
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
ඇසතු ගස රොද බඳින කපුටු පිරිවර සොබන
නකුට නැති කොටළුවන් මදන මෝදක උරන
නොපටු පටු මඟ පවිටු කසල කිළිකුණු රැගෙන
දුකට සැපට ද නිතර තරලසාරය ගලන
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
ශිලා මෙවලම් රැගෙන දඩ කෙළිය පිණිස යන
බොහෝ රජවරු ද එති අමුඩ උකසට තබන
ශිෂ්ට සම්පන්න ගැරඬි ම කුරුලු බිජු බුදින
දෂ්ට නොකරන සපුන් නෂ්ටකාමය විඳින
මිත්‍රවරුනි දන්නව ද බේරෙ වැව මැද්දේ ම
කුඩා දූපතක් ඇත රුවල් නැව් හති අරින
පුණ්‍ය භූමිය මත ම ක්ෂේම භූමිය සොයන
හුදී දන මෙත් සිතින් බේරෙ වැවට ම පනින
ජකිරි ගා බකිරි ගා වැවේ මැදට ම පැමිණ
ගිලෙන කොට රසඳුනකි නෙළුම් කුළුණේ මුඳුන
- කුමාර හෙට්ටිආරච්චි -
💛 💛 💛 💛 💛 💛 💛 💛 💛 💛
අපි ඉතින් දැන්....!?
නටන්න - ගයන්න
හිනැහෙන්න - සැනැහෙන්න
කඳුළු පිහින්න - කඳුළු හළන්න
වැනෙන්න - නැවෙන්න
පෙරළෙන්න
එනව නං එන්න
යනව නං යන්න
හීන දැක දැැක - සැඳෑ ආකාහේ
හිනැහෙන තරු
ගණින්න
මාත්තෙක්ක - ඔබත් එන්න
රකිමින් පතිවත !!!
❤❤ ❤❤ ❤❤ ❤❤
පෙර උයනකි -
ඈන් නිලූපා පිරිස්
පෙර උයනකිය
මඟ හැරුණ
මා අතින් වඩා ඉන්දුව
රෝස පත් වලට වැඩියෙන්
මල්ම පීදුන ගහය
පෙර උයනකිය
මඟ හැරුණ
සොයනවා ඇති තවම
බලනවා ඇති නිසැක
වලාකුළු සිහින් පොඳ
කෝ කොහිද ඒ දෑත
පෙර උයනකිය
මඟ හැරුණ
මඟ හැරුම ම දුකය
වැරදුණා සේ භවය
මට අහිමි මම සොයන
වලාකුළු සිහින් පොඳ
පෙර උයනකිය - මඟ හැරුණ
සියපතක් අතින් ගෙන
මවාගත් කදුළු කැට
විසිකරමි රෝස පෙති නොතෙමෙන්න
පෙර උයනකිය - මඟ හැරුණ
උයන් පල්ලන්ට කවදාද
අයිතියක් උයනක වේද
මවා දහසක් මල් නොයෙක
හැරී ඒම ම දෛවයද
පෙර උයනකිය - මඟ හැරුණ
රිදෙන තැන් ගැන නිතර
පැවසුවේ මේ මලට
පීපී පරවී නැවත
නැවුම් මල් දරනු ඇත
මගෙ මතක
මගෙ කදුළු
පත් අතර
නිදනු මැන
උයනකිය මඟ හැරුණ
අහිමි සඳ
සවි නොමැති මුත් යළිත් ලියන්නට මතක පොත
කවියකට පද තියේ තවත් සිත් පතුල මත
නිවි නිවී යන්න පෙර තාරකා දිලෙන නෙත
රිවි කිරණ මිස යළිත් සඳ එළිය ඇවැසි නැත
සුදු සඳට පෙම් කරපු නිල්ම නිල් තරුව වෙත
කඳු උසට කඳුළු දුන් කවිය දැන් මතක නැත
මුදු හදට සඟවමින්, හිරු ළඟින් තියා වත
පිදු සෙනෙහෙ ගිනි තියමි දැවෙන හිරු කිරණ මත
සිනිඳු සුදු වළා මත සේද සඳරැස් එලුව
දිනිඳු ළඟ ඉකිගසා වැලපේවි තනි තරුව
සුමුදු සඳවත ඉරා හිරු ගෙනා ගිනි සිළුව
කුමුදු මල වැනසුවා සඳ නමින් පෙම් කෙරුව
තෙත නෙතට තවත් නම් එපා බර වැඩි කඳුළු
හිත සෙමින් තදකරන් වසමි මම එහි කවුළු
නැත යළිත් ලියන්නේ සඳුට කවිමල් කැකුළු
නෙත ළඟින් දිලෙන්නේ නුඹට හිමි පෙම් පබළු…
- සංජීවනී පද්මසේන -
❤❤ ❤❤ ❤❤ ❤❤
පැතුම !
ගොම මැටි ගෑ බිමේ
තිබු සහනය එදා
දැන් ඉතින් මියැදිලා
මගේ ලොව හුදකලා
මහ කන්නෙ ලැබුව දා
වැසි පින්න උසුලමින්
ආලින්ද මේසයෙහි
දැල්වුණා පහන් සිල
ඉසිඹු නැති පහන් තුඩ
නලියමින් අකුරු කැට
පත් ඉරුවෙ සුදු පාට
ඉක්මනින් වියැකිලා
නෙතට නොපෙනී ගියා.
මාව තනි කර දමා
නිවී ගිය පහන් සිල
නැවත එළියක් දෙන්න
හන් සිල දැල්වෙන්න
කරමි පැතුමක් යෙහෙන්
- රත්නා කහහඳගමගේ-
❤❤ ❤❤ ❤❤ ❤❤
රැවටුණා හොඳටම ඇති!
පිනේ බලයෙන් සතුරු අනතුරු දුරින් දුරුවී යන්නැති...
බණේ කියනා පරිදි තනියට දහම් මඟ හොඳ ටම ඇති...
දිනේ ගැන ගැන බලන් හිටියත් "මාතලී"දැන් ලෙඩ ඇති...
අනේ මැට්ටියේ උඹට පිස්සුද රැවටුණා හොඳටම ඇති...
ඔබේ රුව මැවි මැවී පෙනුණත් මගේ පිංසල ඉදිරියේ...
දෑස පියවී කඳුළු වැගිරී කෙසේදෝ බොඳවී ගියේ...
කන්ද උඩරට සිහිල් සුළගේ ඔබයි ඉන්නේ මතකයේ...
පහන් වනතුරු තනි රකින්නට එන්න මා වෙත සොඳුරියේ..

❤❤ ❤❤ ❤❤ ❤❤
මතක සිතිවිලි

දවස් පහක් පන්ති පහක් බෙදාගෙන
මල් පහන් තියලා
මුළු ඉස්කෝලෙම එක්ක බුදුන් වඳින්න
පුංචි වතුර බෝතලයක් ගේනනේ
පීරියඩ් එකෙන් පීරියඩ් එකට
සැරෙන් සැරේ වතුර පුරවන්න
ස්නැක්, බයිට් වෙරළු ගේන්නේ
පීරියඩ් එකෙන් පීරියඩ් එකට
හොරාට කාලා කෑදර බඩ පුරව ගන්න
ටීචර්ස්ලා නැති දවසට ඩෙස් පුටු තියෙන්නේ
බෙර ගගහ අපට සින්දු කියන්න
එළිමහන් පන්ති කාමරේ තිබ්බේ
මහන්සියක් දැනුණු හැම වේලෙම
වාඩිවෙලා රිලෙක්ස් වෙන්න
ලොකු පොඩි වලි දාගත්තේ
ඊළඟ දවසෙ යාළු වෙන්න
Auditorium එක තිබ්බේ
අපි event හිටියත් නැතත්
වාිවෙලා බලන් ඉන්න
කවුරු මොනව කිව්වත්
ආයෙත් යන්න අපි ආස කාලේ
පාසල් කාලෙ ම තම යි
