ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93වන සභාපතිවරයා පත්කිරීම මෙන්ම හදුන්වා දීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලීස් හෝටලයේ දී පැවැත්විණි.
නව සභාපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වුණු මෙම උත්සවයේ දී 2025-2026 වර්ෂ සදහා 93වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත්විය.
නව සභාපතිවරයාට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ වත්මන් සභාපතිවරයාවන මහාචාර්ය රුවන් ජයසිංහ මහතා විසින් විශේෂ සභාපති පළඳනාව මෙහි දී පළඳවන ලදී.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දීර්ඝ ඉතිහාසයක් සහිත මෙරට පැරණිතම, ගෞරවනීය, වෘත්තීය සංගමයක්වන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වන සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට සහභාගිවීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකන බව සඳහන්කර සිටියේය. එමෙන්ම නව සභාපතිවරයා ලෙස පත්වූ වෛද්‍ය ආනන්ද රත්නායක මහතාට උණුසුම් සුභ පැතුම් ද එක්කරන බව ද පැවසීය.
දශක නවයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සදහා විශාල දායකත්වයක්, මගපෙන්වීමක් ලබා දුන් බව සිහිපත්කළ අමාත්‍යවරයා ඉහළ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂාකරමින් මෙරටට ලබාදෙන විශිෂ්ට සේවාව පිළිබදව ආඩම්බර වියහැකි බව ද පැවසීය.
ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෝහෝ අංශවලින් කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇතිබව අවධාරණය කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුඛ සෞඛ්‍ය අංශයෙන් එම ප්‍රගතියේ යම් පසුබෑමක් පෙන්වන බව ද පැවසීය.
පාසල්යන වයසේ දරුවන්ගෙන් බහුතරයක් මෙන්ම වැඩිහිටියන්ගෙන් බෝහෝ පිරිසක් දන්ත රෝගවලින් පෙළෙන බව හදුනාගෙන ඇති බවත්, මෙම තත්ත්වයන්ගෙන් මෙරට දරුවන් සහ ජනතාව ආරක්ෂාකර ගැනීම සදහා දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යන් සදහා මැදිහත්වීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී. මෙම කාර්යයේ දී ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයට (SLDA) විශාල වගකීමක් පැවරෙන බවද පැවසී ය.
මුඛ පිළිකා වැළැක්වීම මෙන්ම එම තත්ත්වයන් කලින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට පිරිමින් අතර පවතින මුඛ පිළිකාව ගැටළුවක් බවද සදහන්කර සිටියේ ය.
උසස් ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මකවන බව අවධාරණයකල අමාත්‍යවරයා සැමට ප්‍රවේශවිය හැකි අයුරින් වර්තමානයේ මෙරට ක්‍රියාත්මක මුඛ සෞඛ්‍ය සේවාව තව තවත් ප්‍රවර්ධනය කිරීමට කටයුතුකරන බව ද පැවසීය.
සෑම සිනහවකින් ම යහපත් සෞඛ්‍යයක්, ගෞරවයක් සහ යහපැවැත්මක් පිළිබිඹු වන ජාතියක් බවට මෙරට ජනතාව පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෘත්තිකයන්, ප්‍රජාව එක්ව කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.
සාමාජිකයන් 1,900 ක පමණ පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය වෘත්තියේ ජාතික සහ මව් ආයතනය වන අතර මුඛ රෝග වැළැක්වීම, මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙන්ම සංගමයේ සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය මුලික කාර්යභාර්යන් ලෙස සලකා කටයුතු කරනු ලැබේ.
නව සභාපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වුණු මෙම උත්සවය සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියකේ පලිපාන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශ්‍යාමා බන්නැහක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය රවීප්‍රිය රණවක, භාණ්ඩාගාරික වෛද්‍ය ක්‍රිෂාන්ත අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළුව සංගමයේ සාමාජික වෛද්‍යවරුන් පිරිසක්ද එක්ව සිටියහ.