උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංග

44 හවුරුද්දක් සපිරෙන 1980 ජූලි මහා වැඩ වර්ජනය

5/6 ක බල මහිිමය හා ලාංකේය වෘත්තීය සමිති දඬ කඳේ ගැසූ හැටි

කොළඹ ජනාධිපති මාවත හා ඒ අවට හැම මංමාවතක් ම බොහොම උණුසුම් ය. ගිනියම් ය. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හෙවත් ශ්‍රී ලංකාද්වීපාධිපති, හෙළදිව් මහෝත්තමයාණන් වහන්සේ විරාජමානව වැඩ වසන්නා වූ රාජභවන අභියසට මේ භූමියේ ඉදිරි අනාගත පරපුරේ මතු දියුණුව උදෙසා නේකවිධ කාර්යයන් හි නිරත 'වැඩකරන ජනයා' දහස් ගණනක් එක්රොක් ව හිඳ නඟන්නා වූ ගිරිය කඩාගෙන කරන්නා වූ කෑ ගෑම් හඬිනි. නදිනි. අන් කර්තව්‍යයන් හේතුවෙනි.

ඒ නඟන්නේ අතිගරු උත්තමයාණන් වහන්සේට ආශිර්වාද පැතීමක් නම් නොවේ. ස්ත්‍රෝත ගයමින් ගොම්පස් ඇල්ලීමක් ද නොවේ. ආශිර්වාද ගායනාවක නද ද නොවේ. පරුෂවචනවලින් පහර දීමකි. බැණ වැදීම් මලු පුරෝ ආරක්ෂක තාප්පයෙන් එහා පැත්තට දුසිම් ගණනින් පහර දීම් ය. හඬ නඟන්නෝ සතු නෙතු සියල්ල ගිනිගෙන දැවෙන ගිනි අඟුරු වගේ ය. ඈත ද එසේ ය. මෑත ද එසේ ම ය. ඈත මෑත විතරක් නොව සිව් කොන, අට කොන, දස කොන ම පේන්නට ඇත්තේ දකින්නට ඇත්තේ ඒ පෙනුම ඇති එකම ඇස් ඇති මිනිසුන් ය. ගැහැනුන් ය. රාජ ඌෂ්ණයෙන් ද , ප්‍රතාපවත් චණඩ හිරුගෙන් ද දෙපැත්තකින් ඔවූහු පීඩා විඳිති. ඒත් ඒ කිසිදු පීඩාවක් ඔවුනට තදින් ම දැනුණ ද තුට්ටුවකට හෝ ගණන් ගන්නා බවක් නොපෙනේ.

මේ දවස කිව්වොත් 1980 ඇසල මහේ 08 වැනි දොහේ ය. මේ රටේ තමන් සතු හයෙන් පහේ 5/5 මහා අති දැවැන්ත බල මහිමෙන් පිම්ඹී හුන් ධාර්මිෂ්ඨ සමාජයක් ස්ථාපිත කරන්නට සැදී පැහැදී හිඳි ජුනියර්ස් රිචඩ් ජයවර්ධන උත්තමයාණන් ගේ 141 ක් වූ පාර්ලිමේන්තු කණ්ඩායම හසුරුවමින් වැඩ කරන ජනතාව තලා පෙළා පීඩනයෙන් පීඩනයට පත්කරද්දී බලා සිටිය නොහැකි තැන සිය අවසන් අවිය ඔසවාලූ ඔවුන්ට ඉතා නින්දිත සේ සැලකීම ආරම්භ කොට මසටකට දින දහයක් අඩු දොහක් දා ය ඒ.

ඒ 5/6 මහා දැවැන්ත බලයක් සහිත මහෝත්තමයාණන් ගේ ගේ හෙවත් මාළිගාව ඉස්සරහට ගොස් විරෝධතාවයේ යෙදුණු පිරිස දහස් ගණනකි. ඔන්න එදා දවස ගැන පාඨක ඔබ හිත් අවධි කර ගන්න කෝ.

ඉදින් ධාර්මිෂ්ඨ සමාජයක් නිමහම් කරන්නට පිටපොට ගහන් පුරා පැය විසි හතරේ ම වේසමාන්සි වෙන ජේ. ආර්. - ප්‍රේමදාස නඩයේ මහා භාණ්ඩාගාර ඇමති උත්තමයන් විසන් සුද්දන්ගේ ඕනෑ එපාකම් පිරිමහන්නට අපේ වටිනා රුපියලේ කොළය ආකාහේ පාකර හැරිය නිසා උන්නැහෙගේ මංගල අයවැයෙන් ම ඒදිනෙදා පණ කෙන්ද ගැටගහ ගන්න ලක්ෂ ගණනක් පොදු මහජනයාට වේල් ගණන් කුසගින්නේ හූංලන්නට සිද්ධ විය. එකල රුපියල් හතයි පණහක් වූ ඇමරිකානු ඩොලරට එකවරම රුපියල් දොළහයි පණහකට ඉහළ ගියේ රොනීගේ  ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තියට පින් සිද්ධ වෙන්නට ය.  රුපියල් පහකින් රුපියලේ කොළේ හෑල්ලු කරන්නට තරම් මැල් උත්තමයා පියවර ගත්තේ අති උත්තමයාණන් ගේ මඟ පෙන්වීම මත නොවන්නෙහි නොවේ.

ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙසත්, වැඩිවුණු බාල්දු රුපියල නිසා පඩිපතින් ලද වැටුප මාසයකට නොව මාස බාගෙකටවත් නොව සතියකටවත් නොසෑහෙන තත්ත්වයක් මුදල් ඇමතියා විසින් රටට උරුම කර දුන් මහා කරුමයක් නිසා ඊට සරිලන ලෙස දවසක පඩියට රුපියල් දහයක් එකතු කරන ලෙසත්, වැඩිවන ජීවන අංකයට රුපියල් පහක් එක්කාසු කරන ලෙසත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයෝ පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ. 5/6 බලයෙන් මත්ව හුන් උන් හුන්නේ බීරිඅලියන් 141 බඳුව යි. උනට වඩා ඉහළින් කාක්කකු හෝ පියැඹුවොත් ඉතින් නම් ඒ කාක්කා ගේ අවසානය බව කාක්කන් පවා දැන හුන් සෙයකි රටේ කොයි මුල්ලෙනුත් දකින්න පේන්නට තිබුණේ.

ඉදින් දෙයියනේ!!!

එදා වේල යාන්තමින් සරි කරගත්තු අසරණ දුප්පත් මිනිසුන්ට සිද්ධ වුණේ සියලු අසීරුතා ඉවසා දරාගෙන ඉන්නයි. ඒත් ඉතින් පාලකයන් ගේ සියලු නොපනත්කම් විඳදරා ගෙන නොසිටින පිරිසක් රටේ නිශ්පාදන ක්‍රියාවලියට නිබඳවම දායකත්වය සපයමින් මේ සියල්ල දිහා බොහොම තියුණු නෙතුවලින් බලා සිටියේ කළ යුත්ත ගැන කතාබහෙන් යෙදෙමිනි. ඒ මේ රටේ සංවිධානාත්මක කම්කරු පන්තිය හා බද්ධ වැඩකරන ජනතාව යි.

ඔවුහු සති ගණනක් මාස ගණනක් රටේ පවතින අනුවේදනීය තත්ත්වය ගැන සාකච්ඡා පිට සාකච්ඡා කළහ.ඔවුන් රොක් වී රැස් වී දිගු සාකච්ඡාවකින් පසුව තීන්දුවකට ඒළඹුණි. ආරම්භයේ මොවුන් රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රොත්තක් ගණනින් දහසයක් එකතුව ගත්තු තීන්දුව අනුව ඉදිරිය සාර්ථක කර ගන්නට වෙහෙස නොතකා වැඩට බටහ. මැදින් මහේ දෙවන සතිය ආරම්භයේ දෙදිනක් පුරා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී කෙරුණු සාකච්ඡා මාලාවෙන් පසු සුපතල වෘත්තීය සමිති නායකයකු වූ එල්. ඩබ්ලිව්. පණ්ඩිත, වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව නමින් යුත් මේ ක්‍රියාකාරී වෘත්තීය සටන් මධ්‍යස්ථානයේ ලේකම් සේ කටයුතු කළේ රටේ සමස්ත පොදු ජනතාවට යහපතක් කිරීමේ පරම චේතනාවෙනි. පණ්ඩිත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ය.

ඒ දෙදින සමුළුවට රටේ උතුරු කොනෙන් ද දකුණු කොනෙන් ද නැගෙනහිර අග්ගිස්සේ සිට ද බටහිරට වෘත්තීය සමිති නියෝජිතයින් ආවේ දහසක් අපේක්ෂා පොදි බැඳ ගෙන ය. ඔවුන් ගත්තු ඒකමතික තීරණය පාලක ධාර්මිෂ්ඨර්ලා තැකුවේ එය තැකුවේ ඔවුන්ට එල්ල කළ දැඩි තර්ජනාත්මක අභියෝගයක් ලෙසට යි.

වෘත්තීය සමිති එකමුතුවේ තීරණය අනුව තන් තන් හි විරෝධතා ඇරඹිණි. අවසානයේ ජුනිමස හෙවත් පොසොන් මහේ පස්වැනි දාට රට පුරා ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කෙරුණි. මේ ජාතික විරෝධතා දිනයේ අති බහුතරයක් නිවෙස් ඉදිරියේ කළු කොඩි අහසට එසවිණි.

හැම නගරයක ම විරෝධතාකරුවෝ සටන් පාඨ හඬ නංවමින් සිය බලවත් විරෝධයත්, අප්‍රසාදයත් දක්වන්නට පෙළ ගැසී හුන් අයුරු දැනුදු මැවී පෙනේ.

මේ කාලය වන විට නරුම පාලකයින් ගේ ජාතික සේවක ජුන්ටාවේ ගොට්ටන් විසින් විරෝධතාවලට නේකාකාර හිරිහැර කිරීම් කරන්නට වූයේ ධාර්මිෂ්ඨ වෙස් මුහුණ ගලවා පැත්තකට විසිකොට ආලවක යක්ෂයාගේ බවනේ රැකවරණයේ යෙදී සිටිය යක්ෂ පැටවුන් ගේ වෙස් ගෙන කළුතෙල්වලින් උද්ඝෝෂයෝ නෑවූහ. බයිසිකල් චේන්වලින් පහර දුන්හ. කලාකිරිඤ්ඤවලින් රාජ්‍ය හා පෞද්ලික අංශයේ සේවකයනට සැලකූහ. මගේ මතකයේ හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් වූ ද ජනප්‍රිය සටන් නායකයකු වූ ද අලෙවි මව්ලානා ට පිහියකින් ඇනීමට තරම් මේ නරුම ''බත් ගොට්ටන්" දුෂ්ට වූහ. සාහසික වූහ. එහිලා ඔවුන් මෙහෙය වූවෝ සිරිනාත් ද මැල් නම් ජාතික සේවක සංගම් නායකයා යි. ඔවුන් එහිලා උපයෝග කර ගන්නා ලද්දේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ය.

අපිදු රත්මලාන මාළිගාව පාරේ උද්ඝෝෂණයේ යෙදුනෙම්හ. ඔය අතරේ ආරංචියක් ගලා ආවේ අප හැම ගේ හදවත් පාරවමිනි.

"රීගල් එක ඉස්සරහ දි උද්ඝෝෂකයින්ට වෙඩි තියලා. ගල් මුගුරුවලින් ගහලා. බයිසිකල් චේන්වලින් පහර දිලා. බෝම්බත් ගහලා.... හරි ජංජාලයක්. එක සහෝදරයෙක් එතැන ම. පාර පුරා ලේ..."

අප පත්වූයේ මහා කම්පනකට යි. පාලක හැත්ත කෙරෙහි අප හිත් හතන් හි තව තවත් ක්‍රෝධයක්, වෛරයක් වගා දිගා වූයේ අපට ද හොරෙනි.

අතිගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගේ මහා මන්දිරය පේන නොපෙනෙන මානයේ පැවතියේ අති දැවැන්ත විරෝධතාවකි. ඒ ලේක් හවුස් පත්තර කන්තෝරුව ඉදිරිපිට පාරේ පටන් කොම්පඤ්ඤ වීදිය දිහාවට විහිද ඇති ශ්‍රීමත් චිත්තම්පලම් මාවතේ පිහිටි රජයේ සැපයුම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ඉස්සරහ පිට ද දක්නට වූයේ දැවැන්ත විරෝධතාවකට එක්ව ගිරිය පුප්පන් රුපියල් තුන්සීයකින් පඩිය වැඩි කරව්! දවසක වැටුපට රුපියල් දහයක් වැඩි කරව්! ඉහළ යන ජීවන වියදම් අංකයට රුපියල් පහක් දියව්! හා තවත් සටන් පාඨ කිහිපයක් මුල් කර ගෙන හඬ නඟන උද්ඝෝෂකයින් දිහාවට කඩා පාත් වූයේ බස්වලින් බට ධාර්මිෂ්ඨර් මැර නාම්බන් රොත්තකි. උන් පිරිසක් ආවේ ලේක් හවුසිය ළඟට ය. තවත් අම්බරුවන් රැළක් කඩා පිනුවේ කොම්පඤ්ඤවීදිය පැත්තෙනි. අවිහිංසකව පාර අද්දර සිට පදිකවේදිකාවේ රොක්ව තම දුක්ගැනවිල්ල පාලක බලවතුන්ට ඇහෙන්නට හඬ නඟනා රාජ්‍ය සේවයේ නිරතව කෑම පැයේ අව්වේ වේලෙමින් දූලි නාගෙන හුන් ඒ මිනිසුන්ට සිරිනාල් ද මැල් ගේ, ගාමිණි ලොකුගේ වැනි ලොකු ලොකු ගැත්තන්ට සට්ටඹිකම් කරන මැර පිරිස නොනවත්වා පහර දෙන්නට වූයේ හිතක් පපුවක් නැති නරුමයන් බව ලෝකයාට පෙන්වමිනි.

ධාර්මිෂ්ඨර් ගෝල රොත්ත කුළුමීමුන් සිහි ගන්වන සුළු ය. ඉවක් බවක් නැතිව කුළුමීමුන් අනින්නා සේ උන් ද අත ඇති පොලු මුගුරුවලින් ද බයිසිකල් චේන්වලින් කගල් මුල් වලින් ද අර අහිංසක නිරායුද මිනිසුන්ට පහර පිට පහර දෙන්නේ උන්ගේ උතුමාණන් වහන්සේ ගේ නියෝගය පරිදි වෙන්නට ඇත.

ඒ වෘකයන් බඳුවූ අමනයෝ එසේ හැසිරෙද්දී කොම්පඤ්ඤ වීදිය දිහාවේ සිට ජිප් රියක් වේගයෙන් ලේක් හවුසිය දිහාවට පියඹා ආවේ ඊයේ යන්නට තිබුණු හදිසි ගමනක් මේ දැන් මතක්වෙලා යන්නා සේ ය. ඒ ජිප් රථයේ පිරී හුන් එවුන් ද අර අහිංසක උද්ඝෝෂකයන්ට පහර දෙමින් සිටිය දී හිටිවනම කිසිවකු විසින් ජිප් රියේ හිඳ කිසිවකින් විරෝධතාකරුවන් වෙත දමා ගසනු ලැබිණි.

ඒත් එක්ක ම රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටිය ඩී. සෝමපාල සහෝදරයා බිම පතිත වූයේ කපා හෙළු ගහක් විලසිනි. ඔහු ගේ සිරුරින් ගලන ලෙයින් චිත්තම්පලම් මාවත පෙඟිණි. එහි සිටියහු කීප දෙනෙක් තත්පර වූහ. මිහිමත පතිතව රුහිරින් නැහැවුණු සෝමපාල සහෝදරයා ඔසවා වාහනයක දමා ගත්හ. ඒත් ඔහු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතයෙන් සමුගත්තේ ය.

ඒ තිරශ්චීන මුග්ධ ප්‍රහාරයට මැරයන් ආවේ අංක 31 ශ්‍රී 1111 ජිප් රියෙනි. එය අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් ගේ ය. ඔහු ද ඒ ජිප්රියේ ඉදිරි අසුනේ හුන්ණේ ය.ඒ බව කියන්නේ මේ මිනිස් ඝාතනය පිළිබඳ ව පොලිස්පතිවරයාට කොටුව සහකාර පොලිස් අධිකාරිවරයා ව හුන් එන්. අයි. රත්නායක ඉදිරිපත් කළ වාර්තාවකිනි.

මෙරිල් මැරයන් කැන්දන් ආ ජිප් රියේ හුන් කිසිදු අපතයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තෙ නැත.

මේ පාපතරයන් විසින් ඝාතනය කළ සෝමපාල සහෝදරයා පදිංචිව හුන්නේ නාරහේන්පිට පැල්පතක ය. එහි ඔහු ගේ නිසසල දේහය තැන්පත් කරන්නට තරම්වත් ඉඩ කඩක් නොවීය. කෙසේ වුවද අසල්වැසියකු මැදිහත්ව ඔහු මියගිය සෝමපාල ගේ දේහය එක දිනකට තම නිවසේ තබා ගත්තේ ය. අනතුරුව සෝමපාල සහෝදරයා ගේ මෘතදේහය කොළඹ කොටුවේ පිහිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ මූලස්ථානය වෙත ගෙන එනු ලැබිණි

වෘත්තීය සමිති නායකයින් රැස්වී ආණ්ඩුවේ මැර ධාර්මිෂ්ඨර්ලාගේ බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය ඒ වෘත්තීය සටන් සගයාගේ දේහය තැන්පත් කරන්නට තීන්දු කළේ වෘත්තීය සමිති සම්මේලන මූලස්ථානයේ යි. ඔහු ගේ අවමඟුල් උත්සවය ජුනි මහේ 09 වැනිදා ට බොරැල්ල කනත්තේ දී සිදු කරන්නට ද ඔවුන් ගත් තීන්දුව යි.

සෝමපාල අවමඟුල් උත්සවයට ලක්ෂකට වැඩි පිරිසක් එක්ව හුන් අයුරු මනෙත උකහා ගත්තේ ය. කොටුව ජනාධිපති කාර්යාලට නුදුරුව පිහිටි රාජ්‍ය සේවා එක්සත් වෘත්තිය සමිති සම්මේලන මූලස්ථානයේ ඇඟිල්ලක් රුවන්නට තරම් හැකියාවක් නොමැති තරමට එතුළත් ඒ අවටත් අති විශාල සෙනඟක් රොක්ව හුන්හ.

ලියුම්කරු ද සෝමපාල අවමඟුලේ විවිධ අවස්ථා සිය කැමරාවට රිංගවා ගත්තේ ඇත්තේ ඡායාරූප ශිලපීන් දෙපළක් වූ විමලසිරි ජයලත් හා සරණපාල පමුණුවත් එක්ක ය.

කොටුවේ සිට බොරැල්ල දක්වා මාවත් හි රොක්ව හුන් මහජනකාය මහ විශාල ය. හැම පාරක් දෙපැත්තෙහි ම එකසේ සෙනඟ පිරී හුන්නේ ධාර්මිෂ්ඨ පාලකයනට අම්ම මුහුන් නැතිව බැණ බැණ ය. හැම තැනක ම එක ම විදිය ය. සෙනඟ නැති මාවතක් නැත. මරදාන පාර බොරැල්ල හන්දියථ ඩී. එස්. සේනානායක හන්දිය, කනත්ත ගේට්ටුව ළඟ, කනත්ත ඇතුළත එකම හිස් ගොඩකි.

සෝමපාල අවමඟුලට එක්වන්නට රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ සේවකයෝ විශාල පිරිසක් එක්වූහ. ඔවුන් ඊට එක්වීමට වරුවක නිවාඩුවක් ඉල්ලා හුන් නමුත් පාලනාධිකාරිය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේක කළෙන් වැඩ වරා සෝමපාලට ගෞරව දැක්වීමට ආවේ එන ඕනෑම දේකට මුහුණ දීමට සූදානමිනි. ඊට පාලකයින් ප්‍රතිචාර දැක්වූයේ එහි ප්‍රබල සේවකයින් දොළොස් දෙනකු ගේ වැඩ තහනම් කිරීමෙනි.

පාලකයින් සමඟ වෘත්තීය සමිති සාකච්ඡාවක් ඉල්ලන ලද්දේ සේවා තහනමකට ලක් කෙරුණු තම සහෝදරයින් 12 යළි සේවයට කැඳවා ගැනීමේ අපේක්ෂාවෙනි.ඒත් දුම්රිය බලධාරීන් ඊට එකඟතාවයක් නොදක්වන ලදි. ඔවුන් සත පහකට වෘත්තීය සමිති ඉල්ලීම නොසලක ලද නිසා වෘත්තීය සමිති තීන්ද කළේ වැඩවර්ජව අවිය එසවීමට යි.

මේ ගැන වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව ස්වකීය තීරණය අතිගරු අති උත්තම විධායක ජනාධිපති ජුනියස් රිචඩ් ජයවර්ධන උන්නැහෙට ලිඛිතව දන්වන ලදි. ඒ අනුව අප මෙහි ආරම්භයේ දක්වා ඇති ඉල්ලීම් තුන ප්‍රධාන කොට ගෙන තවත් ඉල්ලීම් කිහිපයක් ද වහා ඉටු කරන්නට යැ යි පවසා වෘත්තීය සමිති තීන්දු කළේ 1980 ජූල මස 18 වැනි දා පටන් සමස්ත මහා වැඩ වර්ජනයක් දීප ව්‍යාප්තව ඇරඹීමට යි.

ජූලි 18 වැනි දාට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිති සටන් මධ්‍යස්ථානය පියවර ගත්තේ 12 ගේ වැඩ තහනම වහා ඉවත් කරගන්නැයි පාලකයින්ට බලකරමින් රත්මලාන දුම්රිය සේවකයින් පළමුවෙන් ම වැඩ වැරුවේ ජූලි හත ය. ජූලිහතයි කියන්නේ ඒකට දැ යි නොදනමි.

රත්මලානට සහායට මරදාන ද වැඩ වරන ලද්දේ ය. ඔවුන් ගේ වැඩ වැරීම පියවරෙන් පියවර ය. දවස් දෙකක් ගතවන විට සමස්ත දුම්රිය ධාවනය ම අකර්මණ්‍ය කරවන්නට සේවකයේ සමත් වූහ.

සමස්ත දුම්රිය පද්ධතිය ම කොට උඩ යවා රේල්පීළි මළකඩ කන තැනට වැඩ සිද්ධ වෙද්දී වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුවට නිහඩ වතක සිටිය නොහැකි ය. එනිසා ඔවුන් සමස්ත මහා වැඩ වර්ජනයකට වැඩ කරන් සංවිධානාත්මක කම්කරු පන්තිය කැඳවන ලදි.

 ආණ්ඩුව හුන්නේ කැත්තට පොල්ල මෙනි.මේ ගැන නායකත්වය අතර කෙරුණු සාකච්ඡාවේ දී එක එක මත ඉදිරිපත් විණි. ඔවුනතරේ මතභේද හටගත්තේ ය. පාලකයින් ඉතා කුරිරු ලෙස වර්ජනය මර්දනය කරනා බව පිරිසක් කීහ. ඒත් ඉතින් දුම්රිය සේවකයින් වැඩ වරා සිටිය දී ඔවුන් බිල්ලට දිය නොහැකි ය. එහෙයින් ජූලි මස 18 වැනි දා තම තම සංගම් වල සාමාජිකත්වය වැඩවර්ජනයට කැඳවන්නට ඇවැසි බවක් ඔවුහු දුටහ.

5/6 ක අති දැවැන්ත බලයකින් උන්මාදයට පත්ව හුන් ආණ්ඩුව හදිසි නීතිය යොදන්නට පියවර ගත්තේ ය.  අත්දැකීම් බහුල සටන් නායකයින් ගේ මතය වූයේ දැවැන්ත බලයකට අබියෝග කර සටනක් ජය ගන්නට නම් ඔවුන්ට වැඩකරන පන්තියේ එකමුතු බව හොඳෝන් දැනෙන්ට කටයුතු කළ යුතු බවයි. එහෙයින් මුලින් ම කළ යුත්තේ එක් දින වර්ජනයක් තුළින් සිය ශක්තිය පාලන යාන්ත්‍රණයට පෙන්වා අනතුරුව මහා වැඩ වර්ජනයකට පිවිසිය යුතු බවයි. ඒත් අතිධාවනකාරීව හැසිරෙන පිරිසේ ශක්තිය හේතුවෙන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට පිවිසිය යුතු බව තීන්දු විය.

වර්ජනය ඇරඹෙන්නට දෙදිනකට පෙර රාජ්‍ය බුද්ධි අංශයෙන් රැස්කර ගත්තු දත්ත අනුව කැබිනට් මණ්ඩලය විසින් ජූලි 16 වනදා මැදියම් රැයේ සිට හදිසිනීතිය ක්‍රියාත්මක කරන්නට තත්පර විය. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා රැසක් ගැන සඳහන් කෙරුණි. ගමන ගමන, සෞඛ්‍යය, වරාය ආදී ප්‍රධාන ආයතනවල සේවය අත්‍යාවශ්‍ය සේවා සේ නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් විය.

ජනතාව අතරට වර්ජනයේ තොරතුරු ගලායෑම වළකන්නට පියවර ගත් පාලකයින් ප්‍රවෘත්ති බලධාරියකුද පත් කරන ලදි. ඒ බලධාරියා සරත් අමුණුගමයෝය. හේ ඉතා දක්ෂ පරිපාලන නිලදරුවෙකි. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහු ය.

ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත දැඩිව විවේචනය කළ 'ඇත්ත' 'ජනදින''සිරිලක' යන ප්‍රවෘත්ති පත්‍රවලට හරස්ව යොදන ලද නිසිබලදරුවා තමන්ට පැවරුණු රාජකාරිය අකුරට ම ඉටු කළේය. බොහෝදවස්වල මේ පුවත්පත් හි මුල් පිටු හිස්ව තිබුණි. ඇත්තේ කතුවරයා 'මේ ප්‍රවෘත්තිය බලධාරියා විසින් සපා කන ලදි වැනි පාඨ ඔස්සේ ජනතාවට පාලකයින් ගේ නරුම ප්‍රතිපත්තිය අනාවරණය කරන්නට අපූරු පිළිවෙතක් අනුගමනය කරන ලදි.

පාලකයින් මේ මහා වැඩ වර්ජනය 5/6 මහා බලය නමැති ගල්රෝලට යටකර තලා පෙළා කුඩු පට්ටම් කරන්නට සමත් විය.

වැඩ වර්ජනය ඇරඹු රාජ්‍ය සේවකයින් ඉබ්බන්වල හන්දියේ පිහිටි හයිඩ්පාර්ක් ක්‍රීඩාංගණයේ දී අති දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන ලද්දේ ජූලි 18 වන දා යි. වර්ජකයෝ එතැනට එක්රැස් වූයේ පාලකයින් ගේ තර්ජනය තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි. ගණන් නොගනිමිනි.

කෙසේ වුවද මේ වර්නය ලාංකේය සටන් ඉතිහාසයේ කළු පැල්ලමක්. රතු පැල්ලමක් සහිතව කුණුගඳ ගස්සමින් ලියැවී ඇත්තේ හෙළයේ වෘත්තීය සමිති මැඩලා ඒවා සුණුවිසුණු කොට පරාජය කළ හා ජය පාලකයන් විසින් අත්පත් කර ගත් වැඩවර්ජනය ලෙසයි. එයින් පීඩා විඳින වර්ජක සගයෝ අදද මේ සමාජයේ දිවි කතර ගෙවන්නේ අන්ත අසරණ අයුරින් දහදුක් විඳ විඳ ය. තම අඹු දරු පෝෂණයට හරි හමන් රස්සාවක් සොයා ගත නොහැකිව සිය පණ නසා ගත්තු වර්ජක සහෝදර සංඛ්‍යාව 133 ක් සේ සටහන් ය.

එමෙන් ම ජනතාවට විමුක්තිය උදා කරන්නට ඇපකැප ව සිටින්නේ යැ යි කියන්නා වූ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන් ගේ වෘත්තීය සමිති මේ සටනට එක්නොවී කර හැරීම ද මෙහිලා සටහන් කිරීම වටී. අදින් හවුරුදු හතළිස් හතරකට පෙර ඇරඹුණු දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනය පරාජය වීමේ හේතුවෙන් අද රටෙ වරින් වර ඉස්මතු වන්නා වූ ජාතිවාදය හිස ඔසවා තිස් වසරක් පුරා ඇදෙමින් පවතින්නට හේතු කාරණා සේ අප දකින්නේ සිය රාජ්‍යයේ සේවකයින් ගේ සාධාරන ඉල්ලීම් කෙරෙහි කන් යොමු නොකළ පාලක හැත්තු බුරුත්තක් අද ද විරාජමානව සිටින අයුරු ද ද වන් දවසක සටහන් කළ යුත්තේ ම ය. බලය ලද වහා 80 වැඩ වර්ජකයිනට සහන සපයන්නට තත්පර වන බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
 මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන වැනි රාෂ්ට්‍ර පාලකයෝද මේ වර්ජනය මුළුමණීන් ම විසඳන්නට උනන්දුවක් නොදැක්ව ූ බව ද මෙහිලා සටන් නොකර ම බැරිය.

එදා 80 වර්ජනය ඉතා පහසුවෙන් ජයගන්නට කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩ කරන ජනතාවට හැකියාවක් තිබුණත ඒ මහා අරගලයට සේඛ්‍ය සේවකියන් නොකැඳවීමට තරම් උගත් බුද්ධිමත් සටන් නායකයිනට හැකියාවක් තිබුණු වග ද සිහිපත් කරමි. ඒ සෙඛ්‍ය සේවකයින් ද ඊට ඇඳා ගත්තේ නම් ය. ඒත් අසරණ රෝගීන් බිල්ලට දී ලබන  ජයග්‍රහණය තුට්ටුවක් තරම්වත් නොවටින බව සඳහන් කළ යුත්තේ ම ය.

මේ දක්වා පුරා විසි හතර හවුරුද්දක් ම විඳවමින් හිඳින වර්ජකයින් අද ද මෙසිරිල සිටිනා බව ද අවසන් වශයෙන් සිහිපත් කරන්නේ ඔබට හිතන්නට බොහෝ කාරණා ඇතී බව සටහන් කරමිනි.

නිමාවක් නොදුටු 80 ජූලි 18 මහා වැඩ වර්ජනය තවත් වසරකට පානඟනා බව සිහිපත් කරන්නේ කාට කාටත් යමක් උකහා ගන්නට මඟ හසර පෙන්වමිනි

 

   -  සුගතපාල මැන්දිස්  -