ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලනනව නිපැයුම්

AI Impact 2026 සමුළුවට දිල්ලි ගිය ජනපති අනුර

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් සාමුහිකව  ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව කියයි

මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් හා හැකියාවන් ප්‍රවර්ධනයට  AI තාක්ෂණය ඉවහල් කර ගත යුතුයි. ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාවයේ ඊළඟ මායිම වන්නේ  AI යටිතල පහසුකම් ... ජනපති AI Impact 2026  සමුළුවේ නායක සැසියේදි අවධාරණය කරයි

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026  සමුළුවේ නායක සැසියට අද (19) එක් වෙමින් සිය අදහස් ඉදිරිපත් කරමිනි.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා තම රට AI යටිතල පහසුකම් දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙස බව පැවසීය.

එබැවින් අඩු වියදමකින් ලබාගත හැකි බව, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම්,  ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් කරගත් කලාපීය සහයෝගීතාවක් ශ්‍රී ලංකාව යෝජනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සැසියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීල ජනාධිපති Lula de Silva සහ භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඊට එක් වූහ.AI Impact 2026 සමුළුවට සමගාමීව නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හි දී සංවිධානය කර තිබු ප්‍රදර්ශනය නැරඹීමටද මෙහිදී රාජ්‍ය නායකයන් එක් වූහ.

මෙහිදී සමුළුවට එක්වූ සියලු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

AI Impact 2026  සමුළුවේ නායක සැසියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

කෘත්‍රිම බුද්ධිය විසින් ආර්ථිකයන්, රාජ්‍ය පාලන පද්ධති සහ සමාජයන් වෙනස් කරමින් පවතින මේ සුවිශේෂී මොහොතේ නවදිල්ලියේදී ඔබත් සමඟ එක් වීමට ලැබීම මට මහත් ගෞරවයක්. AI තාක්ෂණය පසුගිය සියවස්වල කාර්මීකරණය විසින් ඇති කළ ආකාරයටම ජාතික වර්ධන ගමන් මඟ කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන පරිවර්තනීය බලවේගයක්.

නමුත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එවැනි හැකියාවක් නොමැති රටවල් අතර වැඩි වෙමින් පවතින පරතරය බොහෝ රටවල ඩිජිටල් ආර්ථිකයේ වියුක්ත කිරීමේ බරපතළ අවදානම නිර්මාණය කරනවා. මේ ආකාරයට පසුබසින රටවල් ගෝලීය වර්ධනය සහ නව්‍ය ආර්ථික අවස්ථාවලින් තවදුරටත් විවිධ අතුරු බලපෑම්වලට ලක් විය හැකියි. එමඟින් අපි අපේක්ෂා කරන සියලුදෙනා ඇතුළත් සාධාරණ සහ තිරසාර සංවර්ධන අරමුණුද අවදානමට ලක් වෙනවා.

බොහෝ නැඟී එන ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවත් AI තාක්ෂණය සම්පූර්ණ ලෙස භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා නිසි අභිප්‍රායක් සහ දැක්මක් සමඟින් අප විශ්වාසයෙන් හා නොපැකිළිව ක්‍රියා කළ යුතු තීරණාත්මක් මොහොතක් එළැඹ තිබෙනවා.

තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තරුණ මානව සම්පතක් ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. එමෙන්ම අපිට ශක්තිමත් නීති පද්ධතියක් සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සමඟ බැඳුණු ආර්ථික සංස්කෘතියක්ද තිබෙනවා. අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා.

ලෝකයාද AI තාක්ෂණයේ අභිප්‍රායන්, අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ විවාද කරමින් සිටිනවා. එහෙත් මෙහිදී මෙතෙක් මඟහැරී ගිය තීරණාත්මක පැතිකඩක් පෙන්වා දීමට කැමතියි. එනම් සංස්කෘතික ගැලපීමයි. මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනයට මේ තාක්ෂණයන් ඉවහල් කරගත යුතුයි. ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා හා මතවාදයන් කිහිපයකට පමණක් සීමා වුවහොත් අපේ අනන්‍ය වු සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් පවතිනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට තම භාෂාව සහ සංස්කෘතිය යනු ගෞරවය මෙන්ම විශ්වාසයේ පදනමයි. මෙවැනි සංස්කෘතික ගැලපීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් අන්තර්ග්‍රහණය සහ සංරක්ෂණය සිදු වීම අවශ්‍යයි. මෙහිදී අපගේ දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර ඒවා කෘත්‍රි බුද්ධිය පද්ධති තුළට බද්ධ කළ යුතුයි. එමෙන්ම ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ උපරිම අවධානය යොමු වීම වැදගත්. අපේ සංස්කෘතික වටිනාකම්වලට AI මගින් සිදුවන අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා.

අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවෙයි. ඒකාබද්ධ වීමයි. AI යටිතල පහසුකම් අපි දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙසයි. ඒ නිසා ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාවක් යෝජනා කරනවා. එහිදී එය අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්‍යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්‍රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් වීම ඉතා වැදගත්.

මේ ප්‍රයත්නය මගින් AI හි ප්‍රතිලාභ වෙත අප සැමට පුළුල් හා සාධාරණ ලෙස ප්‍රවේශ විය හැකි බව මාගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්‍යතාද සපුරලිය හැකි AI හැකියාවන්ගෙන් යුත් දත්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ ගවේෂණය කරමින් සිටිනවා.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ගෝලීය නායකත්වයන් අත්පත් කර ගනිමින් සිටින ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ සමීපව කටයුතු කරමින් තිරසාර, ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපීය AI දත්ත මධ්‍යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා.

කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක් තනිව ගොඩනඟාගත  නොහැකි බව අපගේ වැටහීමයි. ලෝකය සහ  මෙම කලාපයේ රාජ්‍යයන්ගේ අදහස් රැසක් සැලකිල්ලට ගනිමින් අප විසින් නවදිල්ලියේදී එකඟවන ඒකාබද්ධ ප්‍රකාශයේ මෙම සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කර තිබීම සතුටට කරුණක්.

ඒ නිසා කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.