බොරැල්ල අගරදගුරු නිල නිවසට අනුර ගිය විට....
ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ භාරදූර වගකීම එතුමාගේ කර මතට රටේ ජනතාව විසින් පවරා තිබෙනවා. මෙය භාරදූර හා දූෂ්කර කටයුත්තක් විය හැකියි. අප එතුමාට අපේ සම්පූර්ණ සහයෝගයත්, ආශිර්වාදයත් ඒ සඳහා ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. විශේෂයෙන් මෙරට දිළිදු ජනතාව පිළිබඳ නිතරම සිතමින් ඔබතුමාගේ කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා"
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.



බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට සහ එහි සත්‍ය හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දීමට උපරිම ශක්තියෙන් කටයුතු කරන බවට ජනාධිපතිතුමා තමන්ට සහතික වූ බවයි.
කොළඹ සහායක රදගුරුතුමන්ලා වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමා, ජේ.ඩී. ඇන්තනී රදගුරුතුමා, ඇන්ටන් රංජිත් පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ පරිපාලක, කාදිනල් හිමිපාණන් වහන්සේගේ පරිපාලක ලේකම් ජොශප් ඉන්දික පියතුමා, අගරදගුරු පදවි භාණ්ඩාගාරික ජූඩ් සමන්ත ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
            