උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

අද වන විට මහා සංඝරත්නයට පමණක් නොව සම්බුදු ශාසනයටත් විශාල තර්ජන එල්ල වෙමින් පවතිනවා

මහා සඟ සමුළුවට සහභාගි වූ සජිත් කියයි

මේ සඟ සමුළුව පැවැත්වෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ අභිමතය සහ සංවිධායකත්වය තුළ බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උන්නතිය සහ මහා සංඝරත්නයේ ආරක්ෂාව රැකවරණය උදෙසා මෙවැනි සඟ සමුළුවක් පැවැත්වීම ගැන පක්ෂපාතී බවත් මේ අවස්ථාවේ මහා සංඝරත්නයට පමණක් නොව සම්බුද්ධ ශාසනයටත් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පැවැති සංඝ සමුළුව හා එක්වෙමිනි.

ආගම ධර්මය සංස්කෘතිය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන මහා සංඝරත්නයට විවිධාකාර අඩත්තේට්ටම් පීඩන අපහාස හා තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට සිදුව ඇති බවත් ඊට අමතරව රජයේ මැති ඇමතිවරු මහා සංඝරත්නයට අශීලාචාර ලෙස ආමන්ත්‍රණය කරන බවත් මේ ආකාරයෙන් මහා සංඝරත්නයටත් අනිකුත් ආගමික නායකවරුන්ටත් තර්ජන ගර්ජන කරන්න කාටවත් අයිතියක් නැති බවත් මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික නායකයන්ට ගරු කළ යුතු බවත් මෙය අවබෝධය අන්‍යෝන්‍ය ගරුත්වය සහ විශ්වාසය මත සමාජය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

සම්බුද්ධ ශාසනයට වන බලපෑම් පෙර රජ දවස සිට පවා තිබු බවත් මේ අවස්ථාවල රටේ ජනතාවගේ වගකීම වන්නේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර රැකගෙන අනෙකුත් සියලුම ආගම් ජාති ආරක්ෂා කර ගැනිම බවත් රට තුළ ආගමික හා සංස්කෘතික නිදහස පවත්වා ගත යුතු බවත් සමගි ජන බලවේගය සැමදාම සිටින්නේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදුදහමට ඇති මුල් තැන ලබා දී සෙසු ආගම්වලට හිමි නියමිත තැන ආරක්ෂා කිරීම වෙනුවෙන් බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.