උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

අනෙකුත් වධකාගාර ගැනත් පරීක්ෂණ කරන්න – දයාසිරි ජයසේකර

ජගත් ගේ සතියේ සටහන  -  60

                                අල්ජසීරා 'හෙඩ් ටු හෙඩ්' සම්මුඛ සාකච්ඡාවට එක් වූ රනිල්
Exif_JPEG_420

ශ්‍රී ලංකාවේ මේ දිනවල මාධ්‍යවල මෙන් ම දේශපාලන ක්ෂේත්‍රයේ ද ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව ය.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවති 1988 – 1989 – 1990 කාලයේ බියගම ආසනයේ සපුගස්කන්දේ පිහිටි බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල පුද්ගලයින් රඳවා ගෙන අමානුෂික අයුරින් වධ බන්ධනවලට ලක් කොට ඝාතනය කොට ඇති බවට 1991 දී පමණ රාවය පුවත්පත කළ ආන්දෝලනාත්මක අනාවරණයක් හේතුවෙන් ඒ දිනවල රටපුරා මහත් විරෝධයක් හටගෙන තිබුණි.

1994 මැතිවරණ වේදිකාවල දී ද එවකට ප්‍රධාන විපක්ෂය වූ පොදුජන එක්සත් පෙරමුණ මේ පිළිබඳව හඩ නැඟූ අතර ජනාධිපති අපේක්ෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුධාන සනේ පාඨයක් වූයේ ද බටලන්දේ ඝාතන ගැන තමන් බලයට පැමිණි පසු සොයා බලන බවයි.

ඒ අනුව 1994 දී ජනාධිපති පදවියට පත් වූ කුමාරතුංග මහත්මිය බටලන්දේ සිද්ධීන් ගැන සොයා බැලීම සඳහා 1995 දෙසැම්බර් මස 15 වැනි දින කොමිෂන් සභාවක් පත් කළා.

සපුගස්කන්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂක රෝහණ ප්‍රියදර්ශන අතුරුදන්වීම, උප පොලිස් පරීක්ෂක අජිත් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම හා, රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයත් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස කිහිපයක රඳවා ගැනීම් ස්ථාන පවත්වා ගෙන යාම, ඒවායේ රඳවා සිටි පුද්ගලයින්ට අමානුෂිකව හා අවමන් සහගත ලෙස සැලකීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව විමර්ශණය කිරීම හා මේවාට වගකිවයුත්තන් පිළිබඳව උචිත නිර්දේශ ඉදිරිපත් කිරීඹට අධිකාරී පත්‍රයක් මඟින් මෙම කොමිෂන් සභාවට බලය පවරා තිබුණා. බටලන්ද විමර්ශණ කොමිෂන් සභාව 1996 ජනවාරි 11 වැනි දා පළමු වරට රැස්වුණේ අභියාචනාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රම මහතා ගේ ප්‍රධානත්වයෙන්.

 මෙම කොමිෂන් සභාව අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේ අංක 02 දරණ ශාලාවේ දින 127 ක් රැස්වී සාක්ෂි විභාග කළා. සාක්කිකරුවන් 82 කු කොමිෂම හමුවේ සාක්කි ලබා දුන්නා.

රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග හා ජෝෂප් මයිකල් පෙරේරා යන හිටපු ඇමතිවරුන් ද ඒ අතර හිටියා.

බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව එහි කොමසාරිස්වරුන් විසින් 1998 මැයි මස 5 වැනිදා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. එහෙත් ජනාධිපතිනිය මෙම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සිය පාලක කාලය අවසන් වන තුරු ම මේ වාර්තාව ගැන කිසිදු පියවරක් නොගත් අතර ඉන්පසු බලයට පැමිණි මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් ද මේ ගැන කිසිදු උනන්දුවක් දැක්වූයේ නැහැ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව යළිත් ප්‍රධාන මාතෘකාවක් වුණේ පසුගිය පෙබරවාරි මාසයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දී අල්ජසීරා රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව නිසයි.

            ෆ්‍රාන්සස් හැරිසන්

''හෙඩ් ටු හෙඩ්" (Head to Head) නැමැති මෙම රූපවාහිනී වැඩසටහනේ ප්‍රශ්න විචාරකයා වූ මෙන්ඩි හසන් බටලන්ද වධකාගාරය ගැනත් ඒ පිළිබඳව පත් කළ කොමිෂන් සභා වාර්තාව ගැනත් ප්‍රශ්න කළ අතර රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාවක් නොමැති බවයි.

එහෙත් එම සාකච්ඡා ශාලාවේ සිටි බීබීසී යේ කොළඹ සේවය කළ හිටපු වාර්තාකාරිනියක වූ ෆ්‍රාන්සස් හැරිසන් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ඉදිරිපත් කළ අතර වික්‍රමසිංහ මහතා යට පිළිතුරු දෙමින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැති බව ප්‍රකාශ කළා. 

මෙම වැඩසටහන මාර්තු මාසයේ දී විකාශය කිරීමෙන් පසු බටලන්ද කොමිෂන් සභා වාර්තාව රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බටලන්ද වාර්තාව පිළිබඳව ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවයි. මේ අතර තවත් සිවිල් සංවිධාන එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපි බාර දී තිබුණා.

මෙම බලපෑම් මධ්‍යයේ පසුගිය අඟහරුවාදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කැබිනට් මණ්ඩලය බටලන්ද වාර්තාව අධ්‍යයනය කරගෙන යන අතර එය මේ සතියේ ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව සභානායක ඇමති බිමල් රත්නායක මහතා පෙරේදා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.

රනිල් මල් පාරේ සිට බටලන්ද වාර්තාව බිමල් ඉදිරිපත් කරන හැටි සජීවීව නරඹයි

මෙම කොමිෂන් සභා වාර්තාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම මුද්‍රණය කිරීමටත්, එම වාර්තාව පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් හා යෝජනා ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමටත්, එමෙන් ම මේ පිළිබඳව සුදුසු අවස්ථාවක පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් ආණ්ඩුව කටයුතු කරගෙන යන බව ද පැවසූ සභානායක මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරන බවද සඳහන් කළා.

ඇමති බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා මල් පාරේ පිහිටි සිය කාර්යාලයේ සිට එය රූපවාහිනියෙන් සජීවීව නරඹමින් සිටියා.

''මෙම වාර්තාව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එක හොඳයි. මම මේකට වක්‍රව වගකිවයුතු බව කියනවා. එහෙත් කොමිෂමේ නිර්දේශවල දඬුවමක් නිර්දේශ කරලා නැහැ. මෙය සාමාන්‍ය කොමිෂමක් පමණයි. මෙය පාර්ලිමේන්තුවට දාලා විවාද කරන්න පුළුවන්"  යැයි වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවේ පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු සාමාජිකයින්ට පවසා තිබුණා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ නිසා බොහෝ දෙනකු සිතා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ඔහු බන්ධනාගාර ගතකරනු ඇති බවයි.

මෙම කොමිසම 1948 පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කරපු කොමිසමක්. එහෙම නැතිව එය විශේෂ ජනාධිපති විමර්ශණ කොමිෂන් සභා පනත යටතේ පත්කළ කොමිසමක් නෙවෙයි.

මේ කොමිසමේ නිර්දේශ ගැසට් කළාට එහි නිර්දේශ කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කළාට කිසිම දෙයක් කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නොහැකියැයි" මේ පිළිබඳව අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා.

කෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පුළුවන් වන්නේ 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත අනුව පත් කරන විශේෂ ජනාධිපති කොමිෂමකට පමණයි. ජේ. ආර්. ජජයවර්ධන ආණ්ඩුව හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ එම පනත යටතේ පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක නිර්දේශ අනුව යැ යි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළා.

මේ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කළ යුතුව ඇත්තේ 1978 විශේෂ ජනාධිපති පරීක්ෂණ සභා පනත යටතේ අලුතින් ජනාධිපති කොමිසමක් පත් කොට එමඟින් බටලන්ද සිදුවීම් ගැන නැවත පරීක්ෂණ පැවැත්වීම බවත් එහි නිර්දේශ අනුව ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා අවශ්‍ය නම් පියවර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාව තිබෙන බවත් මේ පිළිබඳව අප කළ විමසීමක දී ජ්‍යේෂ්ඨ නීතිවේදියෙක් ප්‍රකාශ කළා.

කෙසේ වුවද බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට යන බව ඊයේ වාර්තා වුණා.

  අනිකුත් වධකාගාර ගැනත් පරීක්ෂණ කරන්න - දයාසිරි ජයසේකර

ආණ්ඩුව මේ අවස්ථාවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන වාසි ලබා ගැනීමට බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා පවසනවා.

බටලන්ද ගැන පමණක් නොව සූරියකන්ද, හෝකන්දර ආදී සමූහ මිනීවළවල් හා රටපුරා එකල පවත්වා ගෙන ගිය වධකාගාර ගැන ද ආණ්ඩුව පරීක්ෂණ පැවැත්විය යුතු බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් ඊයේ (15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

බටලන්ද පුස්සක් - දේශපාලන විචාරකයින්

මේ අතර දේශපාලන විචාරකයින්  පවසන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පුස්සක් බවයි.

පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා භාර ගැනීම මාර්තු 17 වැනි දා සිට 20 වැනි දා පස්වරු 12. 00 දක්වා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලවල දී සිදු කෙරෙනවා.

සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක් ම පාහේ මේ දිනවල ලහිලහියේ තම අපේක්ෂකයින් ගේ ලැයිස්තු සකස් කරගෙන යන බව ද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී සිලින්ඩරයට ගොස් සිටි හිටපු මැති ඇමතිවරුන් පිරිසක් මෙවර පොදුජන එක්සත් පෙරමුණේ 'පුටුව' ලකුණින් පළාත් පාලන මැතිවරණවලට අපේක්ෂක ලැයිස්තු සකස් කරගෙන යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

මේ සඳහා මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලංසා, පවිත්‍රා වන්නිආරච්චි, නලීන් ෆ්‍රනාන්දු, කුමාරසිරි රත්නායක, ආදී හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පිරිස තම තමන්ගේ ආසනවලට 'පුටුව' ලකුණ යටතේ අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කොට තිබෙනවා.

මේ අතර පොදුජන පෙරමුණේ සිටි  තවත් හිටපු මැති ඇමතිවරුන් හා පළාත් පාලන නියෝජිතයින් දිලිත් ජයවීර මහතා ගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයට එක්වී සිටිනවා.

සමගි ජන බලවේගය ද පළාත් පාලන ආයතන සියල්ල සඳහා එම පක්ෂයේ 'දුරකතනය' ලකුණ යටතේ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ඉකුත් සති අන්තයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේ දී තීරණය කොට තිබෙනවා.

එහෙත් සමගි ජන බලවේගය කොළඹ මහ නගර සභා මැතිවරණයට තවමත නගරාධිපති අපේක්ෂකයකු නම් කොට නැති බව ද වාර්තා වෙනවා. හිටපු මන්ත්‍රීවරයකු වන එරාන් වික්‍රමරත්න මහතා මේ සඳහා ඉදිරිපත් කිරීමට තීරණය කොට තිබූ නමුත් ඒ මහතා මෙතෙක් එයට කැමැත්ත පළ කොට නැති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

  -ජගත් -