උන් වහන්සේ දෙස් විදෙස් හි පවතින නොසංසුන්තා සමනය කරන්නට කැප කළ උත්තම සංඝ පීතෘවරයෙක් වූහ
බටපොළ පොල්ලැව්වේ පදිංචි ආදර්ශමත් මව්පිය දෙපළක් වූ කේ.ටී පේදිරික් සිල්වා සහ ඒ.එම්. ලෝරනෝනා නම් දම්පති පතනියට කුල කුමරුවෙක් උපන්නේ ය. ඒ 1955 බක් මහේ 29 දින ය. මෙළොව එළිය දුටු ඒ කුලකුමරුවනට මාපියෝ ආනන්ද ලාල් යනුවෙන් නම් දුන්හ. මෙ කුමරුවන් කසාපතට දැක්වූයේ දැඩි ඇල්මකි. ඒ පෙරබවයෙහි පටන් පුරණ ලද පාරමිතා හේතුවෙන් හැර අන් කවර කාරණාවක් නිසාවත් නොවේ.
කසාවතට පුදුමාකාර ආසාවක් දක්වන ලද ආනන්ද ලාල් කෙරෙහි පැවතියේ ද බොහොම සාන්ත ගතිගුණ සමුදායකි.
බටපොළ පන්සලේ හෙවත් සුභද්‍රාරාමයේ ලොකු හාමුදුරුවෝ පුංචි ආනන්ද දුටු සැණින් වටහා ගත්තේ බුදුසසුනට සුදුසු කුලකුමරුවකු බව වටහා ගත්හ. ඒ උන්වහන්සේ සතු සාසනමාමක ගුණය නිසා වෙන්නට ඇත. ඥාතීත්වයක් ද උන්වහන්සේට පේදිරිස් පවුල හා තිබුණෙන් ඔහු හා එම මැතිණිය හා අවස්ථා කිහිපයක දී ම කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලය වූයේ ආනන්න කුමරා සාරිපුත්ත මුගලන් පරම්පරාවට ඇතුළත් කර ගන්නට ලොකු හාමුරුවන්ට දෙමාපිය අවසරය ලැබීම යි. ඒ අනුව,
1963 දෙසැම්බර් 29 දින බටපොළ නන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් වීමේ පූජෝත්සවයකින් එගම් පියස ඒකාලෝක වීම යි.
ඒ බටපොළ සුභද්‍රාරාම විහාරාධිපති පූජ්‍ය බටපොළ අනෝමදස්සී හිමියන් ගේ ආචාර්‍යත්වය යටතේ ය.1966 වසරේදී බද්දේගම රතනසාර විශ්ව විද්‍යාල පිරිවෙනට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමට නන්ද හාමුදුරුවන් ට අවස්ථාව ක් ලැබීම උන් වහන්සේ ගේ අධ්‍යාපන ජීවිතයේ ශක්තිමත් කඩඉමක් විය. සුපතළ මහා පඬිරුවනක් වූ පණ්ඩිත ගණේගම සරණංකර නා හිමියන් ගේ සෙවණේ සිට පිරිවෙන් ඉගෙනුම ලද නන්ද සාමනේරයෝ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබන්නට කැලණි සරසවියට වරම් ලදහ. ඒ1975 වසරේදී නන්ද හිමිපාණන් උසස් පෙළ විභාගය උසස් ලෙස සමත්ව 1976 වසරේදී කැළණිය විශ්ව විද්‍යාලය ට ඇතුළත් වූහ. ප්‍රථම පරීක්ෂණ ය උසස් ලෙස සමත් වූ උන් වහන්සේ බෞද්ධ දර්ශනය විශේෂයෙන් හදාරා 1979 වසරේදී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලැබූහ.
උසස් අධ්‍යාපන ය ලබන අතරම 1978 වසරේදී දොඩන්දුව ශෛල බිම්බාරාම විහාරස්ථ උදකුක්කේප සීමා මාලකයේදී උන් වහන්සේ අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූූහ.
ගෞරව උපාධි ධාරී ගුරුවරයෙකු වශයෙන් තමන් වහන්සේ ඉගෙනුම ලැබූ බද්දේගම රතනසාර විශ්ව විද්‍යාල පිරිවෙනෙහිම 1979 සිට 1983 දක්වා සුවිසල් මෙහෙවරක් ඉටු කරමින් ඉගැන්වීමේ කටයුතු වල නියැළුණහ.1983 ජූලි මාසයේ සිට උපාධි ධාරී ගුරුවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එඑක් පොළොන්නරුව මැදිරිගිරිය යාය 8 විද්‍යාලයේ දී වසර හයක්ම ඉගැන්වීමේ කටයුතු වල යෙදිණි .1989 දී කොළඹ ශාන්ත මයිකල් විද්‍යාලයේ සේවය ට පැමිණි උන් වහන්සේ වසර එකොළහක්ම එම පාසලේ දරුවන් සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළහ.
2003 වසරේ සිට 2013 වසර දක්වා උන් වහන්සේ බටපොළ ශ්‍රී අනෝමදස්සී කණිටු විදුහලේ විදුහල්පති වරයා ලෙස කටයුතු කරමින් කළ සේවය ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළයුතු ය.
1991 වසරේදී කැළණිය විශ්ව විද්‍යාලය මඟින් ශාස්ත්‍රපති උපාධිය ත් 1994 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලය මඟින් අධ්‍යාපනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ගැනීමට උන් වහන්සේ සමත් වූහ .එමතුද නොව රුසියාවේ මොස්කව් සමාජ විද්‍යා ආයතනයෙන් සමාජ විද්‍යා ඩිප්ලෝමාවද සමාජය නිවැරදිව හඳුනා ගැනීමට ත් සමාජ ගැටලු විසඳීමට ත් අවශ්‍ය ක්‍රම වේද පිළිබඳව දැනුම හා කුසලතා අත්පත් කර ගත් හ .එසේ ම ආගමික, ශාසනික හා සමාජයීය සේවාවන් සඳහා ඉන්දියාව, රුසියාව, ජපානය, මැලේසියාව, ජර්මනිය, එංගලන්තය, කියුබාව යන රටවල් ගණනාවක ම සංචාරය කර ඇති උන් වහන්සේ ඒ මඟින් ලබා ගත් අත් දැකීම් අපේ සමාජයේ ප්‍රගමනය සඳහා යොදා ගැනීමට උන් වහන්සේ කටයුතු කළහ.
ශ්‍රී කළ්‍යාණවංශ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් නන්ද හිමිපාණන් ඉටුකරන ලද සේවාවද අති විශාල ය. එසේම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් උන් වහන්සේ කළ සමාජ මෙහෙවර ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
