උණුසුම් පුවත්

“අපි හිතන තරම් ලේසියෙන් රාජ්‍ය පරිපාලනයේ තීරණ ගන්න බැහැ.” – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(15) දහවල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අම්පාර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකවකට එක් විය.

එහිදී සේවකයින් මුහුණ දෙන ගැටළු හා ඩිපෝවේ ඇති අඩුපාඩු සොයා බැලූ අමාත්‍යවරයා සේවකයින් හා සුහද පිළිසඳරකට ද එක්විය. ටයර් හා අමතර කොටස් වල ඇති හිඟය හා ධාවනයෙන් ඉවත් කරන ලද බස් නැවත යථා තත්ත්වයට පත් කිරීමට අලුත් එන්ජින් කිහිපයක අවශ්‍යතාවය පිළිබඳ ඔවුන් මාත්‍යවරයා දැනුවත් කළේය. මිලදීගන්නා සමහර අමතර කොටස් වල ප්‍රමිතිය පිළිබඳ ගැටළු ඇති බවද මෙහිදී පැවසීය. එම අවස්ථාවේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා අමතර කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ ගැන සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.

ඩිපෝවට අයත් ඉඩමෙන් පාවිච්චියට නොගන්නා කොටසක් පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනය කර ආදායම් ඉපදවිය හැකි වැඩපිළිවෙළකට යාමේ වැදගත්කම ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

මම මෙම අමාත්‍යාංශය භාරගන්න අවස්ථාවේදී ඩිපෝවල වැටුප් ගෙවා ගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් ඩිපෝ සියල්ලම හොඳ තත්ත්වයට පත්වෙලා තියෙනව අලුත් බස් රථ ප්‍රමාණයක් ඩිපෝවලට ලබා දීලා තියෙනවා. මේ තියෙන ආර්ථික හා විදේශ විනිමය අර්බුදය තුළ එන්ජින් ලබා ගැනීමට විදේශ විනිමය නැහැ. ඒත් මේ අවුරුද්ද තුළ කොහොමහරි ඒවාත් ලබාගෙන අලුත් බස් රථ ප්‍රමාණයක් දුර ගමන් සඳහා ඩිපෝවලට ලබා දීලා 2025 වර්ෂය තුළදී ඩිපෝව ලාභ ලබන කාර්යක්ෂම හොඳ ඩිපෝවක් බවට පත්කරනවා. ගිය වර්ෂයේ හොඳම ඩිපෝව බවට පත්වුණේ පොළොන්නරුව ඩිපෝවයි. අනුරාධපුර දිස්ත්‍රික්කය තමයි හොඳම පරිපාලන දිස්ත්‍රික්කය බවට පත්වුණේ. අම්පාරටත් ඒ තත්ත්වයට පත්වෙන්න පුළුවන්.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙන ලදී.

ප්‍රශ්නය – අමතර කොටස් මිලදී ගැනීම සඳහා විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද ?

අමාත්‍යවරයා – විධිමත් ක්‍රමයක් තියෙනවා. දීර්ඝ කාලයක් පුරුදු වෙච්ච ක්‍රමය වෙනස් කරල අපි අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා ටෙන්ඩර් කැඳවලා ලංගමට ටයර් ලබා ගෙන ටයරයක් පැවති මිලට වඩා රුපියල් 9000 ක් අඩුවෙන්ම දුවන කිලෝමීටර් ප්‍රමාණය අටදාහක් වැඩියෙන් මම ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයටම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා රුපියල් 9000ක් අඩුවට ටයර් ගත්තටම ඒ නිසා හිතෙන තරම් උත්තර ලේසි නැහැ. ඒ නිසා ඒ සඳහා ක්‍රමවේදයක් හදනවා.

ප්‍රශ්නය – අලුත් ටිකට්පත් සඳහා මැෂින් හඳුන්වාදීම ප්‍රමාද ඇයි ?

අමාත්‍යවරයා – අපි හිතන තරම් ලේසියෙන් රාජ්‍ය පරිපාලනයේ තීරණ ගන්න බැහැ. ඒවට කමිටු දාලා කමිටුවල තීරණ ඇවිල්ලා එහෙම කරන්න බැරිවෙච්ච ඒවා තියෙනවා. දැනට බස් රථ දාසයක් ගෙනල්ලා අවුරුද්දක් වෙනවා ඒවට ගෙවීම් කරලා පාරේ දුවන තත්ත්වයට පත් කරන්න තවම බැරිවෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයේ රජයට අවශ්‍ය දේ එලෙසින්ම කරන්න බැහැ. ඒවායේ තියෙන රෙගුලාසි හා විධිවිධාන අනුව තමයි කටයුතු කරන්න ඕන. ඒ නිසා ඒවායේ පමාවක් නැති කරගෙන කටයුතු කරන්න ඕන.

ඒ විශේෂ ක්‍රම හදුන්නා දෙන හැම වෙලාවකම මාධ්‍ය සමග වෙනස් සටනක් කල යුතුයි. බොහොම අමාරුවෙන් ඉන්දියාවට කතා කරල මම පෞද්ගලිකව ලියලා බිලියන 16ක් වටිනා ඉන්ජින් 20ක් ලබාගන්න කටයුතු කලා. ඒවා බලන්න ඉන්ජිනේරුවන් 5 දෙනෙකු යැව්වාම දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් මාධ්‍යයේ පලකරනවා නිකන් ලැබිච්ච ඉන්ජින් බලන්න 65 දෙනෙකු ඉන්දියාවට යයි කියලා. ඒ නිසා මේවත් එක්ක තමයි වැඩ කරන්න ඕන.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිවි. වීරසිංහ, තිලක් රාජපක්ෂ, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම, ලංකා ගමනාගමන මන්ඩලයේ උතුරු නැගෙනහිර ප්‍රාදේශිය කළමනාකරු විජිත ධර්මසේන, අම්පාර ඩිපෝ කළමණාකරු තුසිත සිරිවර්ධන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් විය.