උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

අවසන් සටන දැක්ක පත්තරකාරයෙක් මුර අඩවිය නමින් අද වන් දිනෙක මැයි 19 ලියන ලද සටහනයි මේ

පිරිබාහරන් ගේ බොඳ කෙරුණු ඊළාම් සිහින දේශයේ රැඳී සිට භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අවුරුදු 15 කට පෙර මෙසේ ලියා ඇති වගයි

30 වසරක කුරිරු යුද්ධයේ නිමාවේ ඇරඹුම

මාවිල්ආරු ‌සොරෙව්ව කොටි කල්ලියේ ග්‍රහණයෙන් මුදා ගනිමින් ත්‍රිවිධ හමුදාව මෙසේ  ඇරඹූ මානුෂික මෙහෙයුම දියත් කිිිිිිිරීමෙන් අත්පොත් තියපු කතාව

 

 

 

 

 

 

මුර අඩවිය
2009. මැයි 19 වැනිදා අඟහරුවාදා

ප්‍රභාගේ ඊළම් රාජ්‍යය සිහිනයක් ම විය.

වසර තිහකට අධික කාලයක් ශ්‍රී ලංකා මාතාවය හිරිහැර කරමින් ඇය කඳුළු සයුරක ගිල්වමින් ඇයගේ දූදරුවන් රැසක් විනාශ කළ කුරිරු කොටි ත්‍රස්තවාදය අවසන් කර දැමීමට ත්‍රිවිධ හමුදාවෝ සමත් වූහ.
මෙරට වැසියන්ට දුක් ගින්දර එක්කළ මව්වරුන්ට දරුවන් අහිමි කළ දරුවන්ට මව්පියන් අහිමි කළ කොටින්ගේ සිහින ඊළාම් රාජ්‍යය සිහිනයකට ම සීමා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක රජයට හැකි වී තිබේ. කොටි ත්‍රස්තයෝ දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා ලෙස පෙනී සිටීමට උත්සාහ ගත්හ. ඒ දෙමළ ජනතාවට විණ කරමිනි. දෙමළ ජනතාව තලා පෙළා දමමින් දෙමළ ජනතාවගේ මුදල් දේපොළ කොල්ල කමින් කුඩා දරු දැරියන් සොල්දාදුවන් සේ කොටි කොටි සංවිධානයට බලහත්කාරයෙන් බඳවා ගනිමින් කොටි ත්‍රස්තවාදය දෙමළ ජනතාවට ද මහා විනාශයක් සිදු කළේ ය.

මෙරට සියලු ම ජාතීහු සියලුම ආගමිකයෝ කොටි ත්‍රස්තවාදීන් ගේ වෙඩි උණ්ඩවලට ලක්වූහ. කොටින්ගේ ඊළමට විරුද්ධව හඬ නැඟූ බොහෝ දෙනාට මරු කැඳවීමට කොටින් ක්‍රියා කළේ ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගන්නට ය. එහෙත් ඒ සිහිනය මේ වන විට බොඳ ව හමාර ය.
කොටි ත්‍රස්තවාදීහු මෙරටේ රාජ්‍ය නායකයන් රැසක් ද ඝාතනය කළහ. කොටි ත්‍රස්තවාදයට විරුද්ධව තම හඬ අවදි කළ නායකයන් බොහෝ දෙනෙක් මේ අතර වූහ.
තමන්ගේ ත්‍රස්ත සංවිධානය ලෝකයේ ප්‍රබලම ත්‍රස්ත සංවිධානය බව විටෙක ප්‍රභාකරන් ලෝකයාට ප්‍රකාශ කළේ ය.
ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායම කොටි ත්‍රස්තවාදීන් බව පිළිගත් ඇතැම් රටවල් සංවිධාන කොටි සංවිධානයට කොටි ත්‍රස්තවාදයට සහයෝගය ලබා දීමට කටයුතු කළේ ය.
එහෙත් මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් ත්‍රස්තවාදය ලෝකයේන් ම තුරන් කිරීමට හැකියාවක් ඇති බව පෙන්වමින් මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක් කරගෙන කොටි ත්‍රස්තවාදය වසර තුනක් වැනි කෙටි කාලයක දී විනාශ කර දැමීමට සමත් විය.
ගුවන්, නාවික සහ පාබල හමුදාවන් සිටි ලොව එකම ත්‍රස්තවාදී කණ්ඩායම කොටි ත්‍රස්තවාදීන් ය. වසර තිහකට ආසන්න කාලයක් කොටි ත්‍රස්තවාදය නොයෙක් ආකාරයෙන් සන්නද්ධ වූහ. කොටි සාමාජිකයින් භාවිතා කළ සමහර අවි මෙතෙක් යුද හමුදාව භාවිතා නොකළ ඒවා ය. කොටි සංවිධායන සතුව තිබූ ප්‍රබලම අවිය ලෙස හැඳින්විය හැක්කේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ය. එහෙත් මේ සියලු අභියෝග හොඳින් ජය ගැනීමට අප ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට හැකි විය.
ලෝකයට මරාගෙන මැරෙන බෝම්බකරු හඳුන්වා දුන්නේ කොටි ත්‍රස්තවාදීන් ය. මනුෂ්‍ය ජීවිතයක් බෝම්බයක් ලෙස යොදා ගැනීමට තරම් කුරිරු වීමට කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පියවර ගත්තේ ය. හයක් හතරක් නොදන්නා කුඩා දරු දැරියන් වසර ගණනාවක් පුහුණු කරමින් කොටි සංවිධානය මෙසේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බිහි කරනු ලැබී ය.

ළමා ලෝකය විනාශ කරමින් මිනිස් අයිතීන් විනාශ කරමින්, ප්‍රජාතන්ත්්‍රවාදය සඟවමින් කොටි සංවිධානය ගෙන ගිය ත්‍රස්තවාදය විනාශ කර දැමීම සඳහා දමිළ නායකයන් රැසක් ද කටයුතු කළහ. අද එම නායකයන් බොහෝ දෙනකු මෙලොවින් සමුගෙන ඇත. ඒ කොටින් ගේ වෙඩි ප්‍රහාරවලට ලක්වීමෙනි.
වසර තිහක යුද ඉතිහාසයේ මෙරට රකින්නට මේ රටේ ඒකීය භාවය සුරකින්නට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සෙබළුන් කළ කැප කිරීම අතිමහත් ය. ඒ වෙනුවෙන් සටහන් තබන්නට වචන නොමැති ය. ඔවුහු තමන්ගේ මව්පියන්ගෙන්, දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් වෙන් වී උතුරුකරේ ගිනි අවිය අතදරා දින සති මාස අවුරුදු ගණන් ගත කළහ. ඒ ලක් මාතාව සහ එහි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.
යුද බිම යනු මරණයත් ජීවිතයත් අතර මැදි ස්ථානයකි. විටෙක සෙබළුන්ට හමුවන භූමිය මඩ ගොහොරු සහිත එකකි. තවත් විටෙක හමුවන පරිසරය දැඩි හිරු රැසින් යුතු පරිසරයකි. ජල පොදක් නොමැති භූමියකි. මිනිස් වාසයක් දකින්නේ කලාතුරකිනි.
රණවිරුවන් මෙවන් ප්‍රදේශවල ක්‍රියාන්විතවල යෙදෙන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ යි.
එහෙත් කොටි ත්්‍රස්තවාදය විනාශ කර රට එක්සේසත් කිරීම සහ රටට සාමය උදා කරලීම ඔවුන්ගේ ඒකායන අරමුණ බවට පත්ව තිබුණි. අද ඒ අරමුණ ඉටු කර ගැනීමට හැකි වී තිබේ.
ත්‍රිවිධ හමුදාවට මේ සඳහා පොලිසියෙන් ද මනා සහයෝගයක් ලැබිණි. එලෙසම ග්‍රාම ආරක්ෂක නිලධාරීන් නැතහොත් වර්තමානයේ හැඳින්වෙන සිවිල් ආරක්ෂක නිලධාරීහු ද මේ සඳහා සිය දායකත්වය ලබා දීමට උපරිම ලෙස ක්‍රියා කළහ.
ශ්‍රී ලංකා මාතාව රැක ගැනීම සඳහා තම දිවිය පුදන ලද රණවිරුවන් ගැන අප සියලු දෙනා නිරන්තරයෙන් සිහිපත් කළ යුතු යි. ඔවුන්ගේ ජීවිත පූජා කළේ රට වෙනුවෙනි. ඒ අපගේ ආරක්ෂාව රටේ ආරක්ෂාවත් ඒකීයභාවය හා සාමයත් වෙනුවෙනි. ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් මෙන් ම ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක් ලක් මාතාව වෙනුවෙන් පුද කළ ජීවිත පිළිබඳව අපි පුන පුනා මතක් කළ යුතු අතර ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.
කොටි ත්‍රස්තවාදී ක්‍රියාවලියෙන් මුදා ගෙන දේශපාලන ප්‍රවාහයකට ගෙන ඒමට මෙරට පැවති ආණ්ඩු උත්සාහ රැසක් ගත්තේ ය. එහෙත් ඒ සියල්ල ම කොටි ප්‍රතික්ෂේප කළහ.
කොටි සංවිධානය තම ත්‍රස්ත ක්‍රියා සඳහා ලෝකයේ බොහෝ රටවලට සිය නියෝජිතයන් යැවීමට පියවර ගත්තේ ය. කොටින්ගේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා බොහෝ රටවල් කොටි නායකයන් පිටත් කර හැරියේ ය. ඒ ඒ රටට එක් එක් නායකයා බැගින් පත් කළේ ය.
විදේශීයදෙමළ ජනතාවගෙන් කෝටි ගණන් මුදල් බලහත් කාරයෙන් ලබා ගත්හ. කොටි ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් පවත්වා ගෙන ගියහ. මේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයට කොටි මාධ්‍ය ජාලය ද පිටුවහලක් කර ගත්හ. ශ්‍රී ලංකා හමුදාව ලබන ජයග්‍රහණ වෙනත් අයුරකින් ලෝකයාට දර්ශනය කිරීමට පියවර ගත්හ.
එහෙත් මේ වන විට මේ සියල්ල විනාශ කර දැමීමට අපේ ත්‍රිවිධ හමුදාවෝ සමත් වූහ.
මාවිල්ආරුවේ සොරොව්ව වසා දමමින් මිනිසාට මෙන් ම සතා සීපාවටත් ගහ කොළටත් දිය බිඳක පහස අහිමි කරන්නට කොටින් ගත් පියවරට නිසි රිසි පිළිතුරු දෙමින් කොටි කල්ලිය නැගෙනහිර පළාතෙන් අතුගා දමන්නට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පියවර ගත්හ. කොටි ත්‍රස්තවාදීන් කිසිවිටෙක නොසිතූ ප්‍රහාර එල්ල කරමින් උන්ගේ නැගෙනහිර බලය මුළුමනින් ම දිය කර හරින්නට අපේ හමුදාවේ පැවති ශක්තිය කෙබඳුදැයි නිශ්චය කරන්නට එය කදිම අවස්ථාවක් විය. කොටි කල්ලියට නැගෙනහිර බලය අහිමි වූයේ අහිංසක සිවිල් වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් කොටි ග්‍රහණයෙන් මුදා ගනිමිනි.
නන්දිකඩාල් කළපුවේ දී අවසානය ‌සටහන් වූ ස්මරණීය හටන් බිමයි
නැගෙනහිරින් ආරම්භ කරන ලද මෙම මානුෂීය මෙහෙයුම කොටි ත්‍රස්තවාදීන් සුනු විසුනු කර දමමින් උතුරට ද ක්‍රියාත්මක කළහ.කොටි ග්‍රහණයේ සිටින සිවිල් වැසියන් මුදා ගැනීම වෙනුවෙන් මෙම මානුෂීය මෙහෙයුම ආරම්භ කෙරුණි.මන්නාරම සිලාවතුර ප්‍රදේශය අත්පත් කර ගනිමින් ආරම්භ කෙරුණු මානුෂීය මෙහෙයුම ඉතා කෙටි කාලයක් තුළ දී කොටි ත්‍රස්තවාදීන් ට දැඩි ප්‍රහාර එල්ල කරමින් අනාරක්ෂිතව තිබූ පාලන ප්‍රදේශ රැසක් අත්පත් කර ගන්නට ත්‍රිවිධ හමුදාව සමත්කම් පෑවේ ය.ඉන් අනතුරුව පුනරින්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසක බලය ග්‍රහණයට ගැනීමට රාජ්‍යයේ හමුදාවෝ බෝ දක්ෂතා පෙන්නූහ.හමුදාවන් හමුවේ කොටි සංවිධානය අන්ත පරාජයක් ලබද්දී හමුදා පහරදීම්වලින් ගැලවීම සඳහා සිවිල් ජනතාව මිනිස් පලිහක් කර ගන්නට උහු නිර්ලජ්ජිත වූහ.
ධර්මපුරම් ප්‍රදේශයේ දී සිවිල් වැසියන් හැත්තෑපන් දහසකට වැඩි පිරිසක් කොටි ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක පලිහක් සේ භාවිතා කරන ලදි. අනතුරුව විශ්වමඩු හා පුදුකුඩුඉරිප්පු යන ප්‍රදේශවල දී ද මෙලෙස සිවිල් වැසියන්ට නොයෙක් හිංසා පීඩා කරමින් කොටි ඒ අසරණයන් යුද පවුරක් සේ යොදා ගත්හ. එහෙත් ඒ මිනිස් යුද පවුරට කිසිදු ආකාරයෙක හානියක් නොවන සේ වීර රණවිරුවෝ කොටි ග්‍රහණයේ පසුවෙමින් මරබියෙන් ගැහෙමින් හුන් ඒ සැමදෙනා මුදා ගන්නට තරම් සමත්තු වූහ.
අහිංසක සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශයට පැමිණීම වළක්වාලීම සඳහා කොටි සාමාජිකයන් බොහෝ පිරිසක් යොදන්නට උන්ගේ නායකයන් හීන දීනයන් විය.
මේ සිවිල් වැසියන් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමට යුද හමුදාව ක්‍රියාකළ බොහෝ අවස්ථාවල දී හමුදා සෙබළුනට ඔවුන්ගේ ජීවිත පූජා කරන්නට සිද්ධ විය.
මිනිසුන් වෙනුවෙන් කැපවීම් සිද්ධ කළ ලෝකයේ මෙවැනි අන් කිසිදු හමුදාවක් නැති තරම් ය.
අප හමුදාවෝ ඔවුන්ගේ ආහාර වේල සිවිල් වැසියනට පරිත්‍යාග කරති. කුසට අහරක් නොමැතිව කොටි කටේ සිට පලා ආ උතුරුකරේ වැසියනට ත්‍රිවිධ හමුදාව සලකන්නේ ඔවුන්ගේ ම ඥාතී සහෝදර සහෝදරියන් ලෙසට ය.
මේ ආකාරයට පුදුමාතලන්, වෙල්ලිමුල්ලිවයික්කාල් ඇතුළු ප්‍රදේශවල ජනතාව ද කොටි කටින් මුදවා ගන්නට හමුදා ත්‍රිවිත්වය ම පෙන්වූ දස්කම් විස්කම් එමට ය. ලෝක ඉතිහාසයේ ප්‍රාණ ඇපකරුවන් වැඩියෙන් ම මුදා ගත් හමුදාව ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකා හමුදාව යි.
කොටි ත්‍රස්තයන් පරාජය කිරීම සඳහා අප රණවිරුවන් යෙදූ උපක්‍රම රැසකි. කොටි ඉතා උපක්‍රමශීලී වූ සෑම අවස්ථාවක ම ශ්‍රී ලංකා යුද හමුදාව ද ඉතා උපක්‍රමශීලී විය. මේ හේතුවෙන් ඉතා කෙටි කාලයක දී හමුදා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ඔවුනට හැකි විය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා, ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් රොෂාන් ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන් ම සාමාන්‍ය සෙබන්‍දාන් ද යුද්ධය වෙනුවෙන් කැප කළ දේ බොහොම ය.
සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ගේ නිවැරදි නායකත්වයන්ගෙන් කොටි ත්‍රස්තවාදය මේබිමෙන් විනාශ කර දැමීමට හැකිවීම ජාතියක් සේ ලද මහා භාග්‍යයකි.
ලියුම්කරු යුද පෙරමුණට ගිය බොහෝ අවස්ථාවල රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය කෙබඳුදැයි මැනවින් දැක ගත හැකි විය. ඔවුන් ලක්මාතාවට කරන සේවය පිළිබඳව ඔවුන් පසුවන්නේ මහත් වූ සතුටකිනි. ත්‍රිවිධ හමුදා වික්‍රමයන්ගේ ප්‍රතිඵලය අද මුලු රටට ම මහා ශක්තියකි.
ලෝකයේ දක්ෂතම හමුදාව අප සතු බව මේ වන විට සමස්ත ලෝකවාසීන්ට ම අපේ ත්‍රිවිධ හමුදාවේ සෑම නිලයක් විසින් ම කදිමට පෙන්වා හමාර ය.
රටක් හැටියට අප සියලු දෙනාට සතුටු විය හැකි ය. අපට ආඩම්බර විය හැකි ය. අප එහි ගෞරවය සියලු රණවිරුවනට මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ද පුද කළ යුතු ය.
ශ්‍රී ලාංකේයයන් හැටියට අප ලක්මාතාව රැක ගනිමින් සංවර්ධනය කිරීමට එහි ශක්තිය ලෝකයාට පෙන්වීමට ක්‍රියාකළ යුත්තේ ය.
මේ සඳහා සියලු ජන කොටස් එකට එක් වී රට පෙරට ගෙන යෑමට එකමුතු විය යුතු බව මුර අඩවිය අවධාරණය කර යි.
සිය ජීවිතය පුද කළ රණවිරුවන් මෙන් ම යුද්ධය හේතුවෙන් අත් පා අහිමි වූ ඇස් කන් නාසා අහිමි කර ගත්තු සියලු ම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය අපි සැම එක්ව පුද කරමු.
ලොව සාර්ථක ම මානුෂීය මෙහෙයුම
මාවිල්ආරුවේ සොරොව්ව වසා දමමින් අහිංසක ගොවි ජනතාවට ජලය ලබා නොදීමට කොටි ත්‍රස්තවාදීන් ගත් උත්සාහයට විශාල පරාජයක් එල්ල කළ උදාර රණවිරුවෝ ගොවීන් ගේ ජලය ඔවුනට ලබා දුන්හ. අමුන වසා දැමීමත් සමග’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අණ පරිදි යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව මානුෂීය මෙහෙයුමක් ආරම්භ කළහ.
රණවිරුවන් කොටි ත්‍රස්තවාදයට එල්ල කළ හැකි උපරිම ප්‍රහාර එල්ල කරමින් මානුෂීය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කළහ.
නැගෙනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදා ගත්හ. මෙහිදී වාකරේ, වේරගල්ආරු, නරකමුල්ල, තොප්පිගල ඇතුළු කොටි ත්‍රස්තවාදීන්ගේ බලමුළු සියල්ල හමුදා පාලනය යටතට ගත්හ. කොටින් මේ ප්‍රදේශවල සිට අහිංසක වැසියන්ට නොයෙක් වද හිංසා සිදුකර තිබුණි.
2006 වසර ආරම්භයේ දී ආරම්භ කළ මේ මෙහෙයුම අනතුරුව නැගෙනහිර වැසියන්ට මහත් සහනයක් ලබා දුන්නේ ය.
නැගෙනහිර පළාතේ වැඩි වශයෙන් ධීවරයන් සහ ගොවියන් සිටින අතර කොටි ත්‍රස්තයෝ මේ ජනයාගේ සියලු සම්පත් උදුරාගෙන ඒවායින් සැප වින්දෝ ය.
නැගෙනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදාගන්නා අවස්ථාවේ සිට මේ මොහොත දක්වා ම දෙමළ ජනතාව උදාර රණවිරුවන්ගෙන් ලැබුවේ අප්‍රමාණ තිළිණයන් ය.
නැගෙනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු මානුෂීය මෙහෙයුම උතුරට ක්‍රියාත්මක කිරීමට හමුදාව පියවර ගත්හ. ත්‍රිවිධ හමුදාව මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමග ම කොටි ත්‍රස්තවාදීන් අනාරක්ෂිත ප්‍රදේශවල සිටි දෙමළ ජනතාව උන්ගේ ග්‍රහණයට නතු කරගනු ලැබිණි.
2007 වසර ආරම්භයේ දී උතුරේ මානුෂීය මෙහෙයුමේ ප්‍රථම ජයග්‍රහණය හමුදාව ලබා ගත්හ. මේ යටතේ මන්නාරම සිලාවතුර කොටින්ගෙන් මුදා ගැනිණි. මේ සමග සිලාවතුරේ සිටි ධීවරයින් සහ එම පවුල්වල සාමාජිකයනට ත්‍රවිධ හමුදාව පහසුකම් රැසක් ලබා දුන්හ. සිලාවතුර මුදා ගන්නා අවස්ථාවේකොටි ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් රැසකට තම ගමන් මල්ලේ (හමුදා ආම්පන්න දමන බෑගය) තිබූ වතුර බෝතලය, බිස්කට් පැකැට්ටුව ලබා දීඹට මෙහිදී අපේ හමුදාවෝ අනුකම්පා සිතැත්තෝ බව පෙන්නූහ.
සිලාවතුර මුදා ගැනීමෙන් පසුව යෝධ වැව, වෙඩිතලතිව්, තුනුක්කායි, මල්ලාවි, පුනරින්, පරන්තන්, කිලිනොච්චි, මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසක් ද යුද හමුදාව විසින් අත්පත් කර ගැනුණි. මේ ප්‍රදේශය අත්පත් කර ගැනීමේ දී හමුදා සෙබළු කොටි සාමාජිකයින් රැසකට ජීවිත දානය ලබා දුන්හ
ගිනි අවිය අමෝරා ගෙන කුරිරු ත්‍රස්තවාදියකු ලෙෂ හමුදා භට පිරිස් වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදියෙන් අන්ධව හුන් කොටි සාමාජිකයන් ජීවග්‍රහණයෙන් යුද බිමේ දී අල්ලා ගැනීම ඉතා අපහසු කාර්යක් වුව ද අප රණවිරුවෝ ඒ අභියෝගය ජය ගත්හ.
කොටි සංවිධානයේ අමානුෂිකත්වය උන් දිගින් දිගට ම ලෝකයා හමුවේ තබන ලදි. කොටි සාමාජිකයකු ආරක්ෂක අංශ වෙත යුදබිමේ දී භාරවන ආකාරයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්හ. එහෙත් මේ උපක්‍රමය ද හඳුනාගත් අප රණවිරුවෝ ඒවාට නොබියව මුහුණ දී ජය ගත්හ.
කොටි සංවිධානය කුමන ආකාරයෙන් ක්‍රියා කළ ද සිවිල් වැසියකුගේ හෝ යුදබිමේ දී හමුවන කොටි සාමාජිකයකුගේ ජීවිත බේරා ගැනීමට අප රණවිරුවෝ පියවර ගත්හ. උතුරේ මානුෂීය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් සමග වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ කොටින්ගේ උතුරේ බල මධ්‍යස්ථාන රැසක් හමුදාව අත්පත් කර ගත්තේ ය.
මේ සමග ම පරන්තන් වලින් ඉදිරියට හමුදාව ගමන් කිරීමත් සමග කොටි ත්‍රස්තවාදීහු පුදුකුඩුඉරිප්පු හා පුදුමාතලන් වෙතට රිංගා ගත්හ. එය බෝ කුඩා බිම්කඩකි. ඒ වන විට කොටි ත්‍රස්තවාදීන් විසින් ලක්ෂ දෙකකට අධික සිවිල් වැසියන් පිරිසක් එම ප්‍රදේශයන් හි සිර කරගෙන ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගෙන සිටින වග පෙනුණි.
ඒ මොහොත වන විට යුද හමුදාව මේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා නොයෙකුත් හමුදා උපාය උපක්‍රම ක්‍රියාත්මක කරමින් පසුවූහ. විශ්වමඩු ප්‍රදේශය යුද හමුදාව විසින් මුදා ගෙන දින කීපයක් තුළදී සිවිල් වැසියන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් කොටි ත්‍රස්තවාදීන්ගෙන් මිදී අවස්ථා කීපයක දී හමුදාව පාලනයට නතු කරගත් ප්‍රදේශය කරා පැමිණියහ. ඒ වන ශ්‍රී ලංකා යුද හමුදාව් කාන්තා බළකායේ සෙබළියෝ මේ ප්‍රදේශයට ගොස් සිටියහ. පැමිණෙන සිවිල් වැසියන්ට උදව් උපකාර කිරීම සඳහා මොවුන් එලෙස පැමිණි බව යුද හමුදාව පැවසී ය.
සිවිල් වැසියන් සමග මේ ස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකාරියක් බෝම්බය පුපුරුවා ගත්තා ය. එහිදී සිවිල් වැසියන් මෙන් ම යුද හමුදා කාන්තා බළකායේ සෙබළියන් යුද හමුදා සෙබළුන් රැසක් දිවි පිදූහ.
කොටි විසින් මේ ප්‍රහාරය අරමුණු කිහිපයක් සඳහා එල්ල කළ අතර ඉන් සමීපතම ඉලක්කය වූයේ සිවිල් වැසියන් යුද හමුදාව වෙත පැමිණීම වළක්වාලීම යි. එහෙත් කොටින්ගේ බාධක සියල්ල ජයගෙන යුද හමුදාව විසින් සිවිල් වැසියන් ලක්ෂ දෙක හමාරක පිරිසක් උතුරු මානුෂීය මෙහෙයුම්වලින් මුදාගනු ලැබිණි.
නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ දී ලක්ෂයකට ආසන්න පිරිසක් මෙසේ කොටි ග්‍රහණයේ සිටිය දී හමුදාව විසින් මුදාගන්නා ලදි. නාවික හමුදාව ඉකුත් මාස තුනේ දී කොටින් ගේ ග්‍රහණයේ පසු වූ සිවිල් ජනතාව විසිපන් දාහකට ආසන්න පිරිසක් මුහුදේ දී බේරා ගත්හ.
කොටි ග්‍රහණයේ සිට යාත්‍රාවල නැගී හමුදා පාලන ප්‍රදේශවලට පැමිණීමට උත්සාහ ගන්නා ලද අහිංසක දෙමළ වැසියන්ට කොටි ත්‍රස්තයෝ දිගින් දිගට ම වෙඩි තැබූහ. ඔවුන් බේරා ගැනීමට නාවික හමුදාව සමත් වූහ. මෙම මානුෂීය මෙහෙයුම්වල දී ඉතා සංවේදී අවස්ථා කිහිපයක් ලියුම්කරුට දැක ගත හැකි විය.
එක් අවස්ථාවක දී විශ්වමඩු ප්‍රදේශයට පැමිණි ගැබිනි කාන්තාවකට සිය බිළිඳා ප්‍රසූත කිරීමට හමුදාවේ සෙබළුන් කාන්තා සෙබළියන් ගේ සහායට නො අඩුව දුන් අයුරු බෝ සංවේදී දසුනක් විය. මේ ආකාරයට නාවුක හමුදාව, ගුවන් හමුදාව නොයෙක් ආකාරයෙන් අසරණ ජනතාවට පිහිට වන හැටි කෙතරම් නම් සංවේදී දසුන් ද යන්න කෙසේ නම් සටහන් කරන්න ද?
කොටි ත්‍රස්තවාදීන් හා ගැටුම් හටගත් අවස්ථාවේ දී කොටි බංකර් තුළ හුන් ළමා සොල්දාදුවන් බේරා ගැනීමට ද අප සෙබළ ගණසමූහයා මානුෂිකත්වයෙන් සපිරුණු අන්දම අදහා ගැනීමට පවා අපහසු තරමි. මේ සා උසස් ගුණාංග හමුදා සෙබළුන් සතුව තිබෙන්නේ ඔවුන් තුළ පුරුදු පුහුණු කොට ඇති විනය ගරුකත්වය හා හික්මීම නිසා නොවේ දැ යි මට සිතුණු වාර ගණන අනන්තවත් ය. මේ උතුම් ගුණාංගයන්ගෙන් පිරුණු හමුදාවක් සතු ජාතියක් ලොව අන් කවර රටක රාජ්‍යයක හෝ සිටින්නේ ද?
දෙමළ ජනතාව සමග අපේ හමුදාව සටන් නොකරන බවත් ඔවුන් ගේ එකම අරමුණ ආයුධ සන්නද්ධ කොටි ත්‍රස්තවාදීන් මේ බිමෙන් තුරන් කිරීම බවත් හැර අන් කිසිවකට ඔවුන් නොපෙළඹෙන වග ලෝකයා ම පසක් කරගන්නට ඇතිවාට සැකයක් නැත.
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් කොටි ග්‍රහණයේ සිට දිවි පරදුවට තබා උන්ගෙන් ගැලවී ආ පිරිසක් පුදුමාතලන් ප්‍රදේශයේ දී දැක්වූ අදහස් කීපයක් මෙසේ සටහන් කරමි.
“මගේ නම යෝගරාජා මහේෂ්වර්. පදිංචිය තුනුක්කායි. වයස අවුරුදු දහඅට යි”
“මම අධ්‍යාපනය ලැබුවේ තුනුක්කායි විiාලයේ. පාසලේ දී කොටි සංවිධානයේ නොයෙක් බලපෑම් නිසා මට හරිහැටි අධ්‍යාපනය ලබන්නට බැරි වුණා. පසුව මගේ පවුලේ අයත් මමත් කොටි සංවිධානයේ ග්‍රහණයට හසු වුණා.
අපි කොටින්ගෙන් මිදී පැන එන අවස්ථාවේ කොටි කල්ලියේ අය අපට වෙඩි පිට වෙඩි තිබ්බා. යුද හමුදාවේ කට්ටිය අපේ ජීවිත බේරා ගත්තා. මම හමුදා භාරයේ ඇති ප්‍රදේශයට ආපු දවස මගේ ජීවිතයේ ලද ලොකුම නිදහස් දවස. එදා යුද හමුදාවේ උදවිය අපට සැලකුවේ ඔවුන්ගේ ම සහෝදර සහෝදරියන්ට වගේ”
“මං ටී. පද්මනාදන. පදිංචිය කිලිනොච්චියෙ”
“අපි අවුරුද්දක විතර කාලයක් ම නොයෙක් විදිහෙ දුක් කරදරවලින් පීඩා වින්දා. ඒ කොටි කටේ සිටිය දී. දැන් නං අපට ලොකු නිදහසක් තියෙනවා. ඒ නිදහස අපට ලබා දුන්නේ හමුදාවේ රණ වීරයින්. අපි කවුරුත් ඔවුන්ට ණය ගැතියි.”
“මමත් මගේ පවුලේ සාමාජිකයනුත් රජයේ පාලන ප්‍රදේශයට ආපු අවස්ථාවේ ඔවුන් අපට සැලකුවේ අපි කවුරුත් ඔවුන්ගේ ම පවුල්වල උදවියට සලකනවා වගේ”