චිරං ජයතු සකිසඳුනේ!!!


එදා දවස මගේ මතකයේ හැටියට නම් 1993 ඔක්තෝම්බර් මස 12 වැනි දා යි. මෙ දවසේ දී මුළු ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ ම අවධානය යොමු වී ඇත්තේ ගාල්ල නගරය දිහාවට බව් මොනවට පැහැදිලි ය.
''දොඩන්ගොඩ දිවුරුම් දීම අද"
දිවයින පුවත්පතෙහි මුල් පිටුවෙහි එදා එසේ සඳහන්ව තිබුණි.
පොලිසිය මහා යුද්ධයකට සැරසී සිටින්නා සේ ය. ඒත් ඒ වගක් නොදත් පිරිසක් ගාල්ලේ මිනුවන්ගොඩ ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානයට රොක්ව ආගමික වතාවත් හි නියැළෙමින් හුන්හ. ඒ ත්‍රිවිධරත්නයේ ආශිර්වාද ලබා ගෙන නමෝවිත්තියෙන් මහ ඇමතිකමේ වැඩට පිවිස, ඌණ සංවර්ධනයේ පවතින දකුණේ ජනතාව, ඉන් මුදාගෙන ඔවුනට යහපත් හෙට දවසක්, උදාකර දීමේ අපේක්ෂාව ඇති, අමරසිරි දොඩන්ගොඩ හා ඔහු ගේ ආධාරකරුවන් ය.
අමරසිරි දොඩන්ගොඩ ගේ හෙවණැල්ල බඳුව රිචඩ් පතිරණ නළලේ දෑත්බැඳ බුදුන් වදයි. ඔහු ළඟින් ම පියසේන ගමගේ, නොඑල් පත්මසිරි කාරියවසම් ඇතුළු පිරිසකි.
මේ අතර තම සං සගයාට ශක්තියක්, ජීවයක් එක්කරන්නට, ළබැඳි මිතුරු මහින්ද රාජපක්ෂ, තංගල්ලේ කාල්ටන් හි සිට පැමිණියේ ය. ඔහු ඇඳ සිටියේ උසාවි 'ෂූට්' එකකි. ආගමික වතාවත් පැවැත්වෙන නිසා, ඊට බාධා වේ ය යන හැගීමෙන් හෙතෙම පාර අයිනේ හුන්, පත්තර මිතුරකු හා කතාබහේ යෙදෙමින් සිටියි.
ඕන් ඔය අතරේ ඔවුන් ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ, ගාල්ල මූලස්ථාන පොලිසියේ, පොලිස් පරීක්ෂක සරත් මෙන්ඩිස් ය. ඔහු පොලිස් පණිවුඩ හුවමාරු යන්ත්‍රයක් අතදරා ගෙන, උසස් නිලදරුවකු හා සංවාදයේ යෙදෙමින් පැමිණ, පත්තර සගයා ඇමතී ය.
''දොඩන්ගොඩ මහත්තයා කොහෙද ඉන්නේ?"
''ඕන් පන්සලේ... දැන් කට්ටිය බුදුන් වඳිනවා..." යි පොලිස් නිලධාරියාට පිළිවදන් බැන්ඳ පත්තර සගයා ''ඇයි මොකද සරත්??" යි ද විමසුවේ ය.
''අද ආණ්ඩුකාරතුමා නිවාඩු ලු... දිවුරුම් දෙන්න, හෙට එන්න කියන්නැ යි දන්නලා තියෙනවා. ඒ පණිවිඩේ දෙන්න ඕනැ නේ, දොඩන්ගොඩ මහත්තයට... ඒකයි...." හේ එහෙම කියා ගෙන ඉස්සරහ බැලී ය.''
පත්තරකාරයා වටහා ගත්තේ, අලුත් අමුතු සිද්ධියක් ඇති වෙන්නට, බෝ දුරට ඉඩ ඇති වග, ඔහුගේ පත්තර ඉව අනුව සැණෙකින් හිතට නැඟෙත් ම හේ මහින්ද ඇමතී ය.
''ආණ්ඩුකාරයා නැතෙයි කියන්නේ බොරුවක්. මං දැක්කා බාකීර් මාකාර් උන්නැහේ ඉන්නවා. මේ ලොකු ගේමක් ප්ලෑන් කරල වගේ" කී පත්තර මිතුරා,
''මහින්ද අපි යමු ද ඉස්සරහට?''
ඒ වන විට ආගමික වතාවත් අහවර වී, දොඩන්ලා, රිචඩ්ලා, ආණ්ඩුකාර කාර්යාලය බලා යන්නට, සූදානමින් සිටින බව පත්තර සගයා දැක්කේ ය.
''අපි යමු ද දොඩන්ලට ඉස්සරවෙලා?''
ඒ වන විට දොඩන්ගොඩ ගේ ගේ පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම, පන්සල ඉස්සරහ නවතා තිබූ, බස්රියට ගොඩවෙමින් සිටියහ. ඔවුන් බාර
කොට සිටියේ දොඩන්ගේ අක්කා ගේ පුතා චන්දිම ට ය. චන්දිම වීරක්කොඩිට ය.
''ඔව් අපි යමු.... ආණ්ඩුකාරයා නිවාඩු නම් අපි එයා ඉන්න තැනකට යන්නෝනැ" මහින්ද එසේ කීවේ, ඔවුන් සිටින තැන පියමං කරනා, පොලිස් නිලධාරියාට ඇසෙන පරිද්දෙනි. ඒ හඩ තරමක් ගොරෝසු යැ යි පත්තර සගයාට සිතේ.
මහින්ද ජිප්රියට ගොඩ වූයේ
''මැන්ඩා... නගින්න.. නගින්න " යි කියමිනි. ඔහු එසේ කියන සුනංගුවෙන්, පත්තර සගයා ඔහු ගේ පිටුපස අසුනට නැග හමාර ය.
මහින්ද ගේ ජිප්රිය වක්වැල්ල පාරේ, ගාල්ල නගරය පැත්තට ඇදෙද්දී, මඟ දෙපස මහා සෙනඟක් එක් රොක්ව සිටිනු පෙනිණි. ගාල්ල නගරය මධ්‍යයේ පිහිටි, මූලස්ථාන පොලිසිය අසලට එනවිට, ඔවුන් දැක්කේ නගරය කරා ඇදෙනා මිනිස් ගංඟාවන් ය. නගරයේ තැන් ගණනාවක මේ, මේ, දැන්, දැන් යොදා ඇති, පොලිස් මාර්ග බාධක ඔවුන්ගේ හිත් හතන්වලට කුකුසක් රිංග වූයේ ය.
පත්තර සගයාත් මහින්දත් රැගත් ජිප්රිය, පැරණි කොටු පවුර දෙසින් ගාලු කොටුවට ප්‍රවිෂ්ට වීම, නොකර ඉදිරියේ ඇති වටරවුමෙන්, කොළඹ දිහාවට හැරවූයේ, මාර්ග බාධක පහසුවෙන් මඟ හැරවීමට, හැකි යැ යි වටහා ගෙන යි. මහින්ද ගේ ජිප් රථය දිහාවට, පාර දෙපැත්තෙන් එල්ල වී ඇති ඇස් දහස් ගණනකි. ඒ මුහුණුවල ඇති ප්රශ්නය, පොලිසිය හැම තැන ගිනි බට එල්ල කරගෙන සිටින්නේත්, පොලිස් බාධක මෙච්චර මෙච්චර ගාණක්, යොදා ඇත්තේත් මන්ද යන්න යි . ඒ තරමට ම අඩියෙන් අඩිය, අවි රැගත් පොලිස්කාරයින් ය.
පත්තර සගයා ද, මහින්ද ද, රැගත් රථය අලුත් කොටු දොරටුවෙන්, කොටුට රිංගීමේ අපේක්ෂාවෙන්, වමට හරවා ධාවනය වෙයි. ඒත් කොටුවට ඇතුළුවීමට ඇති ඒ මඟ ද, පොලිස් මාර්ග බාධක යොදා හරස් කොට ඇත්තේ ය. වාහනය ඒ පැත්තට හරවන විට, දැක්ක මිනිසුන් ද කොටුවට රිංගන්නට, දිව එන අයුරු පෙනුණි. කොටුවට ඇතුළුවීම මුළුමණින් ම අවහිර කර ඇති හෙයින්, ජනයා මහත් සේ පීඩාවට පත්ව සිටිති.
''මහින්ද මං මෙතැනින් පැන ගන්නවා"
කැමරා ආම්පන්න මල්ල කරේ එල්ලා ගත්, පත්තර සගයා රියේ වේගය බාල වෙද්දී, ඉන් පිටතට පැන්නේ ය.
ඒත් එක්කම ඉදිරි අසුනේ අසුන් ගතව හුන්, මහින්ද රාජපක්ෂ ද, පත්තර සගයා අනුකරණය කළේ ය.
කොටු පවුරට තරමක් මෑතින් වූ, යකඩ බට යොදා තිබුණු මාර්ග බාධකය වෙත, දිව ගිය මහින්ද රාජපක්ෂ සිය උපරිම හයිය, හත්තිය යොදා, අර යකඩ වැට පාරෙන් ඉවතට වීසි කළ අයුරු පුදුමය දනවන සුලු ය.
සිය බල මුළුවක් හා කොටු පවුර පාමුල රැඳී හුන්, ගාල්ල පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ලෝරන්ස් අමරසේන ජිප් රියෙන් බට කලබලකාරයා, වැළැක්වීමට ඉදිරියට ආවේ දුවගෙනය. ඒ මහින්ද ගේ වාහනය පස්සෙන් ආ අමරසිරි දොඩන්ගොඩ ප්රමුඛ පිරිස ද නැවත්වීමේ අපේක්ෂාවෙන් විය හැකි ය.
නීතිඥ මහින්ද රාජපක්ෂත්, ලෝරන්ස් අමරසේන පොලිස් අධිකාරිවරයාත්, එක හා සමාන උස මහතින් යුත් සද්දන්ත පුද්ගලයින් ය. ලෝරන්ස් අමරසේන දිව එන්නේ මහින්දලාගේ ගමන වළකාලීමට ය. ඔහු අපේ කතානායකයා වෙත කඩා පිනුවේ ය. ක්ෂණයකින් ඔහු අමරසේනගේ පොලිස් නිල ඇඳුමින් අල්ලා, ඔසවා, සිය උපරිම ශක්තිය ගතට සිතට ගෙන, පොලිස් ලොක්කා පාරෙන් ඉවතට වීසි කළේ, තමන්ගේ තරම කෙබඳුදැයි විදාලමිනි.


පත්තර සගයා මේ අපූර්තම සිද්ධිය, සිය කැමරා කාචයට රිංගවා ගන්නට, තත්පර වූයේ නිමේෂයකුදු ප්‍රමාද නොවී ය. පොලිස් අධිකාරි අමරසේන කොටු පවුර පාමුල, බිම වැටී දත් සපද්දී, මහින්ද රාජපක්ෂ සිය රියට නැඟ ගත්තේ ය. දොඩන්ගොඩගේ වාහනයත්, පළාත් සභා මන්ත්‍රීලා රැගත් බස් රියත්, කොටු දොරටුව පියමං කර වේගයෙන් ඇදී ගොස්, වමට හරවා ආණ්ඩුකාර කාර්යාලය කරා ඉගුලුණේ ය.
ගාලු කොටු පවුර තුළ ද පොලිස් නිලධාරීන් අඩියෙන් අඩිය ය. දැවැන්ත පොලිස් වළල්ලකි ඒ.
සන්නද්ධ පොලිස් හමුදාව පයිසෙකට ගණන් නොගත්, මහින්ද රාජපක්ෂ මෙන් ම, අමරසිරි දොඩන්ගොඩ, රිචඩ් පතිරණ, පියසේන ගමගේ, නොඑල් පත්මසිරි කාරියවසම්, චමල් රාජපක්ෂ, මංගල සමරවීර ඇතුළු නඩයත්, ඒ වන විට ඊස්මීස් වන්නට තරම් නොහැකි, ජනගඟ මැද්දෙන් ගොස් ගාල්ල කච්චේරියේ, උඩු මහලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත පිවිසුණි. ඒත් ආණ්ඩුකාර කාර්යාලය, තඩිම තඩි ඉබ්බන් තුන්දෙනකු යොදා, දොරගුළු ලා තිබෙනු දුටු පිරිසේ, ඉවසීමේ සීමාව පැන්නේ ය.
''ඉබ්බො කඩමු" ඒ විධානයක් බඳු හඩකි. ගාම්භීර නදකි.
මහින්දගේ නියමය ක්ෂණයකින් ක්‍රියාත්මක විය. ඩැනී, ගජේ, ඩලස්, ආරියතිලක, චණ්ඩි මල්ලි (එම්. කේ. රංජිත්) ඇතුළු යොවුන් මදය උතුරණ, පළාත් සභා මන්ත්‍රීවරම් ලද්දෝ වැඩ ඇරඹූහ.
දොර පලු දෙපලු විය. දෙපැත්තට දෙබෑ විය. මහින්ද මූලිකයා යි. සෙස්සන් ඔහු පසුපසිනි. අරුමයකි.! නිවාඩු යැ යි කී දකුණු පළාත් ආණ්ඩුකාර, අල්හාජ් බාකීර් මාකාර් තෙමේ සිය අසුන අරා හිඳී. පත්තර සගයාගේ මතකයට නැඟුණේ, දියෙන් ගොඩගත් මසකු ය.
බාකීර් මාකාර් මහතා ඉතා යහගුණයෙන් සපිරුණු මිනිසෙකි. ඒත් ඉතින් ඉහළ නියෝගය.....
ආණ්ඩුකාර කාර්යාලය නිමේෂයකින් දාදිය සුවඳින් නැහැවිණි.
''අපි ආවේ මහ ඇමතිකමේ දොඩන්ගොඩට දිවුරුම් දෙන්න"
මහින්ද රාජපක්ෂ ආණ්ඩුකාරවරයාට පැවසී ය. බාකීර් මාකර් මහතා මුනිවතිනි. විශ්මිත දෑහක් මවාගෙන හේ පළමුව මහින්ද දිහා බැලී ය. සැණෙකින් ඒ නෙතු රැඳුණේ දොඩන් වෙත ය. ඊළඟට රිචඩ් දිහාට ය.
''ආණ්ඩුකාර තුමා! අපි ආවේ දිවුරුම් දෙන්න!!" මහින්ද යළි කටහඩ අවදි කළේ ය.
''අද දවසෙ දිවුරුම් නොගන්න කියා මට ඉහළින් උපදෙස් ලැබිල තියෙනවා" ආණ්ඩුකාර තෙමේ ගොත ගසමින් තොල් මැතිරී ය.
''දිවුරුම් දීලා මිසක් මැරුවත් ආපහු අද අපි මෙතැනින් යන්නෙ නෑ." මහින්ද මෙන් ම රිචඩ් ද, දොඩන් ද සෙස්සෝ ද එක හඬින් කෑගෑවේ කලින් කතාකර ගෙන සිටියාක් බඳුව ය.
තත්වය යහපත් නැත. ආණ්ඩුකාරවර බාකීර් මාකාර් මහතා, ස්වකීය ලේකම්වරයා අමතා, ප්‍රධාන ඇමති ලෙස අමරසිරි දොඩන්ගොඩ මහතාට, දිවුරුම් දීමට ඇවැසි ලියකියවිලි ගේන්නැ යි කී ය.
දැන් දිවුරුම් දීමේ ලියවිල්ල මහින්ද අතේ ය. දොඩන්ගොඩත්, ඔහුත්, ආණ්ඩුකාරවරයා අභියස සිට ගෙන ය.
''ගාර්දිහේවාවසම් දොඩන්ගොඩගේ අමරසිරි දොඩන්ගොඩ වන මම....." යනුවෙන් මහින්ද සද්දෙට දිවුරුම් ප්‍රකාශය කියවද්දී දොඩන්ගොඩ එය පුනරුච්චාරණය කෙළ් දහයෙන් නැහැවුණු වතින්, යාන්තමින් තොල සොලමිනි.
දොඩන්ගොඩ ප්‍රධාන ඇමති ධූරයේ දිවුරුම් දී, කච්චේරි ගොඩනැගිල්ලෙන් පහලට එද්දී, යාබද උසාවි භූමියත් කොටුවේ මංමාවතුත් එකම හිස් ගොඩකි. ඔවුන් සටන් පාඨ හඩ නගති. මහ වෙලාවක් ගියේ නැත. මහින්ද, දොඩන්, රිචඩ්, මංගල, පියසේන, නොඑල් ආදී සිය නායකයින් ඔසවා ගත්තු ජනයා ටික දුරක් ගියහ. අනතුරුව විවෘත ජිප් රිය කිහිපයකට ඔවුන් නැංග පසු, මහජන ගඟ ඒ වාහන ඉදිරියෙන් ද, පසුපසින් ද වැළ නොකැඩී ගමන් කරන්නට විය. මේ පිරිස, පරණ කොටු දොරටුවෙන් බැහැර කරන්නට පොලිස් ලොක්කන් ද සොක්කෝ ද දත කෑහ. ඒත් එය පුස්සක් විය.
දකුණු පළාතේ දෙවැනි ප්‍රධාන ඇමතිවරයා ලෙස අමරසිරි දොඩන්ගොඩ දිවුරුම් දුන්නේ පෙරවරු 11. 57 ට ය.

ඔහු පෙරටු කොට ගත් මහින්දලා ආපහු ආවේ ද, ගිය මගින් ම නැත්නම්, අලුත් කොටු දොරටුව ඔස්සේ ය. මොවුන් ගාල්ල ප්‍රධාන බස්නැවතුපොළ ඉදිරියේ පිහිටි, බෝධීන් වහන්සේ අසලට එන විට දහවල් එක හමාර පමණ විය.
තමන් ගේ ආධාරකරුවන් අමතා ප්‍රධාන ඇමති දොඩන්ගොඩ, සිය ස්තුතියත්, සතුට හා ප්‍රශංසාවත් පළ කළේ ය. ඒ කතාව බොහොම බරසාර ය. හැම හදවතක් ම විකසිත වන සේ, ඔහු සභාව අමතද්දී සොනඟ අතරින්, මොකක්දෝ නොසන්සුන් කමක් එකවර උඩට පැන්නේ ය.
එතෙක් නිහඩ වතක හුන් කුළු පොලුකාරයෝ වැඩ ඇරඹූහ. නිරායුද මිනිසුන් ගේ හිස් මතට පොලු පාත් විය. තවකෙක් අත වූ කඳුළු විදින තුවක්කුවකින් කඳුළු ගලන්නට විය. ජනයා හිස් ලූ ලූ අත දුවන්නට වුණේ අතට අහුවෙන අහුවෙන, ගල්වලින් ද ගඩොල් කැබලිවලින් ද කුළු පොලු කාරයින්ට උත්තර බඳිමිනි. ඒත් එක්ක ම ගිනි අවියකින් ගිලිගුණු සද්දෙන්, ගාලු නගරය මෙන් ම අවට ද දෝංකාරය පැතිරිණි. තරුණයින් දෙදෙනකු යළි නොනැගිටින සේ, දකුණු ලකේ අග නගරේ, ගාලුපුරේ මැද ඇද වැටුණේ, රක්ත වර්ණ ලේ දහරා පොම්ප කරමිනි. මිනිස්සු හිස් ලූ ලූ අත දිව්වේ පණකෙන්ද රැක ගන්නට ය.
මීට පැය එක හමාරකට දෙකකට පෙර, දකුණු පළාතේ සාමය හා නීතිය ක්‍රියාත්මක කරන්නට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බලය ලද, ප්‍රධාන අමාත්‍යවරයා වූ දොඩන්ගොඩට හා, ඔහුගේ ආධාරකරුවනට එරෙහිව තරු, ඔටුණු පැලඳීමේ හීන දකිමින් හුන්, කාකි සූට් කාරයකු නැත්නම් දෙන්නකු, ඉහළ ම ඉහළින් අණක් ලැබ හෝ නොලැබ, තරුණ ජීවිත දෙකක් දැයට අහිමි කරන ලදි.
ලයිසන් චණ්ඩින්ගේ මේ නින්දිත, පාහර අමන අපේක්ෂාව, වෙන්නට ඇත්තේ වෙඩි වැද නෙතු සදහටම පියාගත්, යක්කලමුල්ලේ හා මුල්ගිරිගල, බෙලිගල්ලේ තරුණයින් දෙදෙනා නොව, සමහර විට මහින්ද හෝ දොඩන් හෝ රිචඩි හෝ විය හැකිය.
මිනිස් ජීවිත දෙකක් බිලි ගනිමින් පාලක පක්ෂය, දොඩන්ගොඩට දකුණේ මහ පුටුව දී, යළිත් වරක් හොරගල් අහුලමින් කල් මැරුවේ ය. ඔවුන් ගේ දෙවන උත්සාහය සාර්ථක කර ගත්තේ, දොඩන්ගොඩ ඉදිරිපත් කළ ඔහුගේ මංගල අයවැය, පරාජය කරන්නට, විමලසේන ෆ්රැන්සිස්කු මන්ත්‍රීවරයා, පැහැර ගෙන ගොස් සඟවා තබා ගැනීමෙනි. නැතිනම් කුප්‍රසිද්ධ ෆ්රැන්සිස්කුකරණයෙනි.
එයින් මුළු දකුණ ම කෝපාවිෂ්ට විය, යළි ටික දිනකින් පැවැත්වූ, තුන්වැනි පළාත් සභා ඡන්දයේ දී ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ, ඡන්දදායකයින් ලෝස් නැතිව ඡන්ද පන් ලක්ෂ හතළිස් තුන්දහස් පන්සිය දොළහක් පොදුජන එක්සත් පෙරමුණේ ගිණුමට බැර කර කර, කතිරය ගසා සිය කෝපය පිට කළේ, එක් ලක්ෂ අනූ එකකින් එක්සත් ජාතික පක්ෂයේ එම්. එස්. අමරසිරි ප්රමුඛ නඩය පරාජය කරවමිනි.
මෙය එදා දිවයින පුවත්පත ලියුවේ, 'දකුණ වමට හැරවූ දොඩන්' යන ශීර්ෂයෙනි. ඒත්තෙක්කම මාස කීපයකින් පැවැත්වුණු, පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී, එතෙක් කලක් රට කරවමින් 17 වසරක් පුරා පැවති, ධර්මිෂ්ඨලාගේ අධර්මිෂ්ඨ පාලනයට තිත තබන්නට රට්ටු පෙරට ආහ.
අප මේ සා දිගු විස්තරයක් කියන්නට, ලියන්නට, පාදක කරගත් නිමිත්ත අති සුවිශේෂ ය. මේ බිමේ මේ සියවසේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ජනනායකයා සේ අවිවාදිතව, ජන සමාජයේ අති බහුතරයක් දනන් පිළිගන්නා, අසූ විය අද සපුරණ මහින්ද රාජපක්ෂ මහතා ගැන, යමක් කින්නට සුදුසු ම දවස අද වන් දිනක් ම යැයි අදහසක් පහළ වූ හෙයිනි.
ඔහු දෙවරක් මේ හෙළදිව් හි රාෂ්ට්‍ර පාලකයා වූයේ ය. පස්වැනි ජනාධිපතිවරයා ඔහු ය. තිස් වසරක් තිස්සේ ඇදෙමින් පැවති, මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගත්, රටේ කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා භෞතික සම්පත්, බෝම්බ පුපුරුවා හරිමින්, ප්රභාකරන් හා ඔහුගේ කොටි කල්ලිය විසින්, ලාංකේය ජනී ජනයාට හැම මොහොතකම මර බිය හිත් හතන්වලට ඇතුළු කරමින්, දියත් කරන ලද ඊළාම් සිහින ලෝකයේ, සන්නද්ධ අංශය විසින් පවත්වා ගෙන ගිය, යුද්ධය නිමා කරන්නට, සේනාධිනායකයා සේ ගත් ක්‍රියා මාර්ගය, සාමලැදි හැම දෙනා, ගෞරව බුහුමන් දක්වමින් සිහිපත් කරන, අති සුවිශේෂී චරිතය ඔහු නිසාවෙන්, මෙවන් සටහනකට හේතුභූත වූ කාරණාව සේ මා සලකන බැවිනි.
දකුණේ පැවති සුදු කළු භීෂණ සමයේ, විපක්ෂය මර නින්දේ සිටිය දී, ඔහු තරුණ ජීවිත සිය ගණනකගේ, දිවි රකින්නට පෙරට ආ අයුරු අපි දුටිමු. එදා ඔහු කළ කැපවීම නොවන්නට, පාලකයින් විසින් දස වද දී, වෙඩි තබා, මරා දමන ලද හෝ, ටයර් සෑයන් හි පණපිටින් පුළුස්සා, මරා දමන ලද හෝ, ගඟේ මුහුදේ පාවී යන, තරුණ තරුණියන් ගේ මළ සිරුරු, සංඛ්‍යාව තවත් කිහිප ගුණයකින් වැඩි සහසුද්දෙන් ම සත්‍යය යි.
ඔහු පාලක ධාර්මිෂ්ඨර්ලාට, මහා කරදරකාරයකු විය. ඒ අසරණ අහිංසක, ඒත් බුද්ධිමත්, එඩිතර යෞවන යෞවනියන් ගේ ජීවිත, නිරපරාදේ ටයර් සෑයන් හි දැවෙන, පිළිස්සෙන හැටි බලා සිටින්නට, ඔහුගේ හිත ඉඩ නුදුන්නේ ය. ඒ නිසා ම තම ජීවිතය ගැන පවා නොතකා, ආදරණීය බිරිඳ හෝ ළපටි කොලු පොඩ්ඩන් දෙදෙනා ගැන හෝ නොතකා, හමුදාවෙන්, පොලිසියෙන්, මෙන් ම නොනිල කුලී මැර හමුදා විසින්, අත්අඩංගුවට ගෙන, එලොව යවන තෙක්, මරණ වරෙන්තුව අත දරා හුන්, තරුණයින් ගාල් කොට හුන්, වධකාගාර කරා ඔහු ගියේ ය. කළු බළලුන්, කහ බළලුන්, උකුස්සන්, ප්‍රා ඝාතකයින්, ඔහුට ඉව අල්ල අල්ලා හිටියේ, ලොකු ම ලොකු තැන් වලින් ලද නියෝග අනුව ය.
ඔහු නිහඬකරන්නට දඩයක්කාරයින්, තංගල්ලේ මුහුදු වෙරළේ, බෝතල් හිස් කරමින් හුන්නේ, උන්ගේ ඉලක්කය ඇල්ලීමට, කල්යල් බලමිනි. ඒ ඉහළ ම ඉහළින් ලද නියෝගය, අකුරට ම ක්‍රියාත්මක කරන්නට ය. ඒත්.....!!!
මේ කරදරකාරයා ගේ පණ කෙන්ද, බොහොම හයිය ය. මේ රටට ඔහුගේ මෙහෙය තව තවත් ඇවැසි, නිසා ස්වභාව ධර්මයා විසින් ඔහු රැක්මට, ඔහුට ඉව අල්ලමින් හුන් හයදෙනකුගෙන් සැදුම්ලත් සාහසික අළුගෝසුවන්, දකුණේ මහ ඇමති, එම්. එස්. අමරසිරි ගේ නෙතට හසුකළේ ය. එදා ද ධවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක දොහකි. අමරසිරි එදින හම්බත්තොට දිසාවේ සංචාරයේ නිරත වීමෙන් අධික තෙහෙට්ටුවට පත්ව, කෙටි විවේකයක් ගන්නට, තංගල්ල තානායමට ආවේ මහින්ද ගේ වාසනාවට යි.
අනතුරුව සිදුවූයේ ඊට සතියකට, දෙකකට විතර පසු දිනෙක, රෑ යාමේ කාල්ටන් නිවහවට, වෙඩි ප්‍රහාරයක් එල්ල වීම ය. ඒ මේ අණ නාහන මිනිහා බියවැද්දීමට ය. මහින්ද හුන්නේ ඒ රාත්‍රියේ රත්නපුරයේ ය. රත්නපුරේ නන්ද එල්ලාවල ගේ අතුරු මැතිවරණ ජයග්‍රහණය තකා ඔහු ගිය දවසකි ඒ. තිරස්චීන ලයිෂන් චණ්ඩින්, කාල්ටන් වෙත වෙඩි වරුෂාවක් එල්ල කරද්දී, නිවසේ හුන්නේ ශිරන්ති හා සේවිකාවකත්, නාමල් පුතා හා අත දරුවකු වූ යෝෂිතත් විතර ය. වෙඩි ප්‍රහාරයේ කම්පනයෙන් සැළුණු බහ තෝරන වයසේ වූ යෝෂිත දැඩි කම්පනයට හසුවීමෙන් අවුරුදු තුනක් පමණ ම පසුවූයේ ගොළු ස්වභාවයෙනි. පස් හැවිරිදි විය වන තුරු මහින්ද ගේ දෙවැනි පුතා යෝෂිත එකදු වචනයක් හෝ කතා කෙළ් නම් ඒ ශිරන්ති නෝනා දරුවා වෙනුවෙන් කළ කැප කිරීම් නිසා බව ඔවුනට අවලාද අපහාස නඟන කවුරුන් හෝ දනී ද?
මාර කටේ හිරවී හුන් දකුණේ තරුණ ජීවිත දහස් ගණනක් මාරයාගෙන් ගලවා ගත්තු මහින්ද රාජපක්ෂ ඊට හවුරුදු විස්සකින් පමණ සමස්ත දේශයේ ම රට වැස්සන් රැක ගන්නට තත්පර වූයේ ප්රභාකරන් නම් මස් වැද්දා හා උගේ ගෝල බාලයන් නිහඩ කරවන්නට සිය සොවුරු ගෝඨභයටත්, හමුදාපති සරත් ෆොන්සේකාටත් නාවුක මෙන් ම ගුවන් හමුදාවට පොලිසියට හා සිවිල් ආරක්ෂක බළකායටත් ඊළාම් යුද්ධය නිමා කරන්නට සේනාධිනායකයා සේ වගකීම් පවරමින් කළ නියෝගයෙනි.

ඔහු මේ රටත් ජනතාවත් උදෙසා කළ දේ බොහෝ ය. නුසුදුසු දේ ද ඔහුගෙන් සිදුවුණු බව සැබෑවකි. ඒ වැරදි නිසා ඔහුට අද ද චෝදනා එල්ල වෙමින් පවතී.
තිස් හවුරුදු යුද්ධයක පැටළී සිටි මේ රට, එයින් ගලවා ගන්නට, මහින්ද රාජපක්ෂ තෙමේ, හමුදාවන්ට පැවරීමෙන් පසු, කොටි පරාජය වන බව දැක්ක, ඊනියා බටහිර බලවතුන්, මහින්ද ගේ කකුල් දෙකෙන් අදින්නට කෙතරම් වලිකෑවේ ද, ඇඹිලිපිටියේ නුග සෙවණක දී, ඒ කුමන්තුණ කරුවන්ට හොඳවයින් වචන කීපයක් කියා, ආපහු හරවා යැවීමෙන්, පරාජයට පත් බර්නාඩ් කුෂ්නර් ද, ඩේවිඩ් මිලිබෑන්ඩ් ද, ලෝක ලොක්කන් දෙන්නා සිය හාම්පුතුන් සමඟ අදත්, දත කන්නේ මහින්දට කෙළවන්නට ය.
මහින්ද කෙරෙහි දෙස් විදෙස් හි ප්රතිගාමීත්වය පසුවන්නේ කෝපයෙනි. උන්ගේ කෝපයේ ගිනිදැල් හි රශ්මිය තවමත් මේ පොළොවට දැනේ.
ඔහු කම්කරු හා වෘත්තීය පුහුණු ඇමතිකම ලද්දේ ජනාධිපති චන්ද්‍රිකාගේ පාලනයේ දී ය. ධීවර ඇමති කෙරුණේ ද ඇයගේ වෛරය නිසා වෙනි. හැබැයි ඒ ඇමතිකම් දෙක, දෙපාරකට දරද්දී, මේ මිනිහා සිය අත්දැකීම් පාදක කොට ගෙන, රටට ලොවට වැඩ පෙන්නුවේ ය. චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ පළමුවැනි පාර්ලිමේන්තු පනත ඉදිරිපත් කළේ මහින්ද යි. ඒ වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටුවීමේ පනත යි. ඔහු සකස් කළ කම්කරු ප්‍රඥාප්තිය ඉදිරිපත් කර සම්මත කර ගන්නට ප්රතිගාමීත්වය මඟ හරස් කළ අයුරු රටේ වැඩකරන ජනතාව නොදන්නා බව පැහැදිලි ය.
අනතුරුව ධීවර ඇමති බවට පත් වූ ඔහු, දුගී දුප්පත් ධීවර ප්‍රජාව වෙනුවෙන්, දියවර ගම්මාන ඇරඹී ය. අත්තක් පිත්තක් අල්ලා ගැනීමට නැති, මහ මුහුදේ ඈත දියඹ දී, අතරමං වන ධීවර යාත්ර උදෙසා, චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ, හේ නොමිලයේ බෙදා දුන්නේ, කොරියානු රජයත් එක්ක ඇති කරගත් ගිවිසුමකිනි.
මහ මුහුදේ ඇති සම්පත් උපයා සපයා ගන්නට, නව දැනුම තරුණ තරුණියන්ට පෙවීම සඳහා, හේ සාගර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළේ ය. මුහුදු සීමාව ආරක්ෂා කර ගන්නට වෙරළාරක්ෂක බළකායක් ඇරඹී ය.
යුද්ධය උතුරේ පවතිද්දී ම, කොටින්ගෙන් නිදහස් කරගත් නැගෙනහිර පළාතේ, 'නැගෙනහිර නවෝදය' වැඩ සටහන ඇරඹී ය. උතුරේ යුද්ධය නිමා වූ සැණින් 'උතුරු වසන්තය' වැඩ සටහන දියත් කළේ ය.
ඌවේ උමාඔය හරස් කළේ ය. ලෙනාඩ් වුල්ෆ් පෙන්වා දුන් හම්බන්තොටට දැවැන්ත ජාත්‍යන්තර වරායක් හැදුවේ ය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටක් නිමහම් කළේ ය.
මේ සියලු කරුණා කාරණා ඔහුගෙන් මේ රටට ජනතාවට, සමාජයට සිදු වෙද්දී බලයෙන් මත්වී, පිස්සු කෙළිය මර්වින් සිල්වාලා වැන්නන් ගේ හැසිරීම්, නොදැක්ක විදියට සිටියේ ය. එදා මර්වින් සිල්වා දිවයින පත්තර කන්තෝරුවට පැන, තග දැමූ වෙලාවෙත්, රූපවාහිනී සංස්ථාවට කඩා වැද, පකුම් පෙන්නූ අවස්ථාවේ දීත්, අපේ සහෝදර පුවත්පත් කලාවේදීන්ට, මාධ්‍ය වේදීන්ට, කරදර හිරිහැර, අඩම් තේට්ටම් කළ විටත් මහින්ද මුනිවත රැකීමෙන් කළ වැරැද්ද වැරැද්දක් ම ය. වැරැද්ද වැරැද්ද මිස නිවරැද්ද නොවේ.
මහින්ද 77 මහ මැතිවරණයෙන් පරාජය වී, නීතිඥයකු හැටියට උසාවි යමින් එමින් සිටි, ඔහු කරන කියන දෑ ගැන රටට ලෝකයාට කීවේ, ඔහුට හිතවත්කම් දැක්වූ ප්‍රාදේශීය වාර්තාකරුවන් දෙතුන් දෙනෙකි. ඊට පස්සේ 88 – 89 – 90 කාලේ ඔහු අන් සියලු දේශපාලනඥයන් අබිබවා, ඉහළට එසවුණේ ද, පත්තරකාරයින් ගේ කුරුටු ගෑම්වලිනි. කොටින් ම මහින්ද රාජපක්ෂ නම් චරිතය, රටක් ලොවක් දැන ගත්තේ, දෙස් විදෙස් පත්තර සගයන් ඔහු ගැන ලියූ කියූ දේවල්වලිනි. ඔහු කළ හැම දෙයක් ම, ඔවුනට ප්‍රවෘත්තියක් විය. මානුෂික දෘෂ්ටියෙන් පත්තරවල ලියැවුණු ලියැවිලිවලිනි.
ඔහු හා පත්තරකාරයින්, මාධ්‍යවේදීන් බෝ හිතවත්කම් පෑවේ, බෝ කලක සිට ය. චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ කැබිනට් රහස්, මාධ්‍යයට දෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් යැ යි, ඇය කීවේ ඔහු ඒ තරමට ම, ජනමාධ්‍ය හා පැවති බැඳීම යි. සබඳතාවය යි. ඒත් ඔහු බලයට පත්වී වසර කීපයක් ගිය තැන, මර්වින් ලා වගේ අයට පත්තර වහකදුරු වී ටී. එම්. ජී. චන්ද්රසේකරලා, හේමන්ත මාවලගේලා, පෝද්දල ජයන්තලා, වැනි අපේ සගයින්ට හිංසා පීඩා කරද්දී මහින්ද ඒ තුච්ච මිනිසුන් කළ වැරදිවලට, නිසි පරිදි පාලකයෙක් හැටියට, ඔවුන් මට්ටු කරන්නට පියවර ගත්තේ නම්......
මහින්ද රාජපක්ෂ නම් චරිතය ගොඩ නැඟුණේ ඉබේ නොවේ. 1970 මහ මැතිවරණයට ඉදිරිපත් වී ජය ලබා ළාබාල ම මන්ත්‍රීවරයා සේ පාර්ලිමේන්තුවට, බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් ගිය ඔහු, සතු දේශපාලන අත්දැකිම් සම්භාරය, වෙනත් කිසිදු දේශපාලනඥයකුට නැති තරමි. ඔහු රාජ්‍ය නායකයා වීමේ කතන්තර, සුළුපටු එකක් නොවේ. මහින්ද හිරේ විලංගුවේ වැටී සිටියේ ය. සිය මවගේ අවසන් කටයුතුවලට වත්, සහභාගි කරවන්නට රිමාන්ඩ් බාරයේ හුන් ඔහුට, අවස්ථාව නොදෙන්නට තරම්, එවක හුන් ධාර්මිෂ්ඨ පාලකයින් ඉඩ හසරක් පාදා දුන්නේ නැත.
මහින්ද පුදුම සහගත වාසනා මහිමයක් ඇත්තෙකි. ඔහු හා ඇසුරට පත් කවරකුට වුව හේ බොහෝ ළෙන්ගතු බවක් පෑවේ ය. ඔහු අභිමුව සතුරා ද, මිතුරා ද, හිතවතා ද, අහිතවතා ද කුප්පමේණීය පැළෑටියක් හමුවේ දපනේ වැටෙන බීළාලයන් සේ ය. ඔහු වටා එදා මෙන් ම අද ද, මිනිසුන් රොක් වෙන්නේ අන් සියලු දේශපානඥයින්ට නැති, විස්තර කළ නොහැකි තරමේ මොකක්දෝ සවියක් ඇතිව ය. ඒ තරමට ම හේ මහා ආකර්ෂණයක් සහිත මිනිසෙකි. ඔහු තුළ ඇති දුර දක්නා බව ද එසේ මෙසේ එකක් නොවේ.
මා ද ඔහු ඇසුරට පත් කෙනෙකි. හැබැයි ඔහු කරන කියන දේ, අනුමත කරන්නට පෙළඹුණේ නැත. කිසි විටෙක මා ඔහු කියනා කරනා දේ, ඒ අයුරින් පිළිගත්තේ නැත. ඔහුගේ යම් වැරැද්දක් දුටු විට, නොවලහා මගේ අදහස දක්වන්නට මා පසුබට වූයේ ද නැත. මන්ද මං ඔහු ඇසුරු කළේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට, ඇස් ඇති පත්තරකාරයකු හැටියට නිසා ය.
ඔහු සිය වැඩිමහල් පුත් නාමල් දේශපාලන ලෝකයට යොමු කළේ, කොල්ලා සතුව පැවති මානුෂීය ගුණය කෙතරම්දැ යි, පැටි සංදියේ ම දුටු සිද්ධියකිනි. ඒ නාමල් වයස අවුරුදු දහයක දොළහක තරම් වයසේ සිටිය දී ය.
ඔවුන් ග්‍රෙගරි (ගිරිගෝරිස් ) පාරේ නිල නිවසේ සිටිය සමයේ අත්දුටු පුංචි සිද්ධියකිනි.
දවසක් මහින්ද නිවසේ පහළ පිහිටි කන්තෝරු කාමරයේ කිසියම් කාර්යයක, නිරතව සිටිද්දී, නාමල් ඔහු කරා ආවේ හඩ හඩ කඳුළු බේරමිනි. පියා ඉදිරියට ආ පුතා ''තාත්තේ මට මල්ලි ගැහුවා...." යි කීවේ ඉක්කා ගසමිනි.
''ඉතින් ඔයා අයියා නේ. ඔයා මල්ලිට ගැහුවෙ නැත්තේ?"
''ඉතින් තාත්තේ මල්ලිට මගෙන් පාරක් කන්න බෑ නේ. ඒකයි මං නොගැහුවේ!" ඒ නාමල් ගේ වචන යි.
