උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

ආණ්ඩුව ”නීතිය අවභාවිතා කර” පහර දෙන්නේ ”අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට”

ගම්මන්පිල දක්වා තිබෙන අදහස කිසිම ලෙසකින් ජාතිකත්වයකටවත් කිසිම ආගමක් අදහන කෙනෙකුට වත් හානිකර නෑ

ආණ්ඩුව ''නීතිය අවභාවිතා කර'' පහර දෙන්නේ විපක්ෂයට තියන ''අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට'' 

ශානි හොඳ රහස් පොලිසියට නෙවෙයි.... චිත්‍රපට සංස්ථාවට...

මේ ආණ්ඩුවට අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත විපක්‍ෂය දඩයම් කරන්න අවියක් වෙලා...

අයි. සී. සී. පී ආර් (ICCPR) පනත හෝ එවන් වෙනත් ඕනෑම පනතක් යොදා ගනිමින් මේ රටේ විරුද්ධ පක්ෂයට විරුද්ධ මත දැරීමට, විරුද්ධ අදහස් පළකිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය උදුරා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, එමගින් විපක්ෂය දණගස්වන්නට උත්සාහ කරන්නේ නම් හෝ විපක්ෂය මර්ධනය කිරීමට උත්සාහ කරන්නේ නම් හෝ හීලෑ කරගන්නට උත්සාහ කරගන්නේ නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන විපක්ෂයේ සියලුම පක්ෂ එකට එකතු වී නීතිය අවභාවිතාවේ යොදා ගනිමින් විපක්ෂය මර්නදය කිරීමට ගෙන යන ආණ්ඩුවේ මෙම දුෂ්ඨ වෑයම උපන් ගෙයිම පරාජය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එවන් මර්දනීය ඉරණමකට මුහුණ පා ඇති බව විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. දැනට බන්ධනාගාරගතව සිටින ත්‍රස්තවාදී සැකකරුවකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මේ රටේ ජීවත් වන විශිෂ්ඨ ගණයේ රණවිරුවකු වන හිටපු නාවික හමුදාපති රියාර් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා බන්ධනාගාරගත කරමින් පරීක්ෂණ පැවැත්වීම ගැන පසුගිය දිනවල උදය ගම්මන්පිල මහතා කරන ලද හෙළිදරව්වක් පදනම් කරමින් අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත ඔස්සේ රහස් පොලිසිය පරීක්ෂණයක් අරඹන බව මේ වන විට අධිකරණයට දන්වා ඇත. මේ දිනවල විදේශ සංචාරයක නිරතව සිටින උදය ගම්මන්පිල මහතාටද ඒ පිළිබඳව දන්වා ඇත. විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ උදය ගම්මම්පිල මහතා සම්බන්ධයෙන් එවන් අණ පනත් යොදා ගනිමින් ආණ්ඩුව මේ සැරසෙන්නේ, තම මතය ප්‍රකාශ කිරීමේ හා එම මතය වෙනුවෙන් පෙනී සිටීමේ හා එම මතය දැරීමේ අයිතිය විපක්ෂයෙන් උදුරා ගැනීමට නීතිය අවභාවිතාවේ යොදා ගනිමින් වත්මන් රජය  සූදානම් වන බවයි. අතීතයේ කීප වරක් ම

අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත යනු යම්කිසි ජනකොටසකගේ ආගම, ජාතිය, වර්ගය, කුලය, තරාතිරම, ලොකුකුඩා බව හෝ වත් පොහොසත් කම් ආදිය යොදාගනිමින් එම ජනකොටසට අගතිගාමී අපහාස කරන්නේ නම් හෝ ඓතිවාසිකම් කඩ කරන්නේ නම් හෝ උද්වේගකාරී මත පළකරමින් හිත් රිදවන්නේ නම් එම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිය ක්‍රියාවේ යොදවන පනතකි. එසේ වුවත් නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න මහතා වෙනුවෙන් උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශයෙහි කිසිවකුටත් එබඳු අපහාසයක් සිත් රිදවීමක් හෝ පහත් කොට සැලකීමක් පෙන්නුම් නොකෙරෙන බව විමල් වීරවංශ මහතා විශ්වාසයෙන් යුතුව පෙන්වා දුන්නේය.

අතීතයේ කීප වරක්ම මෙබඳු ''නීතිය අවභාවිතයට ගැනීම්'' තුළින් දැඩි ලෙස බැට කෑ, දහස් ගණනක් සාමාජිකයින් ජීවිත වලින් බවා වන්දි ගෙවූ, දේශපාලනයෙන් තහනම් කරන ලද පක්ෂයක් වූ ජ වි පය අද ආණ්ඩු බලය ලබාගෙන ඉතිහාසයේ තමන් බැටකෑ ''නීතිය අවභාවිතාවේ යොදා ගැනීමේ ක්‍රමවේදය'' ආයුධයක් ලෙස විපක්‍ෂය හා තම දේශපාලන විරුද්ධවාදින් මර්දනය කිරීමට යොදාගැනීම අතිශයින් පිළිකුල් සහගත සහ ලජ්ජා සහගත බව විමල් වීරවංශ කීවේය.  

ශානි අබේසේකර ප්‍රමුඛ රහස් පොලීසිය මෙබඳු පරීක්ෂණ කරමින් පනතට මුවාවී නීතිය අවභාවිතාවට ලක් කරමින් මෙසේ ක්‍රියාත්මක වන්නේ ''කන්ද කෙන්ද කරමින් හෝ කෙන්ද කන්ද කරමින්'' පොදුවේ මේ රටේ විපක්ෂය මර්ධනය කිරීමට බවත්, මේ ආකාරයෙන් බියවද්දමින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වය මැඩ පැවැත්වීමට බවත්, විපක්ෂය හීලෑ කරවීමට බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. මෙම පුවත්පත් සාකච්ඡාවේදී විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය. එහිදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදෙමින් එතුමා දැක්වූ අදහස් පහත සඳහන්ය. 

''පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් අපෙන් ඉල්ලීමක් කළා එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමා මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වීමක් කරන්න කියලා. අපි කවුරුත් දන්නවා එතුමා පහුගිය කාලය තුළත් ඉන් පෙරත් රටේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් තමන්ගේ මතය නොපසුබටව ඉදිරිපත් කරපු දේශපාලන පක්ෂයක නායකයෙක්. එතුමා පසුගිය දිනවල විශේෂයෙන්ම නාවික හමුදාවේ හිටපු හමුදාපතිතුමා නිශාන්ත උළුගේතැන්න මහතා අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දක්වපු අදහසක් පදනම් කොටගෙන රහස් පොලිසිය අධිකරණයට වාර්තා කරලා තියෙනවා, අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත යටතේ එම ප්‍රකාශය පදනම් කරගෙන පරීක්ෂණයක් කෙරෙන බව.

අපි කවුරුත් දන්නවා අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත කියලා කියන්නේ ආගම්වාදීව ජාතිවාදීව එක ජන කොටසකට, ජාතිකත්වයකට, ආගමකට, සුළු ජන ප්‍රජාවකට ගරහන මට්ටමේ අදහසක් ප්‍රකාශ කළොත් ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිය ක්‍රියාවේ යෙදවිය හැකි පනතක්. එහෙම නැත්නම් අපහාස වන මට්ටමේ අදහසක් ප්‍රකාශ කළොත්, ඒ කිසියම් ආගමක් අදහන අයට හෝ ජාතිකත්වයකට අගතිගාමී ලෙස උද්වේගකාරී මත පළ කළොත් ඒ වැනි කාරණයක් සම්බන්ධයෙන් තමයි මේ අයි. සී. සී. පී ආර් (ICCPR) පනත අදාළ වෙන්නේ. මීට පෙර අපේ රටේ වුණත් ඒක භාවිතා වෙලා තියෙන්නේ එවැනි කරුණු සම්බන්ධයෙන්.

නමුත් උදය ගම්මන්පිල මැතිතුමා දක්වා තිබෙන අදහස කිසිම ලෙසකින් ජාතිකත්වයකටවත් කිසිම ආගමක් අදහන කෙනෙකුට වත් හානිකර, එහෙම නැත්නම් එයාගේ විශ්වාසයන්ට හෝ අදහස්වලට පරිභව කරන මට්ටමේ උද්වේගකාරීව බලපාන අදහසක් නෙවෙයි. ඉතින් එවැනි කාරණයක් පදනම් කරගෙන අයි. සී. සී. පී ආර් (ICCPR) පනත යටතේ පරීක්ෂණයක් කරනවා කියලා අධිකරණයට වාර්තා කිරීමෙන් රහස් පොලිසිය බලාපොරොත්තු වෙන්නේ එක්කෝ කෙන්ද කන්ද කරලා හරි කන්ද කෙන්ද කරලා හරි තමන්ට ඕන විදියට මේ නීතිය පාවිච්චි කරලා, එහෙම නැත්නම් ඒ නීතිය අවභාවිතා කරලා විපක්ෂයට තියන ''අදහස් දැක්වීමේ අයිතියට'' පහර දෙන්න.

ඒක උදය ගම්මන්පිල මැතිතුමා පමණක් ඉලක්ක කරගෙන නෙවෙයි. මේ රටේ විශේෂයෙන්ම රණවිරුවන්ගේ දුක්ගැනවිල්ල සම්බන්ධයෙන් කතාකරන සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස්වල කට වහන්න තමයි මේ පනත පාවිච්චි කරල තියෙන්නේ. ඒ වගේම එම රණවිරුවන්ගේ දුක් ගැනවිල්ල සම්බන්ධයෙන් මත පළකරන හෝ දේශපාලනමය වශයෙන් ඊට නායකත්වය දෙන සෑම කෙනෙක්ම දඩයම් කරන්න පාවිච්චි කරන ආයුධයක් හැටියට අයි. සී. සී. පී ආර් (ICCPR) පනත යොදා ගැනීම තමයි මේකෙන් මේ අත්හදා බලමින් ඉන්නේ. ඒ දුෂඨ වෑයම උපන් ගෙයිම පරාජයට පත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් කියලා අපි තරයේ විශ්වාස කරනවා. මෙවැනි නීතිය අවභාවිතාවේ යෙදවීම් ගැන කරපු, විරුද්ධ පක්ෂ දැඩි ලෙස පාලනය කිරීම් හෙලා දැකපු, දැඩි ලෙස ඊට විරුද්ධව මත පළ කරපු දේශපාලන පක්ෂයක් තමයි අපි.

ඒ වගේ නීතිය අවභාවිතා වීමෙන් දැවැන්ත ලෙස බැටකාපු, නීතිය අවභාවිතාවට පාවිච්චි කරලා එක්තරා කාලයක අසාධාරණ විදිහට තහනම් කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒකත් නීතිය අවභාවිතාවේ යෙදවීමක්. ඉතින් රටේ නීතිය අවභාවිතාවේ යෙදවීමෙන් බැටකාපු, ඒ නිසාම ලේ හෙලපු, ඒ නිසාම සමාජිකයන් දස දහස් ගානක් ජීවිතවලින් වන්දි ගෙවපු  පක්ෂයක් බලයේ ඉන්න තත්ත්වයක් යටතේ මේ විදියට නීතිය අවභාවිතාවේ යොදවනවා නම්, මේ විදිහට එක එක අණ පනත්වල තියෙන වගන්ති පාවිච්චි කරලා ජනතාවගේ අදහස් දැක්වීමේ අයිතිය වළක්වනවා නම්, විරුද්ධ මත දැරීමේ අයිතියට බාධා කරන්න යනවනම්, ඒ වගේම ඔවුන් විරුද්ධ පක්ෂය හිරිවට්ටන දණගස්වලා යටත් කරලා කට අරින්නේ නැති තත්ත්වයකට පත් කරන්න හදනවා නම්, ඒක කිසි සේත්ම යුක්ති සහගත වෙන්නේ නැහැ. ඒකට අපි යටත් විය යුතුත් නෑ. අවනත විය යුතුත් නෑ. ඒක පිළිගත යුතුත් නෑ. ඊට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. සහ ඒ ඊට විරුද්ධව හඬ නගන දේශපාලන නායකයන් කොයි මට්ටමෙන් හරි දඩයම් කරන්න මොන විදියකින් හරි උත්සාහ කළත් ඒකට විරුද්ධව අපි පෙළ ගැසිය යුතුයි.

 ඒක අයි. සී. සී. පී ආර් (ICCPR) පනතින් වේවා වෙනත් පනතකින් වේවා, ඒක යොදාගෙන එනවනම් මේ රටේ විරුද්ධ පක්ෂය අකර්මණය කරන්න, බියගන්වන්න, ඒ වගේම හීලෑ කරගන්න, එහෙමත් නැත්තං දන ගස්සවන්න, යටත් කරගන්න එනවා නං ඒක පරාජයට පත් කිරීම සඳහා අපි ක්‍රියාත්මක විය යුතුයි. මං හිතනවා අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත පදනම් කොට ගෙන උදය ගම්මන්පිල මැතිතුමා ඉලක්ක කොට ගෙන එන මේ ක්‍රියාවලිය උපන්ගෙයිම පරාජයට පත් කිරීම අවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. ඒක මං හිතනවා විරුද්ධ පක්ෂයේත් ප්‍රජාතන්ත්‍රවාදයට ලැදී සියලුම ජන කොටස්වලත් බලවේගවලත් වගකීමක් හා යුතුකමක් හැටියට....

ප්‍රශ්නය-  ''මර්ධනයට එරෙහිව'' කියලා අපි දැක්කා විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් එකතු වෙනවා. සාකච්ඡා කරනවා. අපි දැක්කේ නෑ ඔබතුමාලා ඊට සහභාගී වෙලා සාකච්ඡා කරන බව. ගියේ නැද්ද ආරාධනා කළේ නැද්ද...?

පිළිතුර - මුල්ම සාකච්ඡාවට අපි ගියා ගියා. එදා ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බ දවසේ අපේ පක්ෂයේ  වෙනම සාකච්ඡාවක් තිබුණා. අපට ඒකට සහභාගී වෙන්න බැරි වෙන බව අපි ඒගොල්ලන්ට කලින් දන්වලා තිබුණා...

ප්‍රශ්නය - ඒ එකතුවෙන් වර්තමාන රජයට බලපෑමක් කරන්න පුළුවන් කියලා ඔබතුමාලා හිතනවාද..?

පිළිතුර - විරුද්ධ පක්ෂයේ පක්ෂ අතර විවිධ මත වෙනස්කම් තියෙනවා. ඒ වගේම අනන්‍යතා තියෙනවා. එසේ තිබිය දී උණත් පොදුවේ විරුද්ධ පක්‍ෂය බිය වද්දලා, එහෙම නැත්නම් ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයන් හරහා විරුද්ධ පක්‍ෂයක් රටේ සක්‍රීය නැති විදිහේ තත්ත්වයක් ඇති කරලා, තමන්ගේ රජයට එරෙහිව ජනතා විරෝධයක් නැති බව සනාථ කරගන්න මේ රජයේ උත්සාහ කරනවානම් ඒකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රොණක හරි හැඟීමක් තියෙන කිසිවකුත් ඉඩදිය යුතු නෑ. ඒක පරද්දන්න විරුද්ධ පක්ෂයේ අබමල් රොණක හරි හැඟීමක් තියෙන කිසිවකුත් ඉඩදිය යුතු නෑ. ඒක පරද්දන්න විරුද්ධ පක්ෂයේ පක්ෂ පමණක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට ලැදී සෑම දේශපාලන සහ සමාජ බලවේගයක්ම වෙන් වෙන්වත් ඒකරාශීවත් කටයුතු කිරීම අතිශයින් වැදගත්. ඒක වංචනික අර්ථයෙන් නොවෙයි. එක එක්කෙනා ඉස්මතුවෙන්න හෝ ජනාධිපති සිහින සඵල කර ගැනීමේ අර්ථයෙන් නෙවෙයි. අපේ මූලික ඉලක්කය සඵල කර ගැනීම සදහා එහෙම එක්සත් භාවයක් සමගියක් ඇති වෙනවා නම් ඒක ඉතා වැදගත් කියලා අපි හිතනවා....

ප්‍රශ්නය - නාවික හමුදාපතිවරයාගේ සිද්ධිය ගත්තත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලත් කිව්වේ වැරැද්දක් කරලා තියෙන නිසා තමයි ඒ වගේ ඉරනමක් අත්වෙලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ ඩයස්පෝරාවටවත් වෙන කාටවත් වුවමනා හින්ද නෙවෙයි කියලා..?

පිළිතුර - ඒක ගැන කතා කරන්න ගියොත් මටත් අයි. සී. සී. පී ආර් (ICCPR) පනත උලුක්කරයිද දන්නේ නෑ. කමක් නෑ. එහෙම වෙච්චාවේ. ඉතින් එතුමා ගැන එල්ල වෙන චෝදනාව ගත්තොත්, ඔය නාවික හමුදාවේ සිරකරුවන් තියාගෙන ඉන්න කුටියක සබන් කොලයක තිබ්බ සටහනක් නේ මේ පාවිච්චි කරන්නේ එතුමන්ට විරුද්ධව සාක්ෂියක් හැටියට.  දෙමළ සිරකරුවෙක් සිංහලෙන් ලියපු සටහනක්. ඉතින් මං දන්නෑ දෙමළ සිරකරුවෝ සිංහල ඉගෙන ගත්තද කියලා නාවික හමුදා කඳවුර ඇතුළේ.. ඔය වගේ සාක්කිකාරයෝ හදාගෙන ඔය වගේ කොළ කෑලි මත පදනම් වෙලා ඒකට අත්අඩංගුවට ගන්නවනම් මුලු ත්‍රිවිධ හමුදාවම අත්අඩංගුවට ගන්න ඇහැකි.

ඒකට මේ ශානිට තියෙන්නේ පොඩි තිර පිටපතක් හදන එක විතරයි. ඇත්තටම ශානි හොඳයි චිත්‍රපට සංස්ථාව වගේ තැනකට. ශානි හරියන්නෙ නෑ සී. අයි. ඩී එකට. එයාට හොඳට තිර පිටපත් ලියන්න පුළුවන්. එයාට හොඳට අධ්‍යක්ෂණය පුළුවන්. මම ඇත්තටම හිතන්නේ ශානි ගැලපෙන්නේ සිනමාකරණයට.

මං හිතනවා එතුමා ඔය ත්‍රාසජනක, විශේෂයෙන්ම ඔය තියෙන්නේ ඇඟ කිලිපොලා යන ලොමු ඩැහැගැන්වෙන අපරාධ පිළිබඳ සොයා බලන චිත්‍රපට. ශානි අබේසේකර මහත්මා විශ්‍රාම ගියාට පස්සේ එතුමන්ට ඔය වැරදි රස්සාවක් ඔය දීලා තියෙන්නේ. අපි ආණ්ඩුවට යෝජනා කරනවා කරුණාකරලා එතුමා ගැන හිතලා චිත්‍රපට කර්මාන්තයට එතුමා යොදවන්න. එතුමා හරියටම හරියන්නේ ඒ වැඩේට...  ඉතිං ඔය ආණ්ඩුවේ කට්ටියට සල්ලි තියෙනවා නම් නැගලා යන ත්‍රාසජනක චිත්‍රපට හදන්න පුළුවන් වේවි. ඔය තියෙන්නේ රහස් පොලීසිය මැදිවුන 007 ෂර්ලොක් හෝම්ස් පන්නයේ චිත්‍රපටි. අන්න ඒවා තිරපට ලියලා අධ්‍යක්ෂණය කරන්න දුන්න නම් ඔහුට මං හිතන්නේ ආදායම් වාර්තා බිඳෙන මට්ටමේ ප්‍රතිඵලයක් ලබාගන්න එතුමන්ට පුලුවන් වේවි...

ප්‍රශ්නය - දැන් පාතාලේ කෙරුම් කාරයෝ අල්ලගෙන එනව. දැවැන්ත මෙහෙයුම් කරනවා. දේශපාලඥයෝ 20ක ලැයිස්තුවක් තියෙනවා කියලා කියනවා. ජනතාවට මේවා ඇහෙද්දීත් ඇඟ කිලිපොලා යනවානේ...?

ප්‍රශ්නය - මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රධාන වශයෙන්ම රටේ ආර්ථික අර්බුදය විසඳනවායි කියලා. ඒ වගේම ආර්ථික අර්බුදයෙන් බැටකන පහළ සමාජ ස්තරවල ජනයාට දැවැන්ත සහන දෙනවා කියලා. මේ දෙකෙන් එකක්වත් අද වෙන්නෑ. ආර්ථික අර්බුදයට අදාළ කිසිම නව පියවරක් අරගෙන නෑ. ඔහේ අර රනිල් සීයා ගියපාරෙම යනවා... එච්චරයි. දෙවනුව පහළ මට්ටමේ පීඩාවට පත් වෙච්ච ජනයාට රනිල් සීයගේ කාලේ අර දීගෙන ආපු ''අස්වැසුම ඳෙනවා'' වගේ දේවල් ඇරෙන්න වෙන මොනවත් වෙන්නේ නැහැ. ඔවුන් කියපු විදියට බඩු මිලේ පහත හෙවීමක් නෑ. ඔවුන් කියපු විදියට බඩු මිලේ පහළ යාමක් ඉන්ධන හෝ වෙනත් දේවල්වල පහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ.

තමන් මූලික වශයෙන් කියපු දේවල්වලට පස්ස හරවලා ඒවාට පිටුපාලා යන ගමන් තමන්ගේ එදා වේල පවත්වාගෙන යන්නේ, එදා වේල රැක බලාගන්න මේ එක කාලෙකට හොරු අල්ලනවා. තව කාලෙකට අයිස් අල්ලනවා. තව කාලෙකදි තවත් මොනවා හරි අල්ල ගනියි. ඔය වගේ චිත්‍රපටවලින් තමයි ආණ්ඩුව දුවන්නේ. ඉතින් මම හිතන්නේ ආණ්ඩුව මුලින්ම කල්පනා කරන්න ඕන ඒගොල්ලෝ මහජනයාට දීපු බලාපොරොත්තු ඉටු වෙනවද කියන එක.

මම කියන්නේ ඔය හොරු ඇල්ලිල්ලෙන්, අයිස් ඇල්ලිල්ලෙන් හෝ වෙන මොනවා හරි ඇල්ලිල්ලෙන් මේ රටේ විදේශවත්කම් සංචිත ඉතා සතුටුදායක මට්ටමින් ඉහළ යනවා නම්, එමගින් තව අවුරුද්දකින් අපේ ණයටික ගෙවන්න පුළුවන් වෙන මට්ටමට ඉහළ යනවා නම්, රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙනවා නං, විරැකියාවෙන් බැටකන මිනිසුන්ගේ ජීවිත යහපත් අතට හැරෙනවා නම්, ගොවි ජනතාව තමා අස්වැන්න හරි මිලකට විකුණ ගන්න බැරිව හූල්ලනවා... අන්න ඒක පුලුවන් වෙනවනම්, මේ රටේ සමාජ සුරක්ෂිතභාවය හා සමාජ ස්ථාවර භාවය ඇතිවෙනවා නම්, මේ රටේ පොදු ජනතාවගේ ජීවිත යහපත් අතට පෙරළෙනවානම්... සමාජ ස්ථාවරභාවය ඇතිවෙනවා නම් ඔන්න කමක් නෑ. නමුත් ඒවා වෙන්නේ නෑ. ඒවා වෙනවා වෙනුවට සමාජය තව තවත් කඩා වැටෙනවා. ආණ්ඩුව අරව මේව පෙන්නපෙන්න මාධ්‍ය සංදර්ශනවල නියැලෙනවා. ඉතින් පාතාලය වුණත් එහෙමනේ. එක පාතාල නායකයෙකුට තර්ජනයක් වෙන අනිත් පාතාලයේ කට්ටිය විතරනේ ඔය අල්ලන්නේ. ඒවා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ආස හිතෙයි.

මං මේ කියන පාතාල නායකයාගේ කට්ටියක අල්ලන්නේ නෑ. ඒ පාතාල නායකයට ප්‍රතිවිරුද්ද පාතාල කල්ලිවල කට්ටිය විතරක් අල්ලනවා. ඉතින් ඒකේ තියෙනවානේ භයානක කතාවක්. ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕන. කොහොමද එහෙම දේවල් වෙන්නේ කියලා...

ප්‍රශ්නය -  ඔබතුමා කියන්නේ පාතාල ලෝකයේම කොන්ත්‍රාත්තුවක් වත්මන් ආණ්ඩුව ඉෂ්ට කරනවා කියලද..?

පිළිතුර - ඔබතුමාට එහෙම හිතෙනවද... එහෙම හිතෙනවා නම් හොදට ඒක හිතලා හොයලා බලන්න ඕන දෙයක්.

ප්‍රශ්නය - ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව ගෙනාපු විශ්වාසභංගය පිළිගන්න බෑ කියලා කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දීලා තියෙනවා..?

පිලිතුර - අනේ මං දන්නෑ මේ විරුද්ධ පක්ෂයට මොලේ අමාරුවක් තියනවද කියලා...  සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් මම දන්න තරමින් ගේන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අය ඉන්නවා. දෝශාභියෝගයක් ගේන්න පුළුවන් ජනාධිපතිට. ඕන්නං ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. හැබැයි මන්ත්‍රී කෙනෙකුටවත් නියෝජ්‍ය ඇමති කෙනෙකුටවත් විශ්වාසභංග මීට කලින් ගෙනාවයි කියලා මම අහලා නෑ. පව් ඉතින් මේ විපක්ෂයේ මන්ත්‍රීවරු. පොඩ්ඩක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග එහෙම ටිකක් කියවල ඉගෙනගෙන හිටියනම් තමයි හොඳ... පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු එහෙමයි. පාර්ලිමේන්තුවේ නැතත් අපි ඉතින් ඒවා ගැන අවබෝධයකින් ඉන්නේ...

ප්‍රශ්නය - දැන් ගම්මන්පිල මහත්තයා එහෙම ඔබතුමාට කතා කරනවද..?

පිළිතුර - කතා කරනවා. මේ අද උදෙත් මට කතා කළා. එතුමා අධිකරණයෙන් යම්කිසි ඉල්ලීමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන තීන්දුව මොකක් වුණත් ඒක ලැබුණ ගමන් එතුමා ලංකාවට ඇවිත් එක්කෝ දේශපාලන කටයුතුවල නිරත වේවි. එහෙම නැත්තං ඔය කියන අයි. සී. සී. පී. ආර්. (ICCPR) පනත සම්බන්ධ ප්‍රශ්නයට මුහුණදේවි.