උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

ආණ්ඩුව පළිගැනීම් අරඹලා ද!?

ජගත් ගේ සතියේ සටහන  -  53

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල දේශපාලන හා මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා පසුගිය අඟහරුවාදා කළුතර කටුකුරුන්දේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැළියක දී කළ කතාව නිස යි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළඹ 07 විජ්රාම මාවතේ නිල නිවසේ ඉඩම හැර තක්සේරු වටිනාකම අනුව එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් වන බවත් විශ්‍රාමික ජනාධිපතිවරයකුගේ වැටුප රුපියල් 90000 ක් වන අතර ඔවුන්ට නිවාස සඳහා ලැබෙන්නේ ඉන් 1/3 ක මුදලක් බැවින් මහින්ද රාජපක්ෂ මහතාට මසකට රුපියල් 30000 හැර ඉතිරි 45 ලක්ෂ 70000 ක මුදල ගෙවා එම නිවසේ පදිංචිව සිටිය හැකි බවත් අනුර කුමාර දිසානායක මහතා එම කතාවේ දී සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා මෛත්‍රිපාල සිරිසේන මහතා ද රජයෙන් ලබා දී ඇති නිවෙස්වල වාසය කරන නමුත් ඒවා ගැන යාන්තමින් සඳහන් කළ ජනාධිපතිවරයා වැඩියෙන් ම හුවා දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නිවසයි.

පසුව සිරස රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක දී මහින්ද රාජපක්ෂ මහතා ගේ නිවස හා එය පිහිටි ඉඩම අක්කර 01 යි පර්චස් 37 ක් බවත් එහි වටිනාකම රුපියල් කෝටි 350 ක් වන බවත් ප්‍රකාශ කළ අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද කපා හැරීම සඳහා 1986 අංක 5 දරණ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත ළඟදීම සංශෝධනයට කරන බව ද කියා සිටියා.

එසේම හිටපු ජනාධිපතිවරයාට කලින් ආරක්ෂකයින් 410 ක් ලබා දී තිබුණු අතර එම ගණන 60 දක්වා අඩු කොට තිබෙනවා. වැඩිය කෙඳිරි ගෑවොත් එය ද ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා ගේ මෙම ප්‍රකාශයට මාලිමාව ආණ්ඩුවට හිතවත් අයගේ මෙන් ම විපක්ෂයේ දේශපාලන පක්ෂ හා මධ්‍යස්ථ පුද්ගලයින්ගේ ද දැඩි විරෝධය එල්ල වෙන්නට පටන් ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මෙන් ම පොහොට්ටුව සමඟ විරසක වී සිටින පාඨලී චම්පික රණවක, විමල් වීරවිංශ, උදය ගම්මන්පිල ආදින් ද ප්‍රකාශ කළේ තිස් හවුරුදු යුද්ධය අවසන් කළ නායකයා නිවසින් එළියට දැමීම කුහක දේශපාලන පළිගැනීමක් බවයි.

තැන් නැත්වල ප්‍රකාශ නොකර නිවසෙන් යන ලෙස ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දෙන්නේ නම් නෑම වෙලාවක ඉන් පිටවී යෑමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා.

ආණ්ඩුව මහින්දගෙන් පළිගැනීම ආරම්භ කොට ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් යාමට සිදුවුවහොත් දරුවන් වශයෙන් සිය පියා බලා ගැනීමට තමන්ට හැකි බවත් ඔහු මාධ්‍යවේදීන් කළ විමසුම්වල දී කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් මහින්ද රාජපක්ෂ බව ජනාධිපති අනුර කුමාර දිසානායකට අමතක වී ඇති බවයි. ලිඛිතව දැනුම් දුන් වහාම තමා නිල නිවසින් පිටවීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළා.

''ජනාධිපති අනුර කුමාර දිසානායක මම මහින්ද රාජපක්ෂ බව අමතක කර තිබෙනවා. ඔහුගේ කතා ගැලරියට සහ ඔහුගේ බොරු මැතිවරණ පොරොන්දු සම්බන්ධයෙන් කළා මෙන් රට වැසියන් නොමඟ යැවීමට හොඳ වූවත්, ජනාධිපතිවරයා මට ලිඛිතව ඉල්ලීමක් එවන්නේ නම් මගේ නිල නිවසින් ඉවත්වීමට මම කැමැත්තෙන් සිටින බව ඔහුට දන්වන්නට කැමතියි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමෙන් පසුව සහ ඉතාමත් කුරිරු කාලවල දී වසර දහයක් රට මෙහෙය වූ ජනාධිපතිවරයකු ලෙසයි විජේරාම මාවතේ නිවස මට ලැබුණේ.

සාමාන්‍ය ජනතාවට සහන සැලසීම වෙනුවට, ජනාධිපති දිසානායක තම මහජන සම්බන්ධතා ප්‍රයෝගවලට යන වේදිකාවට ගොස් හිටපු ජනාධිපතිවරුන් ගේ ආරක්ෂාව සහ නිවාස පෙන්වමින් ඔවුන් විවේචනය කිරීමට වචන මුදා හරිනවා. මේ කරන්නේ තමාගේ ම අසාර්ථකත්වයන් ගැන කතා කිරීමෙන් වැළකී සිටීමට ගැලරියට සෙල්ලම් කිරීමක්" යැ යි ද හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට කියා සිටියා.

මේ අතර ආණ්ඩුව නිසි තක්සේරුවකින් තොරව ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂක සංචිතය යළි ලබා දෙන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මඟින් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව, සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 ක් පමණක් ඉතිරි කර අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවත් මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියකු සිය ආරක්ෂාව සඳහා නොමැති බවත්, එම පෙත්සමේ දක්වා තිබෙනවා.

තමාගේ ආරක්ෂාවට සපයා ඇත්තේ පොලිස් නිලධාරීන් පමණක් බවත් දසක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණ පා සිටින අයකු වන අතර තම ජීවිතයට ද තර්ජන එල්ල වී තිබෙන බව එම පෙත්සම මඟින් ඔහු කියා සිටිනවා.

අගමැති හරිණි අමරසූරිය හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට තිබෙනවා.

අනුරගෙ කතාව පාරාවළල්ලක්වෙලා?

ජාතික ජන බලවේගය මැතිවරණ කාලයේ දී පොරොන්දු වූ හොරු ඇල්ලීම ප්‍රමාද වීම, සහල් ප්‍රශ්නය, පොල් හිඟය, ආදි හේතූන් නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි යම් කලකිරීමක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් පසුගිය දා පැවති සමූපකාර ඡන්ද විමසීම් ගණනාවක දී ම ජාතික ජන බලවේගය පරාජය වී තිබුණා.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් ඉලක්ක කොට ගෙන ඉහත සඳහන් ප්‍රකාශ සිදුකළේ ජනතාව තුළ රාජපක්ෂලා කෙරෙහි තිබෙන විරෝධය වර්ධනය කොට ආණ්ඩුවට සහායක් ලබා ගැනීමට වුවද එම ප්‍රකාශය ආණ්ඩුවට පාරාවළල්ලක් වී තිබෙන බවයි දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ.

මේ අතර ආණ්ඩුව බලයට පත්වී මාස තුනක් ගතවී ඇතත් හොරු ඇල්ලුවේ නැතැ යි විපක්ෂය නඟන චෝදනා හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා තිබුණා. මෙහිදී නඩු දැමීම, සඳහා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව උනන්දුවක් දැක්වූ දේශපාලනඥයින් ගණනාවක්ම අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඔවුන සම්බන්ධ පරීක්ෂණ තවම අවසන් වී නොමැති නිසා බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ආණ්ඩුව මෙහිදී පසුගිය ආණ්ඩුවල විවිධ තනතුරු දැරූ දේශපාලනඥයින් හා නිලධාරීන් 36 දෙනකුගේ ලිපි ගොනු පරීක්ෂා කර ඇති අතර ඉන් 5 කුගේ ලිපි ගොනු නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.

පසුගිය සතියේ හිටපු ඇමතිවරයකු වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ඔහුගේ භාර්යාව හා හිටපු අගමැති ලේකම්වරයකු වූ සිරිසේන අමරසේකර යන අය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මේ අනුව බවයි පොලිසි ආරංචි මාර්ග පවසන්නේ.

විසිර සිටින පිරිස් එකතු කරන්නට අනුර යාපා පෙරට ඒම ද හැබෑ කාරණාව

 2014 දෙසැම්බර් මාසයේ බිංගිරිය ප්‍රදේශයේ හටගත් ජලගැල්මෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් 61 ලක්ෂ 46000 ක මුදලක් ලබා ගෙන ඒ මුදලින් මිල දී ගත් වියලි ආහාර 2015 ජනාධිපතිවරණයේ දී සිය ආධාරකරුවන් අතර බෙදාදීමේ චෝදනාව මතයි අනුර ප්‍රියදර්ශන මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙළේ. අධිකරණය විසින් ඔවුන් ඇප පිට මුදා හැර තියෙනවා.

එහෙත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ එකතු කොට ගෙන නව සන්ධානයක් පිහිටුවීමට පසුගිය අඟහරුවාදා හැන්දෑවේ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේ පැවති රැස්වීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතු බවයි.

පසුගිය අඟහරුවාදා පස්වරු 5. 00 ට පමණ ආරම්භ වූ මෙම රැස්වීමට අනුර ප්‍රියදර්ශන, රමේෂ් පතිරණ, ජානක වක්කුඹුර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, ලසන්ත අලගියවන්න, දිලුම් අමුණුගම ඇතුළු හිටපු මැති ඇමතිවරුන් 20 කට අධික පිරිසක් රැස්වී තිබෙනවා. පාඨලී චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණ, දිලිත් ජයවීරගේ සර්වජන බලය, පොහොට්ටුවෙන් කැඩී ගොස් රනිල් වික්‍රමසිංහ මහතා ගේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග කළ කණ්ඩායම ද මෙම නව සන්ධානයට එක්කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ද පැවසෙනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණවලට පොදුජන එක්සත් පෙරමුණේ 'පුටුව' ලකුණෙන් තරග කිරීමට හා පෙරමුණට නායකත්ව මණ්ඩලයක් පත්කොට එමඟින් මැතිවරණය මෙහෙයැවීම ගැන ද මෙම රැස්වීමේ දී සාකච්ඡා වූ බව ද දැනගන්නට තිබෙනවා.

අනුර ප්‍රියදර්ශන යාපා පමණක් නොව මෙම නව සන්ධානය පිහිටුවීමට මුල් වූ තවත් කිහිප දෙනකු ඉදිරියේ දී දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ඇති බවට ද දේශපාලන අංශ අතර රාවයක් පවතිනවා.

මේ අතර පොදුජන එක්සත් පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා වන ප්‍රචාරක කටයුතු ඊයේ අනුරාධපුර රුවන්වැලි සෑය අසළින් ආරම්භ කළා. පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයේන් ඊවේ අනුරාධපුරයේ මහජන රැළියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණා.

එසේ වුවද නාමල් රාජපක්ෂ මහතා ද මේ සතියේ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩතිබෙන බව ද දේශපාලන අංශවලින් වාර්තා වෙනවා.

කොළඹ කොටුවේ ඉදිකෙරෙමින් පවතින 'ක්‍රීස්' ගොඩනැගිල්ල මිලදී ගැනීමේ දී රුපියල් මිලියන 70 වක ගණුදෙනුවක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ගේ නම ද සඳහන් වී තිබෙනවා. පසුගිය සතියේ ඊට සම්බන්ධ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ කැඳවනු ලැබූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ සිටියා. ස්ට්‍රේලියාවේ පදිංචි කෝටිපති ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු 'ක්‍රීස්' ගණුදෙනුව ගැන නාමල් රාජපක්ෂ මහතා ගේ නම ද සඳහන් කරමින් ප්‍රකාශයක් දී තිබෙන බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්  පවතින බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ද ඊයේ (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු තංගල්ල බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ යමින් සිටිය දී අඟුණුකොළපෑලැස්ස පිවිසුම අසල දී රහස් පොලිස් නිලධාරීන් යෝෂිත අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකළ වරදකට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.

මහින්ද ගේ පුතා නිසා නෙවෙයි
රත්මලානේ සිරිමල් පෙදෙසේ ඉඩමක් මිල දී ගැනීමේ සිද්ධියක් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාලය නිවේදනය කළේ.

මේ පිළිබඳව ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ යෝෂිත අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු මහින්ද රාජපක්ෂ ගේ පුතා වීම නිසා නොවන බවයි.

''යමකු නීතිවිරෝධි ලෙස හෝ සැක සහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපොළ මිළ දී ගෙන ඇත්නම් සහ එවැනි නඩු සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණ පවත්වන්නේ නම් නීතිය ක්‍රියාත්මක වෙනවා. ආරම්භ කරැති පරීක්ෂණ දිගට ම පැවැත්වෙනවා. සීඅයිඩිය සහ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒ අනුවයි අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ. යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නොවෙයි" යනුවෙන් ද නලින්ද ජයතිස්ස ඇමතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ගණනාවක් ද අද හෙට ම අතුඅඩංගුවට ගනු ඇතැ යි නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැන ගන්නට තිබෙනවා.

 - ජගත් -