උණුසුම් පුවත්දේශපාලන

ආණ්ඩුව විවේචනය කරන විට බය කරන්න ප්‍රාදේශීය නියෝජිතයින් යොදවලා

සජිත් කැලණියේ දී කියයි

''ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වූ ආණ්ඩුව විවේචනය කරන ජනතාවගේ කටවල් වහන්න, බය කරන්න ප්‍රාදේශීය නියෝජිතයන් යොදවලා " විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය. 

වත්මන් රජය කියන්න පුළුවන් ලොකුම බොරු ටික කියමින් ජනතාව රැවටූ බවත් ජනතාව මංමුලා කළ බවත් ලක්ෂ 220ක් ජනතාව අනාථ කළ බවත් කියපු දේ කරන්නට බැරි වන විට මොවුන් රජය විවේචනය කරන පුද්ගලයන්ට තර්ජන ගර්ජන කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ භාෂණයේ කතාකිරීමේ හා අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස, තමන් කැමැති දේශපාලන මතයක් දැරීමේ නිදහස මෙරට මානව අයිතියක් බවත් එය පවා කඩකර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කැලණියේ පැවැති ජන හමුවක් අමතමිනි.

මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රදෙශයේ පුරවැසියෙක් මුහුණු පොත හරහා සිය අදහස් ප්‍රකාශ කරන විට රජයත් ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරන පුද්ගලයකු ගොස් රජය ගැන කරන විවේචන නතර කරන්නට බලපෑම් කරන බවත් රජයට පොරොන්දු ඉටු කරන්න බැරිව ලතවී සිටින මොහොතක කතා කිරීමේ නිදහස අවලංගු කරන ගෙන් ගෙට වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට ලක්ෂ 220 ක් ජනතාව හිතන පතන තමන්ගේ අදහස් ස්වාධීනව කාගේවත් බලපෑම්වලට යටත් නොවි ඉදිරිපත් කිරීමේ නිදහස ඇති බවත් පොදු මහත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරකින්න සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය පෙනී සිටින බවත් කතා කිරීමේ නිදහස හා අදහස් පළ කිරීමේ නිදහස පුද්ගල අයිතියක් බවත් එයට බලපෑම් කරන්න කාටවත් නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩි දුරටත් කීය.

මේ ආණ්ඩුවත් එය ගේන්න වගකිවයුතු අයත් අද රටේ ඇති තත්ත්වයට වගකිව යුතු යි

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරන්න කටයුතු කළ අය මෙන්ම තවත් අය ඔහුට ඡන්දය නොදී අනුරට දෙන්න කියා කියූ බවත් එම නිසා ඔහු දිනවන්න කටයුතු කළ අය අද මේ රට තිබෙන තත්ත්වයට වගකිව යුතු බවත් මොවුන් ද කඩවුණු පොරොන්දුව කියන චිත්‍රපටියේ ප්‍රධාන නළුවන් හා අධ්‍යක්ෂකයන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

මේ මොහොතේ ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බවත් එදා වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාව වෙත ඉදිරිපත් කළ සෑම පොරොන්දුවක්ම උල්ලංඝනය කළ ජනාධිපතිවරයකු ප්‍රමුඛ රජයක් සිටින බවත් ඉදිරියේ දී එළැඹෙන පළාත් පාලන මැතිවරණ අවස්ථාවේ ජනතාවට නැවත වරක් රටට පණිවිඩක් ලබා දීමට අවස්ථාව එළැඹ ඇති බවත් එනම් ජනතාවට ලබා දුන් පොරොන්දු අපේක්ෂාවන් කඩ නොකළ ක්‍රියාත්මක කළ යුතුයි කියන පණිවිඩය ලබා දීමට කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේ ය.

තෙල් මිල අඩු කර කොමිස් ගෙවන එක නතර කරනවා කිව්වත් එය සිදු නොවූ බවත් විදුලිබිල මාස 6කට අඩු කරන්න බැහැ යැයි කියූ අවස්ථාවේ විපක්ෂයත් ජනතාවත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අරගල කිරීම නිසා විදුලි බිල 20% කින් අඩු කරන්න මහජන උපයෝගීතා කොමිසමට සිදු වූ බවත් එවැනි අනුමැතියක් ලබා දීලත් ඒ සදහා මුදල් අමත්‍යාංශයේ අනුමැතියක් අවශ්‍ය බවට රජය පැවසූ බවත් මැතිවරණ ජයග්‍රහණය උදෙසා කිව හැකි ලොකුම බොරු ටික රජයට පවසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.