කවි පොතක් ගැන විචාරයක්
ඇත්තටම ආදරෙට අයිතියක් ඕනෙද?
මහින්ද රුද්‍රිගු
සඳමාධවී ප්‍රකාශකයෝ
පිටු - 86
මිල - රුපියල් 750. 00
සඳමාධවී ප්‍රකාශකයෝ විසින් 2024 වසරේ නිකුත් කරඇති මහින්ද රුද්‍රිගු විසින් රචිත “ඇත්තටම ආදරෙට අයිතියක් ඕනෙද?“ නිසඳැස් හා සිවුපද ආරේ රසවත් කවි 45 කින් යුතු කාව්‍ය ග්රන්ථයකි. කවියකින් කවි කියවන්න ආදරනීය ආයාචනාචක් සහිත කාව්‍ය ග්‍රන්ථයේ සැරිසරන්නට බැලිමි. අපූරුය ඒ චාරිකාව. බිඳෙන් බිඳ ලියමි ඔබ වෙත.
කාව්‍ය ග්‍රන්ථයේ 4 වැනි කවිය වන “වීතරාගී ආදරයක්“ කවිය නිසඳැස් ආරේ කවියක් වන අතර කවි කොටස් තුනකින් සමන්විත දිගු කවියකි.
“හදවතට හුරු පුරුදු ප්‍රේමය
ලැබෙයි නම් ගත නොවෙයි ඔත්පොළ
දෙපසකට අප වෙන් කළේ ඇයි
තුරුණු විය තුළ හැඟුම් මත්කළ
වෙනසකට මුල පුරමු අද අප
වීතරාගී වුණත් සිත් තුළ
තුරුලටම වී ඔහේ පසුවෙමු
සැය විඳිමින් අපේ නෙත්වල“
ජීවිතය යනු කිසිවෙක් තමා කොපමණ සිතා සිටියත් එම හුරු පුරුදු අයවම තම ඇසුරට නොලැබෙන අපූරු අම්බලමකි. මිනිසාට තමා කැමති, තම සිත ඇතුළේ ඇඳී ඇති රූපය හෝ කෙනාව නොලැබුන විට ආදරය කරනවා විනා ආදරය නොදැනෙයි. මේ ඔත්පොළ වීම එයයි. තුරුණු වියේ ආදරයෙන් මත් වුනද විවාහ වී දරු මුණුපුරන් ලබන විට ජීවිතේට මුණගැහෙන ප්‍රශ්ණ ගැටළු සහ පිළිතුරු පවා වෙනස් වෙන විට එකම නිවස්නක වුව හදවත් වලින් ඈත්වීම සිදුවන්නේ ඉබේටමය. ඒ හදවත් වලින් ඈත්වීම කොපමණ තීවෘ වූවද එකම සයනය බෙදාගැනීම තනිකම දුරලන්නක් බව කවියා පවසයි. සාමාන්‍ය ජීවිතයේ ගලා යෑම එලෙසය.
“පෙනෙන්නේ පඬු පැහැය අහසෙහි
හිරුත් බැසගෙන යාවි විගසට
සිඳෙන්නට ගොස් වැවේ වතුරත්
තියෙන්නේ මඩ කඩිති විදිහට
නිවෙන්නට හරි ළඟයි වාගේ
පහනෙ දැල්ලත් මලානික කොට
ගෙවෙන්නේ දැන් සැඳෑ සමයයි
හුඟුම් උණුසුම් වෙන්න හෙමිහිට“
මෙහිදී, පඬු පැහැය, හිරුත් බැසගෙන, සිඳෙන්නට ගොස් වැවේ වතුරත්, නිවෙන්නට හරි ළගයි වාගේ පහනෙ දැල්ලත් මලානික, යන වදන් කොටස් වලින් තදින්ම ප්‍රකාශ වෙන්නේ ජීවිතේ සැඳෑ සමය වන අතර වියපත් ජිවිතේ හැඟීම් පවා වියපත් වෙමින් ඇති බවත් කවියා ජීවිතේ යථාර්තය ප්‍රකාශ කර ඇත.
ඉන්පසු මගේ සිත නැවතුන තවත් සමාජ කතිකාවතකය. කවි අංක 10යේ ඇති “කළු කෝට් බාරී“. මෙය සිවුපද ආරේ කවිපංතියක් වන අතර එහි කවි හිසෙන් දෙන අර්ථයට වඩා වෙනත් අර්ථයක් එය කියවීමේදී ගම්‍ය වෙයි.
“යුක්තිය ගැනම ඇය ඉගෙනුම ලැබුවාට
ගන්නට වුණිය දිවි මග සහ කරුවාට“
මිත්‍රත්වයක් ආදරයට පෙරලී යුක්තියට ගරු කරන මෙම පුද්ගලයා විසින් ඇයව විවාහ කර ගත් බවෙකි. ඒ විවාහය තරම ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.
“නීති පොතේ පිටු අතරේ දවස ගෙවා
වාසි පතා නඩු වලදී බොරු ද මවා
කාසි සොයා ගෙන මල්ලේ දමල නවා
ආවෙ එයා ගෙට වෙහෙසී ගන්න නිවා“
ඒ නිවෙසට එන බිරියගේ හිසින් නීතිය පලා නොයන බැවින් ඇය ඇයගේ නිවෙසද උසාවියක් කර ගනී. රීති ප්‍රකාරව කටයුතු කළයුතු මිසක
“වාසි බලා නීතිය නම් ළඟින් නවයි
ආලවන්ත කම් ඕනෑ වුණොත් තමයි“
ආලවන්ත කම් නොමැති බවත් ප්‍රකාශ කරන මේ පුද්ගලයා ආදරයට මුල්තැන දී දිවිගෙවීමට කැමති අයෙකි. ඒ ඔහුගේ ජීවිතේට ආදරය කළුනික මෙනි. ඔහු දකින රූප වල පවා පැටලෙනසුළු කෙනෙක් බට පත්ව ඇත. නමුත් කළු කෝට් එකට සියල්ල යට වෙන බැවින් ඒවා ගැන බියක්ද ඇත්තා සේය.
“හොරෙන් කරපු වැඩ ඔක්කොම වගේ නිමයි“ ලෙස පෙන්වා දී ඇත්තේ එබැවිනි. එමෙන්ම තම නිවෙස උසාවියක් කර ගෙන නීතිය අතට ගත් දෙවඟනක් හා වෙසීමේ අරුමය අවසන් කවියෙන් මනාව පැහැදිලි කර ඇත.
“හියුමන් රයිට් වැඩිපුර ඇය භුක්ති විඳියි
යුතුකම් පැත්ත වග විය යුතු මම ම තමයි
විත්තිය මමයි ඇය පැමිණිලි පැත්තෙ හිඳියි
අඩුවට ඇත්තෙ කූඩුව මෙහි නොමැකි කමයි“
මානව සබඳතා යනු මිම්මක් හෝ මිනුම්දණ්ඩක් නොමැති මැනීමකි. එය තම තම නැණ පමණින් සහ සංවේදී වන තරමින් කිරා මැන ගත යුතු වන අතර කොළ වල ලියවෙන නීතියට හිර කරගතහැකි ජීවිත නොමැති බවත් එය ගැහැණිය ප්‍රබල වූ නිවසක පුරුෂයා සමාන්‍ය ජනවහරේ ප්‍රකාශ වන පරිදි under petticoat government එකක ජීවත් වන කෙනෙකි. සමාජයතුළ එලෙස ජීවත් වන අයද සිටින බව කවියා අප වෙත ප්‍රකාශ කරන්නේ සමාජ ස්ථර වල විවිධත්වයයි.
ඉන්පසු විරහවකට ඇස යොමු කරන්නට සිතුනෙන් මෙම කාව්‍ය ග්‍රන්ථයේ 13 වන කාව්‍ය වන “ අතහැරී ගිය බැඳීම්“ ලෙස නම් කර ඇති දිගු නිසදැස් කවිය අසල නැවතුනෙමි. මෙම කවි වල දක්නට ඇති සරල බස් වහර කවිය ගලා යෑමට තෝතැන්නක් වී ඇති බව මෙය පරිශීලනය කිරීමේදි පැහැදිලි වේ. බැඳීම් විවිධය විෂමය. මේ සියල්ල විටෙන් විට අතහැරී යයි.
“සිතේ නම් පැළ වුනේ ඇවිදින්
පරණ දිනයක මතකෙකී“
තාරුණ්‍ය යේ අත්හැරීම් නැවත මුණ ගැසුනු විට විශ්මිත ය. අවසන් හමු වලදී හමුවීම් සිතුවම් පට ලෙස රැඳී තිබුණ ද ඉන් පසු අහඹු හමුවීම් විශ්මිත තොරතුරු මනස කළඹයි.
වැසි දිනයක වැස්සටත් වඩා හෙන අකුණු ගැසීමක දී එක කුඩයක් යටින් ගිය දෙදෙනෙකු තම තමුන්ගේ හැඟීම් වලට වහල් වී පුරුෂයා වර්තමානයේ ඒ ගැන පසුතැවීම මෙම කවියෙන් ප්‍රකාශ වෙන අතර
“එදා එතනදි එක්වුනේ නම්
පුළුන් සහ ගිනි පුළුඟකි“
මේ පුරුෂයා අතින් සිදුවු වැරැද්ද කවියා ඉතා සංයමයෙන් ප්‍රකාශ කර ඇත. එසේ සිදුවූ සිදුවීමෙන් මවක් වන්නට ලකුණු පෙන්වූ ඇයට ද්‍රෝහී වී සළෙලෙක් වූ මෙම පුරුෂයා ඒ කරදර සියල්ල භාරගෙන ඇයගේ ජීවන මග සකස්කර අළුත් කුටුම්භයක් සදා දුන් ඇයගේ පියා විරුවෙක් බව ද ප්‍රකාශ කර ඇත.
“පියෙක් වෙනව ද මග හැරිය විට
මෙමා නොමනා සළෙලෙකී
එදා ගැබ්බර මවක් සැනසූ
පියාණන් ඔබෙ විරුවෙකී“
කෙසේ වෙතත් දරුවන්ට දෙමාපියන් මිස වෙන කිසිවෙක්ගේ පිහිටක් හද පතුලෙන්ම නොලැබේ.
තවද, සල්ලාල ජීවිතයක් ගතකරන අයෙකුට වැව් උතුරා යන්න වැස්සද බිඳී ගිය මතකය යළිත් පිළිසකර කරන්න බැරි බවත් මේ දුටු මෙහොතෙන් ඇයගේ ලොවට ඇතුල් නොවී පියමං කරන බව ඔහු පුකාශ කරන්නේ
“බිඳී ගිය මතකයන් යළි යළි
ලාටු ගා අලවනු බැරි
හැරී යමි මගෙ පාළු ලෝකෙට
කොහොම තෙමුණත් කම් නැති
සදාගත් කූඩුවේ සැනසෙන්
වරද කෙරුවේ මම වෙමි“
ඕනෑම පුද්ගලයෙකුට තමා නිවැරදි හෝ වැරදි දෙයක් කර හදවතින් සැඟවෙන්න නොහැක.
ඉන්පසු මා නැවතුනේ අංක 18 හිමි “මේ පොතේ තියෙන්නෙත් අපේ පෙම් කතාවයි“ ලෙස නම් කර ඇති සිවුපද ආරේ කවි පංතියටය.
එහි පළමු කවියෙන්ම මේ පෙම් කතාවට මුල පුරා ඇති අතර
“දැනෙන්නේ පුරාවට ප්‍රේමයේ රිද්මයයි“
“මේ පොතෙත් තියෙන්නෙත් අපේ පෙම් කතාවයි“
මෙම කවි පද දෙකෙහි වචන හැසිරවීම රසවත්ය. එමෙන්ම දෙවන කවියෙන් එය තවත් රසවත්කර ඇත.
“හීනියට විසිරිලා පිපිරෙන්න වගේමයි“
“මාධවී පෙනෙන්නේ රූප ඔබෙ වගේමයි“
ප්‍රේමයේ දිග පළල පවසා ඇති අයුරු අපූරුය. ඒ වගේම රිද්මයණුකූලව ගලාගෙන යන පද ධාරාවේ ශබ්ද රසය හොඳින් ගැබ්වී ඇති අතර අවසානයේ දී
“ආසනම් දන්නට සුඛාන්තෙක නිමාවයි
දෑත නම් එකකළේ සොඳුරු මල්සරාමයි“ ලෙස පවසා ඇත. මේ නම් කවියාගේ ජීවිතයෙ රස බිඳක විවරණයක් විය යුතුයැයි මට හැඟේ. කවියා ප්‍රේමයේ විවිධ පැතිකඩවල් ඔස්සේ සිය කාව්‍ය ශක්තිය ගලාගෙන යාමට සලසමින් රසවත්ව කාව්යරණයේ නියැලෙන බව මෙම කවි කියවීමෙන් පසක් වෙයි.
25 වන කවි වන “බලා සැනසෙමි නෙළා ගනු බැරි“ ලෙස නම් කර ඇති නිසදැස්ආරේ කොටස් තුනකින් යුතු කවිපංතියකි. මෙය ඈතින් සිට විඳින සෙනෙහසකි. සාමාන්‍ය ජීවිතයේ බොහෝ අය නොකියන ජීවිතේ ඇතුලාන්තයට සම්බන්ධ සත්‍ය ද මෙයයි.
“හිමි වුණත් මල බඹර තුකට
ඇයිද මා දෙස හැරී බැලුවේ“
බැල්මෙන්ම සරාගීව බැඳෙන සිතක් තිබෙන කවියා ඇයගෙන් ප්‍රශ්ණ කරයි.
“රුවටුවද නැතිනම් සිතේ කොන
සෙනෙහසක් තිබුණා ද පපුවේ
දුර බොහෝ ගොස් සැඳෑ සමයේ
ඉර ගිලී යන සවස් වරුවේ
යළි ඇදී විත් ආදරය ගැන
තවත් පාඩම් ඇයි ද කිව්වේ“
මුලින් දුටුවද නැවත නැවත හමුවීම දර්ශනය වීම මේ ප්‍රශ්ණ කිරීමට හේතුන්ය.
“හිමි නැතත් ඉඳහිටක මග තොට
දුටුවොතින් ඇති අහිමි ළඳුනේ“
කවියාගේ දසුනින් ඇතිවන මනෝ ප්‍රේම සල්ලාපයේ තීවෘතම හැඟීම්ය. තුන්වන කවියෙන් මනාව ලියවී ඇත.
“සිත හොරා ගත් එ්ත් නොලැබුණු“
අහිමිවීමේ සන්තාපය සටහන් වී ඇත. එසේම දසුනින් හසුනක් මවන ආකාරය කවියා ප්‍රකාශ කර ඇත්තේ
“ඔබ සොයා ගොස් අසන්නට නම්
බොහෝ කාරන සිතේ රොක්වේ
එම කතා ඔහෙ හිර වුණාදෙන්
දුර ඉඳන් හරි බලා තුටුවේ“
ප්‍රේමයේ අහිමිවීම ලියැවුනු අපූරු කවියකි. කවියකින් තම හිත අභන්තරයට තට්ටු කර ගැනීමට කවියා සමත් වීමත් එය ප්‍රකාශයට පත් කිරීමටත් සාර්ථකව සිදුවී ඇත.
26 වන කවිය වන “නිබ්බුත පද“ කවි පංතිය සිවුපද ආරේ කවි 4 කින් යුක්ත වන අතර නිබ්බුත පද යැයි දුටු සැනෙකින් සිත දිව යනුයේ සිදුහත් කුමාර චරිතය වෙතය. තාරුණ්‍ය යේ පසුවන පුරුෂ රත්නයක් කෙරෙහි නිරාමිස ප්‍රේමයකින් බැඳුනු කාන්තා පක්ෂයේ කෙනෙකුගෙන් නිකුත් වන සිතුවිලිය.
“මංගල මුදුව හිමි කත පින් අඟනක්ය“
මේ ප්‍රකාශයෙන් ම තම අහිමි වීම විඳදරාගෙන සිටින බවක් පසක් වෙයි. එමෙන්ම මෙම නිබ්බුත පද ගයන්නී දෙවන කවියෙන් මේ තරුණයා ගේ දේශ ලක්ෂණ වැනුම සහ ඔහුගේ නිවුණු බව ප්‍රකාශ කර ඇත. හදවතේ සඟවා තබාගත් පෙම මස්සිනා වුවද වෙනතක බැඳීම නිසාම අහිමි වූ බව නිබ්බුත පද ගයන්නී ප්‍රකාශ කර ඇත.
“මස්සිනා වුණත් ඔබ වෙනතක බැඳුණේය
පින් මද මෙමා පැතු පැතුමන් මැරුණේය“
ඇයගේ හද පැතුමන් සිඳුන බවත්
“පාලා සෙනෙහෙ ළඟ සිටිනට බැරි කමණී
ප්‍රේමාදරෙන් මේ නිබ්බුත පද ගැයුණී“
නිබ්බුත පද ගැයුමට හේතුවත් ප්‍රකාශ කර ඇති අතර කිසාගෝතමි කියු නිබ්බුත පද අප අධ්‍යනය කරනුයේ කුඩා කල සිටම වන අතර ප්‍රේමය අරභයා ගැයෙන මේ නිබ්බුත පද වර්තමානයේ මෙන්ම අනාගතයේ දී ද ගායනා වී තිබීම සහ ගායානා වීම අපූරුය. අහිමි වීම දරාගන්නා කාන්තාවකගේ අපූරු විග්‍රහයක් වන නිබ්බුත පද කතකගේ මනසේ ඇති ශක්තිය විදහාපායි.
තවත් අපූරු කවියකි 36 වෙනි කවිය ලෙස නම් කර ඇති “කවියෙකුගේ ආදරයක්“ හිසින් සටහන් වී ඇති නිසඳැස් ආකෘතියේ කවි කොටස් තුනකින් යුතු දිගු කවියකි. කවියා ඔහුගේ සිත කණපිට පෙරළා කියවන්නා වෙත දිගුකර ඇති කවියක් මෙනි. මෙහි අපූරුව
“ඔයා ආදර රසිකයෙක් වුණ
මමත් තරුවක් වෙච්ච හන්දයි“
තරුවලට බැඳෙන ආදරයක විස්තරය අපූරුය. කවියෝ කොපමණ කවි ලිව්ව ද තත්‍ය ජීවිතයේ සැරිසරද්දී කවියා
“සැබෑ ලේකෙදි ප්‍රැක්ටිකල් වල
ගැටළු ඇති වෙන බවෙන් යුක්තයි“
කවියා කෙනෙකුට බලපාන ගැටළු ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ කර ඇත. කවියට පෙම් බැඳීම හරහා කවියා කවියට බැඳුනු ජීවිතේ කවියෙ රසින් ඔබ මත්වෙනුවිනා නුරාව, අනුරාගය, කෙරෙහි බැඳීමක් නොමැතිවම අකුරු සඳහා ඇබ්බැහිවීමක් වීම තුළින් ආදරයට යම් හානියක් බලපෑමක් සිදුවන බවකි.
“ ටිකක් ඉවසුවෙ නැත්තෙ මක්කැයි
වසාගෙන දොර ඔයා යනවද
විරහ කවියක් ලියමි සත්තයි“
කවියාගේ වෙන්වීම තුළින්ම ඇයට දැනෙන විරහව මතින් ඇය ද කිවිඳියක් වේ. විරහවක් වේදනවක් තදින් යටි සිතටය ද දැනුන පසු කවි ලිවීම ඇරඹේ. කෙසේ වෙතත් මෙම කවියාගේ වෙන්වී ඇය කිවිඳියක් කරනු ඇත.
45 වෙනි කවිය පොතේ නමට හිමිකම් කියා ඇත. “ඇත්තටම ආදරෙට අයිතියක් ඕනෙද ?“තවත් සුන්දර කවියක් වන අතර සිවුපදආරේ කවි 3කින් යුතු කවිපංතියකි.
“දුර ඉඳන් හිනැහිලා සඳට පෙම් කරපු තරු
මග බලන් සිටියෙ ඇය අහස මරද දිලෙන තුරු“
තාරුණ්‍ය යේ අපූරුව, දුර සිට ආදරේ කරන ප්‍රේමයේ රසයක් වන අතර සඳ තරු වලට උපමා කරමින් කවියක ගැබ් කර ඇති ආකාරය අගෙයි.
එමෙන්ම,
හදවතේ බැඳුණු ආදරය බැහැර කිරීමට නොහැකි බව පවසන කවියා අත හැරුණු තැන්වල ප්‍රේමයේ සිහින බොඳ වුව ද ආදරය මිය යාවිදැයි ප්‍රශ්ණ කරයි.
“පෙම් සිහින බොඳ වුණත් ආදරය මිය යාද“
මේ සඳට පෙම් කරන තරුව නැවතත් අවසන් පද වලින් අයිතිය පිළිබඳව තව ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින්
“කැදැල්ලක දුටු විටත් සිතට සතුටක් ඒද
ඇත්තටම ආදරෙට අයිතියක් ඕනේ ද?“ විමසන අතර
සිත් ගත් මල් වලට ආදරේ කරන්නට ස්නේහය පුදන්නට වෙනතක පැටලුනත් ආදරෙන් බලන්නට සිතින් පෙම් කරන්නට තහනමක් නැහැ නොවෙදැයි නැවත විමසයි.
සත්‍ය ජීවිතයේ කිසිවෙකුට තම සිතට හෝ අන් අයෙකුගේ සිතට තහංචි දැමිය නොහැකි නමුත් සිතුවිලි මාත්‍රයන් ව්‍යාධියක් නොකරගත යතුය. නැතහොත් සීමා මායිම් බිඳී ගොස් විවිධාකාරයේ අනතුරු සිදුවිය හැකිය.
ඕනෑම කවියෙකුට / කිවිඳියකට පුරුෂ චරිත පිළිබඳව මෙන්ම ස්ත්‍රී චරිත පිළිබඳවද මැනවින් ලියන්නට හැකි අතර මහින්ද රුද්රිගූ මහතාද ඒ වැනුමට සමත්ය. ජීවිතේ විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කරමින් ආදරය මෙන්ම විරහව කැටිකොට සම්පිණ්ඩය කර ඇති බොහෝ කවි පොදුවේ ජීවිත වලට ඉතාමත් සමීප වන අතර මෙම කවි කියවිමේ දි ආදරයෙන් තොර ලෝකයේ කිසිවක් නොරැඳෙන නොපැවැත්වෙන බව නම් පැහැදිළිය. මොහු විසින් ලියා ඇති ආදර කවි කියවීමෙන් ආදරයෙන් හදවත් නැවුම් වන බව නොරහසකි. ආදරය පිරුණු කවි සමූහයක් අතර ජීවිතේ යථාර්ථය සඟවා ඇති කවිය රඳවා ජීවිතයේ විවිධ දෘශ්ඨි කෝණ දර්ශන මගින් ජීවිතය දකින්නට ඔහු අපට උදව් කර ඇති බව මගේ අදහසයි.
