පුරා විද්‍යා ස්මාරක ඉතිහාසඥයාට වැදගත්
ඉතිහාසය යනු අතීතය පිළිබඳව සත්‍ය සෙවීම යැයි ඇතමුන් සිතා සිටිතත් එය එසේ නොවේ. ඉතිහාසය යනු දැනුමකි. එය මිනිසා විසින් ම නිර්මාණය කරගනු ලබන්නකි.
විද්‍යාව ද දැනුමකි. එය ද අප විසින් ම නිර්මාණය කරගනු ලැබූවක් වුව ද, විද්‍යාත්මක දැනුම වාස්තවික (objective) දැනුමක් ලෙසින් සලකනු ලැබේ.
එහෙත් මිනිසා විසින් නිර්මාණය කරගනු ලැබූ දැනුමක් වාස්තවික වන්නේ කෙසේදැයි යන්න බරපතල ප්රශ්නයකි. ඉතිහාසය යනු අතීතය පිළිබඳව සත්‍ය සෙවීම ය යනු හුදු මිථ්‍යාවක් බවට පත්වෙන්නේ එබැවිනි.
නූතන දාර්ශනිකයින් අතර වාස්තවික යථාර්ථය හා සම්බන්ධ දැනුම පිළිබඳව මුලින් ම ප්‍රශ්න කළේ එමැනුවල් කාන්ට්, ෆෙඩ්රික් නීට්ශේ වැන්නන් විසිනි. නීට්ශේට අනුව ඉතිහාසය තුල දත්ත නොමැති අතර පවතින්නේ විග්රහ කිරීම් පමණි.
ඉතිහාසය හදාරන්නන්ට සිතීමට(චින්තනයට) හා පරිකල්පනයට ඉඩක් නොදෙන බව ද නීට්ශේ පවසයි. එසේ තහංචි පැනවෙන්නේ චින්තනය හා පරිකල්පනය අනුව නිර්මාණය කරගනු ලබන දැනුම ‘වාස්තවික’ නොවන බැවිනි.
විසිවැනි සියවසේ ඉතිහාසඥයෙකු වූ හේඩ්න් වයිට් (1928 - 2018) පෙන්වා දෙන්නේ මෙම තහංචි බරපතළ ලෙසින් ම බලපාන්නේ ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන්නන්ට බව ය. චින්තනයට හා පරිකල්පනයට සීමා පනවන ගවේශණයක දී ඉතිහාසයේ වැදගත් ම අංග සැඟ වී ගොස් එය හුදු නීරස අජීවී ප්‍රලාඵයක් බවට පත් වීම නොවැළැක්විය හැකි ය.
කීත් ජෙන්කින් (1943 - ) මෙවන් වූ සීමාවන්ට යට වූ ඉතිහාසඥයින් හඳුන්වන්නේ වැටුපට ඉතිහාසය ලියන්නන් ලෙසින් ය. අතීතයේ සිදු වූ සිද්ධීන් කිහිපයක් අහුලා ගෙන එවා එකිනෙකට සම්බන්ධ කිරීමට තතනන ඔවුන් අතින් ඉතිහාස කතාවකට නිර්මාණශීලී දායකත්වයක් ලැබෙතැයි බලාපොරොත්තු විය නොහැක.
හේඩන් වයිට් මෙන් ම ජෙන්කින් විසින් ද ඉතිහාසය හඳුන්වන්නේ කතන්දරයක් (narration) ලෙසිනි. කතන්දර වල යථාර්ථයක් පැවතිය හැකි වුව ද එය කිසි විටක වාස්තවික විය නො හැකි ය. වයිට් විසින් ඉතිහාසය ලං කරවන්නේ විද්‍යාව වෙතට නොව සාහිත්‍ය වෙතටයි. වයිට් ඉතිහාසය සම්බන්ධ සිය සංකල්ප ගොඩනංවන්නේ සාහිත්‍යට හා සාහිත්‍ය විචාරයට සාපේක්ෂව ය.
නවකතාවක හෝ නාටකයක කතා වස්තුව (plot) විචිත්‍රාද්භූත
(romantic), ශෝකාන්ත (tragedy), සුඛාන්ක (comedy) හෝ උපහාසාත්මක (satire)විය හැකි ය. ඉතිහාසකරුවා ද තමා ළඟ ඇති දත්ත අසුරු කරගෙන ඔහුට අභිමත වන අයුරින් ඊට ගැලපෙන ශෛලයකින් තම කතන්දරය නිර්මාණය කරයි. සාහිත්‍ය හුරු පුරුදු පාඨකයින් මා කියන දේ පහසුවෙන් තේරුම් ගනු ඇත.
ඒ අනුව ගත් කල ඉතිහාසය යනු සිද්ධ වූ දේ ම නොව, සිද්ධ වූ දෙය ඉදිරිපත් කරන ආකාරය යි.
පුරා විද්‍යා ස්මාරකයන් ඉතිහාසඥයාට වැදගත් නමුත් අප ඒවා සැලකිය යුත්තේ අපගේ ඉතිහාසය ලෙසින් නොවේ. එය අපගේ කතන්දරය (ඉතිහාසය ) තව තවත් ප්‍රබල කරන, අපගේ මුතුන්මිත්තන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන් විදහා දක්වන සජීවී කතන්දරයක සිහිවටනයන් ය. ඉතිහාසය යනු ඒ කතන්දරය මිස ස්මාරක නොවේ. ස්මාරක සාක්ෂි පමණෙකි ය.
ඉතිහාස කතන්දරයට චින්තනයක් අවශ්‍ය ය. චින්තනය යනු සිතීම නොව ඉන් ඔබ්බට ගිය සංකීර්ණ සංකල්පයකි. අප සිතන්නේ චින්තනයක් තුල යි. චින්තනය නිර්මාණය වන්නේ එම ඉතිහාසය ගොඩ නැගුනු සභ්‍යත්වය (සංස්කෘතික) විඥානය මත ය.
ඉතිහාසයේ සංස්කෘතිය නිරූපණය කරන්නේ එම ඉතිහාසය නිර්මාණය වීමට දායක වූවන්ගේ අධ්‍යාත්මය යි. ඉතිහාසය ගෙවී ගිය දෙයකි. එය සජීවී වන්නේත් අර්ථ සම්පන්න වන්නෙත් එය හදාරන්න්ගේ චින්තනය තුලින් මතු කෙරෙන පරිකල්පන ශක්තිය මත ය. වයිට් විසින් ඉතිහාසයේ දර්ශනය ලෙසින් හඳුන්වන්නේ ද මෙය යැ යි සිතමි.
ඉතිහාස කෘතියක් තේරුම් ගැනීමට ඉතිහාසය තුලින් ලැබෙන සාධක මෙන් ම ඒසඳහා බල පෑ චින්තනය මෙන් ම රචකයාගේ චින්තනය පිළිබඳ ව ද මනා අවබෝධයක් තිබිය යුතු ය.
මහාවංසය හා අනෙකුත් වංසකතා අපේ මුතුන් මිත්තන් විසින් අපට උරුම කර දී ඇති අමිළ දායාදයන් ය. අවාසනාව නම් මෙරට ඉතිහාසය හැදෑරූ වෘත්තීය ඉතිහාසඥයින් විසින් වංසකතාත් ඒවා නිර්මාණය සඳහා බල පෑ චින්තනයත් දෙස උදාසීන ආකල්පයක් දක්වා තිබීම ය. මෙවන් වූ ආකල්පයක් තුළ ඉතිහාසය තුළ ඇති වැදගත් දේ බොහෝමයක් අප අතින් ගිලිහී යෑම නොවැළක්විය හැකි ය.
මහාවංසය ආරම්භ වන්නේ බුදුන් වහන්සේ ගේ ලංකා ගමනෙනි. ඉතිහාසඥයාගේ කාර්ය භාරය විය යුත්තේ බුදුන් වහන්සේගේ ලංකා ගමන සනාථ කිරීම සඳහා හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා විද්‍යාත්මක සාධක සොයා යෑම නොව, ඒ හා බැඳුනු ප්රවාදයන්, මහාවංසයේ කතුවරයා එම කොටස ඇතුලත් කිරීමට බල පෑ හේතුන් මෙන් ම බුදුන් වැඩීම හෝ ඒ පිළිබඳ විශ්වාසය මේ රටේ ඉතිහාසය හා චින්තනය වෙනස් කිරීමට බල පෑ අයුරු පිළිබඳ ව ද නිර්මාණශීලීසංවාදයක් පවත්වා ගෙන යෑමයි.
වඩා වැදගත් වන්නේ කැළණිතිස්ස රජුන් සමයේ දී මෙරටට සුනාමියක් ආවා ද නැද්ද යන්න සෙවීම නොව, දේවි කුමරිය මහ මුහුදට බිලි වීමට ඉදිරිපත් වීමත් එම වීර ක්‍රියාව මේ රටේ ඉතිහාස කතාව සම්පූර්ණයෙන් ම වෙනස් කළ ආකාරය ඉදිරිපත් කිරීම ය.
මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය හෝ දේවී කුමරියගේ කතාව සත්‍යයක් නොවේ නම් මහානාම හිමියන් විසින් හුදී ජන පහන් සංවේගය උදෙසා රචනා කරණ ලද මහාවංසයට එම ප්‍රවෘත්තිය ඇතුලත් කිරීමට බල පෑ හේතු සාධක සොයා බැලීම ද ඉතිහාසඥයා මෙන් ම සාහිත්‍ය විචාරකයා ද සතු කාර්යයකි.
ඉතිහාසයයත් සාහිත්‍යයත් අතර ඇති එකිනෙක මත යැපෙන අවියෝජනීය වූ ද සංකීර්ණ වූ ද සම්බන්ධය මෙලෙසින් තේරුම් ගැනීම මේ විෂයන් දෙකට ආදරය කරන්නෙකුට එතරම් අපහසු නොවේ.
ලොව වෙනත් කිසිම රටකට වඩා අවියෝජනීය ලෙස ඉතිහාසය හා සාහිත්‍ය එකිනෙකට බැඳී පවතින රටක අධ්‍යාපන ඇමතිවරිය හා ඇයගේ උපදේශකයන් විසින් ඉතිහාසය හෝ සාහිත්‍යය යන විෂයයන් දෙකින් එකක් තෝරාගන්නා ලෙසින් 9 වසරේ සිසුන්ට බල කිරීම මහත් ම අවාසනාවකි.
(මෙය මා විසින් 2025 ඇසළ යුතුකම සඟරාවට සපයන ලද ලිපියකි. අරුත් වඩාත් පැහැදිලි කිරීම සඳහා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් කළෙමි.)
වසන්ත දේවසිරි