උණුසුම් පුවත්

ඉදිරි අයවැය ලේඛනයෙන් හැම දෙනාගේම ඉල්ලීම් ඉෂ්ට කරන්න පුළුවන් අවස්ථාවකට රට ගමන් කරවිය යුතුයි…

හංවැල්ල පිලිප් ගුණවර්ධන ප්‍රජා මන්දිර නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරමින් දිනේෂ් කියයි

"අපි ගොඩනැගිලි ඉදි කරනවා. ජනතාවට පවරනවා ගොඩනැගිලිවල ප්‍රයෝජනය ගන්න සැලැස්මකුත් තිබිය යුතුයි. පාසල් හවස දෙකහමාරට වැහුවට පස්සේ ආපහු අරින්නේ පහුවදා උදේ.  එහෙම ගොඩනැගිලි කොයි තරම් තියෙනවද?  ඒක නිසයි  ආණ්ඩුව හැටියට තීරණය ගත්තේ අධ්‍යාපනය හමාර කරලා පාසල් ජීවිතය අතහැර යන දරුවන්ට විවිධ වෘත්තීය පුහුණු ලබාදීම සඳහා මේ ගොඩනැගිලි යොදා ගැනීමට. එම වැඩ පිළිවෙළ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සහ පුහුණු පාඨමාලා වෙනුවෙන් අනුමත කිරීම් මේ වන විටත් ලබා දී තිබෙනවා. අප ඒවායේ ප්‍රයෝජනය ලබා ගත යුතු යැ යි ‌මේ ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේ දී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් ජනතාව ඇමතූ ගුණවර්ධන මහතා,

ලක්ෂ හාරසීයක් පන්සීයක් නැතුව තට්ටු තුනක පාසල් ගොඩනැගිල්ලක් දැන් හදන්න බැහැ.

එම ගොඩනැගිලි වලින් තවත් අතිරේක පැය කිහිපයක් දරුවන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් පාසල් ජීවිතයෙන්  පස්සේ ඒ අයගේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්.

හැමෝම විශ්ව විද්‍යාල වලට යන්නේ නැහැ. ඔක්කොමලා සියලු විභාග සමත් වෙන්නෙත් නැහැ. දෙමාපියන්ට  ඒ බර දරන්න වෙනවා. දැන් පුහුණු

පාඨමාලා  වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට පළාත් සභා, ප්‍රජා නායකයින්, ප්‍රජා සමිති, ගම්වල තිබෙන විවිධ  ආයතන උදව් විය යුතුයි.

අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩිවෙන ප්‍රතිශතයක් අද පෙන්නුම් කරනවා.

වැඩිහිටි ජනතාවගේ සුබ සිද්ධිය පිණිස අපේ රටේ පමණක් නොව වෙනත් රටවල් සමඟත් කටයුතු කිරීමට මෙවැනි සංවිධාන වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රජා නායකයින් හරහා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැටියට ඒ වැඩ පිළිවෙලට අත දෙන්න සූදානම් වී තීරණයක් අරගෙන තියෙනවා.

මෙවැනි මාර්ග අපේ රටට විවෘත වීම දැන් යළිත් පටන් අරගෙන තියෙනවා.

පසුගිය කාලයේ රට මුහුණ දුන් අමාරු තත්වය පසු කරලා යළිත් වර්ධනය වන ආර්ථිකයට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ අනුව විවිධ රටවල් අපේ රටට දාලා තිබුණු සීමාවන් ඉවත් කරන්න පටන් අරගෙන.

කොරියාව විසින් පනවා තිබූ වීසා තහන්චි සම්පූර්ණයෙන්ම අයින් කලා. කොරියානු සංචාරකයින්ට ලංකාවට එන්න වෙනදා තිබුණ වගේම සම්පූර්ණ සහනය අපට ලබා ගන්න පුළුවන්. අලුත් වෘත්තීන්වලට ඉඩකඩ ලැබෙන  හැටියට එම සියලුම ක්ෂේත්‍ර දිහා විශේෂයෙන් බලන රටවල් හැටියට  අපේ රටේ තරුණ තරුණියන්ට යළිත් විවිධ පුහුණුවීම්වලට අවතීරණ වෙන්න පුළුවන් ක්‍රමවේදයට ජපානය ඉඩ සලසා තිබෙනවා. ඒ රටවල් හා අපේ ආණ්ඩුව අතර ඇති කරගත් විශ්වාසය නිසයි.

මේ වසර අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. මේ පළාතේ ජනතාවටත් රට පුරාත් ආහාර නිෂ්පාදනය එක හා සමානව නිරත විය හැකි කාළ පරිච්ඡේදයක අපි පසුගිය කාලේ නිරත වුණා. යම් යම් ඉලක්ක පසු කරමින් රටක් හැටියට අප මුහුණ දුන් අමාරුම ආහාර අර්බුදයෙන් අපි ගොඩ ආවා. එය ඉටු කළේ ගම්බද ජනතාවයි. ඔවුන්ගේ කැපවීම තමයි අද රටට විශාලතම ශක්තියක් වී තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට මෙතෙක් ගමන් නොකළ වෙන වෙන රටවල ගුවන් යානා ලංකාවේ ගුවන් තොටුපළ වලට යළිත් එන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා  අපේ රටට විවිධ ගුවන් සේවාවලින් පැමිණෙන සංචාරකයින් විශාල ප්‍රමාණයකින් ඉහළ යාමේ  තත්ත්වය අපේ රට කෙරෙහි තබන විශ්වාසයයි.

පසුගිය දා පළාත් පාලන ආයතන රැසක අට දහසකට වැඩි පිරිසක් අපි ස්ථීර කළා.

අපේ ළමයි ඉස්කෝලෙ ඉගෙන ගන්න ඕනේ. දැනට විසඳගන්න බැරුව නැවතී තිබෙන විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල ගැටලු විසඳන්න අපි විශාල උත්සාහයක් දරනවා. අපේ දරුවෝ විශාල ප්‍රමාණයකට විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්න ලැබිලා තියෙනවා. මේ ආයතන ජාතික ආයතන. ජාතික ආයතනවල කර්තව්‍යය අපි ඉෂ්ට නොකළොත් ඒ හානිය බරපතලයි.

අපි ළමයින්ට ඉගැන්විය යුතුයි. එය අපේ යුතුකම. ඒ යුතුකම අපි ඉෂ්ට කළ යුතුයි. මමත් වැඩ වර්ජන ඕන තරම් කරලා තියෙනවා. අපි මේ අමාරු කාලපරිච්ඡේදයෙන් එගොඩ වෙමු" යැ යි ජනතාවට ඇරයුම් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, හිටපු නියෝජ්‍ය කතානායක, ගීතාංජන ගුණවර්ධන, ගාමිණී වැලිකළ,  ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.